කමිඳු ගැන කතාවක්

සනත්ට තවත් මෙහෙයුමක්

මිලාන්ගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පසුගිය සතියේදී නිමාවට පත්වුණා. එහිදී තරග 2-1ක් ලෙස තරගාවලිය ජයගත්තේ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමයි. අවසන් වරට ශ්‍රී ලංකාව එංගලන්තය සමග එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියකට සහභාගි වූයේ 2014 වසරේදීයි. ඒ හරියටම මීට වසර 10 කට පෙරයි. එහිදී තරග දෙකකින් සමන්විත වූ තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගත් ශ්‍රී ලංකාව දෙවැනි තරගය ජයගත්තේ ලකුණු 100කින්. ඒ අනුව මෙවර ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයගත්තේ වසර 10කට පසුවයි. එනිසා මෙම තරගාවලිය පැති කිහිපයකින්ම ශ්‍රී ලංකාවට වැදගත් වනවා. මෙහිදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම තමන් මුහුණ දුන් පළමු තරග දෙකම පරාජයට පත් වුවත් අවසන් තරගය ජයගැනීම බොහෝ සෙයින් කතාබහට ලක්වුණා. ඒ එම ජයග්‍රහණය හුදෙක් පන්දුවෙන් සහ පිත්තෙන් පමණක් ලබාගත් ජයග්‍රහණයක් නොවූ නිසයි. එසේම එම ජයග්‍රහණයත් සමග වඩාත් අවධානය දිනාගත් කිහිපදෙනෙකු හඳුනාගැනීමට හැකිවීමද විශේෂත්වයක්. එම පුද්ගලයන් අතර කණ්ඩායමට නායකත්වය ලබාදුන් DDS හෙවත් ධනංජය ද සිල්වා සහ කණ්ඩායම් පුහුණුකරු සනත් ජයසූරිය ගැන ප්‍රථමයෙන්ම අවධානය යොමු කළ යුතු වනවා. මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය උසුලන ධනංජය ද සිල්වා මෙවර තරගාවලිය පුරා දැක්වූ පරිණතභාවය බොහෝ විචාරකයන්ගේ අවධානය දිනා ගත් කරුණක් වුණා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අසීරු තණතිළි සහ කාලගුණික තත්ත්වයන් යටතේ වුවත් සිය මානසික ඒකාග්‍රතාවය රැකගනිමින් කණ්ඩායමට නායකත්වය ලබාදුන් ආකාරය ප්‍රශංසනීය කරුණක්. විශේෂයෙන්ම තම පිතිකරුවන් හොඳින් ක්‍රීඩා නොකරන අවස්ථාවලදී පවා වඩා ඉවසිලිවන්තව ක්‍රීඩා කිරීමටත්, කණ්ඩායමක් වශයෙන් එක් එක් ක්‍රීඩකයන් වෙන වෙනම අපහසුතාවයට පත් නොවන ලෙස හැසිරීමටත් DDS ට හැකිවීම තරගාවලිය පුරාවට කැපී පෙනුණා. බොහෝ විට තරගාවලියේ අවසන් තරගය වූ තුන්වන තරගයේදී ශ්‍රී ලංකාවට කඩුළු 8ක ජයග්‍රහණයක් කරා යෑමට බොහෝ විට මෙම කරුණ ඉවහල් වූ බව පෙනී යනවා. ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක ජීව ගුණය නොඑසේනම් ඔැ්ප ීචසරසඑ එක වඩා වැදගත් වන්නේ ඔවුන් කණ්ඩායමක් ලෙස තරග ජයග්‍රහණය කරනවිට නොව තරග පරාජයට පත්වන අවස්ථාවලදී බව සාමාන්‍ය මතයයි. ඒ අනුව මෙම තරගාවලිය පුරා එම ගුණය රැකගැනීමට DDS ට හැකිවීම අගය කළ යුත්තක්.

එංගලන්තය වැනි සීත කාලගුණයක් සහිත රටක පැවැත්වෙන තරගාවලියක් මෙන්ම පන්දුව දෝලනයට ලක්වන තණතිළි යනු ශ්‍රී ලංකාවට සෑමවිටම ප්‍රබල අභියෝගයක්. ඉතිහාසය පුරාවටම ඒ සඳහා අපමණ සාක්ෂි තිබෙනවා. එනිසා මෙවන් තරගාවලියක පුහුණුකරුගේ අභියෝගය භාරගැනීම යනු තම වෘත්තීයේ තත්ත්වයට තර්ජනයක් සිදුවිය හැකි අවස්ථාවක්. ඒ පුහුණුකරුවකුගේ දක්ෂතාවය මැන බැලෙන එක් ප්‍රධාන සාධකයක් ලෙස ඔහුගේ ජය සහ පරාජයන්වල ප්‍රමාණය සැළකිල්ලට ගැනීම නිසායි. ඒ අනුව පුහුණුකරුවෙක් ලෙස අධික අවදානමක් සහිත තරගාවලියකට එකතුවීම යනු කිසියම් අභියෝගාත්මක ක්‍රියාවක්. ශ්‍රී ලංකාව සතුව ස්ථිර පුහුණුකරුවෙක් නොමැති අවස්ථාවක සනත් ජයසූරිය මේ ලබාගත් අවදානම වැදගත් වන්නේ ඒ නිසයි. අත්දැකීම් අඩු නවක කණ්ඩායමක් සමග විදෙස් රටක අසීරු තරග තත්ත්වයන් යටතේ තරග කිරීමට පුහුණුකිරීම පැති කිහිපයකින් අභියෝගයක් විය හැකි කාරණයක්. එහි පළමු අභියෝගය වන්නේ තණතිළිවල ස්වභාවය අනුව පිතිකරණයත් පන්දු යැවීමත් අවශ්‍ය ලෙස සකසා ගැනීමේ අභියෝගයයි. දෙවැනි කාරණය වන්නේ ක්‍රීඩකයන්ට අවශ්‍ය මානසික ශක්‍යතාවය ගොඩනැඟීමයි. පුහුණුකරුවෙක් සම්බන්ධයෙන් මේ කරුණු දෙකම පහසු නොවන්නේ එක් එක් ක්‍රීඩකයන්ගේ හැකියා සහ දුර්වල ස්ථාන හඳුනාගෙන එක් එක් ක්‍රීඩකයන්ට අනන්‍ය ලෙසත් කණ්ඩායමක් ලෙස පොදුවේත් මේ කාර්ය කිරීමට සිදුවීමයි.

ක්‍රිකට් පරාජයෙන් පිබිදීම

ඇත්තෙන්ම මෙහිදී සනත් ජාත්‍යන්තර සම්මත රාමුවට පිටින් ගොස් අපට වඩා දැනෙන ශ්‍රී ලාංකේය ක්‍රමවේදයකට එම කටයුත්ත කළ බව පෙනී යනවා. කෙසේ වෙතත් ඒ හරහා ක්‍රීඩකයන් වෙත එල්ල වූ බලපෑම ශ්‍රී ලංකාවට සිය තුන්වන තරගයෙන් ජයගැනීමට ඉවහල් වූ බව තරග ජයග්‍රහණයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී සනත් කළ කතාවෙන් පැහැදිළියි. එහිදී සනත්ගේ පැහැදිළි කිරීම වූයේ “අපි අපේ ක්‍රිකට් එක ගසන්නට ඕනි” බවයි. එසේම එහිදී පන්දු යවන්නන් තුන්වන තරගයේදී එංගලන්තයේ ප්‍රබලතම පිතිකරු වූ ජෝ රූට් දවා ගැනීම සඳහා යොදාගත් උපක්‍රමය සාර්ථක වූ බවත්, හරිගියත් වැරදුනත් පන්දු යවන්නන් ඒ උපක්‍රමය වෙනුවෙන් වැඩකිරීම බෙහෙවින් අගය කළ යුතු බවත් පැවසුවා. මේ අනුව ජයග්‍රහණය සඳහා සැළසුම් සකස් කිරීමේදීත් එය ක්‍රියාත්මක කිරීමේදීත් “අපේ ක්‍රමය” අනුගමනය කිරීමට සනත් කටයුතුකොට තිබෙන බව පෙනී යනවා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ වසර දහයකට පසු එංගලන්ත බිමේදී ශ්‍රී ලංකාවට ටෙස්ට් ජයග්‍රණයක් හිමිවීමයි. අනෙක් අතින් එළඹෙන නවසීලන්ත තරග සංචාරයේ පුහුණුකාරීත්වයත් සනත්ට හිමිවුණා. මේ තරගාවලිය තුළ සනත් ජයසූරියගේ පුහුණුකරු භූමිකාව සිදුවූයේ එලෙසින්.

ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලියකදී සිදුවන සමහර පරාජයන් පහසුවෙන් ඉවසිය හැකි වන්නේ එම තරගාවලිය තුළ උපයා ගත් සාධනීය ලක්ෂණ අනුවයි. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම එංගලන්ත සංචාරයද එකී සාධනීය ලක්ෂණවලින් පොහොසත්. මෙහිදී ශ්‍රී ලංකාවේ මැද පෙළ සවිමත් කළ කමිඳු මෙන්ඩිස් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත ආයෝජනයක් බව ඔප්පු කරන්නට කටයුතු කළා.

ක්‍රිකට් පරාජයෙන් පිබිදීම

තරගාවලිය තුළ කමිඳු විශේෂයෙන්ම කතා කළ යුතු ඉනිම කිහිපයක් ක්‍රීඩා කිරීම කැපී පෙනුණ කාරණයක්. ඒ අතුරින් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි ඉනිම තුළ කමිඳු රැස්කළ අගනා ශතකය අවිවාදයෙන්ම විශිෂ්ට ඉනිමක්. ලකුණු 95 කට කඩුළු 4 ක් දැවී ගොස් සිටියදී ඇන්ජලෝ මැතිව්ස් සමග එක්ව ඉනිම ගොඩනැඟූ කමිඳු ඇන්ජලෝගේ දැවී යෑමෙන් අනතුරුව අනෙක් අන්තයෙන් සැළකිය යුතු සහයක් නොමැතිව හුදෙකලා සටනක නිරත වෙමින් ලබාගත් එම ශතකය ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ සුවිශේෂ එකක් වී අවසන්. එසේම තරගාවලියේ තුන්වැනි තරගයේදී පළමු ඉනිම සඳහා කමිඳු රැස්කළ ලකුණු 64ත් අතිශයින්ම තීරණාත්මක වූයේ ඒ වනවිට ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 93කට කඩුළු 5ක් දැවී ගොස් සිටි නිසයි. එහිදී ද කමිඳු නායක ධනංජය ද සිල්වා සමග එක්ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 127ක සබඳතාවයක් ගොඩනැඟීම කැපී පෙනුණ සිදුවීමක්. තරගයේ ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායමට අවැසි මානසික පරිවර්තනය මෙම සබඳතාවය හරහා ගොඩනැඟුණු බව අවිවාදයෙන් පිළිගතයුතු වනවා. කමිඳු මේ වනවිට තමන් ක්‍රීඩා කළ ටෙස්ට් තරග 6 තුළ ඉනිම 10 කදී ශතක 3ක් සහ අර්ධ ශතක 4ක් ලබා තිබීම ඔහුගේ එම පිතිකරණ හැකියාව ප්‍රතිඵල මතින් පෙන්නුම් කිරීමක්. මෙම එංගලන්ත තරග සංචාරයේදීත් කමිඳු ඉනිම 5ක් තුළ රැස්කළ ලකුණු සංඛාව 267ක්. එය තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජෝ රූට් සමග කරට කර සටනක් දීමට ඉවහල් වුණා. ඒ අනුව කමිඳු යනු අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව හැඩ කළ හැකි ක්‍රීඩකයෙක් බව මේ වන විට ඔප්පු කර හමාරයි. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ අනෙක් ආයෝජනය ලෙස සැළකිය හැක්කේ මිලාන් රත්නායකයි. තම මංගල ටෙස්ට් තරගාවලියට සහභාගි වූ මිලාන් මෙහිදී තරග 3 ක් තුළ කඩුළු 10 ක් බිඳ හෙලීමට සමත් වූ අතර ඉනිම 5ක් තුළ අර්ධ ශතකයක් ද සමගින් ලකුණු 151 ක් ලබාගත්තා. ඒ අනුව මෙවන් දක්ෂතාවයක් ප්‍රකට කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට පියනඟන්නට එකී දක්ෂතාවය බලපෑවා. තරගාවලිය තුළ දී ප්‍රතිවාදී කඩුළු 17 ක් බිඳ දැමීමට සමත් වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු මෙම තරගාවලිය තුළ ප්‍රබල ලෙස ඉස්මතු වූ අනෙක් ක්‍රීඩකයා යි. එංගලන්තය සමග පැවති මෙම තරගාවලිය මෙලෙස සුබ ලකුණු සමග අවසන් කරගැනීමට සමත්වීම අනාගතයේදී ශ්‍රී ලංකාවට බෙහෙවින් බලපානු ඇති. එසේම මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එංගලන්තය අභිබවා පියවරක් ඉදිරියට පැමිණීමට සමත් වීමත් විශේෂ කරුණක්.

ජාත්‍යන්තර ටෙස්ට් තරග කාල සටහනට අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි තරගය මේ මස 18 වැනිදා නවසීලන්ත කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

සුනිල් සෝමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment