අද අපේ රටේ මිනිසුන්ට දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිබඳව තිබෙන්නේ බරපතළ අවිශ්වාසයක්. අවංකකම පිළිබඳ විශාල, සාධාරණ සැකයක් සියලුම දේශපාලඥයන් පිළිබඳව මතුවෙලා. මටත් ඒක එහෙමම අදාළයි. පවුල් කේන්ද්‍රීය දේශපාලනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා. එම නිසා, ජනතාවට බොරු නොකියන, රටේ දේපළ සූරා නොකන, පොදු දේපළට ගරු කරන, 21 වැනි ශත වර්ෂයේ අවශ්‍යතාවයන් හඳුනාගත් දියුණු, වගකීම්සහගත සහ සැබවින්ම අවංක දේශපාලන ප්‍රවාහයක්
ගොඩනැඟීම දිගුකාලීනව අර්බුදය ජයගැනීම සඳහා ඇති එකම මාර්ගය යැයි මාතර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයන් අමතමින් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෙනසුරාදා (25දා) සවස නූපේ ප්‍රධාන කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.
හිසරදයට කොට්ට මාරුකරන්නා සේ මාසයකට වරක් කැබිනට් මණ්ඩලය මාරුකිරීමෙන් හෝ අගමැතිවරයා මාරු කිරීමෙන් හෝ පමණක් මෙම අර්බුදයට විසඳුම් හොයන්න බැහැ. 2019 දෙසැම්බර් ඉඳල ගත්තොත් අවුරුදු දෙකහමාරක පමණ කාලය තුළ මේ තියෙන්නේ පස්වන කැබිනට් මණ්ඩලය. දෙවැනි අගමැති. ඒ වගේම, ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා ඇතුළු කිසිම නායකයෙකුට හෝ කිසිම පක්ෂයකට තනි තනිව මේ අර්බුදයෙන් ජනතාව මුදා ගන්නත් බැහැ. එම නිසා මේ නායකයන්ට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කිරීමට ඉතිරිව ඇති එකම දේ නිරා දුක්විඳින ජනතාව වෙනුවෙන් වසරක කෙටිකාලීන නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළක් සඳහා එකට එකතුවීම පමණයි. ඔන්න ඕකට තමයි සර්ව පාක්ෂික කියන්නේ. ඕකට තමයි ජාතික ආණ්ඩුව කියන්නේ. එහෙම කරලා, වසර අවසානයේ තම ඉරණම තීරණය කිරීම ජනතාවට භාරකරන්න පුළුවන් බවද අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ හැත්තෑහයක් (76) තියෙනවා. මින් පක්ෂ පනස් දෙකක් (52) කිසිම ජාතික මැතිවරණයකට කිසිදාක තරගකර නැහැ. එක පැත්තකින් පක්ෂ විකිණීම කුඩු විකිණීම වගේම ලාභදායී ව්‍යාපාරයක් වෙලා. පක්ෂ දෙක තුනක හැර අනෙක් කිසිම පක්ෂයක තරුණයන්ට තැනැක් නැහැ. කාන්තාවන්ට කිසිම වගකීමක් දෙන්න කිසිම දේශපාලන පක්ෂයක් කැමති නැහැ. නමුත්, රටේ
ජනගහනයෙන් 52% ක් කාන්තාවෝ. ඉතාම ආකර්ශනීය භාෂාවෙන් ෂඩ් වර්ණය මුසුකොට මැතිවරණ ප්‍රකාශ සකසා මහජන මතය “පික් පොකට්” ගැසීමේ සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබීමයි නව පරම්පරාවේ බලාපොරොත්තුව යැයිද ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.