කලබලවලින් පෞද්ගලික බස් 50 ක් විනාශයි – ගැමුණු කියයි

118

රට තුළ පසුගිය 09 වැනිදා ඇතිවූ කළහකාරි සිද්ධීන් හමුවේ මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ 50 කට පහරදී ගිනි තබා විනාශ කිරීමෙන් රුපියල් කෝටි 40 කට අධික අලාභයක් සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (14 වැනිදා) පැවසීය.

මෙම තත්ත්වය තුළ එම බස් රථ හිමිකරුවන්, ඔවුන්ගේ දරුවන්, බස් රථ සේවකයන් හා ඔවුන්ගේ පවුල් අන්ත අසරණ වී ඇතැයිද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ගැමුණු විජේරත්න මහතා මෙසේද කියා සිටියේය.

එදා මේ බස් රථ ලබාදුන්නේ දේශපාලන වැඩවලට නොවෙයි. බස් රථ සියල්ල ලබා දුන්නේ කුලියටයි. අප බස් රථ මළ ගෙවල්, මඟුල් ගෙවල්, විනෝද චාරිකා, වන්දනා චාරිකා සඳහා කුලියට ලබා දෙනවා. 09 වැනිදා සිද්ධිවලදී අපේ සාමාජිකයන්ගේ පෞද්ගලික බස් රථ 50 කට හානිවෙලා තියෙනවා.

අපිට දේශපාලනය වැඩක් නැහැ. කෙනෙක් කුලියට බස් රථ ඉල්ලුවාම අපි බස් රථ ලබා දෙනවා. පෞද්ගලික බස් රථවලට පහර දුන් අය තාම අත්අඩංගුවට අරන් නැහැ. ඒ අයට වහා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

පහර දුන් අය වීඩියෝවල, ෆේස් බුක්වල රූපවාහිනි දර්ශනවල පැහැදිලිව ඉන්නවා. මේ බස් රථ ඔක්කොම ආවේ කුලී පදනම මතයි. මේක අපේ ව්‍යාපාරය. කොහොම වුණත් ඉදිරියේදී කිසිදු දේශපාලන පක්ෂයකට බස් රථ දෙන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment