කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ

2015

සංජීව පුෂ්පකුමාර සෑමවිටම පේ‍්‍රක්ෂක අවධානයට ලක්වන සිනමා නිර්මාණවල කර්තෘත්වය හිමි සම්මානනීය සිනමා කරුවෙකි. සංජීවගේ අලූත්ම සිනමාපටය වන ‘ආසු 34’ වන ටෝකියෝ සිනමා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලැබ තිබියදී ඔහුගේ සිනමා භාවිතය ගැන කළ කෙටි කතාබහකි මේ.

මීට පෙර ඔබේ නිර්මාණවලින් බොහෝවිට ලිංගිකත්වය ගැන ඉස්මතු වුණේ. නමුත් ඔබේ අලූත්ම සිනමා පටයේ කාතාව ඊට හාත්පසින් වෙනස් සංවේදී එකක්. මොකක්ද මේ වෙනසට හේතුව.

කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ

ලිංගිකත්වය ඉස්මතුවෙන චිත‍්‍රපට කරනවා කියන එක නිවැරදි මතයක් නෙවෙයි. ඉගිලෙන මාළුවෝ සහ දැවෙන විහඟුන් කියන්නෙ සංජීව පුෂ්පකුමාර කිසියම් විදියක ජීවන උබතෝපෝටිකය. ප‍්‍රශ්නයක් ඇතුළේ අපි මුහුණ දෙන තවත් ප‍්‍රශ්න තියෙනවා. ඒවා තමයි මම සාකච්ඡා කරන්න උත්සහ කරල තියෙන්නෙ. නැතුව ලිංගිකත්වය ගැන සාකච්ඡා කරන්න උත්සහ කරල නෑ.

හැබැයි ඔබ කිව්වා වගේ මුලින් ඉදිරිපත් කළ චිත‍්‍රපට දෙකට වඩා ආසු චිත‍්‍රපටයේ තියෙන්නේ වෙනස් කතා තේමාවක්. මේ චිත‍්‍රපටයේදී තමා මම පළමුවෙනි වතාවට චරිතාපදානයක් පදනම් කරගෙන චිත‍්‍රපටයක් හදන්නෙ. අපි කවුරුත් දන්නවා හිටපු කථානායක කරු ජයසූරිය මහත්තයාගේ බාල දියණිය ඉන්දිරා ජයසූරිය පියයුරු පිළිකාවකින් එංගලන්තයේදී මිය ගියා. ඇයගේ කාතාව තමා මේ චිත‍්‍රපටයට පදනම් වුණේ. සිනමාකරුවෙක් විදියට මට මේ චිත‍්‍රපටය සුවිශේෂී වන්නේ, එක මනුෂ්‍ය දියණියක් තමන්ගේ ජීවිතයෙන් මනුෂ්‍ය ලෝකයට දෙන්න පුළුවන් උතුම් පරිත්‍යාගයක් පෙන්නුම් කරපු කාන්තාවක්. මේ කාරණාවත් එක්ක ඇයට උපහාරයක් විදියට මම මේ චිත‍්‍රපටය නිර්මාණය කරන්නෙ.

කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ
කරු ජයසූරිය සහ දියණිය ඉන්දිරා

චරිතාපදානයක් සිනමාපටයකට නඟනවිට විශේෂයෙන් අවධානයට ගත්තේ මොනවගේ කරුණු ද?

ඇත්තට ම ඉන්දිරා ජයසූරිය ජීවත් වෙච්ච විදිය හෝ ඇයගේ පසුබිම සම්පූර්ණයෙන් නිරූපණය කරන සිනමාපටයක් නෙමෙයි මේක. චරිතාපදාන සිනමාපටයක් කියන්නෙ සිනමාවේ එක්තරා විදියක ශානරයක්. චරිතාපදාන සිනමාපටයක වැදගත්ම දේ තමා ඒ චරිතය නියෝජනය කරන දෘෂ්ටිවාදය. එයා නියෝජනය කරන සමාජ ආර්ථික දේශපාල දෘෂ්ටිවාදය නිවැරදිව නිරූපණය වෙනවද කියන කාරණය. නමුත් මේක වාර්තා සිනමාපටක් නොවන නිසා හැම වෙලාවේම සිනමාපටයක් කරද්දී අපිට ඒක ප‍්‍රබන්ධ කරණයට ලක්කරන්න වෙනවා. ඒ වගේම ඉන්දිරා ජීවත් වුණේ එංගලන්තයේ වුණාට මම මේ චිත‍්‍රපටය පිහිටවල තියෙන්නෙ ලංකාවේ. එතකොට මම ‘‘ආසු’‘ චිත‍්‍රපටයේදී කරල තියෙන්නෙ ඉන්දිරා ජයසූරිය කියන චරිතය අනුප‍්‍රාණය කිරීමක්. ඒකයි මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන හැදුවා කියන්නෙ. එත් ඉන්දිරාගේ සමාජ සංස්කෘතික දෘෂ්ටිවාදය සහ එයාගෙ ආකල්ප ඒ විදියටම තියාගෙන මේ නිර්මාණය කරන්න උත්සහ කළා.

ඔබ චිත‍්‍රපට හදන්නෙ විදේශීය සම්මාන ඉලක්ක කරගෙන කියල චෝදනාවක් තියෙනවා. මේ ගැන ඔබට මොනවද කියන්න තියෙන්නෙ?

මම නිර්මාණයක් කරනකොට මට ඒ නිර්මාණයේ වැදගත් කරුණු කීපයක් තියනවා. මම සිනමාකරුවෙක් වෙන්න තීරණය කරපු පළමු හේතුව තමයි මට ලෝකය සමග බෙදා ගන්න දේවල් මම තුළ තියෙනවා කියන විශ්වාසය. මට සාමාන්‍ය කතාකරුවෙක් වෙන්න සිනමාව භාවිත කරන්න අවශ්‍ය නෑ කියන එක මම තීරණය කරල තියෙන්නෙ. ඒ වගේම මම තීරණය කරල තියෙන්නෙ මම කරන සෑම නිර්මාණයක්ම සිනමාව තුළ කිසියම් විදිහකින් සලකුණක් වෙන්න ඕන කියල. ඒ කියන්නෙ පවතින්න ඕන කියන නිර්මාණ කරන්න ඕන කියන එක. එතැනදි වැදගත්ම දේ මම තෝරාගන්න කතා වස්තුව කවුරුවත් කරල නැති එකක් කියන කාරණය. ඒ මගින් ලෝකයට කිසියම් දෙයක් ඉදිරිපත් කරන්න මට පුළුවන් වෙන්න ඕන. අනික මම ඒ කතාව කියන්න භාවිත කරන සෞන්දර්යාත්මක මෙවලම් මෙතෙක් කවුරුත් පාවිච්චි නොකරපු විදියට භාවිත කරන්නයි මම කැමැති. ඉතින් මම චිත‍්‍රපටයක් හදනකොට කිසියම් පේ‍්‍රක්ෂක සමූහයක් පමණක් ඉලක්කකර චිත‍්‍රපට හදන්නෙ නෑ. එතැනින් එහාට ඔව්.., මට සම්මාන ලැබෙනවානම් ඒ ගැන මම සතුටු වෙනවා. හැබැයි මට සම්මාන ලැබුණේ නෑ කියල ප‍්‍රශ්නයකුත් නෑ මොකද මට ඕන චිත‍්‍රපටයයි මම හදල තියෙන්නෙ.

කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ
උදාරී ඉන්දිරාගේ චරිතයට පණ පොවමින්

කවදාවත් මම ලෝකයේ කිසිම චිත‍්‍රපට උළෙලකට ඇඞ්මිෂන් ෆ‍්‍රී එකක් ගෙවල චිත‍්‍රපට දාල නෑ. ඒ වෙනුවට මම කරල තියෙන්නෙ මගේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය වෙනුවෙන් ඒ අයගෙන් කිසියම් මුදලක් ගන්න එක. මගේ පළමුවෙනි චිත‍්‍රපටය මොස්කව් සිනමා උළෙලට ඉදිරිපත් නොකළේ ඒ අය මුදලක් දෙන්න කැමැති නොවුණු නිසා. චිත‍්‍රපට උළෙලවල් කියන්නෙ මට ආදායම් හොයාගන්න පුළුවන් එක මාවතක්. හැබැයි ඒ නිසාම මම චිත‍්‍රපට හදන්නෙ නෑ.

නමුත් ඔබේ ඉගිලෙන මාළුවෝ තවමත් මෙරටට පේ‍්‍රක්ෂකයන්ට නැරඹීමට නොහැකි වෙලා තියෙනවා. මොනවද ඒගැන ඔබට කියන්න තියෙන්නෙ?

ඔව් දැන් වෙළෙඳපොළේ තියෙන හොරට ගහපු සී. ඞී එකේ තියෙන්නෙ සම්පූර්ණ චිත‍්‍රපටය නෙමයි. දැන් මට රෑඟුම් පාලක මණ්ඩලයෙන් අවසරය ලැබිල තියෙන නිසා නැවතත් මම සිනමාපටය ලංකාවේ ප‍්‍රදර්ශනයට සූදානම් කරල තියෙන්නෙ. හැබැයි යහපත්ම දේ මම ඒ චිත‍්‍රපටය කළේ ලක්ෂ තිස්හතකින් වගේ අඩු වියදමකින්.

සිනමා කේෂත‍්‍රයේ වර්තමාන අර්බුදය විසඳීමට ඔබේ තිබෙන යෝජනාව මොකක්ද?

ලංකාවේ අර්බුද නැත්තෙ මොන කේෂත‍්‍රයේද? 1948 ඉඳලම අපි ජීවත්වෙලා තියෙන්නෙ අර්බුද සමුදුරක. හැබැයි මම දකින විදියට අපිට බැරිවෙලා තියෙනවා

පේ‍්‍රක්ෂකාගාරය බලාපොරෙත්තු වෙන විශිෂ්ට නිර්මාණ සමුදායක් එක පාර නිර්මාණ කරන්න. සිනමාවේ අර්බුදය විදියට මම දකින්නෙ ඒක. අනික වසර හැත්තෑ දෙකක් ගෙවිලත් තාම සිනමා පාසලක් අරින්න අපිට බැරිවෙලා තියෙනවා. මම මැදිහත්ව පසුගිය රජයේ සහයෝගයෙන් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ආරම්භ කළ සිනමා පාඨමාලාවේ සිලබස් එකවත් මේ නිලධාරීන් කරගෙන යන්න දුන්නෙ නෑ.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment