කවුරුත් කතා කරන මොකක්ද මේ අන්තර්වාර ආණ්ඩුව

103

රනිල් දිගටම අගමැතිද

මාස හයකින් පස්සේ මොකද වෙන්නේ

ගාලු මුවදොර පිටියේ මූලික සටන් පාඨය වූයේ Gota go home යන්නය. මෙම උද්ඝෝෂණ ක්‍රියාදාමයට මේ වන විට මසකට වඩා වැඩි කාලයක් සම්පූර්ණ වී ඇත. මෙම අරගලය ආරම්භ වී වැඩි කල් යන්නට මත්තෙන් Gota go home පමණක් නොව Mahinda go home ලෙසටද 225 ටම ගෙදර යන ලෙසට ද දක්වා සිය සටන් පාඨ පුළුල් කිරීමට අරගලකරුවෝ උත්සුක වූහ. තවද ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වූ මෙම සමාජ අරගලය අදවන විට දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව වී ඇත. එනම් පූජ්‍ය පක්ෂය, සමාජ ක්‍රියාකාරීන්, වෘත්තිකයන්, සිවිල් සංවිධාන, කලාකරුවන් ඊට එකතු විය. දිනෙන් දිනම ලැව් ගින්නක් සේ සමාජය පුරාවටම රට පාලනය කරන ඇත්තන්ට එරෙහිව එල්ල වූ සමාජ තෙරපුම වර්ධනය විය. ඊට විසඳුම් දීමට පාර්ලිමේන්තුව දින කීපයක් පුරා රැස් වුවද කිසිදු විසඳුමකින් තොරව පාර්ලිමේන්තුවේ සභා රැස්වීම අවසන් විය. දින කීපය පුරාවටම සිදුවූයේ එකිනෙකාට වන අපවාද, අවලාද, බැන අඬ ගැසීම් පමණි. ඇතැම්විට පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර වූ විහිළු තහළුය. ඒ වෙනුවෙන් ජනතාව පාර්ලිමේන්තුව රැස්වන දිනකට රුපියල් ලක්ෂ 92ක මුදලක් වැය කළේය. පාර්ලිමේන්තුවේ ඊළඟ සැසිවාරය මේ මස 16 දක්වා කල් තැබුණි. එහිදී ජනතාවට නම් තේරුම් ගියේ ගහපු පදයකුත් නැත බෙරේ පලුවකුත් නැත යන්න පමණි. එබැවින් ජනතාවට පාර්ලිමේන්තුව කෙරෙහි තිබූ විශ්වාසයද බිඳ වැටුණි.

● ජනාධිපති ධුරය හිස්වුණොත්…

පසුගියදා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විණි. එනම් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමගම කැබිනට් මණ්ඩලය විසිර වේ. අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය විසුරුවා ඇති අවස්ථාවක එකී අග්‍රාමාත්‍යවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ සියලු වගකීම් දරනුයේ රටේ ජනාධිපතිවරයා විසිනි. එනම් ගෝඨාට ගෙදර යන ලෙස කීවද අද වන විට අග්‍රාමාත්‍යවරයාගේද අමාත්‍ය මණ්ඩලයේ ද විධායක බලය අත දරා සිටි ජනාධිපති ගෝඨාභය විසිනි. එය සමාජ අරගලයේ විකෘති දේශපාලන පිළිබිඹුවකි. නමුදු එහිදී ජනතාවගේ විරෝධතා හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගෙදර යෑමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැකියාව පවතීද යන්න පිළිබඳව අපට ගැටලුවක් මතුවේ. එනම් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 38 (2) වගන්තිය ප්‍රකාරව ජනාධිපති ධුරය හිස් වන අවස්ථා සඳහන් කර ඇත. ඒ අතරින් අද වන විට ප්‍රායෝගිකව ජනාධිපති ධුරය හිස් විය හැකි අවස්ථා මූලික වශයෙන් දෙකකි. ඉන් එකක් වන්නේ දෝෂාභියෝග යෝජනාවක් මගින් ජනාධිපතිවරයා ගෙදර යැවීමය. නැතිනම් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය. එනම් දෝෂාභියෝග යෝජනාවක් සම්මත කරවා ගැනීම තරමක අසීරු ක්‍රියාවලියකි. එසේනම් අනිත් ක්‍රමය වන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වීමය. යම් හෙයකින් ජනාධිපති ගෝඨාභය ඉල්ලා අස්වුවහොත් රට අරාජික වේද යන්න පිළිබඳව සමාජය තුළ මේ දිනවල පුළුල් කතිකාවතක් නිර්මාණය වී ඇත.

ජනාධිපතධූරය හිස්වූ විට වන ව්‍යවස්ථාමය විසඳුම්..

අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය පුරප්පාඩු ඇති වූ විට එහි අනුප්‍රාප්තිකයා වන්නේ අග්‍රාමාත්‍යවරයාය. මෙවැනි අවස්ථාවක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ උදාවූයේ 1993 වර්ෂයේදීය. එනම් රණසිංහ ප්‍රේමදාස ත්‍රස්ත ප්‍රහාරයකින් මිය යෑමත් සමගය. එදා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඩී. බී. විජේතුංග අනුප්‍රාප්ත ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය. මෙහි බරපතළම තත්ත්වයක් නිර්මාණය විය හැක්කේ රටේ අග්‍රාමාත්‍යවරයෙකු නොමැති තත්ත්වයකදීය. එවැනි විටෙකදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වේ. නමුදු මසක් ඇතුළත පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් තැනැත්තකු ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගත යුතුය.

● ගෝඨා ගියොත් රට කරන්නේ කවුද

කවුරුත් කතා කරන මොකක්ද මේ අන්තර්වාර ආණ්ඩුව

ජනාධිපති ගෝඨාභය ගෙදර ගියොත් රට කරන්නට කවුරුත් නැහැ යන්න මිථ්‍යාවක් බව ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය කියා සිටී. නමුදු සමගි ජන බලවේගය නම් කියන්නේ විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කළ යුතු බවය. ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ද විවිධ කොටස් අතර මතභේදයක් පවතී. එනම් ජෙනරල් සරත් ෆොන්සේකා ජනාධිපති ධුරය අහෝසි කරනවාට විරුද්ධය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතය සමගි ජනබලවේගයේ මතයට සමානය. එනම් ඔවුන් කියා සිටිනුයේ ද විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතු බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් නම් මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත වූ අදහසක් දක්වා නැත. ඒ පිළිබඳව අදහස් දක්වන ආචාර්ය විජේදාස රාජපක්ෂ කියා සිටිනුයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඒ හා බැඳුණු සමානුපාතික මැතිවරණ ක්‍රමය සහ පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් යම් එකඟතාවකට පැමිණිය යුතු බවය. එනම් රටේ ස්ථාවර වූ විධායකයක් නොමැතිව පිහිට වන පළාත් සභා වලට ස්වතන්ත්‍ර එනම් පෙඩරල් පාලනයක් කරා යෑමේ වැඩි අවකාශයක් උදාවිය හැකිය. නමුදු සමගි ජනබලවේගය හෝ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මේ සම්බන්ධයෙන් තවමත් පැහැදිලි අදහසක් දක්වන්නේ නම් ඇත. අද වන විට අප රටේ පවතින්නේ ආරාජික තත්ත්වයකි. එනම් රට දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් වශයෙන් ද බිඳ වැටී ඇත. එමෙන්ම මුළු ලෝකයටම ණයකාරයෙක් බවට පත්වී ඇත. මෙවන් වූ දේශපාලන, ආර්ථික වටපිටාවක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ අතිශය කල්පනාකාරීවය.

● 21 සංශෝධනයෙන් පස්සේ විධායක ජනපතිගේ භූමිකාව

විධායකය යනු ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ මූලිකාංගයකි. එවැනි විටෙකදී පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර ඡන්දයකින් පමණක් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ හැකි හැකිද යන්න පිළිබඳ ගැටලුව නිර්මාණය වේ. බොහෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයක් ද පවත්වා ලිය යුතු බවය. අප රටේ අද පවතින තත්ත්වය තුළ ජනමත විචාරණයක් සඳහා යෑමට අවශ්‍ය සමාජ පසුබිමක් ද නැත. එබැවින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් නොවුණහොත් ඊළඟට අපට පැමිණෙන ගැටලුව වන්නේ වත්මන් ආණ්ඩුවට ඔහු සමග කටයුතු කරලීමේ අවකාශ පවතීද යන්නය. එසේනම් ඊළඟට කළ යුතු වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටින නමුදු ඔහුගේ බලතල කප්පාදු කිරීමය. එනම් පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කළ යුතුය. විශේෂයෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ බලය වැඩි විය. නමුදු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට අහිමි වී ගිය බලය නැවත ජනාධිපති ධුරය වටා ඒකරාශි විය. එබැවින් නැවතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුට ලබාදුන් බලතල නැවත ස්ථාපනය කිරීමට 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන යා යුතු බවට බොහෝ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කර ඇත. මෙහිදී 21වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් දැනටමත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස කථානායකවරයාට බාරදී ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ කණ්ඩායම්වල ද සහාය ලැබී ඇත. එමෙන්ම සමගි ජන බලවේගය ද 21 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් සකස් කර ඇත. එනම් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කොට ගොඩනැගෙන 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ බොහෝ සාධනීය ලක්ෂණ දක්නට වෙයි.

● තාක්ෂණික අරගලය හමුවේ යට යන පැරණි දේශපාලනික මූලෝපාය

නිදහසින් පසු වසර 74 ක කාලයක් පුරාවටම අප රටේ පාලන තන්ත්‍රයට සම්බන්ධ වූ බොහෝ දේශපාලනඥයෝ සිදුකළේ රටත් සමඟ සෙල්ලම් කිරීමය. ඊට නොදෙවෙනි ජනතාවක් ද වෙයි. එනම් රටේ පාලකයො එරට ජනතාවගේ කැඩපතයි. එනම් ජනතාව අධම, දේශපාලන වශයෙන් නූගත් පිරිසක් නම් පාලකයෝද ඊට අනුරූපීව නිර්මාණය වේ. එහි ප්‍රතිඵල දැන් අප භුක්ති විඳිමින් සිටී. එනම් මුල්කාලීනව අප රටේ පැවතියේ ද්වි පක්ෂ ක්‍රමයකි. එනම් ගමක ජීවත් වූයේ යුන්පී කාරයන් සහ ශ්‍රී ලංකා කාරයන්ය. ඔවුහු බොහෝ විට තම දේශපාලන පක්ෂය හිමිකර ගන්නේ තම පියාගෙනි. එනම් ඔහු කැපුවත් කොළ කැපුවත් නිල් පිරිසකි. නමුදු අද වෙන විට එම තත්ත්වය බොහෝ දුරට වෙනස් වී ඇත. එනම් තාක්ෂණික කරුණු කාරණා අතින් වත්මන් පරපුර දැනුවත් ය. තවද දේශපාලන සාක්ෂරතාවද ඉහළ ය. ලෝකයේ එහා මුල්ලේ සිදු වුණ සිදුවීමක් අන්තර්ජාලය හරහා එක සැණෙකින් දැන ගැනීමේ හැකියාව වත්මන් පරපුරට ඇත. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් 1971 සහ 88/ 89 කැරැල්ල වලදී තරුණ කණ්ඩායම් අතට ගත්තේ අවි ආයුධ ය. නමුදු නූතන පරපුර අතර ගත්තේ තාක්ෂණික දැනුමය. එබැවින් ගාලු මුවදොර වටා රොද බැඳ සිටින තරුණ පිරිස සිදු කරනුයේ තාක්ෂණික විප්ලවයකි. ඒ බොහොම සාමකාමී ය. මෙම නිහඬ එහෙත් ගැඹුරු අරගලය මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව තේරුම් ගත්තේ නැත. එබැවින් මහින්ද, ජොන්ස්ටන් වැනි දේශපාලඥයන් මෙම අරගලයට ප්‍රතික්‍රියා දැක්වූයේ සාම්ප්‍රදායික ක්‍රමවේද හරහාය. ඇතැම් විට මහින්ද දකින්නට ඇත්තේ එය මුල්කිරිගල අතුරු මැතිවරණයක් ලෙසිනි. එහිදී ජොන්ස්ටන්ට නම් එය කාක්කෙක්ගේ කාක් තට්ටක් එල්ලීමේ ක්‍රියාවලියට සමාන මනෝභාවයකි. ඔවුනට නොදෙවෙනි අනුගාමිකයන් පිරිසකි. එනම් මහින්දගේත් ජොන්ස්ටන්ගේත් කතාවලින් ඔදවැටුණ ජනතාව ගෝල්ෆේස් පිටියට කඩා වැදුණි. එනම් මහින්දට වැරදුනේ එතැනය. අවසානයේදී ඔහුට සිදුවූයේ එම සභාව අමතා පැයක් යන්නට මත්තෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ය.

● මොකක්ද මේ අන්තර්වාර පාලනය

අග්‍රාමාත්‍යවරයා අන්තර්වාර ආණ්ඩුවක් හෝ ජාතික ආණ්ඩුවක් හෝ වැනි පාලන උපක්‍රමයක් භාවිත කරමින් සිය දේශපාලන යාන්ත්‍රණය හසුරුවා ගැනීමට සිදුවේ. ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති තත්ත්වයක් තුළ මෙය වඩාත් කැපී පෙනෙන ලෙස ඉස්මතු වේ. එනම් පවතින පාර්ලිමේන්තු සංයුතිය හමුවේ ආණ්ඩුවට හිමිව පවතින්නේ සුළුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාවකි. මෙවන් සුළුතර අණ්ඩුවක් තුළින් ලක් ජනතාවට සේවාවක් කිරීමට හැකියාව පවතීද යන්න පිළිබඳව බොහෝ දෙනා තුළ පවතින්නේ කුතුහලයකි. නමුදු මෙම අන්තර්වාර පාලනය පිහිටුවා ගන්නේ සුළු කාලයකට ය. එනම් ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන තෙක්ය. එහිදී ජනතාවට යහපත් යෝජනාවක් ඉදිරිපත් වූ විට සියලු දෙනාම ඊට එක් විය යුතුය. අන්තර්වාර පාලනයක පොදු ලක්ෂණය ද එයම වේ. මෙවන් ආණ්ඩු ක්‍රමයක් තුළ දේශපාලන ඩීල් තිබිය නොහැකිය. එනම් ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ රටේ අරාජිකත්වයක් ඇති අවස්ථාවකය. එනම් බරපතළ සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදයකට පිළියමක් වශයෙනි. එවන් වටපිටාවක් තුළ කිසිම දේශපාලනඥයකුට රට සමඟ සෙල්ලම් කිරීමට හැකියාවක් නැත. ඔවුන් සියලු දෙනාම රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලබන සෑම අණපනතක්ම සම්මත වීම සඳහා සහාය දැක්විය යුතුමය. එහිදී රටට අහිතකර දේට එකහෙලා විරුද්ධ වීමට ද හැකිය. මෙම ක්‍රමය තුළ පක්ෂයට වඩා රට ඉස්මතු වේ. මෙවැනි ආණ්ඩු ක්‍රමයක විශේෂත්වය වන්නේද එයමය. මෙවැනි ආණ්ඩුවක් ලබා දෙන්නේ පාලකයන්ට කා බී ප්‍රීති සැණකෙළි පවත්වන්නට නම් නොවෙයි. මේ තාක් කල් නොකරපු වැඩ කරන්නට ය. සැබැවින්ම අන්තර්වාර පාලනයක් යනු දේශපාලනඥයන්ට ජනතාවගෙන් තමන්ට අතපසු වූ, මගහැරුනු, මග හැරපු, නොකර සිටි වැඩ ක්‍රියාත්මක කොට ක්‍රියාවෙන් ජනතාවගෙන් සමාව ගන්නා අවධියක් බඳු ය. එබැවින් තනි පක්ෂයකට බහුතර බලයක් නොමැති වුවද මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ආණ්ඩුකරණයට දායක වීමේ අවකාශ උදාවේ.

● අමාත්‍යාංශවල ලේකම්වරු පත්කිරීම නීත්‍යානුකූල ද?

