කරේ නගින තරමට හිරේ පිරේ…බන්ධනාගාර පිරෙන්නේ කුඩු කාරයන්ගෙන්ද?

207

වැරදි 30කට පොදු සමාවක් නැතුව වැඩි පිරිසක් ඇතුලේ….

මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා තැබිය හැකි 13200 ක් පමණ වන රැඳවියන් සංඛ්‍යාව ඉක්මවා යමින් දෙගුණයක පිරිසක් බන්ධනාගාරගතව සිටින බව මීට දින කිහිපයකට ඉහතදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලැබිණි.

ඔවුන් පෙන්වා දෙන පරිදි එම සංඛ්‍යාව 26000 කි. මේ හේතුවෙන් රට පුරා ඇති බන්ධනාගාර සියල්ලේ අධික තදබදයක් පවතින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එකී නිවේදනයට අනුව මේ අන්දමට බන්ධනාගාර පිරී යෑම ඇරඹී ඇත්තේ මෙම 2022 වර්ෂයේ ආරම්භයත් සමගිනි.

එලෙස බන්ධනාගාරගත වූවන් අතරින් සියයට 74 ක පිරිසක් මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් බන්ධනාගාර වූවන් බවද එම නිවේදනය මගින් සඳහන් කරන බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ අධිකරණ මගින් දඬුවම් නියම කළ සිරකරුවන් 10000 ක් සහ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු 16000 ක් මේ අන්දමට බන්ධනාගාරගතව සිටින බවකි.

එකී දඬුවම් නියම වූ සිරකරුවන් දසදහස අතරිනුත් සිරකරුවන් 4600 ක් බන්ධනාගාරගතව සිටින්නේ මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් බවද ඔවුහු කියති. එසේම මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවී බන්ධනාගාරගතව සිටින සැකකරුවන් ගණන 8700 කි.

මේ අනුව දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය චෝදනාවන්ට ලක්වූ සමස්ත පිරිස 13300 ක් වේ. මෙම තත්ත්වය තුළ ඇතැම් බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව සියයට තුන්සියයේ සීමාව ඉක්මවා ඇතැයිද බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගණන් හිලව් ඇතිව පෙන්වා දෙන වැදගත් කරුණක්ද ඇත. එය වන්නේ බන්ධනාගාර පිරී ඉතිරී යන තරමට ඉහළ ගොස් ඇති රැඳවියන් පිරිස අතරින් සියයට පනහකටත් අධිකව සිටින්නේ මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූවන් යැයි යන්නය.

මෙකී මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූවන් යනු කවුරුන්ද? මේ අතර අති බහුතරයක් සිටින්නේ මතට ඇබ්බැහි වූ මත්ලෝලීන්ය. සමාජයේ භාවිත සරල භාෂාවෙන් කිවහොත් කුඩු හෝ අයිස් භාවිතය නිසා පූරුවේ කළ පවකට මෙන් මුළු ජීවිතයම වනසා ගත් කුඩ්ඩෝය. කිසිවිටෙකත් ඔවුහු බන්ධනාගාරගත කිරීමෙන් පමණක් යහමඟට ගත හැක්කෝ නොවෙති.

ඔවුනට කළ යුතුව තිබෙන්නේ නිසි ප්‍රතිකාර සමඟ වන පුනරුත්ථාපනයකි. එහෙත් මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් පවා දෙවසරක් තුළ පුනරුත්ථාපනයට ලක්කර සමාජගත කරනු ලැබූ රටක අදටත් මත්ලෝලියා පුනරුත්ථාපනය කරමින් යළි සමාජයට මුදා හැරිය හැකි විධිමත් වැඩපිළිවෙළක් නැත.

එසේ වුවද මත්ලෝලීන් පුනරුත්ථාපනයට යැයි සඳහන් කරමින් කන්දකාඩු ආදී වශයෙන් මහජන මුදල් වැය කර පවත්වාගෙන යන පුනරුත්ථාපන මධ්‍යස්ථාන නම් අපට ඇත. මුළු රටම පීරා බැලුවද සොයා ගැනීමට නැත්තේ එකී මධ්‍යස්ථානවලින් පුනරුත්ථාපනය ලැබ මතින් ගැලවී යහමඟට ආ මිනිසුන්ය.

මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවී බන්ධනාගාරගත වූවන් අතර අතිබහුතරය මතට ඇබ්බැහි වූ කුඩ්ඩන් බව තහවුරු කිරීමට එක් පැහැදිලි උදාහරණයක් ලෙස කාලයක සිය සිදු කෙරෙන පොලිස් වැටලීම් ද පෙන්වා දිය හැකිය. පොලිසිය මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේය. එය හොඳ වැඩකි. එහිදී මත්කුඩු හෝ අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත දෛනිකව අත්අඩංගුවට ගන්නා සැකකරුවෝ ගණන දහයකටත් අධික වෙති.

එහෙත් එකී වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුම සන්තකයේ තිබී පොලිසියට හසුවන්නේ ග්‍රෑම් පහක් හෝ ඊට අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයකි. මෙකී ග්‍රෑම් පහේ සැකකරුවෝ යනු මත් ලෝලීහුය. ඔවුහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් කිසිදු සෙතක් රටට හෝ සමාජයට සිදු නොවති.

බන්ධනාගාරගත කිරීම වෙනුවට ඔවුන් යොමු කළ යුතුව ඇත්තේ ප්‍රතිකාරද සමඟ වන නිසි පුනරුත්ථාපනයකටය. එහෙත් ලෝකයේ මොන රටක සිදු කෙරුණත් එවැනි දේ මේ රටේ සිදුවන්නේ නැත. මොකද මේක සකලසිරින් පිරි සිරි ලංකාවය.

මේ අන්දමට මතට ඇබ්බැහි වූ මත්ලෝලීන් දෛනිකව පොලිස් අත්අඩංගුවට ගැනුණද ඔවුන්ට මත විකුණන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථා විරල වෙති. අද දවසේ බන්ධනාගාර පිරී ඉතිරී ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව විලාප නඟද්දී එයට එක් හේතුවක් වී තිබෙන අභ්‍යන්තර කතාව ඇත්තේ එතැනය. මේ වන විට බන්ධනාගාරගත මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවී වරදරුවන් වූ පිරිස 4600 වෙද්දී සැකකරුවන් ගණන 8700 ක තරම් ඉහළ තැනක පවතින්නේ මේ හෙයිනි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ අන්දමට හිටිහැටියේ සිරගතව සිටින අති බහුතරයක් දෙනා කුඩුකාරයන් බව සඳහන් කරමින් එකී ගණන සංඛ්‍යාත්මකව රටට පෙන්වා දීමට කටයුතු කරනු ලැබුවේ කුමක් නිසාද?

ඇතිවී තිබෙන තත්ත්වය තුළ බන්ධනාගාර පාලනය කිරීම අසීරු වීම හේතුවෙන් රැඳවියන් පිරිස අඩුකර ගැනීමේ සද් අරමුණ ඇතිව එකී හෙළිදරව්ව සිදු කෙරුණේද? මේ පිළිබඳව කතා කිරීමට පෙර මෙහිදී ඉතා වැදගත් සඳහනක් කළ යුතුව ඇත. අපි මේ උත්සාහ කරනුයේ කිසිවකුටත් දොස් පැවරීමට නොවන්නෙමු. සියලු මිනිස්සු පෘතග්ජනයෝය. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් ආදී වශයෙන් මාර්ගඵල ලද්දෝ නොවෙති.

එනිසා කා අතිනුත් වැරදි සිදුවිය හැකිය. අප මේ උත්සාහ දරනුයේ එවැන්නක් සිදුව තිබේ නම් එය පෙන්වා දීමටය. අපේ ඒ උත්සාහයට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දෙස බලා ඉහත ප්‍රශ්නයට පිළිතුර ලෙස අපට කීමට ඇත්තේ සිරගත බහුතරය කුඩුකාරයන් යැයි පවසමින් එය සමාජගත කිරීම තුළ ඇත්තේ යටි අරමුණක් යැයි යන්නය.

කුඩුකාරයා යනු සමාජ පිළිලයකි. මතට ඇබ්බැහි වූවෝ සමස්ත සාමාන්‍ය සමාජයම ප්‍රතික්‍ෂේප කරති. රටේ ජනතාව අතර පවතින සාමාන්‍ය තත්ත්වය එය වේ. මේ අනුව සිරගත අති බහුතරය කුඩුකාරයන් යැයි කීමෙන්ම සිදුවන්නේ මෙරට බන්ධනාගාර සහ ඒවායෙහි සිරගතව සිටින සිරකරුවන් කෙරෙහි වන සමාජ මතවාදය නොමඟට ඇදදැමීමකි. අනුකම්පා විරහිත තැනකට එය රැගෙන යෑමකි. බන්ධනාගාරගත පිරිසෙන් සියයට පනහකටත් අධික ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූවන් යැයි යන්න සත්‍යය. එහෙත් අද බන්ධනාගාරගත වූවන් සංඛ්‍යාව 26000 ක් දක්වා දරාගත නොහැකි තරමින් ඉහළ යෑමට එකම හේතුව වී තිබෙන්නේ එයද?

නැත. කිසියම් මිනිසකු අතින් ඕනෑම අවස්ථාවක වරදක් විය හැකිය. එහිදී රටේ පවතින නීතියට අනුව එකී මිනිසා වරදකරුවකු ලෙස දඬුවමකට යටත්ව සිරගත කිරීමද සිදුවිය හැකිය.

එහෙත් එසේ යමෙකු සිරගත වීමේදී මිනිසුන් වශයෙන් අප කළ යුතුව ඇත්තේ ඔහුට යළි කිසිදා නිවැරදි වන්නට ඉඩක් නොතබා සදාකාලිකවම වරදකරුවකු ලෙසින් ඔහු දෙස බැලීමද? මිනිසුන් ලෙසින් අප එසේ කළහොත් එහි ඇති මනුෂ්‍යත්වය කුමක්ද?

පැහැදිලිවම එය මිනිස්කමට නිගාදීමකි. සත්‍ය එය වුවද අද මේ රටේ බන්ධනාගාර පද්ධතියම පිරී ඉතිරී යමින් දරාගත නොහැකි තරමේ සිරගත වූවන් පිරිසකට හිසට ගාන්නට පොල්තෙල් හැන්දේ සිට ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, ආහාරපාන සහ බෙහෙත් හේත් ආදී වශයෙන් සියල්ල ලබාදී නඩත්තු කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්වීමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ මෙන්න මේ නොමිනිස්කමය. අමානුෂික තත්ත්වය ය. සාමාන්‍ය සමාජයට අහිතකර ලෙසින් වරදක් කළ පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඬුවමක් ලෙස බන්ධනාගාරගත කිරීම සාමාන්‍ය ය. එහෙත් මේ රටේ එලෙස බන්ධනාගාරගත කෙරෙන මිනිසකුට යළි නිදහස් වී සමාජගත වීමට ඇති ඉඩකඩ ඉතාම සීමිතය.

එසේ සිරගත කෙරෙන සිරකරුවාට සමාවක් ලැබීමට තිබෙන සියලු අවස්ථා තිබෙන්නේ ඇහිරී ගොසිනි. එහෙත් රටේ බන්ධනාගාර පාලනයට ඇති අමාත්‍යාංශයට අප කියන්නේ බන්ධනාගාර සහ පුනරුත්ථාපන අමාත්‍යාංශය කියාය.

කියනවා පමණක් නොව සිරගත වූවන් පුනරුත්ථාපනයට යැයි කියමින් රුපියල් කෝටි සිය ගණනින් වාර්ෂිකව වැය කිරීමද සිදු වන්නකි. එසේ සියල්ල සිදු වුවද මේ රටේ නැත්තේ එලෙස පුනරුත්ථාපනය වී නිදහස ලැබූ සිරකරුවෝය.

දුප්පත්කම හමුවේ කුසට අහරක් නොමැතිව රටේ බහුතර දරුවන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙද්දී අප කරමින් සිටින්නේ රුපියල් කෝටි පන්සියයක පමණ මුදලක් වාර්ෂිකව වැය කරමින් සිරකරුවන් නඩත්තු කිරීමය. ඒ අනුව බලන කල අප තරම් මරිමෝඩයන් රැලක් ලෝකයේ වෙන කොතැනකවත් සිටිය හැකිද?

එකී තකතීරුකමේ තරම පෙන්වා දීමට එක් පැහැදිලි උදාහරණයක් ඇත. නිදහස් අධ්‍යාපනයට අනුව උසස් පෙළ සමත්ව මෙරට වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වන ශිෂ්‍යයකුට සිව් වසරක් තුළ වෛද්‍යවරයකු දක්වා අධ්‍යාපනය ලැබීමට රජය විශාල මුදලක් වැය කරන බව රහසක් නොවන්නකි.

ඒ බව අපි කවුරුත් දැන සිටින්නෙමු. කොපමණ ජනතා මුදලක් ඒ සඳහා වැය කෙරුණද එහි අවසන් ප්‍රතිඵලය තුළ ඇත්තේ ඉහළ වටිනාකමකි. එහිදී රටට දායාද වන්නේ ජනතාවට ජීවය දෙන වෛද්‍යවරයෙකි.

මේ බව අප සියලු දෙනා දැන සිටියද රටේ කිසිවකුත්ම නොදන්නා කතාවක් බවට අද පත්ව තිබෙන්නේ එසේ වෛද්‍යවරයකු බිහි කරන්නට වැය කරන මුදලට වඩා වසර හතරක් තුළ සිරකරුවකු නඩත්තු කිරීමට ආණ්ඩුව වැය කරමින් සිටින බවය. ඉතින් තවත් කවර කතාද?

මේ මොහොත් වන විට මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ වසර පහකට වඩා දඬුවම් විඳිමින් සිටින සියලුම සිරකරුවන් තුළින් අද ලෝකයට කියැවෙමින් තිබෙන්නේ රටක් වශයෙන් අපේ තිබෙන එකී අමානුෂික වූ මරිමෝඩකමේ තරමය.

එදා එල්ටීටීඊයට එරෙහිව ක්‍රියාත්මක කෙරුණු විජයග්‍රාහී මානුෂීය සටන අවසානයේ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් දහස් ගණනක් ජීවග්‍රයෙන් අල්ලා ගැනීමට අපේ හමුදාවෝ සමත් වූහ. ඒ අතරේ බිහිසුණු පුහුණුවීම් ලැබ සිටි මරාගෙන මැරෙන ත්‍රස්තවාදීහු ද සිටියහ.

එහෙත් යුද්ධය නිමවී දෙවසරක් පමණ ගෙවී යද්දී එකී සියලු ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කර යළි සමාජගත කරන්නට රටක් වශයෙන් අපි කටයුතු කළෙමු.

එහෙව් රටේ බන්ධනාගාර තුළ වසර විස්කටත් වඩා දඬුවම් විඳි වයෝවෘද්ධව හැරමියෙන් යන සිරකරුවෝ සිය ගණනක් සිටින්නාහ. එසේම දසවසරකට වඩා දඬුවම් විඳින සිරකරුවෝ දහස් ගණනක් සිටිති. වසර පහකට වඩා කාලයක් දඬුවම් විඳිමින් සිටින ප්‍රමාණය අති විශාලය.

දෙවසරකින් රුදුරු ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කළ රටේ බන්ධනාගාර පිළිබඳ කතාව ඇත්තේ එවැනි ශෝචනීය තැනකය. අමාත්‍යාංශයට කියන්නේ බන්ධනාගාර සහ පුනරුත්ථාපන කියා නම් මේ මිනිස්සු මේ අන්දමට සිරගතව සිටින්නේ කුමක් නිසාද? ඇත්තෙන්ම මේ තත්ත්වය හමුවේ රටක් වශයෙන් අප ලැජ්ජා විය යුතුය. අද 26000 ක පමණ රැඳවියන් පිරිසක් සමඟ සමස්ත බන්ධනාගාර පද්ධතියම නන්නත්තාර වී තිබෙන්නේ මේ නිසා නොවේද? මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් මෙරට බන්ධනාගාර තුළ නිර්මාණය වූයේ ඇයි. ඒ කතාව හරි අපූරු එකකි.

ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ වසර හැට පසුවූ සියලුම රාජ්‍ය සේවකයන් අනිවාර්යයෙන් විශ්‍රාම යා යුතුයි යනුවෙන් පසුගිය දිනවල රජය සඳහන් කළේය. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද ඇතිව පෙර පැවති නියමයක් සංශෝධනය කිරීමට පවා ආණ්ඩුව කටයුතු කරනු ලැබීය.

එහෙත් එවන් පසුබිමක තුළ අද බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යංශයේ සිරකරුවන් අරබයා වන පොදු සමා වගකීම බාර දී තිබෙන්නේ විශ්‍රාම වයස පසුකළ හිටපු බන්ධනාගාර ලොක්කෙකුටය. ඇතැමුන් කියා සිටින්නේ ඔහු විසින් කලකට පෙර නිකුත් කරනු ලැබූ එක්තරා චක්‍රලේඛයක් බන්ධනාගාර වත්මන් අර්බුදයට එක් ප්‍රබල හේතුවක් වී තිබෙන බවකි .

සියලු බන්ධනාගාර අධිකාරීන්ට නිකුත් කර ඇති අදාළ චක්‍රලේඛයට අනුව ඔහු විසින් වැරදි තිහක් නම් කර ඇත. එකී වැරදි හේතුවෙන් බන්ධනාගාරගත වන කිසිවකුටත් කිසිම අවස්ථාවක ජනාධිපතිවරයා හෝ රජය මගින් ලබා දෙන පොදු සමාවන් නොලැබෙන්නේය.

එම වැරදි වී තිබෙන්නේ මොනවාද? නීති විරෝධී රැස්වීම, මංකොල්ල කෑම, ගෙවල් බිඳීම, රාජද්‍රෝහී ක්‍රියා, පැහැරගෙන යෑම, බලහත්කාරයෙන් වැඩ ගැනීම, ණය බැඳුම්කර හෝ දාස භාවයට පත් කිරීම, වහල්කමට යෙදවීම හෝ යුද්ධය සඳහා ළමුන් බඳවා ගැනීම, කුට්ටනය, තැනැත්තන් වෙළෙඳාම, ව්‍යභිචාරය, අස්වාභාවික ලිංගික වැරදි, පුද්ගලයන් අතර අශිෂ්ට හැසිරීම, අල්ලස් පනත යටතේ වැරදිකරුවන් වූවන්, බරපතළ ලිංගක අයථා ක්‍රියා, ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම, ළමයි පොළඹවා ගැනීමට ඇවිටිලි කිරීම, දූෂණය කිරීම, පීඩාකාරී ආයුධ පනතට අදාළ වැරදි, ගිනි අවි ආඥා පනත යටතේ වන වැරදි, ත්‍රස්තවාදී මර්දන පනතේ වැරදි, ගුවන් යානා එරෙහි පනතේ වැරදි, විස අබිං හා අන්රායකර ඖෂධ පනත යටතේ වන වැරදි, හදිසි නීතිය යටතේ වන වැරදි, ආදායම් බදු නඩුවල මුදල් ගෙවීම පැහැර හරින්නන්, රේගු ආඥා පනතේ වැරදි, නීති විරෝධී මුදල් රඳවා ගැනීමේ පනතට අදාළ වැරදි, මූල්‍ය ගනුදෙනු වාර්තාකරණය යටතේ වන වැරදි, සත්‍ය වසන් කර ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ අසභ්‍ය ප්‍රකාශන ළමුන්ට ප්‍රදර්ශනය යන වැරදිය. මෙකී චක්‍රලේඛය අනුව මේ වන විට බන්ධනාගාරගත සිරකරුවන් අතරින් අතිබහුතරයකට පොදු සමාවන් අහිමි වී ඇත. කිසිදු අවස්ථාවක ඔවුන්ට ජනාධිපතිවරයා හෝ රජය ලබා දෙන පොදු සමාවකට අයිතිවාසිකම් කීමේ අවස්ථාවක් නැත.

එහෙත් මෙකී චක්‍රලේඛය තුළ ඇති සියල්ලම කිසිදු සමාවක් දිය යුතු නැති සදාකලිකවම දඬුවමකට යටත් කළ යුතු වැරදිද?

නැත. අපේ වැටහීම වන්නේ වරදක් කරන ඕනෑම අයකුට නිවැරදි වීමට අවස්ථාවක් ලබාදිය යුතුයි යන්නය. කිසිවකුත් සදාකාලිකව දඬුවමකට යටත් කළ යුතු නැත. අද බන්ධනාගාර තුළ සිරකරු ඔළුගෙඩි ගණන දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇත්තේ මෙවැනි තීන්දු තීරණ නිසාය. නිලධාරීන් මෙසේ තීරණ ගනිද්දී සිරකරුවා දීර්ඝ කාලීනව නඩත්තු කිරීමට සිදුවීමෙන් රජය වැය කරනු ලබන්නේ රටේ සමස්ත ජනතාවගේ යහපත වෙනුවෙන් වැය කළ යුතු මුදල්ය. මෙහිදී සිරකරුවාට ඇඳුම් පැළඳුම්වල සිට සියල්ල ලබා දීමට ආණ්ඩුව පියවර ගතයුතුව ඇත. බන්ධනාගාරගත සිරකරුවන් වෙනුවෙන් කෝටි පන්සියයක පමණ මුදලක් වාර්ෂිකව වැය කරන්නට ආණ්ඩුවට සිදුව ඇත්තේ මේ නිසාය.

එහෙත් මෙය දිගින් දිගටම සිදුවිය යුතු බුද්ධිමත් වැඩපිළිවෙළක්ද? නැත. අද මෙරට බන්ධනාගාරවල වසර පහකට වඩා කාලයක් රඳවා සිටින සියලුම සිරකරුවන් අත්හිටු වූ සිරදඬුවමකට යටත් කරමින් හෝ නිදහස් කර යැවීමට හොඳටෝම අවස්ථාව ඇත.

එය කළ හැකි කටයුත්තකි. එහිදී වෙනත් ඕනෑම කොන්දේසියකට යටත් කිරීමේ හැකියාවද රජයට ඇත. එසේ කළහොත් අද පිය සෙනෙහස අහිමිව සමාජයේ දුක් විඳින දරුවන් රැසකගේ ඇස්වල ඇති කඳුළු වියළී යන පුණ්‍යකර්මයක් බවටද එය පත්වනු ඇත. එනිසා එළැඹෙන නත්තලේදී අවම තරමින් මෙරට බන්ධනාගාර තුළ දීර්ඝ කාලීනව සිර දඬුවම් විඳිමින් ජීවිතය විඳවන සිරකරුවන් දෙහසකටවත් පොදු සමාවක් ලබාදී දැඩි කොන්දේසි මත නිදහස් කර යැවීමට ආණ්ඩුව සූදානම්ද?

එසේ කළහොත් එය කඩා වැටී ඇති රටේ ආර්ථිකයට හුස්ම ගෙන දෙන කාර්යයක් බවද වගකීමෙන් සඳහන් කළ යුතුව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment