ඕස්ට්‍රේලියාවේ හා තායිලන්තයේ සිටියදී මිදිවතු බලන්නට ගියෙමි. රත් පැහැයෙන්, කොළ පැහැයෙන් එල්ලෙන මිදි පොකුරකට අත තියන්නට ද තහනම්ය. එහෙත් මිදි කර්මාන්ත ශාලාව තුළදී නොයෙක් නොයෙක් මිදි යුෂවල රස පරීක්ෂා කරන්ට මීවිත් නොමිලේම පිරිනැමේ. ඒ ශාලාව ඇතුළත හුස්ම ගන්නේ ද මිදි සුවඳමය. දවස් ගණන් යනතුරු සිරුරෙහි ද ඇඳුම්වල ද සිටින කාමරයෙහි ද මධු සුගන්ධය කැවී ඇති සැටියක් දැනෙයි.
දැනුයි මට හැඟෙන්නේ, කවියා නම් මිදි වගා කරන්නෙක්මය. ඒ මිහිරෙන් ලෝ සතුන්ගේ සිත්පිත් සනහන්නෙකි. ඒ ආනන්දයමය ප්‍රඥාව. අමරකීර්තිගේ කවියට ඇතුළු වී මේ හැම වියවුල් මැදම සැනහී සිටින්නැයි ඔබට කියන්නට කැමැතියි.
අමරකීර්ති ලියනගේ ගේ තෙවැනි කවිපොත ‘හෙවණැල්ල වී පවතිමි’ ඔහු වගා කළ අලුත්ම මිදි උයනය. ‘එකමත් එක පිටරටක’ ‘හමුවෙද අපේ වෙණ තත’ ඔහුගේ මිදි උයන්වල බොහෝ කල් සැරිසැරූ මට මේ අලුත් මිදිවත්ත රසාලිප්ත වන්නට අවස්ථාවක් ජීවිතය නිමවනු පෙර ලැබීම භාග්‍යයකි.
හැම සමාජයක්ම තම යුගයේ කවීන් බිහිකර ගනී. 2000 න් උදාවූ නව සියවසෙහි බිහිවූ ප්‍රභා සම්පන්න කවීන් තිදෙනෙකි. මස්ඉඹුල, අමරකීර්ති හා ලක්ශාන්තය. ඒ ප්‍රමාණයේ කිවිඳියක් පහළ නොවීම විමතියකි. ඊට වරම් ලැබූ විපුලී නිරෝශිනී අකල්හි ඉකුත්වීමත්, ගජමන්නෝනා මොනිකා අක්ල්හි නික්මයෑමත් සමපාත වීම විස්මිත ශෝකයකි. එදා මා යොවුන් කල ‘සුනරුත් පැතුම්’ ලියමින් මහ ප්‍රතිභා පෑ එම්.එම්. ස්වර්ණලතා, දිසාපතිනියක වී අද ඉඳහිට පත්තරේකට ලියන කවියක් දකින විට සංවේගයක් දැනේ. සිල්වියා පලාත්, එමලි ඩිකින්සන්ට මෙන්ම ගැහැනියකට කවි මඟක් සාදාගැනීම ඉරණම් සහගත වියවුලක් වන්නේද?
‘හෙවණැල්ල වී පවතිමි’ මෙවර අමරකීර්ති නෙළාගෙන ඇති වඩාත් මිහිරි වඩාත් සරු අස්වැන්නකි. ඒ මිදි යුෂය ජීවිත කාලයක් රසිකයාගේ හදමනැස සතුටින්, දැනුමෙන් සශ්‍රීක කරනු ඇත. මට සිහිවන්නේ මැඩෝනාගේ ගී පදය.
…… සශ්‍රීක කරමු අපි අපේ ආදරය
සශ්‍රීක කරමු මේ මුළු දිවියම
මේ සැම දෙයක්ම
වීල් බැරෝවක් මෙන් සිංහල කවියේ ඉතා පැරණි සිවුපද, දෙපාද කවි මෙවලම අමරකීර්ති වැඩට ගන්නා තාක්ෂණය ගැන මම අනේක වාරයක් කල්පනා කර ඇත්තෙමි. එය නිදහස් කවි තාක්ෂණයට නොපරදින්නකි. වරෙක එය ඉක්මවන්නකි. වරෙක එය ගුණදාස අමරසේකර (යමන් කලුවෙ ගෙදර යන්න) ඉක්මවන්නේ නව පරිකල්පන මහිමයෙන් ය. ‘ළිඳ හා ළඳ’ දෙපාද කවි කීපයකි.
ළිඳක් කණිමි මම මාගේ ඇතුළතම
මටත් වඩා ගැඹුරක දිය සිසිල දෙන
උදක් බැස ගනිමි අගාධ අඳුර වෙත
මටත් වඩා ගැඹුරුය මා තුළම ළිඳ
බිඳක්වත් මිනිස් පුලුටක් නැති එතැන
මඳක් ගිමන් හැර ගන්නට යෙදී සිත
ළිඳක් කැණ ගතිමි මම බඹ දහඅටක
බිඳක් විතර සැනසුම් සුසුමක් ගනිත
ගෙලක් තරම් නැඟ එයි පතුලෙන් වතුර
ළිඳක් වුවත් එය මා ඇතුළෙම සැදුණ
බියක් මහත් පැවතුම් ගැන මේ සසර
සැණක් දැනී ආවත් මා, මා ගැඹුර
යළිත් යන්න සසරා‘සා දැනෙන විට
ළඳක් පැමිණ අත දෙයි එන්නට ගොඩට
මටත් වඩා ගැඹුරක මම මා තුළම
බිඳක් බිඳක් එක්වී හැම ළඳුන ගුණ
ළඳක් සැදී ඇති බව මා තුළ ගැඹුර
ළිඳක් කැපූයෙන් වැටහිණ මා තුළම
මේ සරල දෙපාද කවෙන් කවියා අප රැගෙන යන්නේ ගැඹුරු වතුරකටය. කවියා තමා තුළම ළිඳක් කපන්නේය. බඹ දහයක ඒ ගැඹුරෙහි ඔහු සිහිලක් තෙතක් විඳ සැනහෙයි. මේ කවියකුගේ ආත්මීය ජීවිතයයි. එහෙත් හුදෙකලාව තනිවීමක් විය නොහැකිය. ඔහු ගොඩට එන්නේ ළඳකගේ අත අල්ලාගෙනය. එසැවී යන්නට තැත් දරන පුරුෂයාව අතින් ඇද පොළොවෙහි සිටුවනුයේ ගැහැනිය නොවේද? කවියා ඇයට ඉහළ වටිනාකමක් ලැබ දෙයි. ඇය අනෙක් හැම ගැහැනිය සතු ගුණ සම්පත්තියෙහි බිඳෙන් බිඳ එක්ව සෑදුණු ළඳක් ය ඒ. සමස්තයකි ඈ. හොඳ කවියක දාර්ශනික ගුණය මෙවැන්නක් මිස අන් දෙයක් නොවේ.
වීර පෙම්වතා ලෙස රඟන නළුවාගේ රංගන කීර්තිය හා බැඳී ඔහු හා එක්වන නිළියකට ජීවිතයේදී තේරුම් ගිය එක් ඇත්තක් ඇත. එනම් හැම අවස්ථාවකදීම ඕනෑ එපාකම් සොයා බලමින් තමාට ඉත සිතින් මෙහෙ කරන කොලුවකු සිටින බවය. ඒ දර්ශන තලයේ සිට තමා දෙස ලයිට් බෝඩ් එකක් අල්ලාගෙන සිටින ‘ආලෝක මල්ලීය.’
මා ප්‍රිය රසිකයනි අවුරුදු සිරි බලන
දැක්කද ප්‍රේමයෙන් බබළන මගෙ මුහුණ
මේ මහ නළු නොවේ මගෙ සිත සුව සදන
ඔබ නොදකින කෙනෙකි අඳුරෙහි එළිය දෙන
ලයිට් මල්ලි තනි රැක්කා හැමදාමත්
සක්විති නළු රජුනි ප්‍රේමය එහෙම දෙයක්
චීන කවි හැඳින්වෙන්නේ ‘ෂී’ යන පදයෙන්ය. එහි ප්‍රධාන අර්ථය නම් ‘කතා කිරීමක්’ යන්නය. චීන කවිවල විශේෂ ලක්ෂණය වන්නේ ද කෙනෙක් කෙනෙකුට කතා කරන හඬක් තිබීමය. අමරකීර්තිගේ බොහෝ කවිවල මේ ශ්‍රව්‍යත්වය (OUDIOCITY) සැඟවී සිටී. සිංහල දෙමළ දිව දෙකකින් කතා කරන කෙල්ලක් අප අමතන්නේ මෙහෙමය.
සිංහලෙන් කවි ලියන කෙල්ල මම – මම දෙමළ
එවන් කවි මම කියමි නොදත්තෙන් ඔබ දෙමළ
ඇඟ දෙමළ හද දෙමළ නම දෙමළ සහ සිහළ
සිංහලෙන් ඔබ ලියූ කවි කරන්නෙමි දෙමළ
සෝයුරනි සිංහලෙන් ලියන සිංහලේ කවි
මටත් ඇත ලියන්නට ඒ බසින් කවි දෙමළ
අනෙ අක්කෙ අනෙ අයියෙ ඔබේ කවි මගෙ බසට
පෙරළන්න පෙර අසනු මගෙ කවිය – එය දෙමළ
සිහළ දෙමළ දිව දෙකකින් කතා කරන මේ කවි ලියන දෙමළ යුවතිය ගැන ලියන මේ කවිය තුළ රඟපාන්නේ ජනවාර්ගික භාෂාව – ජීවිතය ගැන ලියන දෙසන දේශන දහසකින් වත් විනිවිදිය නොහැකි සිංහල – දෙමළ ආත්මය නොවේද? එය හිස්තැන පුරවමින් මණ්ඩල දෙකක් එකට සමපාත කරන්නට ගැසූ මහා ගණිත රේඛාවක් මෙනි!
මගෙ නාමලී… ඔරුවේ නැඟී පාවී ගියේ
එගොඩ කවුරුත් නෑ ප්‍රියේ…
පෙම් පණිවුඩේ පාවේ ගඟේ
හරූන් ලන්ත්‍රා ඒ රන් ගීය ගැයුවේත් මේ සිංහල – දෙමළ කට හඬින් නොවේද?
මෙකල ලියැවෙන බොහෝ කවි හිස් ලිවීම් වී ඇත්තේ ඒවා පරිකල්පනීය අගයෙන් හීනවන නිසාය. පරිකල්පන ලෙස හමුවන හයිකු නමින් ලියැවෙන බොහෝ දේ පරිකල්පනයන් නොව කටකැපෙන මුඛරි කතාය. නන්දන – ආරියවංශ විශිෂ්ට වන්නේ කියන්ට බැරිදේ සිතන්නට ඔවුන් දොරකවුළු හැර දමන නිසාය. අමරකීර්තිගේ කවිය පරිකල්පනීය ලෝකයකි. ඔහු තම කවියක නූලට ගිනි තබන්නේ හැඟීම් සැණකෙළියක් දල්වමින්ය.
… අනුරාධපුරයට යන කවියා දකින්නේ තමා සිතින් දැක තිබුණු අනුරාධපුරසමය. ආපසු එද්දී රැගෙන එන්නේත් එයමය.
…මා එක තැන සිටිද්දී
ගමනේ යෙදී ඇත්තේ
අනුරාධපුරයමය.
අනුරාධපුර, කතරගම වන්දනා ගමන් යන බැතිමතුන් පෙරළා ගෙවලට එන්නේ කිසිදු ආත්මීය වෙනසක් නොමැතිව බව කල්පනාකාරී රසිකයාට තේරුම් යයි. මෙකල දහම් පාසලද ආධ්‍යාත්මයක් නැති ගතානුගතික ආයතනයකි. එහිදී දරුවා ලබන ආත්මීය බලගැන්වුමක් නැත. ලැබෙන එකම දෙය ජාතික – දේශප්‍රේමී හැඟීමක් විය හැකිය.
සිංහයන් වී ගෙදර එන්නට
දහම් පාසල් ගිය පැටව්
තමා තනිවූ බව දැනේ
සිංහශෝකය පහළ වේ
සිංහයා තනියම තැවේ
(සිංහ ශෝකය)
දරුවාට එන්නත් කෙරෙන මේ සිංහාවලෝකනයෙහි දිවි අරුත කුමක්දැයි රසිකයාට හැඟී යයි.
තමාට හමුවූ වඩාත්ම ප්‍රඥාවන්ත ශිෂ්‍යාව ගැන කවියා අප හා කතා කරයි.
…සුහදිනිය
ප්‍රතිභාව, ඥානය, ප්‍රඥාව ගැන
විසිතුරුම කතා කියවෙන
හරිතවත් සරසවි උයනකද
දුර්ලභ සිනිදු කවි සිත්
තනි තනිව නොවෙද අප
හොඳම කවි කියෙව්වේ?
හොඳම සිසුන් ගුරුවරුන් තමාට ජීවිතයෙහි හමුවූ, එහැම දෙනා එකම පංතිය තුළ ඇදුරුතුම දකින්නේ ආත්මාවලෝකනයකින්ය.
… අතීතේ ඉගැන්වූ
හොඳම ගුරුවරු ද එති
අහන්නට පාඩමක්
උගන්වන සැම දිනෙක
මා හොඳට
පුදුමයකි. තමා උගන්වන පන්තියෙහි තමා ද හිඳ සිටී.
…මගෙ සෑම පන්තියක
වාඩි වී සිටියි අන් සිසුන් මැද
මා නමැති සිසු කොලු ද
සදා වයසට නොයන
එදා තම හද බැඳි ගුරුතුමිය ද ඔහුගේ මන ඇස දකින්නේය.
… ඒ වගෙම ගුරුතුමිය
ඇත්තටම උගන්වන
ඕනෑම පන්තියක
පිනින් පිරි විස්ම වූ
වාසනා මුණ ගැසේ
එක් දිනෙක අදහසක
පහන් කණු එළිය යට
අප දෙදෙන මුණගැසුණු
අසිරිමත් දවස සේ
මේ කවෙහි ඇත්තේ ද ඩී.එච්. ලෝරන්ස් තම මවුන් සිහි කරමින් ‘පියානෝවෙහි ගීතාව’ නමින් කඳුළු සලමින් ලියූ කවියේ සුසුම් වේගය කියා මට සිතේ.
… වැටඉන්න හිටවන
ඉන්නට ‘ඉන්න’ කීවේ කවුරුන්ද
මගේ කරවිල වැල ළඟ
‘ඉන්නෙ’ ඉන්නක් ම විතරද?
මේ කවි මැවී ඇත්තේ පරිකල්පනාවෙන්මය. අව ලෝකන – මාන – අදහස් පිරිලාය. කවියා සිතන මිනිසාමය. රසය කුමක්ද? සිතන අමුතු වචනයෙහි සතය වචනයෙහි රසයමය.
රසය – අරුත අත්නෑරෙන, ධ්වනියක් සහිත අප කලාත්මක විරිත් මඟක් ගත් මීමන, කේයස්, කුමාරගම වැනි විශිෂ්ටයන් හැරෙන්නට කොළඹ කවීන් බොහෝ දෙනා එළිවැට සහිත සිවුපදයෙහි තාල රසයට ගිජු වූයේ ඇඹලයන් පරිද්දෙනි. මෙකල විචිත්‍ර ධර්ම කථිකයා කියා ගන්නා ඇතැම් භික්ෂූන්… ගොරහැඬි තාලවලින් කියන ‘කවි බණ’ දහම් විකාර කිරීමකි. නිදහස් කව් මඟ ධ්වනි රීතියක් හැඟුම් රීතියක් බව වටහා ගන්නා ඉවසීමක් සෙවීමක් නව කවීන්ට තිබිය යුතු වෙයි. වික්‍රමසිංහ තේරී ගී සිංහලට නැඟීමේදී නිදහස් කවි රීතිය යොදා ගත්තේ එය එම ස්ත්‍රීන්ගේ ඇතුළු හදෙහි වේදනා සංඥා කියාපාන්නට ප්‍රබල රීතියක් බව කියමින්ය.
අමරකීර්තිගේ කවිවල පුද්ගල අනුභූතිය මෙන්ම සමාජාවේක්ෂණය ද ප්‍රබලය. ඔහු සොයන්නේ විහිදුම් බලයක් ඇති භාෂාවකි. ඇත්තෙන්ම කවියා යනු භාෂාව සොයන්නෙකි. භාෂාවේ කවියා යනු අරුතක් නැත්තකි. වර්ණයේ සිත්තරා කීම හා සමානය. භාෂාධිපත්‍යයෙන් කවියට හානි සිදුවන සැටි කුමාරතුංගගේ ‘පියසමරෙන්’ දකින්නට පුළුවන.
‘මගෙ ගතත් පැහැයත් මුහුණත් බසත්
ඔබ සමානමැයැ යි පවසත් එහෙත්
වරලසෙක් කළු දික් නැත මා දෙකන්
ළඟැ දැළිත් නැත දත් ඇත වම් වෙනස්
භාෂා බැම්ම ලිහිල් වූ තැනය කුමාරතුංගගේ කවිය පිබිදෙන්නේ
ලොවැ සියල්ල බිඳෙයි නොතිරයි දුකයි
අපට ඒ සැබැවින් වෙනසක් නොවී
වරද නම් ගිය කල් පෙරළා බලා
තැවෙන සේ සිහියක් ඇතිවීම මැයි
අමරකීර්තිගේ කවි බස අමරසේකර කියන හද බස නොවේ. හදමනැස් බසකි ඒ. නූතනයා හදවතම මුල් කොට ගෙන ජීවත්වන්නෙක් නොවේ. ඔහු හැඟීම මෙන්ම බුද්ධීන්ද්‍රිය ද අනුව සිතන්නෙකි. අමරකීර්ති සම්මත භාෂා කෘතියෙන් නිදහස්වීමට සිතන්නෙකි.
… ඒ සෑම තැනකම – සෑම ඉඟි අරුතකක්ම අල්ලන
තනි වචනෙ මට දෙන්න
යොදන්න නොහැක මට ඇගේ නම
ඒ වචනෙ වෙනුවට
සියලු භාෂාවල සියලුම වචන
අසමත්ව ගිය තැන
යොදමි මම ඒ නම
ඇගේ නම හංගන්න හොඳ වචනෙ මට දෙන්න.
මේ කවිවල ඇත්තේ ප්‍රේමයෙහි හදවත් සුවඳය. ලෝකයට අවශ්‍ය වී ඇත්තේ ද එයය. අද දවස ගැන ERVIN LASZLO නම් ඇමරිකානු මහලු චින්තකයා අද කියා සිටින්නේ උත්තරීතර ප්‍රකාශයකි. ඒ මෙහෙමය.
“ඉතිහාසය අදින් අවසානයට පත්ව තිබෙනවා. එය අත්දකින්නේ මේ පරම්පරාවයි. ඔවුන්ට ගත හැක්කේ පියවර දෙකකින් එකකි. ඉතිහාසය සමගම අවසානය වැලඳ ගන්නවාද? නැතිනම් නව ඉතිහාසයක් ආරම්භ කරනවාද? මනුෂ්‍ය ඉතිහාසයක් අලුතින්, ඇරඹීමට බලයක් වුවමනාය. එය සූර්ය ශක්තිය නොව ප්‍රේමයේ බලයයි. අද රටවල් නොයෙක් රටවල්වලට ජාතීන්ට යුද්ධය ප්‍රකාශ කරනවා. (WAR DECLAIREATION) ඔබ ලෝකයට ප්‍රේමය ප්‍රකාශ කරන්නට (LOVE DECLAIREATION) සූදානම්ද?”
අමරකීර්තිගේ කවි ආදරයයි කරුණාවයි ප්‍රකාශ කරන ඒවාය. ද්‍රව්‍ය ලෝකයටත් ප්‍රාණ ලෝකයටත් ඔහු මිදි වගාකරුවකු වන්නේ ඒ නිසාය. ස්ත්‍රියගේ ප්‍රේමය විකෘතියක් කළ සරච්චන්ද්‍රගේ විසකුරු මනමේ වල්පැළ ද සරසවි උයනෙන් උදුරා දැමීම කවියා අත්නොහරින්නේ තම වගාවට පෙම් බැඳි සැබෑ වැවිලිකරුවකු ලෙසටමය!
● පරාක්‍රම කොඩිතුවක්කු