පෙබරවාරි 16 දිනට යෙදෙන දිවංගත විජය කුමාරතුංගයන්ගේ 37 වැනි ගුණ සැමරුම
කලාකරුවකු, තරුණ දේශපාලනඥයකු මෙන්ම මානව හිතවාදියකු ලෙස ජනාදරයට පත් දිවංගත විජය කුමාරතුංගයන්ගේ 37 වැනි ගුණ සැමරුමට සමගාමීව ලේඛක ධම්මික ජයරංජන් විසින් පැරණි පුවත්පත් ඇසුරින් සංවිධානය කරනු ලබන පුවත්පත් දැක්ම 2025 පෙබරවාරි 16 දින පෙරවරු 9.00 සිට සීදුව විජය කුමාරතුංග සමාධිය අසල (කටුනායක 18 කණුව) පැවැත්වෙන අතර මේ ඒ නිමිත්තෙනි.
ආදරණීය මිනිසකු, හිතවතකු, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියකු, කුසලතා පිරි ගායන ශිල්පියකු මෙන්ම සෙසු අයට ආදර්ශවත් මානව හිතවාදී ජන නායකයකු අපගෙන් වෙන්කොට අද දිනට වසර 37ක් ගතවේ.
මෙම ලිපිය ආරම්භ කිරීමට ප්‍රථම මෙම සුන්දර මිනිසා මා හට මුණ ගැසුණු වකවානුව සිහිපත් කිරීම වැදගත් කියා හැඟෙයි. වර්ෂ 1987 නොවැම්බර් මස පළමු දින, ස්ථානය වත්තල ගැමුණු සිනමා ශාලාව සෝනියා දිසා මහත්මියගේ “ජය අපටයි” නම් චිත්‍රපටයට අදාළ දෙබස් තේරීම් තරගයක් සංවිධානය කර තිබුණේ බන්දුල පද්මකුමාර මහතා විසින් සුමති ප්‍රකාශන යටතේ පවත්වාගෙන ආ “සරසි” පුවත්පතිනි.
මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ ත්‍යාග ප්‍රදානය සඳහා චිත්‍රපටයට සම්බන්ධ කලාකරුවන් සමගින් විජය කුමාරතුංගයන් පැමිණි අතර ජය අපටයි චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වී එදිනට දින 100ක්ද ගතවී තිබිණි.
එදින මා යැවූ දෙබසට ද ත්‍යාගයක් හිමිවූ අතර එය ලැබුණේ ද විජය කුමාරතුංගයන් අතින් වීම මගේ මුළු ජීවිත කාලය තුළම ඉමහත් භාග්‍යක් යැයි මට දැනුදු සිතෙයි.
ඉන් ඇරඹි සුහදත්වය ලිපි මගින් තවත් පෝෂණය විය. එම කාලයේ ජංගම දුරකථනද නොමැති තරම් බව කිව යුතුය. 1988 පෙබරවාරි 16 දිනය නොහොත් මාගේ ජීවිතයේ අවාසනාවන්තම දිනය වසර 14ක වැනි වයස් කාණ්ඩයකදී මට අත්විඳීමට සිදුවිය. මාස 3ක පමණ ඇසුරද ඉන් නිමාවිය.
සිනමා ගමනේ ආගමනය, ගායන දිවිය, දේශපාලන දිවිය පිළිබඳ අප විචාරාත්මක ලිපි ඕනෑතරම් ලියා අසා දැක තිබෙන නිසා ඔහු සතු මානුෂීය ගතිලක්‍ෂණ සහ එයට අදාළ සමාජ බැඳීම මේ ආකාරයට විස්තර කිරීම කාලෝචිත යැයි හැඟේ.
සමස්ත මානුෂීය සංගතිය කෙරෙහි වූ විජයගේ ආදරය දේශපාලකයන් පෙන්නුම් කරන ආකාරයේ ව්‍යාජ රංගනයක් නොවිණ. වරක් අනුරාධපුර ගල්ගමුව ප්‍රදේශයේ පුද්ගලයකුට වකුගඩු ශල්‍යකර්මයක් කර ගැනීමට ඔහු අතින් විශාල මුදලක් ලබාදී ඇත්තේ පෞද්ගලික දැන හැඳුනුමකින් තොරවය.
එයද බිරිය චන්ද්‍රිකා පවා දැනගෙන තිබෙනුයේ විජයගේ වියෝවෙන් පසුවය. දිනපතා තමන් සොයා එන අසරණ ජනයාට හැකි අයුරින් ඔහු පිහිට විය. කිසිවක්ම දෙන්නට නොතිබූ දිනක දුගියකුට ඔහු තම රුව සහිත දින දර්ශන ලබාදී ඒවා අලෙවි කර හෝ මුදලක් සොයාගැනීමට ඔවුන් දිරිගන්වා තිබේ. සිංහල සිනමාවේ සහෝදර නළු නිළියන්ගේ දියුණුව ඔහුගේ පැතුම විය. එවැන්නන් නිපදවූ බොහෝ චිත්‍රපටවල ඔහු නොමිලේ රඟපෑවේ තමන්ගේම වාහනයෙන් පැමිණ තමන්ගේම ඇඳුම් පැලඳුම්වලින් සැරසෙමිනි.
විජයගේ වූ ඒ මානව හිතවාදී ගුණයට කෙතෙක් මිනිසුන් ඇලුම් කළේද කියතොත් ඔහුගේ අනුගාමිකයෙක් වූ දිවුලපිටියේ අමරසිංහ මහතා කලා භවනේ විජයගේ දේහය තැන්පත් කර තිබියදී ඒ ඉදිරිපිට දී සිරුරට පෙට්‍රල් හලාගෙන ගිනි තබාගෙන මියගියේ විජය මහත්තය නැතුව ජීවත් වෙලා වැඩක් නෑ කියමිනි. ඔහු මරාදැමූ ශෝකයෙන් ආහාර නොගෙන මත්පැන් පමණක් පානය කරමින් සිටි නුගේගොඩ ප්‍රදේශයේ ඡායාරූප ශිල්පියෙක් ද විජයගේ ආදාහනයෙන් ස්වල්ප දිනකට පසු මියගිය බව තවත් ආරංචියකි.
මිනිසුන් වැඩිපුරම ආදරය කළේ විජය නම් නළුවාටය. විජය නම් ගායකයාටය. දෛවය ඔහුට නළුවකු වන්නට නියම කළ ද විජයගේ ඉරණම ලියැවී තිබුණේ දේශපාලනය කිරීමටය. ඒ ඔහුගේ තිබූ මානව හිතවාදී ගුණය හා පීඩිතයන් නඟාසිටුවීමේ තද වුවමනාව වන්නට ඇත. ඔහු ප්‍රාර්ථනා කළේ විරුවකු ලෙස මැරෙන්නටය. චිත්‍රපට රංගනයකදී නිළියන් සමග මල් ගස් වටේ දුවමින් සිටින විට හෘදයාබාධයකින් අපේ තාත්තා මියගිය වග කෙදිනක හෝ තම දරුවන්ට පවසනවාට ඔහුගේ කිසිදු කැමැත්තක් නොවීය. ඔහු හැමවිටම පැවැසුවේ “මට ආදරය කරන මේ රූපයෙන් ඉඳිද්දීම මැරෙන්නට මම කැමතියි” යනුවෙනි.
මිනිසුන් වෙනුවෙන්ම උපත ලබා මිනිසුන් වෙනුවෙන්ම සේවය කොට අවසානයේ සිය ජීවිතය ද අහිමි කරගත් මිනිසකු, හිස් මිනිස් රුවක් බවට පත්වී නිල්වන් අහස් කුස දෙස ඇසිපිය නොහෙළා බලා සිටින කොළඹ කටුනායක මාර්ගයේ සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහල පසුකර යනවිට දැකිය හැක. මිනිසත්කම ගැන ඔහුගේ සිතෙහි මොනවා තිබුණා දැයි කීමට අප තවමත් අපොහොසත්ය.
ආදරණීය විජය ජීවත්ව සිටි කාලය බෙහෙවින් කෙටි එකකි. එහෙත් සියවසක් ගෙවූ ජීවිතයට වඩා එම මතකය සදා අමරණීයයි. ලිපියට අදාළ වචන පෙළගැස්ම මා යොදාගනු ලැබුවේ ප්‍රවීණ ගී පද රචක උපාලි ධනවලවිතානයන් විසින් රචනා කරන ලද සරත් දසනායකයන් සංගීතවත් කළ ආදරණීය විජය විසින්ම ගායනා කරනු ලබන ‘රූස්ස ගහ ළඟ ගීතයේ පදවැල් කිහිපයකිනි.
කවුරුද ඈතින් මා අමතන්නේ – ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ
එම අදහස මා හට මෙන්ම ඔබ හට ද අද දිනයේද වඩාත් සංවේදීව දැනෙනවා ඇත.
ධම්මික ජයරංජන්