කවිය තුළ රැදෙන්නටම අඬගසන තත් සිඳ වයමි හද වෙණ

178

චන්දිමා ලියනආරච්චිගේ තත් සිඳ වයමි හද වෙණ කාව්‍ය සංග්‍රහය අප අතට පත්වන්නේ ඇය ගේ දෙවන කාව්‍ය සංග්‍රහය ලෙසය.

ඇයගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය “ අසිරිමත් කඳුළු” පළවූයේ 2002 වසරේදීය. දෙවන කාව්‍ය සංග්‍රහය ලෙස ඇය අප වෙත රැගෙන එන “තත් සිඳ වයමි හද වෙණ” කාව්‍ය සංග්‍රහය තුළ සාධනීය ලක්ෂණ ප්‍රකට කරන කවි කිහිපයක්ම දක්නට ලැබේ. චන්දිමාගේ පළමුවන කාව්‍ය සංග්‍රහයේ දී මෙන්ම දෙවන කාව්‍ය සංග්‍රහයේදී ද ඇය ප්‍රේමය සම්බන්ධ මාතෘකා කෙරෙහි වැඩී ආසක්ත බවක් දක්වන අයුරු නිරීක්ෂණය කළ හැකිය. කවිය සඳහා භාවික ගුණ පිරුණු බසක් ඇසුරු කිරිමට රුචි කරන චන්දිමා චිත්තරූපමය ගුණයෙන් පොහොසත් කවියක් වෙතද නැඹුරු වන අයුරු “තත් සිඳ වයමි හද වෙණ” කාව්‍ය සංග්‍රහය තුළින් පෙනෙයි.

ජීවිතය හා බැඳුණු වේදනාකාරී අත්දැකීම් සහෘද සිත් සසල කරන අයුරින් කවියට නගන්නට චන්දිමා සතු ශක්‍යතාවය පෙන්නුම් කරන කවියක් ලෙස “රිදුණු තැන්” යන හිසින් යුතු කවිය සඳහන් කළ හැකිය. පහත දැක්වෙන්නේ එම කවියයි.

රිදුණ තැන්…

තුමුල ගිරි හිසට නැග යන මග දිනෙක
පැරද ඇද වැටී නුඹ තනි වුණු කලෙක
විගස දෙපා රඳවා මා උර මඬල
එතෙර කළා එ‘ගිරත් සසැලුණි එකල

එකට එක්ව යන්නට බැරි පටු මගක
නුඹට දිනුම දී පසුබසිනා කලෙක
එක දෙතනක බිවු කිරිවල රස මතුව
රොසක් කොහි වුණිද හිත සතොසක් මිසක

දිනෙක හිස වටා පලඳා රන් කිරුළ
ලොවෙන් ලබන විට නෙක පැසසුම් පවර
නන්නාඳුනන සේ මා මගහැරි දවස
සැතක් ඇණුනි ගැඹුරට හදවත පතුල

පැටි වියේ දිනෙක මා සිරසෙහි තිබුණ
කොස්කොළ ඔටුන්නට හබකළ දා පැරද
සපා කෑ අතෙහි ඇත කැළලක් මතුව
මල්ලියේ රිදෙයි අද අලුතින් එතැන…

අද ජීවිතයේ කිරුළ දරා සිටින මල්ලී දිනක කොස් කොළ ඔටුන්නට තමා සමග ගැටී අත සපා කෑ තැන අද දින අලුතින් රිදෙන බව කිවිඳිය පවසයි. එය බාලවියේ ඔවුන්ගේ සමීප සහෝදර ප්‍රේමයේ තරම ස්පර්ශ කරයි.

චිත්ත රූප ඇසුරින් කවියේ සියුම් පෙදෙස් ස්පර්ශ කරන්නට ඇය දරන වෑයම “නවතිමි එකඳු පා අස” නම් නිමැවුමෙන් මතු වී පෙනෙයි. මතු දැක්වෙන කවිය දෙස බලමු.

නවතිමි එකඳු පා අස..

වැරහැලිව ගිය – සබඳකම් ළඟ
තැනින් තැන මතුවේය – නිරුවත
වචන දහසක දුකට වැඩියෙන්
හොඳයි මේ හිත නිවන මුනිවත.

හදෙහි අහුමුලු පවා හඳුනන
දයාවේ නෙත් වේද කිකලෙක
මකමි – කැටපත් පවුරු මත පෙර
ලියූ ඉපැරැණි මතකවල දුක.

වේදනා රැල් නගන දිය මත
කැඩී විසිරුනි- දුලන පුරසඳ
අවාරේ නටු අගින් ගිලිහිනි
රැයට රහසින් පිපුණු – හද කොඳ

පුරුද්දා ගත් -බිඳුණු බඳුනෙහි
පිරිත් පැන් -ඉහිරුණා හිසපිට
පුරන් වූ සෙනෙහසේ කෙත්වතු
දැවී අළු මුහු වුණා හුළඟට..!

බොහෝවර පැමිණී – නික්ම ගිය
වසන්තය යළි නොඑන මානෙට
පුරා ගෙන ඔලගුවේ- හිස්කම
නික්ම යමි ඇස් ඇරුණු හීනෙට.

සෝබරව බිම බලා හිටි පිය
හිඳී කඳු හිස – අදත් පෙර ලෙස
මවක ළඟ දුක නිවන දරුවකු
වගේ නවතිමි එ’කඳු පා අස.!

ප්‍රේමය අහිමි වීම ස්පර්ශ කරනු පිණිස ඇය යොදා ගන්නා මතු දැක්වෙන කාව්‍ය ඛණ්ඩ ඇය සතු කවි කමට දෙස් දෙයි.

“වේදනා රැල් නගන දිය මත
කැඩී විසුරුණි – දුලන පුර සඳ
අවාරේ නටු අගින් ගිලිහිණ
රැයට රහසින් පිපුණ – හඳ කොඳ”

අපට දැනෙන ඇතැම් සංවේදනාවකට හේතුව කුමක්දැයි ඉඳුරාම කිව නොහැකිය. චන්දිමා “ මේ මා උපන් මාසය” යනුවෙන් කරනු ලබන නිමැවුමේ දී එබඳු අඩවියක් වෙත ප්‍රවේශ වන්නට චිත්තරූපමය ගුණයෙන් යුතු භාෂාවක් අතවැසි කර ගනියි.

මේ මා උපන් මාසය….!

බොහෝ කලකට එපිට
එක වැහි වැටෙන උදයක
අම්මාට හිනාවක් අරගෙන
හඬමින් මෙලොව ඇස් ලද
මේ මා උපන් මාසය…!

හැම දෙසැම්බරයේම
හිත වෙලාගන්නා
උමතු පාළුව
අදත් ඇවිදින්
අඩි සලකුණුදු නොමැතිව.

තුහින රැඳි
කවුළු වීදුරුවෙන්
බලමි ගෙවුයන දෙස
බොඳව ගිය සිතුවමකි
ඒ මත අඳිමි ඔබෙ රුව.

ශෝකී සුළං රැල්වල
මළ ගෙයක රැඳි සීතල
අපැහැදිලි හැඟුමක් වී
රැගෙන යයි
හිත තිබුණු ඉමිහිර…

හාත්පස අඩ අඳුරැති
කඳුළු මන්දාරම බිඳ
සීතල දෙසැම්බරයෙහි
දියවෙමි මහා වැහි මැද..

හිමි කර ගත නොහැකි ප්‍රේමයක් දෙස උපේක්ෂාවෙන් බලන්නට චන්දිමා දක්වන සමත්කම “නම නො දත් සෘතුවක” යන හිසින් යුතු කවියෙන් මතුව පෙනෙයි. අරපිරිමැස්මෙන් වචන භාවිත කරමින් අහිමි ප්‍රේමයක් දෙස උපේක්ෂාවෙන් බලන්නට කිවිඳිය සමත්වන අයුරු මෙහිදී ප්‍රකට වේ. පහත උපුටා දක්වන්නේ එම කවියයි.

නම නොදත් සෘතුවකදී

ඉර
රේණු ඉහිරවයි
ඉතා පැහැදිලි
අහස මත හිඳ

අඳුරුය
මගේ කුටිය
පාළුය
හිස් ය

කවුළුවෙන් එපිට
පිපුන මල්වල
දම් පැහැය
අපැහැදිලි වීදුරුවෙන්
දකිමි මම

නොනවත්වා ගී ගයන
කුරුල්ලා
කොතැනදැයි නොදුටුවද
ඒ ගීය මිහිරිය!

වසනු නොහැකිය
කවුළු දොර
මොලොක් වේ
ගල් ගැසුණූ හදවත
කොතැන හෝ හිඳ
කුරුල්ලෝ ගී ගයන්න.
උයන සතු නොවුණත්
මට බලන්නට
මල් පිපෙන්න..!

භාවික ගුණ සපිරි බසත් අතවැසි කර ගනිමින් ප්‍රේමය සබැඳි ප්‍රස්තුත වෙත එබී බලන්නට චන්දිමා සිව් පද ආකෘතිය මනා ලෙස පරිහරණය කරයි. “ගජමන් පුවත නව කවියක ලියමු අපි” යන ශීර්ෂයෙන් යුතු කවියේ ආරම්භක පද්‍ය දෙක පමණක් මෙහිදී උපුටා දක්වනු කැමැත්තෙමි.

“හුරු ලෙස සසර හමුවූ මුත් හිමි නොවනා
ගොළුකර තබා ඉකිලන හදවත් වීණා
කව් නළු අතර හිම් නැති අසිරිය පතා
නුඹ ඇලපාත මං නුඹෙ ගජමන් නෝනා

සිතුවිලි සසල මොහොතක ලොව සසල විය
සෙනෙහස මිරිඟුවකි පවසට නොලද දිය
සිහිවෙයි අහිමි අහරැළි ගිනි නැගෙයි ළය
පුරහඳ නොපිපි අහසකි නුඹ නොමැති රැය”

විරෝධාකල්ප සංයත ලෙස කවියට කැඳවන්නට චන්දිමා දක්වන උත්සාහය ”මූසිලය මා සුමිතුර” නම් හිසින් යුතු කවියෙන් පෙනෙයි. පහත දැක්වෙන කවිය දෙස බලනු මැනවි.

මූසිලය මා සුමිතුර…

තිස්තුන් කෝටියක් දෙව් බඹු සේනාව
තත් සිඳ වයයි ගුත්තිල සතු වීණාව
නුඹ ලද මහරු සිප් පය පා මුල ලෑව
මූසිල බිඳිය යුතුමය මේ මායාව.

සක්වළ සතර මායිම වැට කඩොලු බැඳ
රජ මැතිවරුන් නුඹ හට වින කටින සඳ
විඳ විඳ අපා දුක් නුඹ පෙර දිනන ලද
නුඹ හැර නුඹට අන් සරණක් තියෙනවද

මූසිල මූසලය කියමින් හිනැහෙන්ට
රැස්වුණු දහක් කොඳු සිඳගත් නිවටුන්ට
සන්කළ අදිසි අඳුරකි විවරණ දෙන්ට
වැරදුණ තැන එතැන හරි මඟ නොදකින්ට

එදවස පටන් ඉනි හිස මුර කරන ලද
නව පරපුරක අබිමන් පා මුලම සිඳ
මැදහත් සිතක රැඳි විවරණ බිඳින ලද
යුගයක් බිහි වුණා ගුත්තිල පුවත මැද

අදටත් එදා වාගේමයි මේ නුවර
ගුත්තිල අදත් දෙව් බඹු රජවරු අතර
නළලත තබනු මිස උන් පා ළඟ වැතිර
නැත අන් මඟක් ඉතුරුව මූසිල මිතුර

මේ කවියේදී වෑත්තෑවේ හිමියන් ගේ ගුත්තිල කාව්‍ය වෙනත් කියවීමකට ලක් කිරීමට ඇය සමත්වන්නේ ආවේග දමනය කරන ලද සංයත කවි බසකිනි.

“අදටත් එදා වාගේමයි මේ නුවර
ගුත්තිල අදත් දෙව් බඹු රජවරු අතර
නළලත තබනු මිස උන් පා ළඟ වැතිර
නැත අන් මඟක් ඉතුරුව මූසිල මිතුර”

අධිපති දේශපාලන දහරාව තුළ අපට නෑසී යන සියුම් ස්වර පිළිබඳව ඉඟියක් සපයන්නට ඇය මෙහිදි සමත් වෙයි.

“බොර දියෙහි දියවේද කවිහද” නම් කවියෙහි චන්දිමා පාවිච්චි කරන්නේ ඇය වඩාත් රුචි කරන සිව් පද ආකෘතිය හා භාවික ගුණ පිරුණු බසයි. ජීවිතය එක්ව බෙදාගනිමින් කල්ගෙවන ලද මිතුරෙකු ගේ වෙනස් වීමක් ඒ වෙනස්කම හුදෙක් පුද්ගලික මිත්‍රත්වයේ පලුදු වීමක් නොව ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳ ප්‍රශ්න කිරිමක් ලෙස දැකිය හැකිය. කලාකරුවකුගේ දේශපාලනය යනු පක්ෂ දේශපාලනය අතික්‍රමණය කළ යුතු සංස්කෘතික අඩවියකි. එහෙත් වර්තමාන කලාකරුවන් විවිධ දේශපාලන පක්ෂවල පාට ධජ සංකේත අභියස ඔවුන්ගේ සියුම් ආධ්‍යාත්මය දියකර හරිනු පෙනේ. එබඳු මොහොතක් ප්‍රශ්න කරන ලකුණු මේ කවිය අවසන අපට හමුවේ.

සාරසීයක් මල් නෑ ගෙවපු මාවත
නුඹෙ සොහොයුරු හදයි හිත රැඳුනු මී විත
පසෙකින් තබනු නොහැකිය සොඳුරු ගීපොත
පාටවලින් හැඩකළ හැකිද ජීවිත

චන්දිමාගේ තත් සිඳ වයමි හද වෙණ කාව්‍ය සංග්‍රහය ඇය දිගින් දිගටම කවිය තුළ රැඳී සිටිය යුතු තරම් වාසනා ගුණ ඇති කෙනෙකු බව ඉඟි කරයි. ගැඹුරු කියවීම සහ අභ්‍යාසයන්ගෙන් පන්නරය ලබමින් ඇය මතු දිනක තවත් ප්‍රශස්ත කවි අප අතරට රැගෙන එන බව නොඅනුමානය.

වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

advertistmentadvertistment
advertistmentadvertistment