කළු සපත්තු ජයතිලක කම්මැල්වීර

688

උසස් පෙළට සිංහල -4

2023/24 වසර උසස් පෙළ සිංහල විෂය හදාරණ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය පිණිස ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී විසින් සපයන ලිපි පෙළක් අද සිට දිවයින ‘වටමඬල’ ඔස්සේ පළ කිරීමට අප විසින් තීරණය කර ඇත. පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියක් දිනාගත් විරාජ් ධර්ම ශ්‍රී සිංහල මෙන්ම ඉංග්‍රීසි සාහිත්‍යය කෙරෙහි ද උනන්දුවක් දක්වන්නෙකි. ඊට අමතරව ඔහු කවියෙක්, විචාරකයෙක් ලෙසද කටයුතු කරන්නෙකි.

කළු සපත්තු කෙටි කතාවේ හරය

අවුරුදු හයක් තිස්සේ රැකියාවක් සොයා ගැනීමට සිරිදාස දරන උත්සාහයත් ඔහු මුහුණ දෙන විවිධාකාර ගැටලුත් පාඨකයා ගේ අවබෝධය පුළුල් වන ආකාරයට කළු සපත්තු කෙටි කතාවේ යොදා ගෙන තිබේ- කාලීන සමාජ

ගැටලුවක් කරා පාඨකයා ගේ අවධානය යොමු කිරීම කතාවේ ඇති විශේෂ ලක්‍ෂණය යි- සැබැවින් ම රැකියාවක් සොයා ගැනීම දුෂ්කර කාර්යයකි- එහෙත් ඊට වඩා දුෂ්කර වනුයේ රැකියා කිරීමේ දී පුද්ගලයා ගැටලුවලට මුහුණ දෙමින් තම රැකියාව හොඳින් කරමින් ජීවිතය ජය ගැනීම යි- පුද්ගලයකු මුහුණ දෙන මේ යථාර්ථය හෙළි කිරීම කළු සපත්තුව කෙටි කතාවෙන් මතු වන හරය යි-

අන්තර්ගතය

කළු සපත්තු කෙටි කතාවේ අන්තර්ගතය සැබෑ අත්දැකීමක් වටා ගොඩනඟා ගෙන ඇති බව පැහැදිලි ය- කතුවරයා ලද අත්විඳීම් කලාත්මක පරිකල්පනයෙන් පාඨකයා වෙත ගෙන යාම කතුවරයා ගේ තැත යි- ජයතිලක කම්මැල්වීර ගේ කළු සපත්තුව කෙටි කතවේ අන්තර්ගතය සැබෑ ලෝකයත් සමඟ මනා ව බැඳී පවතී. කළු සපත්තුව කෙටි කතාවේ අන්තර්ගතය 1985 දී පැවැති සමාජයට මෙන් ම අද සමාජයටත් එක සේ වැදගත් ය. රැකියා ගැටලු ගැන බලන විට දිස් වනුයේ කාලය බොහෝ ගෙවී ගිය නමුදු අන්තර්ගතය සර්ව කාලීන වැදගත්කමකින් යුතු බව යි-

කතා ප්‍රවෘත්තිය

රැකියා විරහිතයකු වූ සිරිදාස රැකියාවක් ලබා ගැනීම සහ ඉන් ඉවත් කිරීම පිළිබඳ පුවත වටා මේ කතාව නිර්මාණය කර තිබේ- රැකියාවක් ලබා ගැනීමේ සිහිනය මුදුන් පත් කර ගැනීමට සම්මුඛ පරීක්‍ෂණයකට මුහුණ දීමට සිදු වීමත් සම්මුඛ පරීක්‍ෂණය සඳහා අවශ්‍ය ඇඳුම් පැළැඳුම් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වීමත් නිසා ගැටලුකාරී අවස්ථාවලට සිරිදාස පත් වෙයි- මහත් වෑයමකින් පසු ව ලබා ගත් රැකියාව පවා අන්තිමේ දී සිරිදාසට අහිමි වේ-

රැකියාවක් අහිමි වූ අයකු ගේ සිතෙහි හට ගන්නා චිත්ත පීඩාව මේ කළු සපත්තු කෙටි කතාවේ අවසන් කොටස කියවන්නකුට නො දැනේ- රැකියාව අහිමි වීමෙන් සිරිදාසට දැනෙන්නේ කූඩුවකින් මිදුණු කුරුල්ලකුට මෙන් නිදහස සහ සහනය පිළිබඳ හැඟීමකි- එය කතුවරයා යථාර්ථය සඟවා තැබීමක් ලෙසිනි මට නම් හැඟෙන්නේ-

“ඊයේ උදේ රැකියාව ලැබුණු වේලේ සිතට දැනුණු සහනය මෙන් විසි තිස් ගුණයකින් වැඩි සහනදායී හැඟීමක් සිරිදාසට දැන් දැනෙයි- දෙපයේ ලා සිටි සපත්තු දෙක ගලවා අතට ගත් ඔහු මේ යන්නේ මගලෙගොඩ රාළහාමි ගේ සපත්තු දෙක ආපසු බාර දීමට ය-”

වෙහෙස වී ලබා ගත් රැකියාව අහිමි වීම දුකක් මිස සහනයක් වන්නේ කෙසේ ද? මගලෙගොඩ රාළහාමි ගේ සපත්තු දෙක යළි ලබා දීම වැදගත් කොට සලකා සිරිදාස සතුටු වීම සැබැවි ලොවින් මුදා කතුවරයා ගේ අදහස් ඕනෑකමින් සිරිදාස ගේ චරිතයට ඇතුළු කිරීමකැයි සිතේ-

කළු සපත්තු කෙටි කතාවේ ඒකීය ධාරණාව වඩා හොඳින් හඳුනා ගත හැකිය- කම්මැල්වීර කෙටි කතා නිර්මාණයට පිවිසි මුල් කාලයේ දී ම පවා එකල සිටි පළපුරුදු ලේඛකයන්ට පවා අසල් වීම ඇගැයිය යුතු හපන්කමකි-

රචනා උපක්‍රම

1- ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය

ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචිත කළු සපත්තු කෙටි කතාව පාඨකයා ආරම්භයේ පටන් අවසානය දක්වා ම තදින් ඇද බැඳ තබා ගැනීමට සමත් කෙටි කතාවකි- එනම්, එක හුස්මට කියැවීමට රිසි ඉපැදෙනසුලු කෙටිකතාවකි-

2- ශෛලිය

කළු සපත්තු කෙටි කතාව යථාර්ථවාදී ශෛලිය අනුව යමින් රචිත කෙටි කතාවකි- යථාර්ථවාදී ශෛලිය නිසා පාඨකයා ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට කතුවරයා සමත් වන අතර පාඨකයාට තම සුපුරුදු ලෝකයේ ම අත්දැකීම් ලබා ගැනීමට ඉඩ සැලැසේ- සිරිදාස ගේ හැඟීම් බොහොමයක් යථාර්ථවාදී ශෛලියට අනුගත වෙමින් නිර්මාණය කිරීම කෙටි කතාවේ සාර්ථකත්වය කෙරෙහි බලපා තිබේ-

3- පරිසර වර්ණනා

කළු සපත්තු කෙටි කතාවේ ආරම්භය වඩාත් ආකර්ෂණීය යැයි මට සිතේ-

රැකියාවක යෙදුණු මිනිසුන් යළි නිවෙස්වලට යන විට හෙම්බත් වුණු සොබාවය මට සිහිපත් කරන්නේ ටී- එස්- එලියට් ගේ මෝනිං ඇට් ද වින්ඩෝ කවිය යි-

The Morning At The Window

They are rattling breakfast
Plates in the basement kitchen
And along the trampled edges of the street
I am aware of damp – souls of housemaids
Sprouting desponding at area gates!

The brown waves of fog toss up to me
Twisted faces from the bottom of the street”
And tear from a passerby with muddy shirts
An aimless smile that hovers in the air
And vanishes along the level of the roofs!

          - T. S. Eliot

කළු සපත්තු කෙටි කතාවේ මුල් ම ජේදය කියවන සෑම විට ම පාහේ එලියට් ගේ මේ කවිය මට සිහිපත් වේ. කළු සපත්තු කෙටි කතාවේ ආරම්භය පාඨක සිත කතාවට ඉක්මනින් ග්‍රහණය කර ගැනීමට සමත් වේ- “රැකියාවෙන් හෙම්බත් වී එල්ලා වැටුණු මුහුණු සහිත මිනිසුන් ගෙන් පාරවල් පිරෙන සවස් යාමයේ, ගම හරහා දිවෙන පාර අද්දරට වී සිරිදාස බලා සිටියේ තම ගැටලුව විසඳා ගැනීමේ අපේක්‍ෂාවෙනි- උදේ සිට හවස් වන තුරු කම්හලක යන්ත්‍ර සූත්‍ර අතර හෝ කාර්යාලයක ලිපි ගොනු මැද සිටි මේ මිනිසුන් හැන්දෑවේ ආපසු නිවෙස් බලා යන්නේ එතරම් සතුටකින් නොවන බව සිරිදාසට මීට පෙර වැටහී නො තිබිණ- තමා පසු කර යන අයගේ මුහුණු දෙස මේ තරම් සැලැකිල්ලෙන් බලන්නට ඕනෑකමක් ඔහුට වෙන කවරදාවත් තිබුණේ නැත-” එලියට් ගේ කවියත් මේ ඡේදයත් සසඳ සසඳා රස විඳීමට හුරු වූ මට කවියත් කෙටි කතාවත් අතර පවතින කිසියම් වැදගත් සබඳකමක් එළිවෙයි- කවිය සහ කෙටි කතාව යන කලාංග දෙකෙහි ම සැකැවි බව පැවැතී ම ඒ වෙසෙස් ලකුණ යි-

කළු සපත්තු ජයතිලක කම්මැල්වීර

ආචාර්ය විරාජ් ධර්ම ශ්‍රී
ගා/අත්‍ථදස්සි කනිටු විදුහල

advertistmentadvertistment
advertistmentadvertistment