කලාව ගැන පැරණි නිර්වචන දියවෙනවා – සේනාරත්න වීරසිංහ

266

ව්‍යාජ සාහිත්‍ය කෘතිවලින් මැද පංතිය රැවටුවා

ඉකුත්දා නිමාවට පත්වූ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම විවිධ විෂයික (පරිවර්තන) කෘතිය ලෙස මෙවර රාජ්‍ය සම්මානය හිමිකර ගනු ලැබුවේ ‘කලාවේ තේරුම කුමක්ද?‘ පරිවර්තන කෘතිය රචනා කරන ලද සේනාරත්න වීරසිංහ විසින්ය. මේ වන විට විශිෂ්ට පරිවර්තන කෘතීන් විශාල ප්‍රමාණයක් සහිතව කෘතීන් හැත්තෑපහක් පමණ ඔහු විසින් රචනා කොට ඇත. පහත පළවන්නේ දශක කීපයක් පුරා පරිවර්තන සාහිත්‍යයේ නිරත සේනාරත්න වීරසිංහ සමග සිදුකළ කතාබහකි.

● ඔබ විසින් පරිවර්තනය කරන ලද එමෙන්ම මෙවර රාජ්‍ය සම්මාන හිමිකරගත් ‘කලාවේ තේරුම කුමක්ද?’ පරිවර්තන කෘතියේ අන්තර්ගතය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරනවා නම්

මෙහෙමයි. මේ කෘතියෙන් මූලික වශයෙන් කතාබහ කරන්නේ චිත්‍ර හා මූර්ති කලාව පිළිබඳවයි. නමුත් මිනිසා අදහස් ප්‍රකාශ කරන්න ගත්දා සිට මේ වන තෙක් කරන ලද නිර්මාණ මොනවා ද ඒවාට පසුබිම් වුණේ මොන වගේ කාරණා ද ඒ සඳහා පාවිච්චි කළ උපකරණ මොනවා ද සහ ඒ ඒ ශෛලීන් මොනවා ද ආදී පිළිබඳ ලොකු විස්තරයක් මේ කෘතියට අන්තර්ගත වෙනවා. මේ කෘතියෙන් අවබෝධ කරගන්න පුළුවන් වැදගත්ම දෙය තමයි ලෝක කලාව ඒ අයුරින් සකස් වෙද්දී ඇයි අපේ රටේ ඊට සාපේක්‍ෂව කලාව සහ සාහිත්‍යය එහෙම නොවුණේ කියන කාරණය පිළිබඳ වැදගත් කරුණු කාරණා බොහෝමයක් මේ කෘතිය පරිශීලනය කිරීම තුළ මෙරට පාඨකයන්ට දැනගන්නට අවස්ථාව ලැබෙනවා.

● මෙවැනි කෘතියක් සිංහලට පරිවර්තනය වන්නේ ඒ අඩුව සම්පූර්ණ කිරීම පිණිස ද?

නිදහසෙන් පස්සේ අපේ සාහිත්‍යය හා කලාව පිළිබඳ කතා කළ විචාරකයෝ බටහිර සාහිත්‍ය කෘතිවල පවතින වැදගත්කම පිළිබඳ කතා කරල නැහැ. අඩුම තරමින් ඒ පිළිබඳ දේශීය පාඨකයන්ට යම් හඳුන්වා දීමක්වත් සිදු කරල නැහැ. උදාහරණයක් ගත්තොත් දැනට වසර 75කට පෙර මහාචාර්ය හර්බට් රීඩ් විසින් රචිත THE MEANING OF ART කියන මේ කෘතිය පිළිබඳ මෙතෙක් මෙරට තුළ වචනයක්වත් කතා කරල තිබුණේ නැහැ. අන්න ඒ අඩුව පිරිමසන්න තමයි ලෝක ප්‍රකට කලා ඉතිහාසඥයකු, කලා හා සාහිත්‍ය විචාරකයකු, දාර්ශනිකයකු හා කවියකු ද වන මහාචාර්ය හර්බට් රීඩ් විසින් රචනා කරන ලද ඉහත නම් සඳහන් කෘතිය “කලාවේ තේරුම කුමක් ද’ යනුවෙන් මා විසින් සිංහලට පරිවර්තනය කළේ.

● මෙවැනි වැදගත් කෘතියක් සිංහලට පරිවර්තනය වීම මෙතරම් ප්‍රමාද වුණේ මොනවගේ කරුණු කාරණා හේතුවෙන්ද?

ඒ සඳහා කාරණා කීපයක් බලපාල තිබෙනවා. ඒ ගැටලුව යම්තාක් දුරකට තවමත් පවතින ආකාරයක් පවා දැකගන්න ලැබෙනවා. අපේ නවකතාව අරන් බලන්න. නවකතාකරණය කියන විෂය ගැන නවසිය හතළිස් ගණන්වල මහාචාර්ය සරච්චන්ද්‍ර පොතක් ලියනවා. ඒ පොත බොහෝ අඩුපාඩු සහිතව තමයි රචනා වෙලා තිබෙන්නේ. ඒකට හේතුව ලෙස මම දකින්නේ ඒ වනවිට අපේ නවකතාව පිළිබඳ හරවත් කතාබහක් ඇතිවී නො තිබීමයි. නමුත් ඒ විචාරය පදනම් කරගෙන ඊට පසු පරම්පරාව නවකතා රචනා කළා. එතනදී එකම ආකාරයේ නවකතා බිහිවීමේ ප්‍රවණතාවයක් හටගත්තා. 40 දශකයේ ජීවත් වූ සරච්චන්ද්‍ර තමන්ගේ විචාරයට පදනම් කරගත්තේ ඊට අවුරුදු තිහකට පමණ එපිට රචනා වූ නවකතාවේ හැඩරුව පමණයි.

නමුත් එංගලන්තය වගේ රටක් ගත්විට මේ තත්ත්වය හාත්පසින් වෙනස් මුහුණුවරක් ගත්තා. කාර්මික විප්ලපයක් එක්ක තමයි ඒ මුහුණුවර මතුවෙන්න ගත්තේ. අපේ රට තුළත් එවැනි නවකතා සම්ප්‍රදායක් බිහිවිය යුතු අවධීන් තිබුණා. උදාහරණයක් ලෙස යටත් විජිත අත්දැකීම් පෙන්වා දෙන්න පුළුවන්. නිදහසින් පසුව නැඟී එන ආත්මය සාහිත්‍ය හා කලාවෙන් ගොඩනැඟිය යුතුව තිබුණත් ඒ සඳහා ගමන් කරන්න මාවතක් අපිට තිබුණේ නෑ. නාට්‍ය ඇතුළෙත් මේක තිබුණා. ශෛලිගත නාට්‍ය පමණයි මතුපිටට ආවේ. යථාර්ථවාදී නිර්මාණවලට වැදගත්කමක් ලැබුණේ නෑ. නමුත් අසල්වැසි ඉන්දියාව, නිදහසින් පසුව ඔවුන්ගේ ගමන් මඟ මොකක්ද කියල තීරණය කළා. ඉන්දියාවේ මධ්‍යම රජය පොතපත මුද්‍රණය කරමින් ප්‍රාන්ත රාජ්‍යයන් වෙත බෙදා හරිමින් ඒ ඒ ජනතාව ඥානය කළා. ඔවුන් ඒ ඔස්සේ ඉදිරියට ගමන් කළා. අදත් ඉන්දියාවේ කලාත්මක සිනමාව, සාහිත්‍යය හොඳම තැනක පවතින්නේ ඒ නිසයි. ඒ හින්ද මම විශ්වාස කරනව මා විසින් පරිවර්තනය කරන ලද කලාවේ තේරුම කුමක්ද? කෘතිය මගින් මම අර කලින් සඳහන් කළ පරිදි අපේ රටේ සිදුවූ ඓතිහාසික වරදට යම් හෝ සාධාරණයක් වේවි කියලා.

