කරාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලයේ 74 කට ගිය මාසයේ ඩෙංගු හැදිලා

120

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 74 දෙනකුට පමණ පසුගිය මාසය තුළ ඩෙංගු රෝගය වැළඳී ඇති බැව් කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග මහතා පවසයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය සති තුන තුළ ඩෙංගු බවට සැක කරන රෝගීන් 162ක් වාර්තා වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි. ඉකුත් වර්ෂයේ මෙම කාලසීමාව හා සැසඳීමේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා පෙන්වා දෙයි. ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ඉකුත් සති තුන තුළ ඩෙංගු බවට සැකකරන රෝගීන් 26 ක්, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ඩෙංගු බවට සැක රෝගීන් 20ක් සහ අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ඩෙංගු බවට සැක රෝගීන් 17 ක් වාර්තා වී ඇති බවද හෙතෙම පවසයි. වර්ෂාවත් සමග ඩෙංගු රෝගය පැතිරීම වැඩිවී ඇති බවත් ඉදිරි සතිය තුළ මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවත් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි


advertistmentadvertistment