කවුරුත් කතා කරන මොකක්ද මේ අන්තර්වාර ආණ්ඩුව

මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදී රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ලැබෙනුයේ ඉහළ අවධානයකි. රට කරවන ලේඛනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එනම් රටේ මූලික නීතිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. සෑම සියලු පුරවැසියන් කටයුතු කළ යුතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුගතවයි. ඉන් පරිබාහිරව කටයුතු කිරීමට කිසිදු පුරවැසියෙකුට හිමිකමක් නොමැත. එනම් රටේ පවතින සියලුම නීතීන් අභිබවා වඩාත් උත්තරීතර වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. පසුගිය දිනවල රට තුළ පැවතියේ ගිනි තැබීම් දේපළ විනාශ කිරීම්, පහරදීම් ජීවිත හානි කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරිණි. එවැනි ආකාරයේ සාපරාධී ක්‍රියාවන් සිදු කරන අය සඳහා වෙඩි තැබීමට ත්‍රිවිධ හමුදා වෙත අවසර ලබා දෙන ලදී. එහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව දන්වා සිටියේය. නමුදු නීති විශාරදයන් නම් කියා සිටියේ කමල් ගුණරත්නට එවැනි ප්‍රකාශයක් කිරීමේ නීත්‍යනුකූල හිමිකමක් නොවන බවය. එනම් අමාත්‍ය මණ්ඩලය නොමැති අවස්ථාවක අමාත්‍ය ලේකම්වරු ද ස්වභාවිකව විසිරෙන බවය. එනම් ව්‍යවස්ථාවේ 44(1)(අ) අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සහ එහි කාර්යයන් සහ කාර්තව්‍යයන් තීරණය කළ යුතුය. එසේ තීරණය කළ අමාත්‍යවරු පාර්ලිමේන්තුව තුළින් තෝරා පත්කර ගත යුතුය. 44(1)(ආ). එසේ තීරණය කරන ලද අමාත්‍යාංශවලට ලේකම්වරු පත් කළයුතු බවට ආණ්ඩු ව්‍යවස්ථාවේ 52(1) වගන්තියේ සඳහන් වේ. එහිදී මේජර් ජෙනරල් කමල් ගුණරත්න මෙම ප්‍රකාශය කරන විට අමාත්‍යාංශය සඳහා අමාත්‍යවරු නිශ්චිතව පත්කර තිබුණේ නැත. එසේ නම් ඔහු විසින් කරන ලද ප්‍රකාශවල කිසිදු නීත්‍යනුකූල භාවයක් නොමැති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් පෙන්වා දුනි. නමුදු ආණ්ඩුව පැත්තෙන් ගෙන එන තර්කය වන්නේ නිශ්චිත අමාත්‍යාංශය සඳහා අමාත්‍යවරු පත් කර නොතිබුණද අමාත්‍යාංශයන් දැනටමත් ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන බව ය. එබැවින් අමාත්‍යාංශ සඳහා ලේකම්වරු පත්කිරීම කිසිදු නීතිමය බාධාවක් එමගින් ඇති නොවන බව ය. එම තර්කයේ ද යම් සාධනීයතාවයක් පෙන්නුම් කරයි.

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපිට විවිධ නීති තර්කයන් මතුකරලිය හැකිය. අණ පනත්, රෙගුලාසි ගැන අපට දින ගණන් කතා කළ හැකිය. නමුදු ඒ එකකින්වත් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලැබෙන්නේ නම් නැත. තාමත් මිනිසුන් ගෑස්, ඉන්ධන, භූමිතෙල් පෝලිම්වලය. ජනතාවට තුන් වේල පිරිමහ ගන්නට බැරිව සාගින්නේය. තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මුළුමනින්ම කඩාකප්පල් වී ඇත. එමෙන්ම විදුලිය නැතිව ඉටිපන්දම් දැල්ලෙන් විභාගයට පාඩම් කරන දරුවන් දිහා බලාගෙන හූල්ලන දෙමව්පියන් ය. මේ සියල්ල අතරේ අගමැතිවරු, කැබිනට් අමාත්‍යවරු පත් වේ. නමුදු ජනතාවට අත්වන සෙතක් නම් නැත. විශාල අපේක්ෂාවන් වෙනුවට අද ජනතාව ඉල්ලන්නේ තම ජීවත්වීමේ අයිතිය යි. දරුවන්ගේ අධ්‍යාපනික අයිතියයි. කවුරු ජනාධිපති වුවද කවුරු අගමැති වුවද ජනතාවට කම් නැත. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට සැලස්මක්, දැක්මක්, වැඩපිළිවෙළක් ය. අවම වශයෙන් අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය, විදුලිබල හා බලශක්ති, පොදු ප්‍රවාහන වැනි ප්‍රධාන ක්‍ෂේත්‍රයන් පිළිබඳ වන ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරගත යුතුව ඇත. එනම් ඡන්දය ඉල්ලාගෙන නිවාසවලට එන දේශපාලනඥයෝ ජනතාවගේ සිත් තුළ බොහෝ අපේක්ෂාවන් ඇති කළ ද ඒවා ඡන්දයටම පමණක් සීමා කළේය. මෙම මජර දේශපාලනය දැන්වත් අහවර විය යුතුය. ඔවුන් එකී ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය අවසන් කිරීමට සූදානම් නොමැත්තේ නම් අපගේ ඉදිරි පරපුර එකී දේශපාලන ක්‍රමය අවසන් කිරීමට දෙපාරක් හිතන්නේ ද නැත. එබැවින් අලුතින් පත්වූ අග්‍රාමාත්‍යවරයාට මෙන්ම කැබිනට් මණ්ඩලයට ද ඒ පිළිබඳව පූර්ණ වගකීමක් ඇත. එසේ නොවුණහොත් ජනාධිපතිවරයාට මෙන්ම අග්‍රාමාත්‍යවරයාටද වැඩි කල් යන්නට මත්තෙන් Ranil go home කියනු නොඅනුමානය.

නීතිඥ
සංජීව බෝපෙආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment