ක්‍රීඩාවට සම්බන්ධ වෙන 200 ට 2500 ක් එකතු වීම

76

පාසල් හැර ගිය කොල්ලන් කෙල්ලන් වැඩ සඳහා ගිනි කසේට කඳුවල ඔබ මොබ යන හැටි දකින මලල ක්‍රීඩාව ගැන රහක් ඇති පුහුණුකරුවෙක් ඔවුන්ව දුවවන්නට පටන් ගන්න අතර පසුව ඔවුන්ගේ දක්ෂතා හමුදා තනතුරකට ඈඳා ඉනික්බිති ලංකාවේ නමගිය පුහුණුකරුවෙක්ට ද පටවා රට වෙනුවෙන් දුවන්නට පුහුණු කරති. ඔවුන් අවම පහසුකම් යටතේ රට වෙනුවෙන් හම්බ කරපු අම්මලා – තාත්තලාගේ ළමයින්ය. මනෝහරන්, විග්නේෂ්වරම්, චන්ද්‍රදාස්, අජන්තන් සිට මේ මොහොතේ ලංකාවේ මලල ක්‍රීඩා වපසරිය තුළ අවධානයට ලක්ව සිටින ෂම්මුගේෂ්වර්න් කුමාර් දක්වා ම මේ පසුබිම් කතාව සමානය.

ඉන්දීය වතුකම්කරුවන්ගේ සම්ප්‍රාප්තියට මේ වසරට වසර දෙසීයකි. මේ වසර දෙසීය තුළ ඔවුන්ගේ දහදිය ලේ මතින් මේ රටේ ආර්ථිකයට කරන ලද සේවය වචනවලින් ගරු කරන්නට බැරි තරම්ය. වතුකරයේ නිලට දිළෙන තේ යායවල් දුඹුරු පස කපමින් රසට දැනෙන තේ දලු බෙදන තේ ගස් වීමේ දක්වා ඇත්තේ ඉන්දිය වතු කම්කරුවන්ගේ දහදිය ය. ඒ අතර රබර් වගාවට ද එසේ දායක වූ ඉන්දිය දෙමළ ජාතිකයන් බොහෝ වෙති.

අදටත් මේ රටට කඹුරා ඇති ඔවුන් සලකන්නේ සුළු ජන කොටසක් සේ ය. වරප්‍රසාද හිමිවන්නේ ද සුළුවෙන්ය. දෛනික වැටුප සකසා ගන්නට පාරවල්වල වේලෙන මේ කම්කරු ජනතාව දෙමළුන් යැයි පන්නා දැමිය යුතු බව සිතන සිංහල බෞද්ධ අධිපතිවාදයක්ද ඇත. දේශපාලන නායකයන් ද යටත් විජිත බවට පත් කර සිටි රටවල නායකයන්ට, රජ පරපුරට අත දීමේ හැඩ පවා මහත් ඉහළින් අගය කරමින් කතා කර ද, රට කොල්ල කෑ ඔවුන්ට දක්වන ගෞරවය රටේ භාණ්ඩාගාරය පොහොසත් කරන දෙමළ මිනිස්සුන්ට දක්වන්නේ නැත.

ඒ ප්‍රශ්න කතා කරන්නට ඒ අතරින් නිර්මාණය වූ පුද්ගලයෝ වතු කම්කරුවන්ගේ පඩියෙන් ශ්‍රමයෙන් සහ කතිරයෙන් ඉහළ පරිභෝජන රටාවකට උරුමකම් කියමින් කොළඹ මිල අධිකම පෙදෙස්වල ව්‍යාපාර ගොඩනැඟිලි පවත්වා ගෙන යමින්, මැති ඇමැතිකම් ලබමින් වැජඹෙති. බොහෝ වතුකම්කරුවන්ගේ දරුවන්ට ඔවුන් අධ්‍යාපනය ලබන පාසල් ආසන්නයට එන්නට ලැබෙන්නේ පාසල අතහැර ගිය ළමා මෙහෙකරුවන් හැටියට ය.

ක්‍රීඩාවට සම්බන්ධ වෙන 200 ට 2500 ක් එකතු වීම

මෙසේ පාසල් හැර ගිය කොල්ලන් කෙල්ලන් වැඩ සඳහා ගිනි කසේට කඳුවල ඔබ මොබ යන හැටි දකින මලල ක්‍රීඩාව ගැන රහක් ඇති පුහුණුකරුවෙක් ඔවුන්ව දුවවන්නට පටන් ගන්න අතර පසුව ඔවුන්ගේ දක්ෂතා හමුදා තනතුරකට ඈඳා ඉනික්බිති ලංකාවේ නමගිය පුහුණුකරුවෙක්ට ද පටවා රට වෙනුවෙන් දුවන්නට පුහුණු කරති. ඔවුන් අවම පහසුකම් යටතේ රට වෙනුවෙන් හම්බ කරපු අම්මලා – තාත්තලාගේ ළමයින්ය. මනෝහරන්, විග්නේෂ්වරම්, චන්ද්‍රදාස්, අජන්තන් සිට මේ මොහොතේ ලංකාවේ මලල ක්‍රීඩා වපසරිය තුළ අවධානයට ලක්ව සිටින ෂම්මුගේෂ්වර්න් කුමාර් දක්වා ම මේ පසුබිම් කතාව සමානය.

ෂම්මු මේ සටහන තබන විට සිටින්නේ බංගලාදේශයේ පැවත්වෙන Bangabandhu Sheikh Mujib Dhaka Marathon හෙවත් ප්‍රකට ඩකා ජාත්‍යන්තර මැරතන් තරගාවලියේ අර්ධ මැරතන් අංශය සඳහා හ්‍රී ලංකාව නියෝජනය කරන්න සහභාගි වෙමින් ය. හරියට අධ්‍යාපන පහසුකම් නොලැබෙන වතු පරම්පරාවේ සෙරඩියට හසු වුණ කුලීකරුවෙක් වන සහ නිවසක මෙහෙකුරුවෙක් වන උරුමයෙන් ගැලවුණ මේ තරුණයා ඒ පරම්පරාවේ ඛේදවාචකයෙන් මිදුණ අහම්බයක්ය. ඒත් මේ අහම්බ පිළිවෙළකට, සැලසුමකට පාසල් කීඩා පිටිය හරහා මුල සිය සකස් කරන්නට හැකිනම් ෂම්මු ලා මෙතැනට එන්නේ මීට වඩා තීව්‍ර වූ දස්කම් සමඟින්ය. නමුත් වතු කම්කරුවන් අතරින් එන කිසිදු ජනතා නියෝජිතයෙක් වතුකරයේ ක්‍රීඩාව ගැන උනන්දු නොවන්නේ සමහර විට ඔවුන්ට පමණක් උරුම කරගෙන සිටින ප්‍රභූ ප්‍රදේශ මේ ක්‍රීඩකයින් ද සිය පාදවල ජවයෙන් විවර කර ගැනීමට ඇති පංතිමය අකැමැත්ත නිසා විය හැකිය.

ෂම්මු ගැන වගේම මේ මොහොතේ එහි කිලෝ මීටර් 42.195 ක දුර දුවන මැරතන් තරගයකට ඉදිරිපත් වෙන තවත් අපූරු පුද්ගලයෙක් වේ. ඒ වසර 2500 ට වඩා මේ රටේ උරුමයට හිමිකම් කියන ඇත්තම පරම්පරාවේ වර්තමාන සාමාජිකයෙක්ය. නමින් තලාවරිගේ රත්නපාල නම් වූ ඔහු ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා තරගයකදී ශ්‍රී ලංකාවට තමන්ට ඇති ඓතිහාසික උරුමය සමඟ සිට ගනු ලබන පළමු වැන්නාය.

අප ඉගෙනගත් ඉතිහාසය තුළ විජය ඇතුළු පිරිස මේ රටට පැමිණෙන්නේ පිටුවහල් කිරීමක් නිසාය. ඊට හේතුව ඔවුන්ගේ අවිචාර හැසිරීමය. නොපනත්කම් ය. ඒ පැමිණෙන විජය ඒ වන විට පොළවේ උරුමය සහිතව සිටි කුවේණිව වසඟයට ගන්නා අතර ඉන් අනතුරුව ඇයව පලවා හරින්නේ තමන්ගේ ලෙයින් දාව උපන් දරු දෙදෙනාද සමඟය. විශ්වාසයන් සහ පර්යේෂණයන්ට අනුව ද වැදි පරපුර නියෝජනය කරන්නේ ඒ දරු දෙදෙනාගේ පරපුර ය.

නමුත් එදා සිට බලය ඩැහැ ගැනීමෙන් පසුව හිමිකරුවන් වූ කුවේණිගේ පරපුර මේ රටේ සුළු ජන කොටසක් විය. රජ පරපුරු බෞද්ධ වුව ද ඒ සුළුවෙන් තැකීම වෙනස් වූවේ නැත. නවීන නියෝජිත දේශපාලනය ඇතුළේද ඒ තත්ත්වය ඒ ආකාරයෙන්ම විය. ඒ නිසා අඩුපාඩුවක්, අතපසුවීමක් සේ නොදැනෙන සේ එම යාන්ත්‍රණයම වැදි තරුණයෙක් උසස් පෙළට ලිවීම, විශ්වවිද්‍යාලයට පිවිසීම මෙන්ම ගුරු තනතුරු ආදියාට පත්වීම ද විශ්මයාර්ථය දනවන සේ වාර්තා කරන්නට විය. ඒ වාර්තා කිරීම ඇතුළේම තිබෙන්නේ දේශපාලනය විසින් කොන්කර, වෙනස්කර ඈත් කර පීඩාවට පත් කර තිබියදී සිදුවන විශ්මිත නැඟිටීමක්මය.

පළමුවරට රත්නපාල නම් දුර දුවන්නෙක් ඒ පරපුරෙන් නැඟිට විත් රට නියෝජනය කරන්නේ ද ඒ ලැජ්ජාවට පත් විය යුතු මහා පරිපාලන යාන්ත්‍රණයේ පීඩාව පෙරළා දමමින්ය. නූතන දේශපාලන රටාව මේ ලැජ්ජා විය යුතු කාරණයන් තව තවත් ලැජ්ජා සිඳ ගනිමින් උත්කර්ශයට නඟන්න හදන මුග්ධකම හොඳින්ම වාර්තා වූයේ රත්නපාලට අනුග්‍රහ දක්වන්න ගිය ක්‍රීඩා දේශපාලනයේ දෙවැනියාගේ ක්‍රියා කලාපය නිසාය.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරියෙක්ම ඒ ගැන පැවසුවේ ඒ පැමිණීමට උත්සවශ්‍රීයක් දෙන වැඩේ රත්නපාලගේ වැඩෙන් කරන්න සිදු වූ බවය. රාජ්‍ය ඇමැත්තා දේශපාලන හෙංචයියලා ද පිරිවරා ගෙන, රාජ්‍ය නිලධාරීන්ද කැටුව එහි ගොස් තිබුණේ අණබෙර ගසා එන්නටය. එහි සරල පිටපත අනුව දේශපාලකයාට කියන්න තිබුණ ඇත්ත, අපේ දේශපාලනය විසින් සම අවස්ථා නොදුන් නිසා කොන් වී අඩු පහසුකම් මැද ජීවත්වෙන ආදිවාසී ප්‍රජාව යටතේ දුවන අපූරු මිනිසාට අනුග්‍රහය දීම, උගේ අතින්ම කා – බී සිදු කිරීමට පැමිණි බවය.

ක්‍රීඩාවට සම්බන්ධ වෙන 200 ට 2500 ක් එකතු වීම

ඔහු වටා රොක්ව පැමිණි ප්‍රාදේශීය දේශපාලකයන්ද අඩුම තරමේ ග්ලූකෝස් කළඳක්වත් දී නැතත් සමහර විට එදා ඔහුගෙන්ම යැපී ගත් පිංතූර ඉදිරි ඡන්දවලට පාවිච්චි කරන්නටත් ඉඩ ඇත. ඒ අපේ රටේ ඇත්තටම ලැජ්ජාවෙන් කැලෑ වැදිය යුතු පිරිසගේ සංස්කෘතිය ය. නමුත් හැකියාවන් වනගත කර සිර කර බොරුව සිහසුන දරන ක්‍රමයක් මැද ක්‍රීඩාව සිරකර නොහැකි ජවයක් සහිත එකක්ය. හරි ඉඩක් ලැබෙනවානම් ෂම්මුලා, රත්නපාලලා නොව තව දහසකුත් අය ඒ පරිසරවල අහම්බයන්ට හසු නොවී සිටිනවා විය යුතුය.

රත්නපාල ඉස්සෙල්ලාම දිව්වේ හෙන්නාගිල දකුණ සිංහල පාසලට ය. දැන් එහි ක්‍රීඩා ගුරුවරයෙකුත් නැත. රත්නපාල සමඟම දිව්ව සුපුන් ද දක්ෂයෙක්ය. දැනට ක්‍රීඩා පුහුණුකුරවෙක් සේ පාසල් මට්ටමින් පත්වීම් ලැබ සිටින ඔහුවත් අඩුම තරමේ හෙන්නානිගලට දමා රත්නපාලලාගේ සුපුන්ලාගේ ඊළඟ පරම්පරාවට ඊට වඩා ඉඩක් හදා රටට වැඩක් ගන්නට කල්පනා කරන මිනිස්සු ඉහළ පුටුවල නැත. ඒවා ඉතිං කරුමය.

මේ දෙන්නාම අද දුවන්නේ සජිත් ජයලාල් යටතේය. ක්‍රීඩා අමාත්‍යාංශයට සම්බන්ධ ආයතනයකම ඉහළින්ම සිටින්නෙක් වුව ඔහු පිට්ටනිවල වේලෙන අසනීපය සනීප කර නොගත් ක්‍රීඩාව සුවපත් කිරීම වෙනුවෙන් වෙහෙසෙන්නෙක්ය. ඒ ගැන අගය කළ යුතුය.

කතා කරන මොහොතක මේ දරුවන්ට කන්න ටික හොයා දෙන්න මම පදක්කම් හදා දෙන්නම් යැයි සජිත් නිරන්තරයෙන් කියන කතාවක් ඇත. අපත් එය ලියා තබා ඇත. එහෙත් මාස හයක හතක තරු වැඩකට මෙන් මේ මිනිස්සු තමන්ගේ ශක්තිය දිය කර රටට කැප කරන දෙයට අගයක් දෙන්නට සහ පෝෂණය කරන්නට මිනිස්සු හිඟය.

මං දැක්කා පුහුණුකරු මහත්තෙක් මෙහෙම කියලා තිබ්බා, මං දෙන්නම් හාල් ටික කියන්නට රටේම හාල් අයිතිකරුවන් කිහිප දෙනාගෙන් කෙනෙක් ඉදිරිපත් වන්නේ නැත. මස් මාළු දෙන්නට එහෙම අනුග්‍රාහකයන්ද නැත. අඩුම තරමේ මේ ක්‍රීඩා සංචිතවල තෝරා ගත් පිරිසකට එසේ පහසුකම් දෙන වැඩපිළිවෙළක් තිබුණත් ප්‍රතිඵල යහපත් කරන්නට හැකිය. නමුත් සිදු නොවන්නේ එය ය.

කෙසේ හෝ මේ ඈත් කරන ලද, වසා දමන ලද සංස්කෘතීන් විවර කරමින් තමන්ගේ ලාංකික උරුමය වෙනුවෙන් ෂම්මු සහ රත්නපාල බංගලාදේශයේ දී සිදු කරන දිව යෑම මේ රටේ පුරවැසියන් තවදුරටත් ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් මැදිහත්කරුවන් විය යුතුය. සිවිල් සමාජය ද ක්‍රීඩාව කෙරෙහි මිට වඩා ක්‍රීඩාවට මැදිහත් කරුවන් විය යුතුය. දක්ෂතාව පෙරට ගෙන මුවහත් කළ විට තරගකාරීත්වය තුළ කිසිම බලයකට දෙවැනි කළ නොහැකි ජයග්‍රහණයේ දෘෂ්‍යමය සාක්ෂි බවට පත් කළ හැකි විෂයකි ක්‍රීඩාව. ඒ නිසා සමාජ සමානත්මතාව වෙනුවෙන් ක්‍රීඩාවට සම බිමක් හැදීම බොහෝ සමාජ වෙනස්කම් වෙනස් කිරීමට පහසු මාවතක් විය හැකිය.

නිශ්මං රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment