ක්ලිනිකල් වේස්ට් මැනේජ්මන්ට් (අපේ ගේ ළඟට පැමිණි ඉන්දියානු මොඩලය)

210

1960 වනවිට සිංගප්පූරුව නමැති රටක් ලෝකයේ තිබුණේ නැත. තිබුණා නම් තිබුණේ අනාගතයේදී සිංගප්පූරුව ලෙස හැඳින්වීමට අපේක්ෂිත කොළඹ දිස්ත‍්‍රික්කය තරම් විශාල ධීවර ගම්මානයකි. මේ ගම පිහිටා තිබුණේ මැලේසියාවේ අග කොටසෙහිය.


1960 දී ඉන්දියාව යනු දුප්පත් රටකි. විවිධ  රෝගාබාධවලට ගොදුරු වුණු දුක්ඛිත ජීවිත ගතකළ වැඩවසම් කුලවත් ධනපතීන්ගෙන් පීඩා විඳි නූගත් මිනිස්සු ඒ රටේ හැමතැනම ජීවත් වූහ.

1960 දී ශ‍්‍රී ලංකාවේ නම සිලෝන් ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා අවුරුදු දොළහක් සපුරමින් සිටි සිලෝන් රාජ්‍යය සිංගප්පූරුවට සහ ඉන්දියාවට සාපේක්ෂව ඉතා දියුණු රටක් විය. ඒ වනවිට ඇමරිකන් ඩොලරය රුපියල් පහ ඉක්මවා නැත. රටේ ජනගහනය අඩු බැවින් ද භූමිය බහුල වූ බැවින්ද මේ රට කිසියම් මධ්‍යම පාංතික ස්වරූපයක් ගත්තේය. සිංගප්පූරුව බිහිවන්නේ 1965 දීය. ශ‍්‍රී ලංකාව තරම් දියුණු වීමට හැකි නම් එය හොඳටම ප‍්‍රමාණවත් යැයි එකල සිටි සිංගප්පූරු නායකයා වූ ලී ක්වාන් යූ තම ජනතාවට කීවේය. ඉන්දියාවේ අගමැති වූ ලාල් බහදුර් ශාස්ත‍්‍රී ගේ අදහස වූයේ ඉන්දියානුවන් ද ශ‍්‍රී ලාංකිකයන් තරමටම අකුරු උගත යුතු බවයි. ඒ අතර ශ‍්‍රී ලංකාව දිව්‍යලෝකයක් හා සමාන බවට කට කතා තමිල්නාඩුවේ ප‍්‍රචාරය වී තිබිණ. ඒ කතා ඇසූ දුප්පත් දෙමළ ඉන්දියානු වැසියෝ අඩි හයක් දිග අඩි එකහමාරක් පළල ලෑලි දෙකක් මූට්ටු කර තෙප්පම නමැති මුහුදු යාත‍්‍රාවක් හදා එහි නැඟී හබල් ගාමින් ලංකාවට පැමිණියහ. මේ මිනිසුන් Boat People ලෙස හඳුන්වනු ලැබේ. මුහුදු මාර්ගයෙන් රටකින් රටකට පැන යන අයට අදටත් කියන්නේ Boat People ය. මෙසේ යන සමහරුන්ගේ තෙප්පම මගදී ගිලී ගියේය. එවිට ප‍්‍රචණ්ඩ මුහුදු රළ සමග බලගතු සටනක් කළ ඒ දෙමළ මිනිස්සු යාපනය හෝ මන්නාරම දක්වා පීනා ගොස් ලංකාවට ඇතුළු වූහ. තවත් සමහරු පීනාගත නොහැකිව මගදී මළහ. ලංකාවට ඇතුළු වූ ජනයා යාපනය නගරයට හෝ මන්නාරමට පැමිණ විවිධ පළාත්වලට ගොස් ඉතා අඩු මිලට කම්කරුවන් ලෙස ජීවිත පටන් ගත්හ.

මේ කියන කාලයේදී ප්ලේන්ටියක් සත දෙකකි. පාන් රාත්තලක් සත පහකි. ඉන්දියාවෙන් පැමිණි දෙමළ කම්කරුවකුට පාන් රාත්තලකින් සහ ප්ලේන්ටි තුනකින් දවස ගෙවාගත හැකි විය. මේ අතර කල් යත්ම ශ‍්‍රී ලංකාව ඉන්දියානු හොර වැසියන්ගෙන් පිරී යන්නට පටන් ගත්තේය. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී ප‍්‍රභාකරන් මෙකී දෙමළ හොරවැසියන් සමග එක්ව ඉන්දියාවෙන් හොර බඩු ගෙනවුත් විකිණීම සඳහා පිටකොටුවට දැමීය. හොරවැසි උවදුර මහත් කරදරයක් වූ විට ලංකා ආණ්ඩුව ඔවුන් අත්අඩංගුවට ගෙන නැවතත් ඉන්දියාවට පටවන්නට පටන් ගත්තේය. මෙය ඉතා දීර්ඝ කතාවකි. මේ හොර වැසියන්ට කියන නම කල්ලතෝනි වුවද අද වනවිට එය සිංහල ජනවහරෙන් මැකී ගොස් තිබේ. කෙසේ හෝ වේවා ඉන්දියාව විසින් ලංකාවට දෙන ලද පළමුවැනි වෛරස් නොවන වසංගතය මෙකී හොරවැසි උවදුරය. මේ ආකාරයෙන් මුහුදු මාර්ග ඔස්සේ පැමිණ කිසිදු වීසාවක් හෝ පාස් පෝර්ට් එකක් නැතුව ලංකාවට ඇතුළු වී වැඩ කරන ඉන්දියානු දෙමළ ටේලර්ලාත් ඉන්දියානු දෙමළ රා මදින්නොත් එකී සම්භවය සහිත ලී ඉරන්නොත් කුඹුරු කොටන්නොත් අද බහුලය. ශ‍්‍රී ලංකාවේ ජනයා සතු රැුකියා අවස්ථා මෙකී ඉන්දියානු දෙමළ ජනයා විසින් බලහත්කාරයෙන් උදුරාගනු ලැබ තිබේ.

මේ අතර දෙමළ හොර වැසියන් ආ පාරේම එන තවත් වසංගතයක් අප ඉදිරියෙහි ඇත. ඒ වූකලී තමිල්නාඩුවේ රෝහල් වලින් මුහුදට දමන සායනික අපද්‍රව්‍ය ය. මේ සායනික අපද්‍රව්‍ය Health Care Waste” Bio Medical Waste” Clinical Waste යනුවෙන් හඳුන්වනු ලැබේ. සායනික අපද්‍රව්‍යයක සිව් වැදෑරුම් බලපෑමක් ඇත. පළමුකොට ඒවා බෝවන රෝග කාරක සහිතය. දෙවනුව විෂ සහිතය. තෙවනුව විකිරණශීලීය. සිව්වනුව මේ ලක්ෂණ තුනෙන්ම යුතුය. කොරෝනා ජාති පහක් ද ඩෙල්ටා වර්ග දෙකක් ද ලැම්ඩා වර්ග එකක් ද යනාදී වශයෙන් කොවිඞ් 19 විවිධාංගීකරණය වී ඇති මේ මොහොතේ සමස්ත ඉන්දියාව තුළ දෛනිකව සායනික අපද්‍රව්‍ය ටොන් දෙසීයක්වත් ගොඩගැසේ. හිස් බෙහෙත් බෝතල්, පාවිච්චි කළ සේලයින් සහ එන්නත් කටු, ලේ ගෑවුණු බැන්ඬේජ්, සැරව සහිත ගෝස්, මිනී කුණු ගඳ ගහන අත් කකුල් කැබලි, තමිල්නාඩුවේ තිබෙන විට බැන්ගලෝරයට ගඳ දැනෙන අතුනු බහන් සහ තවත් කුණු ජරාව බොහොමයක් මෙකී සායනික අපද්‍රව්‍යය තුළ අඩංගුය. මෙකී කුණු ගොඩවල් වලින් නිදහස් වීම සඳහා Clinical Waste Management යන ඉහළ පෙළේ නාමය යටතේ ඉන්දියාව විසින් වැඩපිළිවෙළක් අරඹා ඇත. අපට පෙනී යන පරිදි මෙකී වැඩපිළිවෙළ යටතේ ඉන්දියාව කරන්නේ Clinical Waste තොග පිටින් මහ මුහුදට අත හැරීමය.

තමිල්නාඩුවෙන් මුදා හැරෙන මේ කුණු මෙයට ශතවර්ෂ භාගයකට පෙර හොරවැසියන් පැමිණි මුහුදු මාර්ගය දිගේ සැතපුම් විසි දෙකක් පාවීගෙන විත් යාපනේ වෙරළට ගොඩගැසීමට පටන්ගෙන ඇත. ඉන්දියාව අපට බොහෝ කරදර කර තිබේ. කොටි සංවිධානයට වැඩිම පුහුණුව ලබා දුන්නේ එරටය. ඉන්ධිරා ගාන්ධි සහ රජීව් ගාන්ධි එදා කොටින්ට උදව් නොකළා නම් ලංකාවට යුද්ධයක් නැත. යුද්ධය නිම වූ පසුත් ඉන්දියාව අප අත්හැරියේ නැත. ඔවුහු නිතරම අප දිහා බලාගෙන සිටි අතර චීනය අප සමග එකතු වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඡන්ද වලදී අපෙන් පළිගත්හ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉල්ලා අපට කරදර කරන්නට පටන් ගත්හ. ඔවුන්ගේ සායනික අපද්‍රව්‍ය යාපනය වෙරළට ගලාඒම ඉතා භයානක සෞඛ්‍ය අර්බුදයකි. කොරෝනාව හේතුවෙන් මේ සෞඛ්‍ය අපද්‍රව්‍යය අන් කවරදාටත් වඩා අන්තරාදායක වී තිබේ. ඉන්දියාව අපට උදව් නොකළාට කමක් නෑ. කරදර නොකර හිටියොත් හොඳටම ඇති.
 

advertistmentadvertistment
advertistmentadvertistment