කස්ත්‍රො වගේ කෙලින් ඉන්න… මා ඕ වගේ කෙලින් ඉන්න…

30

”මැතිනියනී, මේ අහන්න
කස්ත්‍රො වගේ කෙලින් ඉන්න
මා ඕ වගේ කෙලින් ඉන්න”

මේ සටන් පාඨ දැනුදු මගේ මතකයේ පවතී. ඒ 70 දසකයේ මුල් භාගයයි. අපේ ශිෂ්‍ය අවදියයි. කොළඹ පැවති මැයි දින පෙළපාලි නරඹන්නට ගිය කාලවලදී එදා මේ රටේ ඉතා ප‍්‍රබලව සිටි වමේ පක්ෂවල, පෙළපාලිවලදී ඉතා තදින් රැව්දුන් සටන් පාඨ දෙකකි මේ.

අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂ පෙළපාලි නරඹන්නට ගියවිට ඇසුණු සටන් පාඨයන් දෙකක්ද මගේ මතකයේ පවතී. කොළඹ අලූතින් ගොඩ නැගුණු ගොඩනැගිල්ලක් ඉදිරියේදී ඒ ගොඩනැගිල්ල පෙන්නමින්,

”මේ කාගෙද සල්ලි
දාසලාගේ සල්ලි”

යයි කියමින්,ඒ අවදියේ පැවති වෙළෙඳ පාලන සීමාවන් තුළ රජයේ විශේෂ වරප‍්‍රසාදලත් බව කියන, තෝරාගත් ධනවත් පිරිස ඉලක්ක කරගනිමින්, මේ සටන් පාඨ කීම සිදුවිණ.

ඉතිහාසයේ එම සිදුවීම් වෙනත් මුහුණුවරකින් අද යුගයේද සිදුවෙමින් පවතී.

”ජනපතිතුමනි, මේ අහන්න.
හිට්ලර් වගේ කෙලින් ඉන්න”

මේ අද යුගයේ එක පැත්තකින් නැගෙන හඬය. අනෙක් පැත්තෙන් කෝවිඞ් වසංගතය පවා ඉල්ලමක් කරගෙන විශේෂ වරප‍්‍රසාද ලබන නව ගජමිතුරු ධනවාදයකට එරෙහිව නැගෙන සටන් පාඨය.

එදා යුගයේ ”කස්ත්‍රො වගේ”, ”මා ඕ වගේ” ඉන්නට ගොසින් වසර පහකට බලයට පත්වූ ආණ්ඩුවක්, ජනමත විචාරණයක්වත් නොපවත්වා අනීතික ලෙසින් නීත්‍යානූකූල පාලන කාලය ඉක්මවා තවත් වසර දෙකක් රට පාලනය කළේ, මහජන මතය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මායිම් නොකරමිනි. 1970 දී බලයට පත්ව, 1975 දී ඡුන්දයකට යා යුතුව තිබුණද එය සිදුනොකර 1977 දක්වා පාලනය ගෙනයෑම සිදුවිණ.

අවසානයේදී මේ තත්ත්වයනට එරෙහිව, ජනතාව අරගලය මහ මගට ගෙන ඇත. ”සත්‍යග‍්‍රහ” ව්‍යාපාරය ලෙසින් එය නම් කෙරිණ. අග‍්‍රාමාත්‍යවරියගේ ආසනය වන අත්තනගල්ලේ සත්‍යග‍්‍රහය පැවත්වූ දින ඊට සහභාගීවීම වළක්වන්නට සතර දිගින් මහාමාර්ග ගමනාගමනය කඩාකප්පල් කර, ගස් කපා පාරට දමා තිබිණ. එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයෙකු ලෙසින් මා ද ඊට සහභාගි වූ අයුරු මගේ සිහියට නැගේ. නුවර පාරේ කළගෙඩිහේනෙන් එහාට යන්නට නොහැකි අයුරින් මහාමාර්ගයට බාධක දමා තිබිණ. ටික වේලාවකින් ගල් වරුසාවකට මුහුණ දෙන්නට අපට සිදුවිණී. එක්සත් ජාතික පක්ෂයේ තරුණ පෙරමුණේ එවකට ප‍්‍රධාන ලේකම් ජිනදාස නියතපාල මහතාට එල්ලවූ ප‍්‍රහාරයන් නිසා හිසින් වැගිරෙන ලේද සමගින් ඔහුව එම ස්ථානයෙන් රැගෙන ගිය අයුරු මට මැවී පෙනේ.

මේ සිද්ධියට පෙරද 71 එකේ කැරල්ලට සම්බන්ධ බවට චෝදනා කරමින් නියතපාල මහතා, කැකිරාවේ මහින්දසෝම මහතා, මැදවච්චියේ ආරියදාස මහතා වැනි පක්ෂ ක‍්‍රියාකාරිකයන් මෙන්ම, රජයට විරුද්ධ අදහස් දැක්වීම් කළ ගරුතර දැවමොට්ටාවේ අමරවංශ හිමියන්, ගරුතර මීටියාගොඩ ගුණරත්න හිමියන් ඇතුළු පිරිස්ද සෑහෙන කාලයක් රඳවා තබා ගැන්මට කටයුතු කර තිබූ අතර ඒ අවධියේ උන්වහන්සේලා ඇතුළුව ඒ ක‍්‍රියාකාරිකයන් මුහුණ දුන් අඳුරු තත්ත්වයන් ගැන අදද ඒ පවුල්වල උදවිය සිහිපත් කරනුයේ මහත් වේදනාවකිනි. මේ ස්වාමීන්වහන්සේලා වැඩ විසූ විහාරස්ථාන පවා රජයට පවරා ගැන්මට කටයුතු කෙරිණ. කවුරුන් කාට සිදුකළ ද මේ විෂම චක‍්‍රයේ නිමාවක් අපි දැකිය යුතුව ඇත්තෙමු. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක මෙවැනි සංස්කෘතියක් තිබිය යුතු නැත. මෙවැනි තත්ත්වයක් තිබීම අපේ රටට නින්දාව ගෙනදෙයි.

අනුරාධපුර සත්‍යග‍්‍රහයට පෙරදින පටන් ඊට සහභාගීවන්නන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින්නට සිදුවන බවට සහ දේපල රාජසන්තක කරන බවට ගුවන්විදුලි නිවේදන නිකුත්විණ. ගිය සතියේ පැවති සමගි ජනබලවේගයේ විරෝධතාවට ආ වාහන හරවා යැවූ අයුරින්ම අනුරාධපුර එන්නට පැමිණි පිරිස් වැඩි හරියක් මගදී හරවා යැවීමට සහ පොලිස් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක හමුදා යොදා කටයුතු කර තිබිණ.

පාර්ලිමේන්තුව තුළ තිබෙන බලය හේතුවෙන්, ජනමතය නොතකමින් ”දවස” පත‍්‍රයට සීල් තැබීම, ටයිම්ස් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම සහ ලේක්හවුස් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම රජයට පවරා ගැන්මද සිදු වූ අතර මේ මගින් රජයේ මර්දනකාරී සහ අසාධාරණ ක‍්‍රියාදාමයන් ජනතාව අතරට යෑම වැළැක්වීමට පියවර ගැන්ම දැකිය හැකි විය. මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාදාමයන් හේතුවෙන් රට තුළ ජනතා කලකිරීම සහ විරෝධය බුර බුරා නැගී ඒම සිදු වූ අතර එක්සත් ජාතික පක්ෂයත් සමග පෑහීමක් නොතිබූ දේශපාලන බලවේග පවා වම, දකුණ සහ උතුරු, නැගෙනහිර භේදයක් නොමැතිව ආණ්ඩු විරෝධී පුළුල් පෙළගැස්මකට මං පෑදින. ”යැංකි ඩිකී” සහ අන්ත දක්ෂිණාංශිකයකු ලෙසින් වමේ පක්ෂය විසින් එදා යුගයේ හැඳින්වූ ජේ.ආර්. ජයවර්ධන විපක්ෂ නායකවරයා සමගින්, එදා තිබූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, අධිපතිවාදී ප‍්‍රවණතාවය පරාජයට පත්කිරීමට ප‍්‍රින්ස් ගුණසේකර වැනි වාමාංශික කොටස් මෙන්ම උතුරේ ද්‍රවිඩ නායකයන්ද එක්ව සිටීම දැකිය හැකි විය. කස්ත්‍රෝ සහ මා ඕ මෙන් කෙලින් ඉන්න යයි මැතිනියට ඇතැමුන් දුන්නු ”දිරච්ච ලණු” ගිලීම හේතුවෙන්, නිදහස් ලංකාවේ ආණ්ඩුවක් ලද විශාලතම පරාජය ලබා විපක්ෂයේ අසුන් ගැන්මට මැතිනියට සිද්ධවිණ.

බලය ඇති කාලවලදී නායකයන් වටකර ගන්නාවූ ඇතැම් පිරිස් ගයන ප‍්‍රශස්තිවලින් සමහර නායකයන් ඔළු නරක් කර
ගනිති. එදා මැතිනිය වටේ සිටි ඇතැමුන් පෙළපාලිවලදී කී ඇතැම් සටන් පාඨ සිහිපත් කිරීම් පවා හාස්‍යජනකය.

”සීනි නැතිව තේ බොන්නම්
මිරිස් නැතිව හොදි කන්නම්
මැතිනි අපට කියනව නම්
තණකොළ වුවත් අපි කන්නම්”

2/3 බලයක් ඇති රජයක් සහිතව සිටි පාලක පක්ෂයට අවසානයේදී ඊළඟ මැතිවරණයේදී දිනාගත හැකිවූයේ පාර්ලිමේන්තුවේ ආසන 168 කින් ආසන 05 ක් පමණි.

මහජන මතය මායිම් නොකර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට අභියෝග කරමින් යන පාලකයන්, ඔවුන් කුමන කඳවුරක අය වුවද ජනතාව ඔවුන්ට ප‍්‍රතිචාර දක්වා ඇති ආකාරය ගැන අපේ ඉතිහාසයේ මෙන්ම ලෝක ඉතිහාසයේ ද ඇති නිදසුන් එමටය.

ශක්තිමත් කළ යුතුව ඇත්තේ පුද්ගලයන් නොව ප‍්‍රතිපත්තීන් සහ ක‍්‍රමවේදයන්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන්ය. නීතියේ ආධිපත්‍ය, වගවීම, විනිවිද පෙනීම, සමානාත්මතාව වැනි වටිනා ප‍්‍රතිපත්තීන්ය.

2/3 ක බලයෙන් සෑහීමකට පත් නොවී, ජනතා ප‍්‍රශ්න විසඳීමට ජනපතිට තවත් බලය අවශ්‍ය බව කියමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 20 වන සංශෝධනයක් ඉදිරිපත් කර ඒ තුළින් එක් පුද්ගලයකු අතට නැවත අසීමිත බලයක් ලබා ගැන්ම සිදුවී ඇත. ඒ මගින් ජනතා ප‍්‍රශ්නවලට විසඳුම් ලැබීමක් නම් සිදුවී නැත.

සියලූ බලතල එක් පුද්ගලයකුට දීමෙන්, ඔහුගේ ප‍්‍රඥාව තුළින් ප‍්‍රශ්න විසඳිය හැකි යයී සිතීම අද යුගයට ගැලපෙන්නක් නොවේ. ලෝකයේ මෙන්ම ලංකාවේද මෙය මුලාවක් බව ඉතිහාසය විසින් සනාථ කර තිබීම අපි දකින්නෙමු. නිවැරදි විසඳුම් ලබාගත හැක්කේ සියලූ දෙනාගේ අදහස්වලට, දායකත්වයට අවකාශ සලසන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදයක් තුළිිනි. සාකච්ඡාවෙනි. සම්මුතියෙනි.

advertistmentadvertistment