● එම ඓතිහාසික වරද සම්බන්ධයෙන් ඔබ ඇඟිල්ල දිගු කරන්නේ කුමන පාර්ශ්වයක් වෙත ද?

ඒ වරද සිදුවුණේ කොතැනද කවදා ද අන්න ඒ තැනට මම ඇඟිල්ල දිගු කරනවා. අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ සැකැස්ම ගත්විට විශ්වවිද්‍යාලයක් කියන්නේ මොකක්ද කියලවත් අපේ ජන විඥානය හරි හැටි හඳුනාගෙන නැහැ. විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත්ව දැනුම බෙදා දුන් ආචාර්ය, මහාචාර්යවරුන් ඒ පිළිබඳ හැඳින්වීමක් සිදු කළෙත් නැහැ. ඒ අය ව්‍යාජ සාහිත්‍ය කෘතින් පෙන්වමින් මධ්‍ය පාන්තික ජන විඥානය සන්තර්පණය කළ එක පමණයි සිද්ධ කළේ. මම මේ ගැන මීට පෙරත් කියල තිබෙනවා. ග්‍රන්ථ කීපයක් රචනා කරලත් තිබෙනවා. ඒකට සමහර අය අකමැතියි. නමුත් මම මේ බව පෙන්වා දුන්නා. ඇත්ත වශයෙන්ම අපේ සාහිත්‍ය ඉතිහාසය සකස්වෙලා තිබෙන ආකාරය අධ්‍යයනය කළ යුතුයි. අපි මොකක්ද කළ යුත්තේ කියලා වෙනත් වචනයකින් කියනවනම් සමාජ යථාර්ථය නිරූපණය කරලා ජන සමාජයට ජීවිතාවබෝධය ලබාදිය යුතුයි. ඒ හරහා ජන සමාජයට වැදගත් යැයි සැලකෙන යමක් කලාවෙන් දිය යුතුයි. ආතර් මිලර් කියන ඇමරිකානු නාට්‍යකරුවා, සිනමාකරුවා වරක් ප්‍රකාශ කළා සමාජ ධාරාව ස්පර්ශ කරන්න බැරි නම් ඒ සාහිත්‍යයයෙන් හෝ නාට්‍ය ක්‍ෂේත්‍රයෙන් වැඩක් නැහැ කියලා.

● එයින් අදහස් වෙන්නේ කලාව කියන්නේ අප අවට පවතින සමාජ වටපිටාවේ නිෂ්පාදනයක් කියල ද?

ඇත්ත වශයෙන්ම කලාව කියන්නේ ඕපපාතික බිහිවන දෙයක් නොවෙයි. අපි ජීවත් වන වටපිටාව තුළින් ලබන අත්දැකීම් මත තමයි ඒ ඒ කලාවන් නිර්මාණය වන්නේ. කලාකරුවා එහෙමත් නැත්නම් සාහිත්‍යකරුවෙක් වෙන්න පුළුවන් මේ ඕනෑම නිර්මාණකරුවෙකු විසින් බිහිකරන කලා කෘතියක් සාහිත්‍ය කෘතියක් පිළිබඳ ඊළඟට ජන සමාජය දැනුවත් වෙනවා. එතකොට තමයි කෙනකුට දැනෙන්න ගන්නේ එහෙම සමාජ වාතාවරණයක් පවතිනව කියලා. සාහිත්‍යය කියන්නේ ප්‍රචාරණයක් කියල කියන්න නොවෙයි මම උත්සාහ කරන්නේ. නමුත් යථාර්ථය දැනගැනීම පිණිස මිනිසාව දැනුවත් කිරීම තමයි කලාවේ කාර්යභාරය බවට පත්විය යුත්තේ.

● නමුත් අද පවතින සමාජ, ආර්ථික වටපිටාව තුළ කලාව පිළිබඳ නිර්වචනයන් දියවයමින් පවතිනවා නේද?

ඔව්. ඒ දියව යන්නේ පරණ නිර්වචනයන්. සදාකාලික නිර්වචනය තමයි කලාව පොදුජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සකස් විය යුතුයි කියන දෙය. මම උදාහරණයක් කියන්නම් 1970 වර්ෂය වනවිට එංගලන්තයේ සාහිත්‍ය කලාව පිළිබඳ අර්බුදයක් ආවා. රට තුළ එතෙක් පැවති සංස්කෘතිය කඩාවැටුණා. දූෂණය, මැරකම් දිනෙන් දින ඉහළ යන්න ගත්තා. එවැනි තත්ත්වයක් තුළ එරට ජනතාව කලාව ප්‍රතික්ෂේප කරන තැනට වැටුණා. එවකට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ මාග්‍රට් තැචර් මහත්මිය එතැනදී මොකද කළේ ඇය විසින් කලාව පිළිබඳ විද්වත් මණ්ඩලයක් පත් කරල ඒ පිළිබඳව දීර්ඝව කතාබහ කළා. සාහිත්‍ය විචාරකයන් සමග අදහස් හුවමාරු කර ගත්තා. එහිදී විචාරකයන් පෙන්වා දුන්න බිකෝවන් ශේක්ස්ප්‍රියර් වැනි කලාකරුවන්ගේ නිර්මාණ ගැන කතා කිරීම පැත්තකින් තබල රටේ මිනිසුන්ට ඒ වෙලාවේ තේරුම්ගත හැකි ආකාරයෙන් ඒ මොහොතේ පවතින සමාජ අත්දැකීම් පිළිබඳ කතාබහ කළ හැකි සාහිත්‍යයක් ඇති කළ යුතුයි කියල. ඊට පස්සේ එංගලන්තයේ ඒ වෙනස ඇති වෙන්න ගත්තා. සමාජ වෙනස්වීම් ගැන සලකා බලල ජනතාවට ඒ දෙය තේරුම්ගන්න පුළුවන් අයුරින් කලාව හැසිරවීමට ගත් තීරණය මත තමයි ඒ වෙනස ඇති වුණේ.

අපේ රටේ හුඟදෙනෙක් කියනව කලාව කලාව සඳහාය කියලා. එහෙම නැත්නම් කලාව ජනතාව සඳහාය කියලා. නමුත් රටේ පවතින ආර්ථික, සමාජයීය අර්බුදයන්ට ගැළපෙන අයුරින් කලාව පාවිච්චි කරන්නේ කොහොමද කියල අපි තවත් සොයාගෙන නැහැ.

● විදෙස් කෘතියක් සිංහලට පරිවර්තනය කිරීමේදී ඔබ වඩාත් සැලකිල්ලක් දක්වන්නේ මොන වගේ කරුණු කෙරෙහිද?

සමස්තය හැදෑරීමෙන් අනතුරුව තමයි මම එවැනි කටයුත්තක් පිණිස යොමුවන්නේ. පරිවර්තනය පිණිස තෝරාගනු ලබන කෘතිය අපට කොතෙක් දුරට වැදගත් ද විදෙස් ලේඛකකයා විසින් එවැනි කෘතියක් රචනා කළේ ඇයි ඒ හරහා දෙන පණිවිඩය කුමක්ද මේ ආදී කරුණු කාරණා රැසක් පිළිබඳ පූර්ව විනිශ්චයකට පැමිණ ඉන් අනතුරුව තමයි විදෙස් ලේඛකයෙක් හෝ ලේඛිකාවකගේ කෘතියක් මා අතින් සිංහලට පරිවර්තනය වෙන්නේ.

● රටකට පරිවර්තන සාහිත්‍යයයේ ඇති වැදගත්කම මොන වගේද?

පරිවර්තන සාහිත්‍යය කියන්නේ සාහිත්‍යාංග අතරින් ඉතාමත් වැදගත් අංගයක්. එක් රටක සාහිත්‍යය තවත් රටක සාහිත්‍යය සඳහා බලපෑම් ඇති කරනවා. උදාහරණයක් ලෙස රුසියානු සාහිත්‍යය පිණිස ජර්මානු සාහිත්‍යය බලපෑව හැටි පෙන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව දොස්තොවිස්කි, ශේක්ස්ප්‍රියර් වැනි සාහිත්‍යධරයන්ගේ නිර්මාණ මුළු ලෝකයටම බලපෑමක් ඇති කළා. ලෝක සාහිත්‍යය දෙස විමසිල්ලෙන් බැලීමේදී තවත් එවැනි උදාහරණ රාශියක් පෙන්වා දෙන්න පුළුවන්. ඒ අර්ථයෙන් ගත්විට පරිවර්තන සාහිත්‍යය කියන්නේ ඕනෑම රටක් තුළ ඉතාමත් ඉහළ වැදගත්කමක් උසුලන සාහිත්‍යාංගයක්.

● ඔබ විසින් මේ වනවිට පරිවර්තන කෘතීන් කොපමණ ප්‍රමාණයක් රචනා කොට තිබෙනවා ද?

මේ වනවිට මා විසින් කෘතීන් 75ක් පමණ රචනා කොට තිබෙනවා. ඒ අතර පරිවර්තන කෘතීන් 70කට ආසන්න ප්‍රමාණයක් අයත් වෙනවා. මෙතැන තිබෙන විශේෂත්වය තමයි 75 වසරක මගේ ජීවිත කාලය තුළ ඊට සමාන කෘතින් ප්‍රමාණයක් මා අතින් රචනා වීම. මගේ 75 වැනි කෘතිය පිළිබඳවත් මෙහිදී යමක් සඳහන් කළ යුතුයි. දායි සිජි (Dai Sijie) කියන චීන ජාතික ලේඛකයා ප්‍රංශ බසින් ලියා ඉංග්‍රීසි සාහිත්‍යයට එක්කරන ලද චීන නවකතාවක් ඒ පරිවර්තනය තුළින් සිංහල පාඨකයන්ට කියවන්න අවස්ථාව ලැබෙනවා. බැල්සැක් සහ චීන යොවුන් සන්නාලිය (Balzac and the Little Chinese Seamstrees) කියන්නේ දායි සිජිගේ ප්‍රකට නවකතාවක් චීන මහා විප්ලවයෙන් පසුව එහි නායක මාඕ සේතුං විසින් ආරම්භ කරන ලද සංස්කෘතික විප්ලව කාලවකවානුව මේ නවකතාවට පසුබිම සපයනවා.

● මෙරට විචාර කලාව ගැන ඔබේ අදහස කුමක්ද?

ඕනෑම සාහිත්‍යාංගයක් විචාරයට ලක්කිරීම තුළ එහි ඇතුළත් සාධනීය ලක්ෂණ මෙන්ම අඩුපාඩු මොනවද කියල ලේඛකයාට වගේම පාඨකයටත් දැකබලා ගන්න අවස්ථාව හිමි වෙනවා. නමුත් එහෙම විචාර කලාවක් අපේ රටේ මේ වෙද්දී නැහැ. නවකතාව ගමුකෝ. ඒ පිළිබඳ හරවත් විචාරයක් සිදු කිරීමට නම් නවකතා කලාව කියන්නේ මොකක්ද කියල පළමුව අවබෝධ කර ගන්න ඕනා. සිංහල පොත පත පමණක් හදාරල ඒ දැනුම ලබා ගන්න බැහැ. අදින් දශක දෙක තුනකට පමණ පෙර ඉංග්‍රීසි සාහිත්‍යය හදාරලා ඒ තුළින් උකහා ගත් දැනුමත් එක්ක නවකතා විචාරයේ නිරතවූ සුළු පිරිසක් හිටියා. යම් යම් අඩුපාඩු සහිතව හෝ ඔවුන් ඒ කටයුත්ත කළා. නමුත් අද එහෙම තත්ත්වයක්වත් දකින්නට නැහැ. අද ඉන්න ඇතැම් විචාරකයෝ අමූලික බොරු කියනවා. ඒ තුළින් සාහිත්‍යය සමාජය තුළ වැරදි මත වපුරනවා.

● ඔබ මෙවර රාජ්‍ය සම්මාන උත්සවයට සහභාගි නොවන්නේ ඒ කලකිරීම මතද?

මම සාහිත්‍ය උත්සව, සාහිත්‍ය සම්භාෂණ පිණිස නිතර යන එන අයෙක් නොවෙයි. නමුත් මෙවර මගේ සම්මානය ලබාගැනීම පිණිස වේදිකාවට ගොඩ නොවුණේ ඒ හේතුව මත නොවෙයි. අසනීප තත්ත්වයක් මත මට සහභාගි වෙන්න බැරි වුණා. තවත් කාරණයක් සඳහන් කළ යුතුයි. මේ වනවිට මා විසින් කෘතින් 75ක් රචනා කොට ඇති බව කලින් සඳහන් කළා. එපමණක් නොවෙයි ඒවා අගය කළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳව දීර්ඝ ප්‍රස්ථාවනා ආදියෙන් පැහැදිලි කරලත් තිබෙනවා. 80 දශකයේ මම කමලා දාස්ගේ නවකාවක් සිංහලට පරිවර්තනය කරනවා. එදා ඒ කෘතියට සංස්කෘතික අමාත්‍යාංශයෙන් බලවත් විරෝධයක් ආවා. එවකට සංස්කෘතිය පිළිබඳව සිටිය ප්‍රධානියා මට දොස් පැවරුවා. නමුත් ඒ කෘතියම පුස්තකාල සේවා මණ්ඩලයට යොමු කළාට පස්සේ අනුමත වුණා. ලීල් ගුණසේකර මහතා පවා පසුව ඒ කෘතිය අගය කරමින් කතා කළා. මගේ ලේඛන දිවිය ඇතුළේ ඒ වගේ අමිහිරි අත්දැකීම් බොහෝමයක් පවතිනවා.

● ඔබ ඉදිරියේත් ලේඛනයෙහි නිරත වෙනවා ද?

ලේඛකයා ලිවීමේ නිරත වෙනව මිසක් වෙන කටයුත්තක් කරන්න බැහැ. අපේ රටේ බොහෝ දෙනෙක් වෘත්තය වශයෙන් ලේඛනයේ නිරත වෙනවා. මාත් ඒ අතරින් කෙනෙක්. ඒ අයගේ නිර්මාණ අගය කළ යුතුයි. ඒ නිර්මාණ පාඨකයන් විසින් මිලදී ගත යුතුයි. ඒ වගේම ඔවුන්ට පහසුකම් සැපයිය යුතුයි. සාහිත්‍ය කලාව සඳහා දියුණු රටවල් මැදිහත්වෙන්නෙ එහෙමයි. අද අපේ රටේ ජාත්‍යන්තර මට්ටමේ නවකතාකරුවෝ ඉන්නවා. ඔවුන් ගැන කවුරුත් කතා කරන්නෙ නැහැ. නමුත් අපේ රටේ දේශපාලනඥයෝ පසුපස්සේ ගියොත් මහා ලේඛකයෝ බවට පත් වෙනත් පුළුවන් තත්ත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ.

● සංවාද – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment