ක්‍රීඩකයින් වෙනුවෙන් පිටියට පැමිණි පුහුණුකරු ඩුමිනි

284

මීට වසර 05කට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් විශ්‍රාම ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩක JP ඩුමිනි ගැන දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ. ඩුමිනි මේ වන විට දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි.

දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වූ ඩුමිනි, මාධ්‍ය තුළ නැවත වරක් පුවත් මවන චරිතයක් බවට පත්වීමට හේතුව කුමක්ද යන්න ගැන ප්‍රේක්ෂකයන් තුළ විශාල උනන්දුවක් ඇතිව තිබේ. දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති තරග 03කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය (ඔක්: 07) වැනිදා අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එම තරගයේදී පළමුවෙන් පන්දු රකිමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම අධික උණුසුම සහ තෙහෙට්ටුව නිසා පීඩාවට පත් විය. මේ හේතුවෙන් අයර්ලන්ත කණ්ඩයමේ අවසන් පන්දු වාරයේදී, පන්දු රැකීමේ අතිරේක ක්‍රීඩකයකු ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වූ JP ඩුමිනි පන්දු රැකීම සඳහා පිටියට පිවිසියේ ය. ඔහු පන්දු රැකීම සඳහා පිටියට පිවිසීමත් සමග තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයකි. 1984 වසරේ අප්‍රේල් මස 14 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී උපත ලබන ජීන් පොල් ඩුමිනිව හඳුන්වන කෙටි නාමය වන්නේ JP ඩුමිනි ය.

advertistmentadvertistment
advertistmentadvertistment