ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කිරීමේ ගැසට්ටුවට ඇමැති අත්සන් තබයි

94

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය අහෝසි කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ ඒ බව සඳහන් කර තිබුණි.

අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගත් බවද හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම් දුන් බවද එම ට්විටර් සටහනේ දක්වා ඇත.

එම විගණන වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණයන් සඳහා ලිඛිතව දැනුම් දීමට පියවර ගත් බවද එහි වැඩිදුරටත් දැක්වේ.

මේ අතර අතුරු කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවරනු ලැබූ නඩුව අධිකරණය හමුවට අද කැඳවීමට නියමිතය. ඒ අනුව ඇමැතිවරයා විසින් ඊයේ දිනයේ ගත් ඉහත තීරණය නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment