කවුද අනේ බෝම්බ වලට අත උස්සන්නේ නොහොත් සංචාරක කර්මාන්තය මොඩිෆයි කිරීම

784

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා Health and medical tourism හෙවත් සෞඛ්‍ය සහ වෛද්‍ය ප්‍රතිකාර සංචාරක කර්මාන්තය හඳුන්වා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. මෙය දැනටත් මේ රටේ ඉතා සුළු වශයෙන් ක්‍රියාත්මක වන සංකල්පයකි. Ayurveda Medical Resort නමැති සංචාරක හෝටල් කිහිපයක් මේ රටේ තිබේ. පිට රටින් මෙහි එන සුද්දෝ එම හෝටල්වල නැවතී ඇඟේ තෙල් ටිකක් ගාගෙන පත්තුවකුත් බැඳගෙන ලෙඩේ හොඳ වුණා යැයි කියමින් සිය ගම රටවල් බලා යති. හැබැයි මේ Medical Resort සංකල්පයට නිසි ප්‍රමිතියක් නැත. සමහර තැන්වල මහා නාරායනය කියා සිද්ධාර්ථ තෛලය සුද්දන්ගේ ඇඟේ උලනු ලැබේ. සුද්දා මහා නාරායනය හෝ සිද්ධාර්තය අතර වෙනස නොදනී. තවත් තැනක එතිල් ඇල්කොහොල් වැඩිපුර යෙදූ දසමූල අරිෂ්ටය සුද්දන්ට දෙනු ලැබේ. මෙහිදී පළමුවන අරිෂ්ට වීදුරු දෙකෙන් හොඳටම සූර්වන සුද්දා ලෙඩ දුක් සුවය සඳහා ජීවක පානයක් ලංකාවේ තිබෙන බව මව් රටට ගොස් කියයි. ඇල්කොහොල් අඩංගු අරිෂ්ට වැඩිපුර බිව්වොත් බොක්ක කුණු වීම ෂුවර් ය. ඒ නිසා මේ රටේ සෞඛ්‍ය සහ වෛද්‍ය ප්‍රතිකාර සංචාරක ප්‍රවර්ධනය කිරීම සඳහා උසස් ප්‍රමිති මාලාවක් හැදීමටත් ඒ ප්‍රමිතීන් ක්‍රියාත්මක වන්නේ දැයි නිරන්තරයෙන් කල්පනාවෙන් සිටීමටත් ජනාධිපති රනිල් කටයුතු කළ යුතුය. මේ කතුවැකියේ ඉතුරු ටික ලියන්නට කළින් කුඩා පුවත් දෙකක් ගැන කෙටියෙන් සාකච්ඡා කරමු. පාස්කු බෝම්බය සැලසුම් කළ උදවිය සිය

වැරැද්ද පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවොත් එසේ සමාව දීමට සූදානම් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් තුමා පවසා ඇත. කාදිනල්තුමා මේ තරම් අහිංසක අදහස් දරන්නකු බව අපි නිකමටවත් කල්පනා නොකෙළෙමු. පාස්කු බෝම්බයට සම්බන්ධ කවුරුවත් ඒ සඳහා තමන් තුළ ඇති වගකීම් කොටස භාර ගනිමින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නේ නැත. එසේ සමාව ඉල්ලූ ගමන්ම පොලිසිය පැමිණ ඔහු කුදලාගෙන යන අතර මහාධිකරණයෙන්වත් කවදා ඇප ලැබේදැයි කීමට නොහැක. ඉතින් කවුද අනේ බෝම්බවලට අත උස්සන්නේ? ඊළඟට දෙමළ සන්ධානයේ ආර්. සම්බන්ධන් මැතිතුමා කියන කතාවක් ගැන අවධානය යොමු කරමු. චැනල් 4 රූපවාහිනි වාර්තා චිත්‍රපටිය මගින් නම් වශයෙන් හෙළිකරන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බව සම්බන්ධන් මහත්තයා කියා තිබේ. රූපවාහිනි වැඩසටහනකින් නම් ප්‍රචාරය කළ පමණින් කෙනකු අත්අඩංගුවට ගැනීමේ සිරිතක් ලංකාවේ නැත. එහෙම අත්අඩංගුවට ගන්නට ගියොත් රටෙන් භාගයක්ම කූඩුවලට යැවිය හැකිය. සම්බන්ධන් මහත්තයාට ඉතා තදින් විවේකය අවශ්‍ය බව අපට පෙනී යයි. දැන් නැවතත් අපි කතා කරන්නේ මේ රටේ සංචාරක ව්‍යාපාරය ගැනය.

බලහත්කාරයෙන් මහා සාගරයට ඇද දැමූ එකෙක් පිහිනාගෙන හෝ නැව ගහගෙන යෑම නිසා කිසියම් රටකට කඩා පාත්වුණොත් ඒ තැනැත්තා සංචාරකයකු ලෙස හඳුන්වනු නොලැබේ. මේ අනුව විජය කුමාරයා සංචාරකයකු ලෙස හැඳින්විය නොහැක. එහෙත් එක්දහස් තුන්සිය හතළිස් ගණන්වලදී ලංකාවට පැමිණි ඉබන් බතූතා සංචාරකයෙකි. සංචාරකයකු යනු කිසියම් “දැකබලා ගැනීමේ අරමුණක් උදෙසා” තැනින් තැන යන කෙනෙකි. ඉබන් බතූතා ලංකාවට එන්නේ මේ රට තොට බලා ගැනීමටත් ශ්‍රී පාදස්ථානය වන්දනා මාන කිරීමටත් ය. ඒ සඳහා හලාවත පැත්තේ ප්‍රාදේශීය රජකු සෙට් කරගත් හෙතෙම ඔහුගේ උදව්වෙන් සිය ගමනින් භාගයක් ගොස් ඉතිරි ටික ස්වෝත්සාහයෙන්ම ගමන් කර ශ්‍රී පාදය වන්දනා කළේය. ඒ අතර ක්‍රිස්තු පූර්ව තුන්සිය තිස් ගණන්වලදී චීනයේ සිට ලංකාවට වැඩම කළ පාහියන් භික්ෂුවද සංචාරකයෙකි. ඊට අමතරව තවත් සංචාරකයෙක් ලංකාවට එන්නට කල්පනා කර ඉන්දියාව තෙක් අවුත් ආපසු සිය රට බලා ගියේය. ඔහු මේ රටට ආවේ නම් දෙකෙන් එකක් වීමට ඉඩ තිබිණ. ඔහුගේ නම මහා ඇලෙක්සැන්ඩර් ය. ඉන් පසු ලංකාව ටිකෙන් ටික සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට පටන් ගත්තේය. ගොවිතැනින් පමණක් ජීවිතය ගැටගසාගෙන සිටින මේ රටට ඩොලර් කිහිපයක් උපයා ගැනීම සඳහා ඇති හොඳම මාර්ගය ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම බව 1966 දී ආණ්ඩුව තීරණය කළේය. ඒ අනුව ටුවරිස්ට් බෝඩ් එක සහ හෝටල් සංස්ථාව ස්ථාපනය කරන ලදී. කොරෝනා කාලයේදී අපගේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටින. එයට පෙර හටගත් පාස්කු බෝම්බ පිපිරීම නිසා මේ රටේ සංචාරක ව්‍යාපාරයට කොහොමටත් තුවාල වී තිබිණ. තිස් අවුරුදු යුද්ධය නිසා එල්.ටී.ටී.ඊ. මායිම් වලට හැර ඉන් එහාට යෑමට සංචාරකයෝ බිය වූහ. යුද්ධයෙන් පසුත්, සුනාමියෙන් පසුත්, පාස්කු බෝම්බයෙන් පසුත්, කොරෝනාවෙන් පසුත් මේ රටේ සංචාරක කර්මාන්තය දියුණු වෙතැයි කට්ටිය කල්පනා කළහ. එහෙත් අවසාන ඵලයේදී දියුණු වී තිබුණේ ලංකාවට සංචාරකයන් ගෙන්වන එයාර් ලයින් පමණි. මේ වසරේදී සංචාරකයන් විසි ලක්ෂයක් පමණ මෙරටට එතැයි අපේක්ෂිතය. එහෙත් ඒ සංචාරකයන් සියල්ලෝම බස්වල යන, ස්ටේෂන් වල නිදියන, ආණ්ඩුවේ වැසිකිළියේ මළපහ කරන, වැස්සටවත් හෝටල්වල ලැගුම් නොගන්නා සංචාරකයෝ වෙති. මෙයිට අවුරුදු තිහ හතළිහකට පෙර කටුනායකින් ලංකාවට බහින සංචාරකයා සුඛෝපභෝගී රියක නැඟී කොළඹ පිහිටි සංචාරක හෝටලයක ලැගුම් ගනී. දෙතුන් දිනක් කොළඹ වටේ යන ඔවුහු ඉන් පසු up country හෝ down south ගොස් මාසයක් පමණ එහි ගතකර ආපසු කොළඹ එති. මේ එක සංචාරකයෙක් සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් පනස් දහසක අවමයක් මේ රටේ වැය කිරීමට පුරුදුව සිටියහ. එහෙත් අද මෙහි එන ටුවරිස්ට්ලා ගාලු මුව දොර අද්දර හෝටල්වල නැවතුනත් උදේට කෑම කන්නේ චූන් පාන් කාරයාගෙනි. දවල්ට තෝසේ කඩේකට රිංගන ඔවුහු රාත්‍රියට ගෝල්ෆේස් එකේ තිබෙන නානාගේ කඩෙන් කෑම කති. ෆයිව් ස්ටාර් හෝටලයක කෑම වේලක් රුපියල් අට නව දහසක් වේ. එහෙත් චූන් පාන් කාරයාට රුපියල් දෙසීයක් දුන්විට බඩ පැලෙන්නට කෑම කෑ හැකිය. නානාගේ කඩේට රුපියල් පන් හයසීයක් ගෙවා දුම් දමන චිකන් කොත්තුවක් කෑ හැකිය.

මේ තත්ත්වය පවතින්නේ අපේ රටේ පමණක් නොවේ. මුළු ලෝකයේම විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර මීට අවුරුදු ගණනකට පෙර ගෙවූ fun ජීවිතය ගෙවීමට මෙකල ඔවුන්ට නොහැක. මේ නිසා බැක් පැක් සංචාරක ස්ථරයට එක ක්‍රමයකටත් මුදලක් වියදම් කළ හැකි සුළු පිරිසට තව ක්‍රමයකටත් ආර්ථික ආමන්ත්‍රණයක් කළ හැකි නම් අපේ රටේ සංචාරක කර්මාන්තය වඩාත් දියුණු කර ගැනීමට හැකි වනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment