කළු කුමාරයාට උපත් දුන් කතා පිළිබඳ විමසුමක්

373

ලෞකික දිවියේ එදිනෙදා අපේක්ෂාවන් සාර්ථක කරගැනීම පිණිස විවිධාකාරයේ වත්පිළිවෙත් පැවැත්වීම සිංහල ගැමි බෞද්ධයන් අතර දක්නට ලැබේ. එම වත්පිළිවෙත් අතර තොවිල්, යාග, කංකාරි, මඩු, වෛද්‍ය, ශාන්තිකර්ම ආදි නම්වලින් හඳුන්වනු ලබයි. දෙවියන් යකුන් හා ග‍්‍රහයන් අරබයාද පවත්වන ලද මේ යාග අතරින් යක්ෂයා/ දෙවියා මුල්කොට යාග පැවැත්වීමේදී මහ සොහොන් සමයම, මංගර සමයම, ගොපලූ සමයම, රිද්දි සමයම, දෙවොල් සමයම, සන්නි සමයම, කුමාර සමයම ආදිය විශේෂ වේ. ඒ අනුව ‘කළු කුමාර සමයම’ යක්තොවිල් ගණයේ ලා සැලකෙන්නෙකි.

ශ‍්‍රී ලංකාවේ පහතරට ප‍්‍රදේශවල විශේෂයෙන්ම බෙන්තර ඇල්පිටිය හා තදාශ‍්‍රිත ගම්මානවල කළුකුමාර යක්ෂයා මුල්කොට ගෙන පවත්වනු ලබන මෙම ශාන්තිකර්මය මානව වර්ගයාගේ පැවැත්මට ඉවහල් වූ ප‍්‍රජානනය, බිළිඳාගේ ළදරුවිය ආදී අවස්ථා මුල්කොටගෙන ගොඩනැඟී ඇති බව පෙනේ.

අතීතයේ ගැමියන් ස්ත‍්‍රී පුරුෂ සංසර්ගයෙන් පසු ඇති වන ස්වභාවික ක‍්‍රියාවලියක් වූ දරු ගැබ පිහිටීම කිසියම් දේව ආශිර්වාදයක් ලෙස සිතූ අතර රෝග උපද්‍රවවලින් කලලය හෝ ළදරුවා යම් අයුරකින් මියගියහොත් එය කිසියම් අදෘෂ්‍යමාන බලපෑමකින් සිදුවූවක් බව විශ්වාස කළහ. මෙහිදී දරු ප‍්‍රසූතිය ඉතා බියකරු අවස්ථාවක් ලෙස සලකා මව හෝ ළදරුවා අතුරු අන්තරාවලින් මුදවා ගැනීම පිණිස හැමවිටම තමන් අදහන ආගම්වලින් පිහිට පැතූහ. ඒ අනුව කාන්තාවන්ට හා බිළිදුන්ට රෝග උපද්‍රව කරන ‘‘කළු කුමාර’’ නමින් යක්ෂයෙකු නැතහොත් දෙවියෙකු ගැමි සමාජයෙහි ස්ථාපිතව ඇත. කළු කුමරු සඳහා දේව සහ යක් යන පද දෙකම යෙදී ඇත්තේ ඔහු පිළිබඳව ඇති භය සම්ප‍්‍රයුක්ත ගෞරවය නිසා යැයි සිතිය හැකිය. ඒ අනුව කළු කුමාර සමයම්වලදී ඔහු ‘‘කළු කුමාර යක්ෂ දේවතා’’ යන නාමයෙන් හඳුන්වනු ලබයි. එමෙන්ම කළු කුමරු වෙනුවෙන් බිහි වූ පර්යාය නාම එනම්, නීල දමන කළු කුමාර, කළු සාමි, කුමාර යකු, රට යකා, කළු දෑකඩ දෙවියෝ, සමයන් දෙවිඳු, බොක්සැල් දෙවිඳු, සොහොන් කුමරා, ගිණි කුමාර, මැණික් සාමි, වට කුමාර, සඳුන් කුමාර සහ මනමාල කුමාර ආදි ලෙස හැඳින්වීමේ සිරිතක් ගැමියන් අතර පවතී. එසේම කළු කුමාර ඇදහීම වටා ගොඩනැඟුණු විවිධ වත්පිළිවෙත්, පහතරට නැටුම නිජ බිම කොටගත් බස්නාහිර හා දකුණු පළාත්වලදී රටයකුම, මහකළු කුමාර සමයම, කළු කුමාර සමයම හා කළුයක් මඩුව ආදී නම්වලින්ද හඳුන්වනු ලැබේ.

කළුකුමාර සමයම යනු දාරකෝත්පත්තිය වෙනුවෙන් කළු කුමාර යක්ෂයා මුල් කොට සිංහල ගැමි සමාජය විසින් පවත්වා ගෙන එනු ලබන පූජා කර්මයකි. මෙම ශාන්තිකර්මය පිළිබඳව සෘජු වශයෙන් දැක්විය හැකි ඓතිහාසික සාධක විරලය. කෙසේ නමුත් කෝට්ටේ සහ සීතාවක අවධිවල ලියවුණු සාහිත්‍ය ග‍්‍රන්ථවල කළු කුමාර සමයමට මුල් වූ හේතු සාධක දක්නට ලැබේ. මහාමායා දේවීන් වහන්සේගේ දොළදුක් සංසිඳවීම ගබ්පෙළහර පෑම, කුස පිළිසිඳ ගත් බෝසතුන් සතරවරම් දෙවියන් විසින් ආරක්ෂා කිරීම ආදිය ගැන අටුවාවල සඳහන්ව ඇත. දේව වරමින් දරුවන් ලද අවස්ථා රැුසක් පන්සිය පනස් ජාතක පොතේ සඳහන් වේ. සුරුචි ජාතකයෙහි තමන් විසින් රක්නා ලද සිල් මෙනෙහි කරමින් දරුවකු පැතූ එක් රජ බිසවක දුටු ශක‍්‍ර දේවේන්ද්‍රයා බිසව කුද ‘‘නලකාර’’ දෙව්පුත් පිළිසිඳුවා ලූ පුවතක් දැක්වේ.

කළු කුමාරයා පිළිබඳව ගොඩනැඟී ඇති උපත් කතා රාශියක් ඇත. ඒ ඇතැම් කතා ලාංකික රජවරුන්ටද සම්බන්ධ කොට ඇත. විවිධ ගැමි පුද පූජාවලට පදනම් වී ඇති එවැනි කතා අනුව රචිත කවි කළු කුමාර සමයමේදී ගායනා කිරීම අද පවත්නා සම්ප‍්‍රදාය වේ. දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි ව්‍යාප්තව පවත්නා කළු කුමාර උත්පත්ති කතා කිහිපයක් යකැදුරු අතර භාවිතයේ පවතී. එහි විශේෂත්වයක් දක්වන උත්පත්ති ලෙස,

⋆ සෙංකඩගල උපත

⋆ උඩුගම්පොළ පුවත

⋆ මහ කළුරජ පුවත හෙවත් මානාවුළු පුවත

⋆ නීල දමන කළු පුවත හෙවත් ගජබා පුවත

⋆ සිද්ධත්ත කළු කුමාර පුවත හෙවත් බොක්සැල් පුවත

දැක්විය හැකිය. මේ අතරින් නීල දමන කළු කුමාර පුවත පිළිබඳව විමසීම වටී. ගජබා රජුගේ රජවාසලට පිරුවට රෙදි සපයන්නා වූ රෙදි නැන්දාගේ පුත් නීල මහා යෝධයා ආශ‍්‍රිතව නීල දමන කළු කුමාර උත්පත්තිය සැකසී ඇත. බෙහෙවින් පහතරට ව්‍යාප්තියට පත් මෙම කතා පුවත පිළිබඳ මතවාද කිහිපයකි. එහිදී ගබජා රජු නීල යෝධයා සමඟ සොළීපුර යුද්ධයකට ගිය බැව් ඓතිහාසික සාහිත්‍ය කෘතියක් වූ රාජාවලියේ ඇතුළත් වේ. සොළීරට කාන්තාවන් පමණක් වසන ‘ස්ත‍්‍රී පුරය’ නම් ප‍්‍රදේශයක් විය. එහි ගිය නීල මහා යෝධයා එපුර ස්ත‍්‍රීන් අතින් මරණයට පත්වීමෙන් පසු නීල මදන කළු කුමාර නමින් ස්ත‍්‍රීන් සංහතිය කෙරෙහි වෛර බැඳගත් යක්ෂයෙකුව උපන් බව කියවේ. මේ ප‍්‍රවෘත්තියෙන් නීල මහා යෝධයා මරණින් පසු කළුකුමාර ලෙස උපන් බවට කතාන්තරයක් ගොඩනැඟී ඇති බව පැහැදිලිය. මෙම පුවත කළු කුමරු හා සම්බන්ධ ශාන්තිකර්ම කවිවල සඳහන් වේ.

‘‘කුමරුනි අසාප න්
දුටු වරද ඉවසා ප න්
කළ ලෙඩ මුදා දැ න්
වරෙන් නීලය එ කළු කුමරු න්’’

මහ ගජබා කතාවෙහි නීල මහා යෝධයා සහ ගජබා රජ එකම දිනයක උපන් බව සඳහන් කරයි.

‘‘නව සඳ සොම් සිරි ලක උපතින් දැන
නැගෙමින් දුන් රිවි කැලූමන් රාවන
මෙවැනි කුමරු බිහිවුන දින දැනගෙන
උපදිති නීලා යෝධයා එම දින’’

මේ දෙදෙනා කාල වර්ණ ශක්තිමත් දේහයකට හිමිකම් ඇති, කාන්තාවන්ගේ කාමාශාවන් ඇති කරවනු ලබන පුද්ගලයන් දෙදෙනකු වූ බව පෙනේ. එමෙන්ම ප‍්‍රථම මල්වරයෙන් හටගන්නා මල්වර දොස් දුරු කරවනු සඳහා උඩරට ඇතැම් පළාත්වල පවත්වනු ලබන ‘‘කොටහලූ යාගය’’ මෙහිදී වැදගත් වේ. එහි සඳහන් අන්දමට නීල නමින් දේවත්වයට පත්වූයේ නීල මහා යෝධයා වන අතර එම යාගයේ එන කවිවල ගජබා රජුගේ සොළී ආක‍්‍රමණද විස්තර කෙරේ.

‘‘කළු දැකල සිත පැහැ දී
පෑවේ තෙද සැකයක දී
නීල දෙවිදුහට අත දී
සරණ උනේ නුඹද රි දී’’

නීල දෙවිදු ‘කළු’ නමැති රජක ස්ත‍්‍රියක් සරණ පාවා ගැනීමෙන් කොටහලූ යාගය රජක කුලයේ ඇත්තන් විසින් පවත්වනු ලබන්නක් බවට පත්ව ඇත. ඒ අනුව නීල මහා යෝධයා හා කළු කුමාරයා රජක කුලය හා සම්බන්ධ කොට තිබීමෙන් කළු කුමාරයා රජක කුලයේ අයට උපද්‍රව නොකරන බවට ගැමියන් අතර ඇති විශ්වාසයත් පිළිබඳව සලකා බලන විට එයින් කිසියම් සබඳතාවක් අනාවරණය කෙරෙන බව ප‍්‍රත්‍යක්ෂ වේ. එසේම කළු කුමාර යක්ෂයා කාන්තාවට කරනු ප‍්‍රධානතම අතවරය නම් දරුගැබ ඉපදීමට බාධා කිරීමයි. එයට හේතුව කාන්තාවන්ට බැල්ම ලීම ප‍්‍රධාන කාර්ය වීමයි. මෙම කළු කුමාරයා සතුටට පත් කිරීම සඳහා කුමාර පිදේනක්ද, කුමාර තොරණක්ද, විශේෂ කවි සාහිත්‍යයක්ද, නර්තන පද කොටස්ද ඇත. මේ අනුව අනාදිමත් කාලයක සිට සිංහල ගැමි සමාජයේ ජනප‍්‍රවාද අතර පවතින ‘කළු කුමාරයා’ පිළිබඳව උපත් කතා මඟින් එම යක් දෙවි`දුගේ ස්වභාවය මෙන්ම වර්තමානයේද ප‍්‍රචලිතව පවත්නා දරු උපත් හා බැදි කළු කුමාර ඇදහීම පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.

ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය

ලයනල් බෙන්තරගේ, කළුකුමාර යාග පිළිවෙළ (කැලණිය: කර්තෘ ප‍්‍රකාශනයකි, 1998)

ජයසේන කෝට්ටගොඩ, කළු කුමාරයා පුද ලබන දාරක වත් පිළිවෙත් (බොරලැස්ගමුව: ජේ. කේ. පබ්ලිකේෂන්ස්, 1998)

සහකාර කථිකාචාර්ය
මනෝජා නවෝදනී ඒකනායක
සිංහල අධ්‍යයන අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment