කරන්නාගොඩලාට පැනවූ තහනම ගැන ජනපති තම ස්ථාවරය ලෝකයට කියන්න – සාගර කාරියවසම්

27

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ නායකයන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන අයට එක්සත් රාජධානිය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය ඉතා ඉක්මනින්මම ජාත්‍යන්තරයට ප්‍රකාශය කළ යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (25දා) සඳහන් කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පක්ෂ කාර්යාලයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී ඔහු මෙසේද කීවේය.

මේ අයට සම්බාධක පනවන්න හේතු හැටියට දක්වලා තියෙන්නේ පසුගිය සිවිල් යුද සමයේ දැඩි මානව හිමිකම් උල්ලංඝනය කිරීම, නීති විරෝධී මිනීමැරුම්, වධබන්දන පැමිණවීම සහ ලිංගික හිංසන කියන කාරණා බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය වූ එල්ටීටීඊය පරාජය කරන්න නායකත්වය දුන් රණවිරුවන්ට යුද්ධය ඉවර වී වසර පහළොවකට පසු මේ ආකාරයෙන් සම්පාදක පනවලා සිදු කරන්න යන්නේ කුමක්ද යන්න රටට ආදරේ කරන සැමෝටම තියෙන ප්‍රශ්නයක්. උතුරේ ජනතාවත් යුද්ධය අමතක කරලා සිංහල නායකයින් ඉන්න රජයකට සහයෝගය පළ කරල තියෙන වෙලාවක තමයි මේ සම්බාධකක පැනවෙන්නේ. ඒ වගේම මේක පිටිපස්සේ ඉන්නේ කවුද, මේකට සහයෝගය දෙන්නේ කවුද, කියන එකත් ප්‍රශ්නයක්? එනිසා අනුර කුමාර ජනාධිපතිවරයා රජයේ ස්ථාවරයත් පැහැදිලිව ජාත්‍යන්තරයට දැනුම් දිය යුතුයි මේ අවස්ථාවේදී. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ කරගන්න බැරිවුණ යුද අපරාධ කියන බොරු චෝදනා දාලා. අපේ හමුදාවේ හිටපු රණවිරුවන්ව නැවත අපහසුතාවයට පත් කරන්න ගන්න උත්සාහයක්ද මේක කියලා අපට බරපතළ සැකයක් තියෙනවා. එනිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වහාම තම ස්ථාවරය ජාත්‍යන්තරයට පැවසිය යුතුයි.

යුද්ධය වෙනුවෙන් කැපවුණු රණවිරුවන් මේ වන විට බොහොම අපහාසාත්මක තැනකට තල්ලු‍ කරමින් සිටිනවා. කීප තැනක සිදුවන පාතාල ක්‍රියාකාරකම් නිසා හමුදාවන් තුනටම අපහාස කරමින් සිටිනවා. ඒ වගේම පොලිසියට ඉතාම දරුණු ගණයේ අපහාස චෝදනා එල්ල කරමින් සිටිනවා. මේ රටේ ආරක්ෂාව බිඳවට්ටමින් තිබෙනවා. ඒ නිසා මෙසේ සම්බාධක පැනවීම ඒ කාරණාවලටත් සම්බන්ධ ද කියන ප්‍රශ්නය රටට ආදරේ කරන හැමෝටම තියෙනවා. ඒ නිසා මේ රටේ යුද්ධය නතර කරමින් ගම්වලට මිනීපෙට්ටි යන එක නතර කළ රණවිරුවන් වෙනුවෙන් රටක් හැටියට අපි පෙනී ඉන්නවයි කියන කාරණය ලෝකයට කියන්න කියා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අනුරාධ හිරිපිටියගේ


advertistmentadvertistment