ක්ලබ් වසන්ත ඝාතනයේ සැක 8 දෙනාට ඇප

241

● විදෙස් ගමන් තහනම්:

● ඇතැම් සැකකරුවන්

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් කරනවා – නීතිපති

පසුගිය ජූලි 8 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයකට කඩාවැදී කෝටිපති ව්‍යාපාරික දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා සහ නයන වාසුල විජේරත්න නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් අටදෙනා ඇප මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂදීන් මහතා ඊයේ (10දා) නියෝග කළේය.

අධිකරණයේ අවසරයකින් තොරව වදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් පනවා විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවේ තැන්පත් කිරීමේ කොන්දේසියට යටත්ව රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් ඇප මත මුදා හැරීමට මහාධිකරණය නියම කළේය. ඇප ලබාගැනීමෙන් පසුව සතියේ සෑම ඉරිදා දිනකම අතුරුගිරිය පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු බවටද කොන්දේසියක් පනවනු ලැබූ විනිසුරුවරයා එකී ඇප කොන්දේසි පිළිපැදීමට වගබලා ගන්නා ලෙසට ද සැකකරුවන්ට අවවාද කළේය.

මෙම අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඇතැම් සැකකරුවන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමට අපේක්ෂා කරන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා එහිදී මහාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිඥ නුවන් ජයවර්ධන, විශ්ව විදානගමගේ යන මහත්වරුන් ඇතුළු නීිතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක සහකඩුවෙල – සුගත් ප්‍රේමතිලක


advertistmentadvertistment