කල දුටු කල වළ ඉහගන්න දේශප්‍රේමියෝ

413

රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීම අද ඊයේ සිදුවූවක් නොවේ. නමුත් එය මහජනතාවට දැනෙන අර්බුදයක් බවට පත් වූයේ මෙම වසර මුල් භාගයේ සිටය. 1952 වසරේ ගෙවුම්ශේෂ හිඟයක් ඇති වූ විට රටේ ආර්ථික අර්බුදයක් ඇති වූ අතර හිඟ අයවැය ඉදිරිපත් වූ කාල වකවානුවේ සිටම අර්බුදය ඉදිරියට පැමිණියේය. එහෙත් එම කාල වකවානුවේ රටේ සිටි පාලකයන් සහ ආර්ථික විශේෂඥයන් එය නිසි පරිදි කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන ආ අතර රටේ විශාල සංවර්ධන කාර්යයන් රැසක්ම එම කාලවල සිදුවිය.

වර්තමාන තත්ත්වයට ප්‍රබල සාධකයක් ලෙස අධික පොලියට ලබාගත් විදේශ ණය බරත් එම ණය මුදල් ඵලදායී ව්‍යාපෘතිවලට නොයෙදීමත් නිසා දිනෙන් දින ණය බරින් මිරිකුණ ජනතාවක් සිටින නිතර භාණ්ඩ හා සේවා මිල මට්ටම් ඉහළ යන රටක් බවට අප පත් වූ අතර දේශීය නිෂ්පාදන අඩාළ වීම හෝ සම්පූර්ණයෙන් නවතා දමා විදේශ ආනයන ආර්ථික ක්‍රමවේදයක් ඇති වීම තව තවත් අප අගාධයට ඇද දැමීය. මෙම අංශ කළමනාකරණයට පැමිණි දේශපාලනඥයන් සහ ඉහළ නිලධාරීන් ජනතාවට නිවැරැදි තොරතුරු ලබා නොදීම නිසා මෙම තත්ත්වය වර්ධනය වූ බව දේශපාලන කරළියේ කතා බහට ද ලක් විය. කෙසේ වෙතත් මේ සියලු කාරණා හමුවේ අප රටට එතෙක් පැවති අභිමානය ඉවත් වී රට ආර්ථික වශයෙන් බංකොලොත් තත්ත්වයට පත් විය. අපටත් වඩා පහළ ආර්ථික මට්ටම්වල සිටි රටවලින් ආධාර ලබා ගන්නා තත්ත්වයට අද රට පත් වී ඇත. මෙම තත්ත්වය වර්ධනය වීමත් සමග රටට අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන, ගෑස් ඇතුළු ජනතා අවශ්‍යතා සීමා කරන්නට සිදුවිය.

මේ නිසා රට පුරා ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, පොහොර පෝලිම් බිහිවූ අතර එය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වූයේ ආර්ථික, දේශපාලනික, ආගමික අංශ යන සියල්ලේම නිසි කළමනාකරණයක් නොමැති වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. නිදහසින් පසු මෙතෙක් දේශපාලන නායකත්වයට එල්ල නොවූ මහජන විරෝධයක් රට තුළ නිර්මාණය විය. රටේ ජනාධිපති, අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයට ඉල්ලා අස් වන්නට සිදු වූයේ මේ පසුබිම යටතේය. මෙහි ප්‍රධාන වගකීම සෘජුවම දේශපාලන නායකත්වයට එල්ල වුවත් රටේ පරිපාලනය ආර්ථික කළමනාකරණය සහ ආගමික සහජීවනය ඇති කරන්නට සිටි ඇතැම් පිරිස් ද මේ කඩාවැටීමට වගකිව යුතුය. මේ වන විට රට ආර්ථික දේශපාලන මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ද පරිහානියට ලක් වී ඇත. මෙහි උග්‍රම අවස්ථාව උදාවීමත් සමග ජනතාව අරගල සඳහා වීදි බසින්නට විය. අද වනවිට මාස තුනකට වැඩි කාලයක් ජනතාව මහ මඟ අරගල කරති. රට ගැන තිබූ බලාපොරොත්තු විනාශ කර ඇත. රටේ තරුණ වැඩිහිටි සහ ළමා පරපුර ද අතරමං වන තත්ත්වයකට පත්ව ඇත.

තරුණයන්ගේ සිහින කෙසේ වෙතත් ජනතාව හෙට දවසේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දී සිටිති. පාසල් දරුවන්ගේ අධ්‍යාපනය දැනට වසර තුනක පමණ සිට ව්‍යාකූලත්වයට පත්ව ඇත. නිදහසේ ගමන්බිමන් යෑමට නිදහසේ ජීවත් වීමට තිබූ අයිතිය සීමා වීම නිසා වැඩිහිටි ජනතාව පීඩනයෙන් ජීවත් වන පිරිසක් බවට පත්ව ඇත. රටේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් තම බලය තහවුරු කර ගැනීම පමණක් එකම අරමුණ කර ගත් වංචනික දේශපාලකයන් ඒ සඳහා උපදෙස් දෙන ඇතැම් ආගමික නායකයන් මෙන්ම අවස්ථාවාදය වෙනුවෙන් පෙළගැසෙන

නිලධාරීන්, ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් මේ ව්‍යවසනයේ කොටස්කරුවන් බවට පත් වී ඇත. එක්තරා දේශපාලකයකු පසුගියදා ප්‍රකාශ කළ පරිදි ටකරන් තහඩුවට, සමෘද්ධි බඩු මල්ලට, මත්පැන් බෝතලයට ආවඩමින් අවස්ථාවාදීව තීන්දු තීරණ ගනිමින් මේ රටේ කපටි දේශපාලකයන්ගේ නූල් සූත්‍රවලට නැටවෙන ජනතාව ද මේ විනාශයට වගකිව යුතුය. මේ සියලු දෙනා එක්ව නැති කළේ අපේ රටේ තරුණ පරපුරේ අනාගතයයි. මේ විනාශයන් හමුවේ ජනතා සහජීවනය ද අන්තයටම පිරිහීමට පත්ව ඇත. රටට සිදුවන කිසියම් විපතක දී එක්ව කටයුතු කළ මිනිසුන් අවස්ථාවාදීන් බවට පත්ව ඇත. සමාජයේ නැති බැරි මිනිසුන් සූරා කන නරුමයින් පිරිසක් බිහිකරන්නට මේ මජර දේශපාලනය හේතුභූත වී ඇත. ආහාර, ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය සහ සේවාවන් සීමා වීමත් සමග එතෙක් රට තුළ පැවති සියලු භාණ්ඩ තොග සඟවමින් ව්‍යාජ ලෙස සකස් කළ ඉහළ මිල ගණන් යටතේ ජනතාවට අලෙවි කරන තත්ත්වයකට අද පත් වී ඇත. ඉහළම ව්‍යාපාරිකයාගේ සිට පහළ සිල්ලර වෙළෙන්දා දක්වා මේ අවස්ථාවාදයට යොමු වී ඇත.

රට තුළ භාණ්ඩ හිඟයක් මවාපාමින් ඒ තුළින් අධික ලාභ උපයන කළුකඩ සංස්කෘතියක් නිර්මාණය වී ඇත. කුඩා දරුවාගේ කිරිපිටි පැකට්ටුවේ සිට සියලුම දේවල් අධික ලෙස මිල ඉහළ නංවා අයුතු ලාභ ලබමින් සිටිති. රටට අපහසුවෙන් හෝ ගෙන එන ඉන්ධන ගෑස් චණ්ඩිකමින් රැස්කරමින් තමන්ගේම මිනිසුන්ට ඉහළ මිල ගණන්වලට අලෙවි කරමින් අධික ලාභ උපයන පිරිසක් බවට පත් වී ඇත. එතෙක් පැවති ඖෂධ මිල ගණන් දෙතුන් ගුණයකින් වැඩි කර අසරණ රෝගීන්ට ලබා දෙන ඖෂධවලින් ද ගසාකෑම් සිදු විය. රටේ ජනතාවගේ ධනයෙන් විශාල ව්‍යාපාර ගොඩනගා ගත් ව්‍යාපාරිකයන් සහල් ඇතුළු සියලුම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දමා ඇත. කිරිපිටි බිස්කට් වර්ග බෙදා හරින්නන් දේශප්‍රේමය ගැන ප්‍රචාරණ ව්‍යාපාර පවත්වමින් ජනතාව සූරා කමින් සිටිති. දුප්පතාගේ ප්‍රධාන ආහාරයක් වූ පාන් පරිප්පුවල මිල ගණන් ද අධික ලෙස ඉහළ ගොස් ඇත.

පෝලිම්වලට ගෙන යන අහිංසක මිනිසුන්ගේ ගෑස් සිලින්ඩරය පවා සොරකම් කරන, චණ්ඩිකමින් තෙල් පෝලිමේ ඉදිරි පෙළට රිංගන ඇතැම් අවස්ථාවල නිල ඇඳුමේ බලයෙන් ජනතාව පීඩනයට පත් කරන පිරිස් සමාජය තුළ හඳුනා ගැනීමට හැකි වී ඇත. තමන්ට ඉන්ධන ලබා නොදුනහොත් සියලු සේවාවලින් ඉවත් වන්නට තර්ජනය කරන ජනතා සේවකයන් බොහෝ අංශවල පෙළගැසී සිටිති. සෑම අතින්ම පීඩාවට පත්ව ඇත්තේ මේ රටේ අහිංසක මිනිසුන්ය. දේශපාලන බලය ආගමික බලය ව්‍යාපාරික බලය මැර බලය ඇති පිරිස්වලට මේ පීඩනය ගැන අවබෝධයක් නැත. පෝලිම්වල මියයන්නේ අහිංසක මිනිසුන් මිස මේ රටේ දේශපාලකයන් හෝ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොවේ. තෙල් පෝලිම්වල රස්තියාදු වන්නේ ද මෙවැනි අසරණයන්ය. මාසික වැටුපට රටට ණය වන රාජ්‍ය සේවකයන් ගුරුවරුන් කම්කරුවන්මය. එහෙත් මේ දුක් විඳින පිරිස තවත් එවැනිම දුක් විඳින පිරිස් පීඩනයට පත් කරමින් සිටිති. දරුවන්ට පාසල් නැත. විශ්වවිiාල සිසුන්ට අධ්‍යාපනික මග ඇහිරී ඇත. තරුණ තරුණියන්ගේ රැකියා අපේක්‍ෂාවන් විනාශ වී ඇත. අහිංසක මිනිසුන්ට එදාවේල ආහාර ටික සපයා ගැනීම ගැටලුවක් වී ඇත. මේ සියලු දෙනාම අප අතර ජීවත්වන අපේම මිනිසුන් බව බොහෝ දෙනෙක් තේරුම් ගෙන නැත. සියලු දෙනා තළන්නේත් පෙළන්නේත් අප අතර සිටින අපේම මිනිසුන්ය.

වෙනදා ගමනකට බිමනකට පහසුවෙන් යොදා ගත් ත්‍රිරෝද රථයේ ගමන් කිරීම ද අද සිහිනයකි. මේ සියලු ව්‍යසනයන් රට පුරා සියලු අංශවල ඔඩු දුවමින් ඇත. සොරකම, වංචාව, චණ්ඩිකම රජයමින් ඇත. කාගෙන් හෝ පිළිසරණක් නැති අහිංසකයන්ගේ ගෙල සිර කරන අවස්ථාවාදීන් පිරිසක් බිහිවෙමින් ඇත. මේ සියලු ව්‍යසන හමුවේ තම දේශපාලන බල අධිකාරිය ගොඩනගා ගැනීමට වෙර දරන කිසිදු කළමනාකරණයක් නොමැති රට ගැන අවංක ආදරයක් නොමැති වංචනික අවස්ථාවාදී දේශපාලකයන් ඊළඟ වටයේ ජනතාව මුළා කරන කූට ව්‍යාපෘති සකස් කරමින් සිටින බවද අප අමතක නොකළ යුතුය. මේ සියල්ල හමුවේ ඉතා සාධාරණ ලෙස ජනතාවට උදව් කරන ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයන්, ආගමික නායකයන් ද තවමත් සමාජයේ අවධියෙන් සිටීම අගය කළ යුතු අතර ඔවුන් සියලු දෙනාට ජාතියේ ආචාරය හිමිවිය යුතුය.

සෝමදාස කන්දෙගේ

advertistmentadvertistment
advertistmentadvertistment