ක්‍රිකට් ලොක්කන්ගේ නිල කාලය අවුරුදු 8ක් කරගන්න හදිසි ගැසට්ටුවක් ගහලා – කිරිඇල්ල

460

මෙවර විස්සයි – 20 ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 08ක් දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (10දා) මේ බව සඳහන් කළේය.

එමෙන්ම ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8ක් එම ධුරයේ කටයුතු කර එම ධුරවලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16ක් විධායක සභිකයන් ලෙස කටයුතු කිරීමට මෙම ගැසට් නිවේදනය අනුව හැකියාව තිබෙන බවත් ඔහු කීය. කෙසේවෙතත් මෙම ගැසට් නිවේදනය සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඉවත් කරන බවත් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවැසීය. පසුගිය වසරේ ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිබඳ යෝජනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ගෙනාවා. එහිදී පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වුණා ක්‍රිකට් පාලක මණ්ඩලය සම්පූර්ණයෙන්ම විසුරුවා හැරිය යුතු බව. ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කරන්නේ ව්‍යාජ ක්‍රීඩා සමාජ හරහා බව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා. ලංකාවේ පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදෙන්නේ ක්‍රීඩා සමාජ 13ක් වගේ ප්‍රමාණයක්. නමුත් ව්‍යාජ ක්‍රීඩා සමාජ හරහා ක්‍රිකට් පාලක මණ්ඩලයට නොසුදුසු පුද්ගලයන් පත්කරගැනීම පිළිබඳව විපක්ෂය පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා. ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ තිබෙන අක්‍රමිකතා, වංචා, දූෂණ පිළිබඳව විගණකාධිපතිවරයාගේ වාර්තාව හරහා විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

2024 විස්සයි – 20 ලෝක කුසලානය පැවැත්වෙන කාලසීමාවේ ක්‍රීඩා ඇමැතිවරයා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලයට තවත් අවුරුදු 8ක් ක්‍රිකට් පාලක මණ්ඩලය තුළ කටයුතු කිරීමට හැකි වන පරිදි ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පත් වෙන්නේ වසර දෙකක කාලයකට. අවශ්‍යනම් තවත් අවුරුදු දෙකකින් ඔවුන්ගේ කාලය දීර්ඝ කරන්න හැකියාව තිබෙනවා. එවිට ඔවුන්ගේ උපරිම ධුර කාලය වසර 4යි. වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ධුර කාලය අවසන් වන්නේ 2025 මාර්තු මාසයේ. නමුත් ක්‍රීඩා ඇමැතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට 2025 මාර්තු මාසයේදී ඉදිරි වසර 4කට නිලවරණයට ඉදිරිපත් වීමේ හැකියාව තිබෙන අතර ඒ කාලය අවසන් වූ පසු තවත් අවුරුදු 4ක් එම ධුරවල කටයුතු කළ හැකයි. එවිට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ නිල කාලය වසර 8ක් දක්වා දීර්ඝ වෙනවා.

අධිකරණය පිළිගත් ශේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ වාර්තාව වන චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කරන්නැයි විපක්ෂය පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. ආණ්ඩුව චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කරන බවත්, ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා තෝරා පත් කර ගන්න ක්‍රීඩා සමාජ අඩු කරන බවත් සඳහන් කළා. නමුත් 2024 විස්සයි – 20 ලෝක කුසලානය පැවැත්වෙන කාලවකවානුවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ නිල කාලය වසර 8ක් දක්වා ඡන්දය ඉල්ලන්න පළුවන් ආකාරයට ගැසට් නිවේදය සකස් කරලා තිබෙනවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා දැනටමත් වසර 6ක් එම ධුරයේ ඉඳලා තිබෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හඳන්න ඒ කාලය හොඳටම ප්‍රමාණවත්. 2024 විස්සයි – 20 ලෝක කුසලානයේ වෙන දේවල් දැක්ම ඉතාමත් පැහැදිලියි, ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ ගනුදෙනු කරලා තිබෙන්නේ ක්‍රිකට් ගොඩගන්න නෙවයි. තවමන්ගේ තනතුරු ආරක්ෂා කර ගන්න.

ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා කාලය ලබාදෙන්නේ වසර 4ක් හෝ 5ක්. නමුත් ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ නිලධාරි මණ්ඩලයට අවුරදු 6ක කාලයක් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු කරලා තිබෙනවා.

අකිත පෙරේරා
ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත


advertistmentadvertistment