කලාකරුවෝ දෙවැනි වන්නේ දෙවිවරුන්ට පමණයි : සිරිමැදිරියක සිට විජය ලියූ අදහස්

178

දිවංගත විජය කුමාරතුංගයන්ගේ 34 වැනි ගුණ සමරුව වෙනුවෙනි

මෙයට වසර 34කට පෙර එනම් 1988 පෙබරවාරි මස දහසය වැනි දිනය මහා ශිව රාත‍්‍රී දිනය යි. රටක් ආදරය කළ විජය කුමාරතුංගයන් අපහට අහිමි කළ දිනය යි.

මගේ ආගම මනුස්සකම යැයි නිතර ප‍්‍රකාශ කළ ඔහුව ඝාතනය කරනු ලැබුවේ ද මනුස්සකම නො හඳුනනා නො මිනිසුන් විසිනි. ඔහු කිහිපවරක් බන්ධනාගාර ගත වූයේ මිනිසුන් වෙනුවෙන් හඬනැඟීම නිසා ය. එවන් එක් අවස්ථාවක්වන 1982 වර්ෂයේ දී සිර මැදිරියක සිට ඔහු කළ සංවේදී අදහස් ඔහුගේ ඝාතනයෙන් වසර 34කට පසුව මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.

‘‘හමුදා සිරකඳවුරක් තුළ බිත්ති හතරක් අතරට වෙලා කාක්කෙක්, කුරුල්ලෙක් කෑ නොගසන ? මැදියම් වේලාවකයි මේ ලියන්නේ

දොර ඉස්සරහ මැෂින් තුවක්කු ගත්තු සොල්දාදුවෝ දෙන්නෙක්, ජනේලය අසල මැෂින් තුවක්කු අතේ ඇති තවත් සොල්දාදුවෝ දෙදෙනෙක් වරින් වර ඒ අය එහා මෙහා ඇවිදින කොට යකඩ සපත්තුවල සද්දෙ මට හොඳට ඇහෙනවා. දවල්ට මම ඒ අය දිහා බලාගෙන ඉන්නවා. වෙන කරන්න දෙයක් නැති නිසා. සමහර සොල්දාදුවො මා එක්ක හිනා වෙන්නත් බයයි. ඒ නපුරුකමට නොවෙයි. රක්‍ෂාව නැති වෙයි කියලා බයේ බව මම දන්නවා. තවත් දුප්පත් මිනිස්සු කොට්ඨාසයක් තමන්ගේ ශ‍්‍රමය, වේලාව පූජා කරනවා. ඒ කාකි සූට් එකට පිත්තල බොත්තම්වලට මැෂින් තුවක්කුවලට වැහිලා. දුක් කරදර අමාරුකම්, වේදනාවලින් වට වෙලා කකියන රතු ලේ පිරිච්ච හදවත් මට විනිවිද පෙනෙනවා.

අන්න ඒ වගේ නිර්දන පන්තියේ මවුපිය සහෝදර සහෝදරියන් 26 ලක්‍ෂයක් වෙනුවෙනුයි අද මම බිත්ති හතරකට හිර වෙලා ඉන්නෙ.

කිහිප වතාවක්ම මාව පොලිසියෙන් අල්ලා ගෙනැවිත් හිරගෙවල්වල දමල තියෙනවා. කිහිපවතාවක්ම මම හිරගෙවල් කඩාගෙන පැනලා තියෙනවා. ඒ සිනමාවේ නමුත් අද මම මේ හිරගෙදරින් පැනල යන්න කිසිම උත්සාහයක් නැතිව ඉන්නේ හදපිරි සතුටින්. මම තනියම මේ හිර කාමරයේ උන්නත් මේ රටේ මිනිස්සු වැඩිදෙනෙක් ඉන්නේ පවුල් පිටින්ම හිරගෙවල්වල. මානව අයිතීන් නැතිව, නිදහසේ අදහස් ප‍්‍රකාශ කරන්න නිදහසක් නැතිව, කරන රැකියාවේ අයිතීන්, වරප‍්‍රසාද නැතිව ලක්‍ෂ ගණනක් පරම්පරා ගණනක් තිස්සේ මානසික සිරගෙවල්වල ලගිද්දී මම තනියම මෙතැන ඉන්න එක එතරම් දෙයක් නොවෙයි.

අද සතුටින් ඉන්නවා කියා සිතන කලාකරුවන් ගැන මට ඇති වන්නේ අනුකම්පාවක්. මේ ලෝකයේ හැම කලාකරුවෙක්ම පාහේ බිහිවෙලා තියෙන්නේ නිර්දන පන්තියෙන්. ඒ නිර්දන පන්තියේ සිතුම් පැතුම් වේදනාව තුළින් සහජ දක්‍ෂකම් වැඩිදියුණු කර ගත්ත ඒ කලාකරුවො සල්ලිවලට ජනප‍්‍රියත්වයට, කෑදරකම නිසා ඒ අයගෙ ආත්මය පාවා දෙනවා දකිනකොට මට ඇති වන්නේ අනුකම්පා සහගත වේදනාවක්.

කලාකරුවො දෙවැනි වන්නේ දෙවිවරුන්ට පමණයි කියලයි මම හිතන්නේ. අපේ ඒ දේවත්වයෙන් පුදන කලාකරුවො රුපියල් ශතවලට වහල් විය යුතු නැහැ. අපි ඔය ලබාගන්න පොරකන රුපියල් ශතවලින් අපි ගන්නේ මොනවාද? ගෙවල්, කාර්, ඇඳුම්, තව තවත් විසිතුරු අරුමෝසම් බඩු දැන් අපි බොහොමයක් කලාකරුවන්ගෙ තියෙන්නෙ කලාව සඳහා කරන සටනක් නොවෙයි. අර බාහිර පුහු ආටෝපය රැක ගැනීමේ මහා සටහක්. ඒ සටනට පංගුකාරයෙක් වෙන්න මට බැහැ. මට වෙලාවකුත් නැහැ. නමුත් ඒ වගේ අය ගැන තරහක් වෛරයක් ඇත්තෙම නැහැ.

තුන්වේල කන්න නැති, විලිවසා ගන්න වස්ත‍්‍රයක් නැති, ඉහට වහලක් නැති, හෙටක් කියලා බලාපොරොත්තුවක් නැති ලක්‍ෂ ගණනක් දුගී මගී යාචකයන් වෙනුවෙන් මගේ මුළු ජීවිතයම මා කැපකර හමාරයි. මා යන මේ ගමනේ මට හමුවන දුර්ග, කඳු බෑවුම්, හෙළපල්ලම්, ක්ෂේම භූමි හැම මා පසු කරන්නේ මහා ආත්ම තෘප්තියකින්. මට එරෙහි වන හැම අකුල් හෙළීමක්ම මේ ගමන තවත් වේගයෙන් ගමන් කිරීමට මට දැඩි ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. මගේ සටන මා මෙන්ම ඉතාම පහතින් ජීවිතය ඇරඹූ තවත් අසරණ කලාකරුවන් හැම දෙනාම වෙනුවෙනුයි.

පොල් අතු පැලෙන් මා ඇරඹූ මේ ජීවිතය බොහෝ දුර ගමනක් ගෙවා අද සිරගෙදරටත්, හෙට මෙතැනින් එල්ලුම් ගහට ගියත් ඒ මරණ මංචකයේ සිට මා පෙරුම් පුරන්නේ ඒ හිස කඳෙන් වෙන් වෙන මොහොතේ සිට ම නැවත සැරයක් මේ පන්ති අරගලය සඳහා ඉපදෙන හැම ආත්මයක් ගාණේ නිර්දන පන්තියේ කලාකරුවකුගේම පැතුම එය නූනත් මගේ පරම පැතුම එයයි.

කොහේදෝ ඈත ගුවන් විදුලියකින් මගේ කනට හදවතට ඉතාම පුරුදු කට හඬකින් මට ඇසෙන්නේ ‘‘පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැඟිටින්නේ’’ ඒ වචන ටික මොනතරම් ඇත්ත ද? ඒ ගැන මට දින ගණනක් හිතන්න පුළුවන් ද? අද රජ කරන අය හෙට මහ පාරට වැටෙනවා රෑ මහ පාරේ හිඟන අය එතකොට…..

විජය කුමාරතුංගයන් පිළිබඳ ලිපි ලේඛන තුළිනි (1991.10.09 සරසි පුවත්පත)

ධම්මික ජයරංජන්

advertistmentadvertistment
advertistmentadvertistment