ඔස්ට්‍රේලියාව විසින් බිහිකළ ලොව අග්‍රගණ්‍යම ක්‍රිකට් නායකයා ලෙස පිළිගැනෙන රිකී පොන්ටිං 2006 වසරේ පැවති එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීය. එහිදී නිවේදකයකු ඇසූ ප්‍රශ්නයකට පොන්ටින් ලබාදුන් පිළිතුර අතිශයින්ම සිත්ගන්නා සුළු එකක් විය. එහිදී නිවේදකයා විමසුවේ එකදිගට මෙබඳු ජයග්‍රහණ ලබාගැනීමේ රහස කුමක්ද කියායි. එවිට පොන්ටින්ගේ පිළිතුර වූයේ Winning is a habit යන්නයි. එනම් ඔවුන්ට අනුව ජයග්‍රහණය පුරුද්දක් වී ඇති බවයි. මේ පිටුපස ඇති මානසිකත්වය හා බැඳුණු ප්‍රබල කතාව ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙක් හෝ ක්‍රිකට් ලෝලියෙක් අවබෝධ කරගැනීම වැදගත්. ඒ ලෝක ක්‍රිකට් වංශකතාවේ ඊට හිමි අතිශය වැදගත් තැන නිසායි. අවාසනාවකට මෙන් මෙය අවබෝධ කරගැනීමට හෝ ඒ අනුව සිතන්නට මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හුරුවී නැත.
ඔබට කිසිදු විටෙක ඔබගේ පුරුද්දක් මග හැරෙන්නේ නැත. උදෑසන අවදිවෙන වේලාව, රැකියාවට හෝ වෙනයම් අනිවාර්ය දෛනික කටයුත්තකට යෑම පමණක් නොව ඔබ හුරු වී සිටින ආකාරයට නියමිත පරිදි දත් මැදීම, මුහුණ සේදීම වැනි දේත් ඔබට මගහැරෙන්නේ නැත. ඒ හුරුවීම මගින් එකී කටයුතු කිරීමට මනසට කෙරෙන බලපෑම නිසායි. තරගයක ජයග්‍රහණයට හෝ පරාජයට ඍජුවම බලපාන්නේත් මෙකී කාරණාය. ජයග්‍රහණය පුරුද්දක් කරගත් විට ඕනෑම අපහසු අවස්ථාවකදී වුවත් ඒ සඳහා ඉඩක් නිර්මාණය කරදීමට මනස කටයුතු කරයි. ක්‍රිකට් යනු පන්දුව සහ පිත්ත අතර තරගයක් පමණක් නොවන්නේ ඒ නිසාය.
කිසියම් කණ්ඩායම් දෙකක් තරගයකට අවතීර්ණ වූ විට කණ්ඩායම් දෙකම දක්ෂතා අතින් සියයට සියයක් සමාන නම් ජයගන්නේ කුමන කණ්ඩායමද ? වඩාත් ප්‍රබල මානසිකත්වයක් සහිත කණ්ඩායමට මෙහිදී අනිවාර්යය වාසිය හිමිවීම වැළක්විය නොහැක්කකි. ක්‍රිකට් වැනි විශේෂ ක්‍රීඩාවක් විෂයයෙහි මෙය වඩාත් බලපෑම් සිදුකරයි. මෙහිදී ක්‍රිකට් යනු විශේෂ ක්‍රීඩාවක් ලෙස හැඳින්වූයේ ක්‍රිකට්වලදී දක්ෂතම කණ්ඩායම ජයග්‍රහණ කිරීම අනිවාර්ය ලක්ෂණයක් නොවන නිසායි. අනෙකුත් කණ්ඩායම් ක්‍රීඩාවන් වන පාපන්දු, පැසි පන්දු, රග්බි, වොලිබෝල් වැනි ක්‍රීඩාවලදී හොඳම කණ්ඩායමක් සාමාන්‍ය කණ්ඩායමක් ඉදිරියේ ජයග්‍රහණය ලබාගැනීම අනිවාර්ය මට්ටමේ සිදුවීමක්. නමුත් ක්‍රිකට්වල තත්ත්වය එසේ නොවේ. දුර්වල පන්දු යවන්නෙකුට වුවද කඩුල්ලක් ලබාගැනීමට හැකියාව ඇත.
පසුගියදා පැවති ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ ඉහත කී සංසිද්ධියටයි. එහිදී තරගාවලියේ අවසන් තරගය හෙවත් තුන්වැනි තරගය පරාජයට පත්වීම යනු ටෙස්ට් තත්ත්වය හිමිකරගත් කිසිදු රටකට පහසු කාරණයක් නොවේ. එය ජයගැනීම සඳහා කිසිදු විශේෂ හැකියාවක් අවශ්‍යව තිබුණේ ද නැත. එය කිසිවෙකුටත් ඇදහිය නොහැකි පරාජයක් වන්නේ ඒ නිසායි. ඇත්තෙන්ම මෙම තරගය පසුගිය වසර විස්ස තුළ කිසිසේත් පරාද වීමට අවස්ථාවක් නොමැතිව, පරාජය සොයාගත් හොඳම තරගය විය හැකි බව බොහෝ දෙනාගේ මතයයි. එසේම මෙම තරගය ශ්‍රී ලංකාව තුළ අපගේම ක්‍රිකට් ලෝලීන් ඉදිරියේ සියලුම වාසිසහගත තත්ත්වයන් හමුවේ පරාජයට පත්වීම එහි ඇති අනෙක් විශේෂත්වයයි. මේ අනුව පෙනීයන්නේ ශ්‍රී ලංකාව තරග පරාජයට පත්වීමේ ශූරතාවය හිමිකරගෙන ඇති බවයි. පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා අවසන් වූ ඔ -20 තරගාවලියේ පැවති තරග තුන තුළ අවසන් කඩුලු 7 අපට අහිමිව ගිය අයුරුයි.
ප්‍රථම තරගය ලකුණු 140 ට කඩුලු 2යි. අවසානය පන්දු 32 ක් තුළ ලකුණු 30 ට කඩුලු 8ක්.
දෙවන තරගය ලකුණු 130 ට කඩුලු 2යි. අවසානය පන්දු 30ක් තුළ ලකුණු 31 කට කඩුලු 7ක්.
තුන්වන තරගය ලකුණු 110 ට කඩුලු 1යි. අවසානය පන්දු 25ක් තුළ ලකුණු 22ට කඩුලු 7ක්.
මෙම කාරණය හුදෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණයේ ඇති දුර්වලතාවය විදහා දක්වන්නක් නොව කණ්ඩායම් මානසිකත්වය සහ පරාජය වැළඳ ගැනීමට සූදානම්ව සිටීම පිළිබඳ කාරණයකි. එසේම මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ පුහුණුකරුවන්ට හෝ චෝදනා කිරීමෙන් ඵලක් නොවේ. එය පිටිය මැද සිදුවන මානසික අවපාතයකි. එසේම මෙය තනි තනි ක්‍රීඩකයන් ලෙසත් පොදුවේ කණ්ඩායමක් ලෙසත් තීරණ ගෙන ගොඩනඟාගත යුත්තකි. ඇත්තෙන්ම තනි තනි වශයෙන් ක්‍රීඩකයන්ට දොස් නැඟීමෙන් ද මෙය විසඳාගත හැකි නොවේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ මෙවන් කාල පරිච්චේදවලට මුහුණ දුන් වෙනත් රටවල් තිබේද, එසේනම් එහිදී ඔවුන් එම අභියෝගය ජයගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න අධ්‍යයනය කිරීමයි. කෙසේ වුවද ඕනෑම කණ්ඩායමක් ඕනෑම ක්‍රීඩාවක් සඳහා එකම අරමුණකට ගොනුකර ගැනීම අද කාලයේ ඇති ප්‍රබලතම අභියෝගයක් වී තිබේ. ඒ වඩාත් පාරිභෝගික සමාජයක් තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිලාෂයන් වෙනස් වී තිබීම නිසායි.
අනාගත ක්‍රිකට් ජයග්‍රහණ සඳහා මේ මොහොතේ අපට අවශ්‍යම වන්නේ ඉක්මනින්ම හිමිකර ගන්නා ජයග්‍රහණයක් වේ. ඉන් අනතුරුව ක්‍රීඩකයන්ගේ අනෙකුත් පැති දෙස අවධානය යොමුකළ යුතුව ඇත. කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩකයකුට ජාත්‍යන්තර තලය වෙත ගමන් කිරීම සඳහා කළ යුතු කැපකිරීමේ ප්‍රමාණය අනෙකුත් ක්‍රීඩකයන්ට සාපේක්ෂව අඩු අගයක් වීම සමහර විටෙක වාසිදායක විය හැක. ආසියාව ජයගැනීමට යන බොක්සිං ක්‍රීඩකයකු හෝ මලල ක්‍රීඩකයකු වේ නම් ඔවුන්ට ඒ සඳහා තමන්ගේ කෑම බීම, සිරුරේ බර, විනෝදාස්වාදය, පවුල් ජීවිතය යන සියල්ල කැපකළ යුතු අතර ඊට අමතරව තමන්ගේ ආර්ථිකය පවත්වා ගැනීමට රැකියාවක්ද කරන්නටද සිදු වේ. නමුත් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ට එබඳු බරපතළ තත්ත්වයකට මුහුණ දීමට නැත. ඉදිරියේදී මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීම අනිවාර්ය කරුණක් වන බව නම් සැබවි.
සුනිල්