කවුරුවත් විශ්වාස කරලා රුසියාවේ හමුදාවට යන්න එපා

441

අපි වින්ද දුක් කාටවත් උරුමවෙන්න එපා
දිවයිනට පැමිණි නාවික භටයකුගේ පාපොච්චාරණයක්

ලංකාවේ තරුණයන් හමුදාවේ විශ්‍රාම ලැබූ අය කවුරුවත් විශ්වාස කරලා රුසියාවේ හමුදාවට යවන්න එපා. හමුදාවට නොවෙයි යවන්නේ. කුලී හමුදාවටයි යවන්නේ. අපි විඳපු දුක් ගිනි කාටවත් උරුම වෙන්න එපා යැයි ලංකාවට පැමිණි හිටපු නාවික භටයකු වූ චන්දන ඒකනායක මහතා ‘දිවයින’ට පැමිණීමෙන් පසු එලෙස පැවැසීය.

මේ පිටුපස තිබෙන වංචාව සොයාගැනීමට නම් රුසියාවේ ඉන්න කොම්පැණියේ ලංකාවේ ඉන්න තුන්දෙනා අල්ලා ගන්න ඕනේ.

චන්දන ඒකනායක පසුගිය අප්‍රේල් මස 01 වැනිදා රුසියාවට පිටත්ව ගියේ දහසකුත් එකක් බලාපොරොත්තු තබාගෙනයි. රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධයට අතරමැදි හමුදා සෙබළුන් ලෙස රුසියානු හමුදාවේ කටයුතු වලට උපකාරක පිරිසක සාමාජිකයකු ලෙස ඔහු පිටත්ව ගියේ යුද්ධය සඳහා රණබිමෙහි පෙරමුණේ ගමන් කිරීමට නම් නොවන බව පළමුවෙන් සඳහන් කළ යුතුය.

කවුරුවත් විශ්වාස කරලා රුසියාවේ හමුදාවට යන්න එපා

බෝපිටිය නමින් හඳුන්වා දෙන විශ්‍රාමික හමුදා නිලධාරීවරයාගේ අනුදැනුම මත සහ ඔහු දුන් උපදෙස් මත මෙම රුසියානු ගමන සිදුවූ බව චන්දන පවසයි. එම විශ්‍රාමික හමුදා නිලධාරීවරයාගේ කීමට අනුව නම් චන්දන රුසියාවට ගොස් ඇත්තේ රුසියානු හමුදාව මගින් යුක්ක්‍රේනයෙන් මුදාගත් ප්‍රදේශවල කැඩී බිඳී ගිය නිවාස පිළිසකර කිරීම, හමුදාවට අවශ්‍ය පානීය ජලය බෝතල් කිරීම, ආහාර පාර්සල් කිරීම සහ වෙනත් සුළු සුළු දෑ වලට උපකාර කිරීමටත් ය. එමෙන්ම සියල්ල අවසන් වූ පසුව රුසියාවේ පුරවැසිකම ලබා දී පර්චස් දහයක් ද පදිංචියට ලබා දෙන පොරොන්දුව ද මතය.

කවුරුවත් විශ්වාස කරලා රුසියාවේ හමුදාවට යන්න එපා

ඔහු ශ්‍රී ලංකාවේ සිට රුසියාව බලා ගිය දිනට දින කීපයකට පසුව සියලු දෑ කනපිට හැරෙමින් තිබෙන බව පසක් කර ගැනීමට එතරම්ම කාලයක් ගත නොවීය.

තමන් ලොකු අමාරුවක වැටී සිටින බව දන්වා සිය බිරිඳට දුරකථන ඇමතුමක් දෙමින් කියා සිටියේ ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බවත් තමන් රුසියාවේ රැඳී සිටියහොත් ජීවිතය පවා අවදානම් බවද පවසමිනි. කෙසේ හෝ ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණ දැනට වැලිගම වැලිහිඳ සිය නිවසේ දී ප්‍රතිකාර ගනිමින් සිටී. සිය රුසියානු ගමන පිළිබඳව ලත් අත්දැකීම් සමූහය සම්බන්ධයෙන් ඔහුගෙන් කරන ලද විමසීමේදී දිවයිනට මෙසේද කීවේය.

මගේ ගම හසලක. මම ශ්‍රී ලංකා නාවික හමුදාවෙ නාවික භටයෙක් වශයෙන් 1998 නාවික හමුදාවට බැඳුණා. ඉන් පසුව 2011 දී වැලිගම ප්‍රදේශයෙන් මම විවාහය කරගත්ත. එදා ඉඳල මම ජීවත් වුණේ මේතාක් වැලිගම ප්‍රදේශයේ. ඊට පස්සේ 2020 වර්ෂයේදී මම නාවික හමුදාවෙන් විශ්‍රාම ආවා. විශ්‍රාම ආවට පස්සෙත් මම නොයෙකුත් පෞද්ගලික ආයතනවල කටයුතු කලා . විශ්‍රාම ආවට පස්සේ විශ්‍රාම වැටුපෙන් මම ලෝන් එකක් අරගෙන ඒකෙන් ගෙදර වැඩ කටයුතු කළා. ඒත් ආර්ථික ප්‍රශ්න එන්න එන්න උග්‍ර වුණා.

මගේ උත්සාහයෙන් මගේ ධෛර්යයෙන් තමයි මම බේරිලා ආවේ. ජීවිතයත් මරණයත් අතර සටනකින් බේරිලා ආවේ. ඒක හින්දා මම මාධ්‍යයට මුකුත් කිව්වේ නැහැ. හිත සැහැල්ලු වෙලා කවදා හරි මම මාධ්‍යයට මේක කියනවා කියලා තමයි එළියට බැස්සේ. ගෙදරින් ගුවන්තොටුපොළට ඇවිල්ල හිටිය. ඒ ගොල්ලොත් එක්ක මම ගෙදර ඇවිල්ලා ඊට පස්සේ වෛද්‍යවරයෙක් හමුවුණා. ඔහු කිව්වා කකුල්වල තියෙන කෑලි අරගන්න බැහැ. මොකද ස්නායු දුර්වල වෙන්න පුළුවන් නැතිනම් කකුල් පණනැතිවේවි කියලා. ඒක හින්දා ඒ කෑලි අයින් කරන්න ඕනෑ නැහැ කියලා. අපි දහසක් ප්‍රශ්න තියාගෙන තමයි මේ ගමන ගියේ. ණයතුරුස් වෙලා දැන් මට තියෙන්නේ ඒවා කොහොමද බේරාගන්නේ කියලා. ලක්ෂ පහළොවකට ආසන්න මුදලක් ගිහිල්ලා තියෙනවා දැන් මේ වැඩවලට.

මේ චන්දන ඒකනායකගේ කතාව පමණි. ඔහු විඳි දුකට වඩා දුක් විඳින අපේ ශ්‍රී ලංකාවේ තරුණයන් රුසියාව තුළ තව කොපමණ ඇද්ද?. එවැනි තරුණයන් දහස් ගණනක් රටෙන් පිටව රුසියාවට යද්දී ඇස් කන් නොපෙනෙන පරිදි සිටි ප්‍රතිඵල දැන් අපි සියලු දෙනාටම අත්විඳීමට සිදුව ඇත.
මාතර අතිරේක – ලලිත් පත්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment