කරාපිටියේ කොරෝනා තවානක්

103

කරාපිටිය රෝහලේ 11 වන වාට්ටුවේ එක් පසෙක කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීම නිසා සාමාන්‍ය රෝග සඳහා ප‍්‍රතිකාර ලබන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇත.

මෙම තත්ත්වය උදාවී ඇත්තේ අඩි 5 ක පමණ උස බැම්මකින් කොටස් දෙකකට වෙන්කර ඇති එම වාට්ටුව ඉටි කොළයකින් පමණක් වෙන්කර එක් පසෙක කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීම නිසාය. මෙම තත්ත්වය වඩාත් අනතුරුදායක වී ඇත්තේ කොරෝනා රෝගීන්ගේ පරිහරණය සඳහා වෙනම වැසිකිළියක් සහ නාන කාමරයක් වෙන්කර ඇතත් කොරෝනා රෝගීන් සහ ඔවුන්ගේ අත්උදව්වට සිටින පුද්ගලයන් ද අනෙක් පස රැඳී සිටින රෝගීන් සඳහා වෙන්කර ඇති වැසිකිළිය සහ නාන කාමරය පරිහරණය කිරීම නිසාය. ඊට අමතරව කොරෝනා රෝගීන්ගේ අත්උදව්වට සිටින පුද්ගලයන් සෙසු රෝගීන් රැඳී සිටින ප‍්‍රදේශය හරහා ගමන් ගන්නා බවත් වාර්තා වේ.

මෙම තත්ත්වය 11 වන වාට්ටුවට පමණක් සීමා වී නොමැති අතර මේ ආකාරයට තවත් වාට්ටු කිහිපයකම එක් පසෙක කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම නිසා සෙසු රෝගීන්ට ද කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ අනතුරක් ඇතිවී තිබේ. මෙම තත්ත්වය පිළිබඳව එම රෝහලේ අධ්‍යක්‍ෂ ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී ඒ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්‍ෂවරයා සඳහන් කර සිටියේ කොරෝනා රෝගීන් ඒ පිළිබඳව දැනුවත් කර ඇති බැවින් ඔවුන් ඒ අනුව කටයුතු කළ යුතු බවය. එබැවින් තමන්ට ඒ සම්බන්ධයෙන් මීට වඩා පියවරක් ගත නොහැකි බවය.

එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment