රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදි කළ ළමා වාට්ටු සංකීර්ණය අද (03දා) උදේ 9.00ට විවෘත කිරීමට යොදාගෙන තිබිණ. මහල් හතරකින් යුත් මේ වාට්ටු සංකීර්ණය රුපියල් මිලියන 156ක් වැය කර ඉදිකොට තිබේ. අප දන්නා පරිදි දේවාලයේ අරමුදල් මේ සද්ක්‍රියාව වෙනුවෙන් යොමුකරන ලද්දේ බස්නායක නිලමේ වන ඩිෂාන් ගුණසේකර විසිනි. ඩිෂාන් මෙයට පෙර දෙවුන්දර උපුල්වන් දේවාලයේ බස්නායක නිලමේ ලෙසද කටයුතු කළේය. ඒ කාලයේදී දේවාලයට එන බැතිමතුන්ගේ මුදල් තුන්වන පාර්ශ්වයක් විසින් හෙවත් දෙවියන්ගේ බ්‍රෝකර්ලා විසින් කොල්ලකනු ලැබීම ගැන ඔහු දැඩි විරෝධය පළ කළේය. අපට හැඟෙන පරිදි ඩිෂාන් ගුණසේකර යනු රැඩිකල් දේව භක්තිකයෙකි. මහා බල සම්පන්න දෙවිවරුන්ට බ්‍රෝකර්ලා අවශ්‍ය බවත් හෙතෙම විශ්වාස නොකරයි. මේ නිසාම එකී බ්‍රෝකර්ලා සහ ඔහු අතර නිරන්තර ගැටුමක් තිබිණ. ඩිෂාන් ගුණසේකර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස පැමිණෙන්නේද මේ රැඩිකල් මතවාදය සමඟය. කතරගම දේවාලයට පැමිණි පසුද අලුත් බස්නායක නිලමේතුමා බ්‍රෝකර්ලා සමඟ ගැටෙන්නට ගියහ. අපගේ දැනුම අනුව මේ මතවාදය ඉතාම ප්‍රායෝගිකය. කතරගම දෙවියන් වැනි උත්තුංග සහ බලසම්පන්න චරිතයකට කෙනෙකුගේ දුකක් ශ්‍රවණය කිරීම සඳහා බ්‍රෝකර් කෙනෙකුගේ කටක් අවශ්‍ය නැත. කෙනෙකු සිය මුඛයෙන් නොව සිතින් නඟන අඳෝනාව පවා හඳුනාගැනීමට දෙවියන්ට ශක්තිය තිබෙන බව අපි විශ්වාස කරමු. දෙවි කෙනෙකු යනු බොහෝවිට මනුෂ්‍යයකු ලෙස ආත්මභවයන් විශාල ගණනක් පෙරුම් පුරා එම තත්ත්වයට පත්වන උතුමෙකි. මේ සංචාර ගමනේදී උන්වහන්සේලාට බුදුවරුද හමුවෙති. පසේබුදු සහ මහරහතුන්ද හමුවෙති. ඇතැමෙකුගේ මතය අනුව දේවත්වය ලැබීම සඳහා දිගු කාලයක් තවුස්දම් රැකිය යුතුය. ඉන්පසු අනුක්‍රමයෙන් දේවත්වයට ළඟාවීමට හැකිය. කතරගම දෙවියන් වහන්සේ බුදුබව පතන උපාසකයකු ලෙස ධර්මානුකූල ජීවිතයක් ගත කරද්දී ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කරනු බව කියනු ලැබේ. උන්වහන්සේ මුලින්ම පදිංචි වූයේ නැඟෙනහිර පළාතේ පිහිටි ඔකඳ නමැති ගම්මානයේය. ගහකොළ නැති, ගල්තලාවලින් පමණක් පිරී තිබුණු මුහුදුබඩ ගම්මානයක් වූ ඔකඳ ප්‍රදේශයේ ජීවත්වීම උන්වහන්සේට ඉතා දුෂ්කර විය. එකලෙහි මනුෂ්‍ය වාසස්ථාන තිබුණේ නැත. එහෙත් ලංකාවේත් සෙසු ප්‍රදේශවල මනුෂ්‍ය වාසස්ථාන තිබිණ. ඔකඳ ප්‍රදේශය කෙතරම් ජන ශූන්‍යවීද යත් නැඟෙනහිර පළාතට ආවේණික වූ මුහුදු වැද්දන් නමැති වැදි ප්‍රජාව පවා එකල එම ප්‍රදේශයට සංක්‍රමණය වී සිටියේ නැත. හුදෙකලා ගල් තලාව මත භාවනා කරමින් කල්ගත කළ බුදුබව පතන මේ උපාසකයාට ආහාරයක් පවා ලැබුණේ කලාතුරකිනි. සිත දියුණු කරගත් අයට ඔක්සිජන් සහ ජල වාෂ්පවලින් පමණක් සෑහෙන කලක් ජීවිතය ගත කළ හැකිය. උදාහරණයක් ලෙස ගෞතම බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කළ කාලයේදී අනුභව කළේ තමා අභියසට වැටුණු වියළි ශාක පත්‍රයක් පමණි. උන්වහන්සේගේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය ආර්ද්‍රතාව සහ පෝෂණය පරිසරය විසින් සපයන ලදී. මේ ආකාරයෙන් ජීවත් වන යෝගීහු ඉන්දියාවේ ඕනෑ තරම් සිටිති. එක්දාස් නවසිය ගණන්වල මුලහරියේදී ඉන්දියාවේ වාසය කළ ශ්‍රී පරමහංස යෝගානන්ද නමැති යෝගීවරයා මේ ගැන පොතක් පවා ලියා ඇත. උන්වහන්සේ කියන පරිදි උන්වහන්සේගේ ගුරුවරයා වූ ලහිරි මහාසය නමැති යෝගීතුමා ආහාර අනුභව කළේ අවුරුද්දකට සැරයක් හෝ දෙසැරයක් පමණි. මුළු දවසම පාහේ භාවනා කළ ලහිරි මහාසයතුමා ඇතැම්විට ව්‍යායාම කළේය. ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පරිසරයේ තිබෙන වාතය ඔස්සේ ලබාගැනීමට උන්වහන්සේට හැකිවූ බව කියනු ලැබේ. අප විඥානය වාදය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරන්නේ යැයි පාඨකයා නොසිතිය යුතුය. අප ලියන සියලු දේ බහුජනතාව විසින් මෙන්ම බහුශ්‍රැත ප්‍රජාව විසින්ද පිළිගනු ලැබූ පොත්වල සඳහන්ව තිබේ.
කෙසේ වුවද කතරගම දෙවියෝ අවසානයේදී ඔකඳ ගල්තලාව අතහැර මනුෂ්‍ය වාසස්ථානයක් වෙත යෑමට තීරණය කළහ. මේ ගමනට උන්වහන්සේගේ සංසාරගත සහායිකාව වූ වල්ලි අම්මාද එක්වූවාය. ඔකඳ සිට පයින්ම ගමනාරම්භ කළ මේ පූජනීය යුවල එකල ඝන වනයක්ව පැවති නැඟෙනහිර පළාත දිගේ ගමන් කර කතරගමට පිවිසුණහ. එකල ද කතරගම යනු සිංහල බෞද්ධ ජනාවාසයකි. තමන් බුදුබව පතන උපාසකයකු බවත් පුද පූජා පැවැත්වීම සඳහා කුඩා වාසස්ථානයක් ඉදිකර දෙන ලෙසත් කතරගම දෙවියෝ සිංහල ජනයාගෙන් ඉල්ලා සිටි අතර එය වහාම ඉදිකර දෙන ලදැයි ජනප්‍රවාදවල සඳහන් වේ. එතැන් සිට මේ වාසස්ථානය ජනයාගේ පුද පූජාවට පාත්‍ර වූ දේව මන්දිරයක් බවට පත්විය. මේ සම්ප්‍රදාය දිගටම යමින් අද වනතුරුත් පවතී. මීට අවුරුදු 100කට පෙර කතරගම වන්දනාවට අවුරුද්දකට දහසක් පැමිණියේ නම් අද එම ගණන ලක්ෂ 25ක් පමණ වීමට ඉඩ තිබේ. මේ හැම කෙනෙක්ම දේවාලයේ ඇති පින් කැටවලට මුදල් දමා කපුමහත්වරුන්ටද මුදල් ප්‍රදානය කරති. එසේම පූජා වට්ටිවලට රත්තරන් සහ රිදී විශාල ප්‍රමාණවලින් තබනු ලැබේ. ඒවායේ ආදායම එකතු කර ගැනීමට බස්නායක නිලමේට නොහැක. එහෙත් පසුගිය මුදල් වර්ෂය තුළ කතරගම දේවාලයේ පින්කැටවලට එකතු වූ සියලු මුදල්වල එකතුව බස්නායක නිලමේ වන ඩිෂාන් ගුණසේකර විසින් ප්‍රකාශයට පත්කර තිබිණ. මේ අවුරුදු දාස් ගණනක කතරගම දේවාල ඉතිහාසයේ පළමු වන අය-වැය ප්‍රකාශනය වේ. කතරගම දේවාලය බ්‍රෝකර්ලාගෙන් බේරාගෙන බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර කළ සේවාව අගය කළ යුතුය. එසේම මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ඉදිකරන ලද අභිනව සිවුමහල් සකලාංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණය මෙම පින්කැටවලට වැටුණු මුදල්වල එකතුව බව අපගේ විශ්වාසය වේ.
දෙවියෝ සහ මනුෂ්‍යයෝ එකතු නොවෙති. මනුෂ්‍යා වඩාත් ප්‍රිය කරන්නේ යක්ෂයා සමඟ එකතු වීමටය. අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය අප දකින්නේ දෙවියන් සහ යහපත් මනුෂ්‍යයන් එකට එකතු වී කළ නිර්මාණයක් ලෙසය. නිතරම නොවුණත් කලාතුරකින් හෝ මෙවැනි ආශ්චර්යය මේ රටේ සිදුවීම භාග්‍යයකි.