ක්‍රිෂ් ගින්න ගැන රස පරීක්ෂක ඇස

192

කොළඹ කොටුවේ පිහිටි ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ පෙරේදා (06 දා) රාත්‍රී හටගත් ගින්න මහත් පරිශ්‍රමයක් යොදා පැය 4ක් තුළ මැඬපැවැත්වූ බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි කමල් විල්සන් මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම ගින්න මැඬපැවැත්වීමේ අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 5ක් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ද ලැබුණු බව හෙතෙම කීය.

ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින් 30 දෙනකු සම්බන්ධ වූ බව ද හෙතෙම කියා සිටියේය.

පවතින නඩුවක් හේතුවෙන් එහි ඉදිකිරීම් කටයුතු නතර කර ඇති බවත් එහි 33 වැනි මහලෙන් ගින්න හටගෙන තවත් මහල් 6කට ගින්න පැතිරී ගොස් තිබූ බවත් ඒ මහතා කීය.

මෙම ගොඩනැඟිල්ල මහල් 60කින් සමන්විත ගොඩනැඟිල්ලක් බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙම ගොඩනැඟිල්ලේ 33 වැනි මහලේ ඇති යකඩ පටි කීපයක් කපා ඉවත් කිරීමට වෙනත් සමාගමකට භාරදී තිබේ. ඒ අනුව ඒවා කැපීමේදී ඔක්සිඇසිට්ලින්වලින් විසිවන ගිනි පුපුරු ලෑලි පුවරුවලට විසිවී ගින්න ඇතිවන්නට ඇතැයි සැකකරන බව ද විල්සන් මහතා කීය.

එම කටයුතුවල නිරතවන සේවකයන් සවස 5.00ට පමණ පිටවගොස් ඇති අතර ලෑලි පුවරුවලට විසිව තිබූ ගිනි පුපුරු ටික ටික දැල්වී ගින්න විශාල ලෙස පැතිරයන්නට ඇතැයි සැකකරන කරන බව ද ඒ මහතා කියා සිටියේය.

ගිනි ගැනීමට ලක්වූ එම ගොඩනැඟිල්ල රජයේ රස පරීක්ෂකවරයා විසින් ඊයේ (07 දා) පරීක්ෂාවට ලක් කළේය.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැත.

මේ පිළිබඳව කොටුව පොලිසිය ද පුළුල් පරීක්ෂණයක් අරඹා තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment