කලතා ගෙනා රස ගඟුලක කතාව… මිල්ටන් මල්ලවාරච්චි

472

ගීත රසවින්දනය කිරීමෙහි මගේ ඇරඹුම කොතැනදැයි මට හරියටම මතක නැත. එහි සත්‍ය ඇරඹුම මෑණියන්ගේ කුසට මා ආ සමයේ සිටම විය යුතුමය. එහෙත් යන්තමින් දැනුම් තේරුම් ඇති කර ගනිමින් ගීතයක් අසන්නට පෙළඹුණු සමය විය යුත්තේ 70 ගණන්වල මැදය. ප්‍රධාන වශයෙන් රේඩියොවෙනි. නමුත් පිංකම් පොළවල්වලදී, ගමේ පන්සලේ සල්පිල් උත්සවවලදී, මංගල උත්සවවලදී, ටීටර් රූකඩ චිත්‍රපටපොළවලදී ආදී තැන්වලදී තැටි වාදනයෙන් ප්‍රචාරය වුණු ගීතද අසා තිබුණි. ඒ හැර ස්පූල් ටේප් වාදන යන්ත්‍රයක් භාවිතයෙන් මංගල උත්සවයකදී එක දිගට ගීත ගොන්නක් වාදනය කරනු පළමු වරට දැක ගත්තේද මේ ආසන්න කාලයකදී මහත් වූ ආස්වාදයෙන් යුක්තවය.

පසුව කැසට් යුගයද ඇරඹුණි. මතකයේ ඇති පරිදි ටිකෙන් ටික එකතු වූ අපේ ගෙදර මුල්ම කැසට් පට ගොන්න තුළ වැඩි ඉඩක් වෙන්වූයේ අමරදේවයන් ගේ, නන්දා මාලිනියගේ, කපුගේගේ, වික්ටර්ගේ, සනත්ගේ කැසට් පට වලටය. වෙනත් ආරක කැසට් පටයක් දෙක තුනක් තිබුණේ නම් ඒ නිහාල් නෙල්සන්ගේ, සුජාතා + බෙග් හෝ ලතා + බෙග් සුසංයෝගයන්ට අයිති ගීත සහිත ඒවාය. අන් නාමයක් දැරූ කැසට් පටයක් තිබූ බවට මතකයේ නැත. කාලයකට පසුව විවිධ අයගේ කැසට් පට ඒ එකතුවට ගොනුවන තෙක්, අප ඇසුවේ අර කී කැසට් පට කිහිපයයි.

එහෙත් විවිධ රස වෑහුනු රේඩියෝ ගීත අනන්ත සංඛ්‍යාවක් අසන්නට ලැබුණි. ඒ අතරේ මට හොඳටම මතක ගීතයක් වූයේ මේ මැයි ගහ යට දවසක් දා වැස්සට අපි උන්නා ගීතයයි. එය ගැයූවේ මිල්ටන් මල්ලවාරච්චි නම් ගායකයෙකි.

අපගේ සිතේ මවා තිබූ විවිධ ප්‍රතිරූප සහිත ගායක ගායිකාවන්ගේ නම් අතරේ ඔහුගේ නම නොවුණි. එහෙත් ක්‍රමයෙන් ඔහුගේ ගීත අපගේ සිත් පැහැර ගන්නා බව දැනී ගිය කරුණකි.

මිල්ටන් උපත ලැබුයේ කෝට්ටේ ප්‍රදේශයේය. ඒ 1944 වසරේ අප්‍රේල් 10 වැනි දිනදීය. 1998 මාර්තු මස 10 වන දින සිය දිවියෙන් සමුගන්නා තෙක් විශේෂයෙන් එකල තරුණ රසිකයින්ද වැඩිහිටි රසිකයින්ගෙන් සෑහෙන ප්‍රමාණයක්ද සිය මධුර කටහඬින් වශී කර ගන්නට මිල්ටන් මල්ලවාරච්චිද ඔහුගේ ගීත එකතුවද සමත් විය. සමහර විට ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලගෙන් පසු ඊළඟට සිංහල ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියම චරිතය මිල්ටන් මල්ලවාරච්චි විය හැකිය. එම ජනප්‍රියත්වය එදාට මතු නොව අදටද මහත් ඉහළ තලයක පවතී.

සිංහල ගීත කලාව ගැන කතා කරද්දී ගායක ගායිකාවන් විවිධ අයුරින් පෙළ ගැස්විය හැකි වුවත්, සිංහල ගීත කර්මාන්තය ගැන කතා කරද්දී මිල්ටන් එහි මුල් පෙළේ සාමාජිකයෙකු පමණක් නොව ප්‍රබලම සාමාජිකයෙකුද විය. ඔහු මුළින්ම ගයන්නේ හින්දි ගීතයන්ය. සිංහල ගීතයට එළඹෙන්නේ ඉන් ලබන පිළිගැනීමත් සමගය. ඔහු ගායනයට සේම වාදනයටද සමතෙකු විය. ගිටාරය ප්‍රමුඛව ඇසුරු කළද ඔහු හොඳ ඩොලැක්කි වාදකයෙකු විය. තබ්ලාවද ඔහු දෑතට ආගන්තුක භාණ්ඩයක් නොවුණි.

දිගු ආයුෂ නොතිබූ වාදක කණ්ඩායම් කිහිපයකම සාමාජිකයෙකු වූ ඔහුගේ පළමු ගීත තැටිය නිපදවෙන්නේ 1969 දීය. ඒ පැට්‍රික් කොරයා මහතාගේ අනුග්‍රහය ඇතිවය. එහි ඇතුළත් වූ ගීත 4න් තුනක් ඔබ විසින් “පට්ට ගස ගසා” ඇසූ ඒවා බව මා එම ගීතවල නම් සඳහන් කළ වහාම ඔබ පිළිගනු ඇත.

ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ තොටියෙකි මා මේ සීතල වතුරේ, සංසාර සෙවනැල්ල ලෙස ආ පතාලා – ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා, මංගලේ නෙත් මංගලේ සහ රන් කූඩුව ඔබ සෑදූ කඩා දා ගියාදෝ ඒ ගීත හතරයි.

ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ ගීතයට හිමි වන මහත් වූ ජනප්‍රසාදයත් සමගම මිල්ටන් රසික සමාජය තුළ අතිශය ජනප්‍රිය ගායකයෙකු ලෙස සිය අභිමානවත් ගමන අරඹනවා.

මල්ලවාරච්චි හඬ සංකේතයක් බවට පත්වීම සිදුවන්නේ එතැන් සිටයි. අනතුරුව එළඹෙන්නේ රචනාව පැත්තෙන්, තනුව පැත්තෙන්, සංගීත සංයෝජනය පැත්තෙන් සහ ගායන විලාසය පැත්තෙන් “මිල්ටන් ස්ටයිල්” එකක් සෑදෙන කාලවකවානුවයි.

කලතා ගෙනා රස ගඟුලක කතාව… මිල්ටන් මල්ලවාරච්චි

ඒ ආරේ ඔහුගේ බොහෝ ගීත රසික මුවග නිබඳ මුමුණන ගීත වූවා පමණක් නොව මිල්ටන් මල්ලවාරච්චි නාමය රසිකයන් අතරේ උමතුවක් බවට ද පත් වෙනවා.

ඔහුගේ ගීත, තැටි මාධ්‍යය ඔස්සේ රසිකයන් අතරේ මොන තරම් ජනප්‍රිය ගායකයෙකු වුවත්, එකල ගුවන් විදුලියේ ගීත ප්‍රචාරය කිරීමේ නිර්ණායක අනුව ඔහු එහි අනුමත ගායකයෙකු විය යුතුව තිබුණි. එහෙත් මේ වන විට ඔහු ගුවන් විදුලියේ අනුමත ගායකයෙකුව සිටියේ නැත. මේ නිසා ඔහුට ගුවන් විදුලියේ ගායකයන් ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණ වලට මුහුණ දීමට සිදු විය. ප්‍රේමකීර්ති ද අල්විස්, ආරියදාස පීරිස් වැන්නවුන් මේ කටයුත්තේදී ඔහුව උනන්දු කිරීමට මැදිහත් වෙනවා. 1970 දී ඔහු ගුවන් විදුලියේ A ශ්‍රේණියේ ගායකයෙකු වන්නේ එලෙසිනුයි.

සයුරු තෙරේදී අවන් හලේදී, මා නිසා ඔබ නොපිරූ පෙරුම්, ඉවුරු තලා ගංගා බැස යනවා, මා හා එදා ප්‍රිය සාදයේ වැනි ගීත අතිශය ජනප්‍රිය තලයට පත්වීමත් සමගම ඔහු සිංහල ප්‍රසංග වේදිකාවේ කාර්ය බහුලම ගායකයෙකු බවට පත් වෙනවා.

ඔහුගේ ගීත සංගීතවත් කිරීමේදී පැට්‍රික් දෙනිපිටිය සංගීතවේදියාගෙන් ලැබුණු දායකත්වය අති මහත්. දෙනිපිටිය සංගීතඥයා එකල හිටියේ එවන් ගීත නිර්මාණයෙහි හිනි පෙත්තේ.

බොහෝ විට ගීතවල සංගීතයට ඔහුගේ වාද්‍ය භාණ්ඩ මුසුව එක් කළේ නව්‍යත්වයකි. මේ නිසා මිල්ටන්ගේ ගීතවල රසික පරාසය වඩාත් පුළුල් වෙන්නට එය හේතුවක් විය. විශේෂයෙන් තරුණ පරපුරේ සිත් සතන් සැණෙන් පැහැර ගැනීමට එය මහත් අත්වැලක් විය. පට්‍රික් දෙනිපිටිය නාමය මෙහි සඳහන් කළද, ක්ලැරන්ස්, වික්ටර්, සරත් දසනායක, උපාලි කන්නංගර, මොහොමඩ් සාලි, එම්. කේ. රොක්සාමි, නිමල් මෙන්ඩිස්, සරත් ද අල්විස්, සෝමපාල රත්නායක සංගීතඥයන් මතු නොව ආචාර්ය කේමදාසයන් පවා නිර්මාණය කළ ගී ගැයීමට ඔහු භාග්‍යමත් විය.

එකල මිල්ටන්ට ගී ලියූ කුලකයද අතිශය සුවිශේෂය. ඔවුන් එක පෙළට මිල්ටන්ට ලබා දුන්නේ ඔහුගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කිරීමට සමත් වූ පද රචනාවන්ය. එසේ නොමැති නම් කිසියම් සංගීතඥයෙකු විසින් පෙර නිර්මාණය කළ තනුවකට ඔවුන් මනා අවබෝධයෙන් යෙදූ වචන මාලාය. කරුණාරත්න අබේසේකර, කේ. ඩී. කේ. ධර්මවර්ධන, උපාලි ධනවලවිතාන, ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග, චිත්‍රානන්ද අබේසේකර, ක්ලැරන්ස් විජේවර්ධන වැන්නවුන් එම කාර්යයෙහි ප්‍රමුඛ වුණු නාමයන් කිහිපයක් පමණි.

කලතා ගෙනා රස ගඟුලක කතාව… මිල්ටන් මල්ලවාරච්චි

මිල්ටන් ගී තැටියෙන් ගුවන් විදුලියද, ගුවන් විදුලියෙන් වේදිකාවද ආක්‍රමණය කිරීමෙන් සිය ආක්‍රමණශීලීත්වය නැවැත්වූයේ නැත. ඔහු ආක්‍රමණය කරන්නට යෙදුනු තවත් ක්ෂේත්‍රයක් වූයේ රිදී තිරයයි. මේ බොහෝ දේවල් සිදුවන්නේ වසර දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළදීය. එනම් 1969 1970 යන දෙවසර තුළදීය. අනතුරුව එය අඛණ්ඩ පුරුද්දක් විය.

ඔහු සිය පළමු සිනමා ගීතය ගයන්නට තෝරා ගනු ලබන්නේ 1969 දීය. ඒ සතිශ්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මාතර ආච්චි චිත්‍රපටයටය. සිරි කුලරත්නයන් විසින් පද ගෙත්තම් කළ එහි සංගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ වීම මොන තරම් ද ආශ්චර්යයක්ද? 1970දී ඔහුට එම ගීතය ගයන්නට වාසනාව හිමිවිය.

රන් දේදුනු රන් පාටින්
වෙළුනු රන් වලා
රන්වන් රන් පැහැය මුදා
නිලඹරේ බලා – අමර වලා
සිහිල පවන අතිනත ගෙන දෑත මුදාලා
ඉගිලී යනවා – ඉගිලී යනවා

ගීතය අපට අසන්නට ලැබෙන්නේ එදින සිටය. අනතුරුවය විවිධ සංගීතඥයන් සමග අතිශය සොඳුරු ගී රැසක් විවිධ සිනමා පටයන් රැසක් සඳහා ගායනා කිරීමට ඔහුට අවස්ථාව ලැබෙන්නේය. රිදී තිරය වෙනුවෙන් ආචාර්ය කේමදාසයන් යටතේ පවා ගී ගයන්නට ඔහු භාග්‍යමත් වෙයි.

මට ඇරියුම් ලැබුණේ මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියා අප අතරින් වියෝවීම ස්මරණය කරන අවස්ථාවේදී ඒ වෙනුවෙන් සුදුසු සටහනක් ලියන්නටය. එහෙත් ඔහු ගැයූ ගී මෙනෙහි කරන විට සහ ඒවා තවමත් අප සිත් තුළ තැන්පත්ව ඇති අයුරු සිහිපත් වන විට මිල්ටන් මිය ගියාය යන්න විශ්වාස කළ නොහැකි එකක් වැනි ය.

කලතා ගෙනා රස ගඟුලක කතාව… මිල්ටන් මල්ලවාරච්චි

ඔහු වෙනුවෙන් මට ලියන්නට තිබූ හොඳම උපහාර ලිපිය ලියුවා නම් එහි අන්තර්ගත වනුයේ ඔහු ගැයූ අමරණීය ගීත සියල්ලේ නාමාවලියයි. එය වුව මේ සම්පූර්ණ ඉඩ තුළ ලිව්වත් ලියා නිම කළ නොහැකි තරමේ දිගු එකකි. ලැබෙන ඉඩ තුළ ලියන්නට හැකි ප්‍රමාණය ලිව්වත් එය මේ මම ලියන වචන වලට වඩා මිහිරක් ගෙන දෙන බව මට විශ්වාසය. එහෙත් එවැනි ලිපි තුළ කරුණු අන්තර්ගත වන සාම්ප්‍රදායික ආකාරයක් ඇත.

මා එය රකින්නට උත්සාහ කළ නිසාය මේ අවශේෂ කරුණු ගැන ලියා ඇත්තේ. සමහර විට මේ මැයි ගහ යට දවසක් දා ගීතය ඔහුගේ ජනප්‍රියම ගීතය විය හැකිය.

එදා රෑ ගුවන් තොටුපොළේදී ගීතය එතකොට ඒ සමග තැබිය යුතු කොතැනද? මිල්ටන් මල්වාරච්චි ඊළඟට ආක්‍රමණය කරන්නේ මම පෙර සටහන ආරම්භයේදී ම ලියා ඇති කැසට් ක්ෂේත්‍රයයි. තරංගා ලේබලයෙන් නිකුත් වූ සඳෙන් එහා කැසට් පටය තරංගා ලේබලයෙන් ආ පළමු කැසට් පටය පමණක් නොව මතක හැටියට පළමු සිංහල ගීත කැසට් පටයද වෙයි. ඒ වසර 1978 යි. දේශීය ප්‍රසංග වේදිකාව කොයි තරම් ප්‍රබලව ආක්‍රමණය කළත් ඔහුට විදෙස් ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කළ නොහැකි විය. ඒ ඔහුට එම අවස්ථාව නොලැබුණු නිසා නොවේ. ලැබුණු අනේක අවස්ථාවන් ප්‍රතික්ෂේප කළ බැවිනි. ඔහු ගුවනින් ගමන් කිරීමට බිය වී යැයි මා අසා ඇති කරුණකි.

ඔහු කැසට් පට 85කට පමණ ගී ගයා ඇති බවට තොරතුරු වෙයි. ඒ අනුව දළ වශයෙන් කැසට් වල අඩංගු ගීත සංඛ්‍යාව 850ට අධිකය. ඔහු ගැයූ සම්පූර්ණ ගීත සංඛ්‍යාව කොපමණදැයි මා හරියටම දන්නේ නැති වුවත්, එය දහස ඉක්මවන්නට ඇත. නමුත් වැදගත් දේ එය නොවේ. ඒ අතුරින් විශාල ප්‍රමාණයක් අතිශයින් ජනප්‍රිය තලයේ ඒවා වන්නට වරම් ලැබීමය. තැටිගත කළ ගී වේවා, ගුවන් විදුලි ගී වේවා, කැසට් ගී වේවා, චිත්‍රපට ගී වේවා ඔහුගේ මේ ගී අති බහුතරයකට ජනප්‍රියත්වයේ ඇල්ම බැල්මෙන් සැඟව සිටින්නට නොහැකි විය.

එබැවින් ලියා නිම කළ නොහැකි තරමේ දිග අතිශය රසවත් ගීත ලැයිස්තුවක් ඔහුගේ නාමය ඉදිරියෙන් පවතින්නේ. ඔහුගේ ආක්‍රමණයට ගොදුරු නොවී සිටීමට රූපවාහිනියටද නොහැකි විය. ප්‍රධානව ස්වාධීන හා ජාතික රූපවාහිනිය ඔහුගේ ආක්‍රමණයෙන් හැඩ විය.

සාමාන්‍යයෙන් ආක්‍රමණයක් තැනකට කැඳවන්නේ බිය සැකය සංඛාවය. එහෙත් මිල්ටන් මල්ලවාරච්චිගේ මේ සියලු ආක්‍රමණයන් රැගෙන ආවේ මිහිර ම ය.

මා නෙත් කැදැල්ලේ, ආවා ආදරෙන් රන් කැළුම් දිදී, කවුරුද පාවී පාවී, ඔබට මතක නෑ මට අමතක නෑ, වීදි කොනේ මාවත අද්දර, ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි, සිනහව අතරින් කඳුලක් උපන්නා, මට මෙන් ඔහුටද කඳුළ ඔබයි, සමාවන්න මට සමාවන්න මට, ඔබ දැන් කීවත් කඳුළු සලා, කෙසේ කියන්නද ඔබ මා අතහැර, රන් මසු නෑ කියා, අද හෙට ඔබ මා අතහැර යන බව, හඬන්නෙපා දැන් ළඟින් සිටින්නම්, සඳෙන් එහා කඳු, සමනල රෑනක් සේ ( වික්ටර් රත්නායක, සී. ඩී. ෆොන්සේකා සමග), මුව මදහාසේ සීපද රාවේ, විකසිත් පැතුමන්, මී අඹ අත්තේ කොහෝ කොහෝ, කීන දම් මිටක්, කඳු පාර ඈත අයිනේ, කෙසේ කියන්නද, මධු මල ලෙස මුදු, නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි, හඬන්නෙපා දැන් ළඟින් සිටින්නම්, ඉවුරු තලා ගංගා බැස යනවා, ඔබෙ නිල් නුවන් තලාවේ, පායා ආ සඳ, පියාපත් සලා, ගමනේ ගිම් නිවූ එදා, සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්, දිනෙක රන් සළු පළඳා සඳ නැගි, ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා ඈ ගීත මතක්වෙන පමණින් ලියූ ඔහුගේ ජනප්‍රියම ගී ලැයිස්තුවක් පමණකි. එහෙත් මදක් කල්ගෙන කල්පනාකොට ලියන්නට ගියහොත් මේ ලද ඉඩ මෙන් දෙතුන් ගුණයක ඉඩක් ඒ සඳහා පමණක් අවැසි වනු ඇත. එතරම් ඉඩක් නැතියෙන්, ඔහුට උපහාරයක් වනු පිණිස මේ ලද ඉඩේ ලියූ දේ සෑහේ යැයි සිතමි. ඔබ පැතූ ලොවක ඔබ රසම බෙදමින් සිටිතැයි මා නිතර සිතනා දෙයකි.

● වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment