කලාව කිව්වොත් මළා වගේ !

140

වෙළද පොළ වටිනාකම ඉදිරියේ ගිලිහි යන කලා අධ්‍යාපනයේ කලා වටිනාකම

”චී.. චී.. චී. ලැජ්ජ නැද්ද, අපේ එකෙක් කලාව කරන්න. කව්ද උඹ දිහා බලන්නේ, විද්‍යාවයි ගණන් ගන්නේ. අඩු ගණනේ වාණිජවත්, ඉතින් පුතේ නම්බුවක්නේ ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගේ කොරලා…’’ විකෘති, සෝමලතා සුබසිංහ

අප රටේ පවතින ජනප‍්‍රිය අදහස වන්නේ, කලා සහ මානව ශාස්ත‍්‍ර අධ්‍යාපනය නිෂ්ඵල අධ්‍යයනික ක්‍ෂේත‍්‍රයක් බවයි. මේ ලිපිය මගින් මා කලා උපාධිය වශයෙන් හඳුන්වනු ලබන්නේ මානව ශාස්ත‍්‍ර, සමාජයීය විද්‍යා, චිත‍්‍ර, නැටුම්, සංගීතය, සිනමාව ඇතුළු පුළුල් විෂය පථයයි. කලා උපාධිය නිෂ්ඵල, කාලෝචිත නොවන, නැතහොත් සමකාලීන සමාජ අවශ්‍යතාවලට නොගැළපෙන්නක් බව පොදු සමාජයේ ඇතිවී තිබෙන කතා බහයි. මෙම ජනප‍්‍රිය අදහස තුළ ‘සමාජ අවශ්‍යතා’ යනු මොනවාද? ‘සමාජ’ යන පුළුල් අරුතින් භාවිත කරනු ලැබුවත්, සත්‍ය වශයෙන්ම මින් අදහස් කරන්නේ ‘වෙළඳපොළ’ අවශ්‍යතාවලට නොගැළපෙන බවයි. එනම්, කලා උපාධිය වෙළෙඳපොළ අවශ්‍යතාවලට අනුව හැඩ ගැසී නොමැති බවයි. මේ තුළ සමාජය යන පුළුල් සහ සංකීර්ණ ප‍්‍රපංචය ‘වෙළෙඳපොළ’ දක්වා දක්වා ඌණනය වී ඇත. එසේ සමාජය යන්න වෙළෙඳපොළ දක්වා මෙතරන් සරල ලෙස ඌණනය වීම අප ලබනා අධ්‍යාපනයේ යම් අසමත් වීමක් බව පිළිගත යුතුය. එවැනි පටු අදහසක් සමාජගත වීමේ වැඩි වගකීමක්, සමස්ත අධ්‍යාපන පද්ධතිය මත පැටවෙනවා මෙන්ම, විශේෂයෙන්ම මානව ශාස්ත‍්‍ර සහ කලා විෂය ධාරා මත පැටවෙයි.

කලා උපාධිය සහ වෙළඳපොළ

දැනට ලංකාවේ පවතින සියලූ උපාධි පාඨමාලා සඳහා ශිෂ්‍යයන් ප‍්‍රවේශ වෙන්නේ අ.පො.ස. උසස් පෙළ නම් වූ තරගකාරී විභාගයෙනි. අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන බොහෝ සිසුන් පෞද්ගලික උපකාරක පන්තිවල සහාය නොමඳව ලබයි. එබැවින් විශ්වවිද්‍යාලවලට ඇතුළුවන මේ ශිෂ්‍ය ප‍්‍රජාවගේ හැසිරීම්, ඔවුන් අධ්‍යාපනය ලැබීම සඳහා යොදාගන්නා ක‍්‍රමවේද, විශ්වවිද්‍යාලයට ප‍්‍රවේශ වීමට පෙර සිටම වෙළඳපොළ විසින් කොන්දේසි ගතකර හමාරය. එබැවින්, විශ්වවිද්‍යාල ශාස්ත‍්‍ර පීඨ තුළ පවතින අධ්‍යාපනයත්, සමාජයේ අනෙක් සෑම දෙයක් සේම වෙළඳපොළ විසින් දැනටමත් කොන්දේසි වලට යටත්කර ඇත. වඩාත් උත්ප‍්‍රාසාත්මක කරුණ වන්නේ, වෙළෙඳපොළ විසින්ම බිහිකළ ශිෂ්‍ය ප‍්‍රජාව එම වෙළෙඳපොළ විසින්ම ප‍්‍රතික්ෂේප කිරීමයි. එවැනි පසුබිමක් තුළ, ගැටලූ පවතින්නේ පවතින අධ්‍යාපන ක‍්‍රමයට වඩා අධ්‍යාපනය සහ සමාජය යන සියලූ දේ වෙළඳපොළ දක්වා ඌනනයකර ඇති ධනවාදී ආර්ථික ක‍්‍රමයේය.

මානව ශාස්ත‍්‍ර සහ කලා විෂයයේ අරමුණ

අපි මානව ශාස්ත‍්‍ර සහ කලා විෂය ධාරාවලින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? මනුෂ්‍යයා තමාටම අභිමුඛ කිරීම, නැත්තම් මනුෂ්‍යයෙක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අවබෝධ කරගැනීම සහ මනුෂ්‍යයෙක් ලෙස සමාජයේ අනෙකුත් මනුෂ්‍යයන් සමග ජීවත් වන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම, කලා සහ මානව ශාස්ත‍්‍ර අධ්‍යාපනයේ සාරය වෙයි. මෙතැනදී අනෙකා කෙරෙහි සහකම්පනයක් ඇති කරගන්නේ කෙසේද, අනෙකාගේ සංස්කෘතිය අවබෝධ කරගැනීම, මානව ඉතිහාසය පිළිබඳ ගැඹුරින් හැදෑරීම වැනි කාරණා ගණනාවක් මීට ඇතුළත් වෙයි.

මානව ශාස්ත‍්‍ර හටගැනීම සහ අර්බුධකාරී සමාජය

මානව ශාස්ත‍්‍රවල හටගැනීම සිදුවූ කාලයට සහ අවකාශයට අවධානය යොමු කළහොත්, මානව ශාස්ත‍්‍ර බිහි වූයේ ශීග‍්‍රයෙන් ධනවාදී කාර්මීකරණයට ලක්වන සමාජ තුළ බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එනම්, මානව ශාස්ත‍්‍ර බිහි වූයේම විශාල සමාජ විපරිවර්තනයක් සිදුවූ සමයක. එම ව්‍යාධීමය සමාජය එම අර්බුධයෙන් මුදා ගැනීමේ අරමුණිනි. එවැනි තත්ත්වයක් තුළ බිහිවූ මානව ශාස්ත‍්‍ර වර්තමාන සමාජ අර්බුධයට නොගැළපෙන හෝ අදාළ නොවන බවට කෙනෙකු තර්ක කරන්නේ කෙසේද?

මානව විරෝධී සමාජය

වර්තමාන සමාජය මානව ශාස්ත‍්‍ර හටගත් සමාජයට වඩා වෙනස් වී ඇති බවට කෙනෙකුට තර්කකළ හැකි අතර, එය සත්‍යයකි. එනම්, වෙළෙඳපොළ විසින් ඇති නැති පරතරය තවත් විස්තීරණය කොට ඇති අතර, පරාරෝපණය වර්ධනය වී ඇත. එමෙන්ම, අධ්‍යාපනයත් ගෝලීය වෙළඳපොළ තුළ ප‍්‍රධාන භාණ්ඩයක් බවට පත්වී හමාරය. අධ්‍යාපනය වෙළඳපොළකරණය මෙන්ම වෙළඳපොල ආර්ථිකය විසින් වර්ධනය කර ඇති අනෙකුත් තත්ත්ව හරහා අසමාන අවස්ථා සහිත සමාජයක් බිහිවී ඇත. අධ්‍යාපනය වෙළඳපොළ භාණ්ඩයක් බවට පත් කිරීම තුළින් මේ අසමාන අවස්ථා සහිත සමාජය වඩාත් හොඳින් නඩත්තු කිරීම සිදුවෙයි. සියලූ දෙනාටම සමාන අවස්ථා නොලැබෙන සමාජයක්, ‘මානව විරෝධී’ සමාජයකි. සෑම මනුෂ්‍යයෙකුටම මනුෂ්‍යයෙක් ලෙස සමාන අවස්ථා භුක්ති විඳිමින්, ආත්ම අභිමානය සහිතව ජීවත් විය නොහැකි සමාජයක් මානව විරෝධී සමාජයකි. මේ අනුව, මානව විරෝධී සමාජ විසින් මානව ශාස්ත‍්‍ර සහ කලා විෂය ප‍්‍රතික්ෂේප කරයි. එනමුත් සිදුකළ යුත්තේ කලා හා මානව ශාස්ත‍්‍ර තුළින් මානවවාදී සමාජ ඇති කිරීමයි. එසේ කළහැක්කේ මානව ශාස්ත‍්‍ර සහ කලාව දියුණු කිරීමෙන් විනා, ඒවා නැති කිරීමෙන් සහ හැකිලීමෙන් නොවෙයි. ඒ අනුව, මානව විරෝධී සමාජයක් වෙනුවට මානවවාදී සමාජයක් බිහි කිරීමට නම්, මානව ශාස්ත‍්‍ර හකුලා දැමීම වෙනුවට ඒවායේ තත්ත්වය දියුණු කිරීමත්, ඒවා ව්‍යාප්ත කිරීමත් අවශ්‍ය වෙයි.

ලංකාවේ කලා උපාධිය ගුණාත්මක බවින් යුක්තද?

මානව ශාස්ත‍්‍ර සහ කලා උපාධිය වැදගත් වුවත්, ලංකාවේ මේ වන විට පවතින කලා උපාධිවල තත්ත්වය ගුණාත්මක වශයෙන් දුර්වල මට්ටමක පවතියි. ඊට හේතුව, මානව ශාස්ත‍්‍ර සහ කලා විෂය ධාරාවේ පවතින නෛසර්ගික/ආවේණික ප‍්‍රශ්නයක් නොවෙයි. එයට හේතු දීර්ඝ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ස්වාධීනත්වය අඩපණ කරන, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ප‍්‍රතිපත්ති සම්පාදනය කෙරෙන, සමාජය පුරා උඩු දුවා ඇති දේශපාලනීකරණය මෙන්ම ස්වභාෂා අධ්‍යාපනයට මාරු වීමෙන් මතු වූ ගැටලූ ආදිය ප‍්‍රධාන වේ.

සාමය සහ අධ්‍යාපනය

නිර්මාණශීලී අධ්‍යාපන ක‍්‍රමයක් ගොඩනැඟීමේදී කළ යුතු සහ පරිස්සමෙන් කල්පනා කර බැලිය යුතු බොහෝ පැතිකඩ පවතියි. නමුත් මාගේ මූලික අවධානය යොමුවන්නේ සමාජයේ අනෙකුත් මනුෂ්‍යයන් සමඟ එකට ජීවත්වීම පිළිබඳවයි. නිර්ප‍්‍රභූ සහ බැහැර කරනලද ආඛ්‍යාන විෂය මාලා තුළට අන්තර්ගත කිරීම මෙහිදී වැදගත් වේ. මේවා අතර විචාර පූර්වක ලෙස සිතීම වර්ධනය කරන ආකාරයේ අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කිරීම, දැනට පවතින්නා වූ මිලිටරිකරණය වූ මෙන්ම තම ජාතිය කෙරෙහි පක්ෂපාතීත්වයෙන් යුක්ත අගතිගාමී විෂම සමාජයක් තුළ අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව හැදී වැඞීමට අවශ්‍ය ධෛර්යය ලබා දීම මෙන්ම, එම සමාජය යහපත් ලෙස වෙනස් කිරීමට අවශ්‍ය ශක්‍යතාව ලබා දීම ආදී ප‍්‍රවේශ ප‍්‍රමුඛ වෙයි.

ආර්ථිකය සම්පූර්ණයෙන්ම නොසලකා හරින අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යෝජනා කිරීම මාගේ අභිප‍්‍රාය නොවෙයි. නමුත් අපගේ වඩාත් දුර්වල පශ්චාත් යුද වාතාවරණය තුළ හුදූ ‘ආර්ථික-සංවර්ධනය’ වෙනුවෙන් පමණක් පවතින දෙයක් ලෙස අධ්‍යාපන කතිකාවට ප‍්‍රවිෂ්ඨ වීම බෙහෙවින් පටු දැක්මකි. අධ්‍යාපනය, සමාජයක ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් වැඩකළ යුතු බවට කිසිදු සැකයක් නොමැති වුවත්, ‘සංවර්ධනය’ යන්න හුදු ආර්ථික සංවර්ධනයට ලඝුකළ නොහැකි බව අමතක නොකළ යුතුය. ලෝකයේ බොහෝ තැන්වල ‘සංවර්ධනය’ යන අදහසට ආර්ථිකයට ලඝු කරන මිථ්‍යාවෙන් මිදී බොහෝ කල්ය. වර්තමාන සංවර්ධන එළඹුම් දිගු කාලීන අරමුණු සහිත, ආර්ථිකයෙන් ඔබ්බට ගිය වඩාත් පුළුල් ඒවා වෙයි. අධ්‍යාපනය, නිර්මාණාත්මක කුසලතා සහ සාමකාමීත්වය සහ පැවැත්ම වැනි ආර්ථිකයෙන් ඔබ්බට ගිය පුළුල් සමාජ අරමුණු අත්කරගැනීම සඳහා මග සැලසිය යුතු වෙයි. එවැනි ප‍්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක ආර්ථික සංවර්ධනය අත්කර ගැනීම ද පහසු වනු ඇත.

අනුෂ්කා කහඳගමගේ
සමාජයීයවිද්‍යා අධ්‍යයනංශය,
ඔටාගෝ විශ්වවිද්‍යාලය, නවසීලන්තය

advertistmentadvertistment
advertistmentadvertistment