කාටත් නෑසෙන දුක්බර බෙර හඩ

235

‘‘කොරෝනා ලංකාවේ පැතිරෙන්න ගත්ත කාලයේ ඉඳලා අපිට වැඩ නෑ. දැන් අවුරුදු දෙකකට ආසන්නයි. එකම වැඩක්වත් ආවේ නෑ. දරු පවුල ජීවත් කරවන්න ඕන නිසා කුලී වැඩට ගියා. දැන් කුලී වැඩත් නෑ. දැන් අපි කතා කරමින් හිටියෙත් ජීවත් වෙන්නෙ කොහොමද කියන එක ගැන තමයි…’’ ඒ හඬ වසන්ත ප‍්‍රනාන්දුගේය. මොරටුව, ලූනාවේ පදිංචිකරුවකු වන හේ පරම්පරාවෙන් පැවත එන බෙර වාදන ශිල්පියෙකි. වයස අවුරුදු හතළිස් එකක් වන වසන්ත තිදෙරු පියෙකි. වැඩිමහල් දියණියට අවුරුදු විසිඑකකි. ලොකු පුතාට අවුරුදු දහසයකි. ඔහු සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටින්නේය. පොඩි පුතාට වයස අවුරුදු හතකි. දරුවන්ට අධ්‍යාපනය ලබාදෙමින්, පවුල ජීවත් කරවීමට දැඩි වෙහෙසක් දරන බව වසන්ත අපට කීවේය.

‘‘අපේ වෘත්තීය හරියට කරගන්න තියෙනවා නම්, ණය නැතිව කාලා ඇඳලා ජීවත් වෙන්න ආදායමක් ලැබෙනවා. අපිට හොඳට වැඩ තිබුණා. සතියට රුපියල් පහළොස්දහසක්, දාහත්දහසක් හොයාගත්තා. ළමයින්ගේ අධ්‍යාපන කටයුතුවලටත් වියදම් කරලා, හොඳට කාලා බීලා ජීවත් වුණා. දැන් අපිට තුන්වේල කෑමත් ලොකු ප‍්‍රශ්නයක් වෙලා…’’ බෙර හඬ දෝංකාර නොදෙන පසුබිමක ලූනාවේ වසන්තලාගේ ජීවිත ගෙවන හැටි එසේ පෙළගැසෙන විට පානදුරේ ලූල්බැද්දේ ජීවත් වන තරුණ බෙර වාදන ශිල්පියකු වූ ප‍්‍රසාද් සම්පත් කීවේ මෙවැනි කතාවකි.

කාටත් නෑසෙන දුක්බර බෙර හඩ

‘‘අපේ ගමේ ජීවත් වෙන පවුල් කිහිපයකම එකම ආදායම් මාර්ගය වෙලා තියෙන්නෙ බෙර ගහලා උපයන ආදායම. ඒ අපේ ඥාතී පවුල්. මේ රස්සාව පරම්පරාවෙන් උරුම වෙච්ච කලාවක්. මිනිස්සුන්ව සතුටු කරලා, අපිත් සතුටු වෙලා යහපත් විදිහට රස්සාව කරගෙන ගියා. වැඩවලින් අඩුවක් තිබුණෙත් නෑ. සතියකට වැඩ තුන, හතරක් තිබුණා. කොවිඞ් වසංගතය තමයි අපිව නැත්තටම නැති කළේ. අදටත් රස්සාවක් නැතිව ගෙදර ඉන්නවා. රුපියලක ආදායමක් නෑ. රස්සාව තිබුණු කාලේ ඉතිරි කරගත්ත සොච්චමත් දැන් ඉවරයි. දැන් අපි යන්නෙ රිම් එකෙන්. තවම කසාදයක්වත් බැඳලා නැති මටත් මෙච්චර ආර්ථීක ප‍්‍රශ්න තියෙනවා නම් අපේ රස්සාව කරන දරු පවුල්කාරයන්ට කොච්චර නම් ප‍්‍රශ්න ඇතිද…’’ ජීවන ගමන යෑමට, අත්වාරුව වූ ආදායම් මාර්ග හිටි හැටියේ ඇන හිටිය විට මිනිසුන් නන්නත්තාර වන බව සැබෑය. උත්සව, පිංකම් තහනම් වූ රටක බෙර වයන සම්පත්ලාට සිදුව ඇත්තේ ද ඒ නස්පැත්තියයි.

කාටත් නෑසෙන දුක්බර බෙර හඩ


‘‘අපේ තාත්තගේ රස්සාවත් බෙර ගැසීම. පළාතම දන්න හේවිසිකාරයෙක්. යක් බෙර, දවුල, හේවිසි, තම්මැට්ටම ඕනෑම බෙරයක් මටත් ගහන්න පුළුවන්. තව සතියක්, දෙකක් යනකොට උත්සව, පිංකම් පැවැත්වීමට අවසර දුන්නොත් යන්තම් අපිට ඔලූව උස්සගන්න පුළුවන්…’’ ප‍්‍රසාද්ගේ අහිංසක බලාපොරොත්තුව සඵල වේ යැයි අපට ද සිතේ. එමෙන්ම ප‍්‍රසාද් දක්‍ෂ බෙර වාදන ශිල්පියෙක් බව මතුගම, යටදොළ, කොමිටියාවත්තේ සරත් ද අපට කීවේය. පහත රට විවිධ ප‍්‍රදේශවල ජීවත්වන බෙර වාදන ශිල්පීන් සියලූදෙනා සහෝදරත්වයෙන් තම වෘත්තීය කරගෙන යන බව ද සරත් අපට පැවසීය. හේ පනස් දෙහැවිරිදි වැඩිහිටියෙකි. තිදරු පියෙකි. දරුවන් තිදෙනාම විවාහ වී වෙනම ජීවත් වුවද, පිරිමි දරුවන් දෙදෙනාම උරුමයේ දායාදය සතොසෙන් කර පින්නාගෙන යන බවද සරත් අපට කීවේය.

‘‘අපේ කර්මාන්තය බෞද්ධ සංස්කෘතියත් එක්ක බැඳුණු කර්මාන්තයක්. මෙරටට ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරනකොට ශබ්ද පූජාව පවත්වාගෙන පැමිණි බමුණන්ගෙන් තමයි අපේ පරම්පරාව පැවතෙන්නෙ. හේවිසි ගහන්න මගේ අත හුරු කළේ අපේ සීයා. අවුරුදු හත වෙනකොට සීයා මාව පින්කම්වලට එක්කරගෙන ගියා. පෙරහැරේ නටන්න දැම්මා. වැඬේ ඉවර වෙලා එනකොට සීයත් මට කීයක් හරි දුන්නා. මගේ නැටුම් බලපු සමහර මිනිස්සු සතුටට මිට මොලවන සල්ලිත් එක්ක, ඒ කාලේ හැටියට ලොකු මුදලක් එකතු වුණා. ඒ සල්ලි එකතු කරමින් මම නොසෑහෙන්න සතුටු වුණා. අන්තිමේ ඉස්කෝලෙ ගමනත් නතර කරලා හේවිසි ගහන්නම ගියා…’’ හේ ජී. සරත්ය. එහෙත් ඕනෑම කෙනෙක් ඔහුව හඳුනාගෙන සිටිනුයේ අජිත් නමිනි. දකුණු පළාතේ ප‍්‍රසිද්ධ හේවිසිකාරයෙක් වන අජිත් පරපුරේ කතාව ඉතිහාසයෙන්ම පටන්ගත්තේය.

‘‘අපේ ගමේ හේවිසි ගහන පවුල් පහළොවක් ජීවත් වෙනවා. ඒ සේරම ඥාතී. අපේ සීයා තමයි මේ ගමේ මුල් පදිංචිකරුවා. සීයාගේ උපන්ගම කහතුඩුව, වෙනිවැල්කොළ. ආච්චි කසාද බැඳලා මේ ගමට ඇවිත් පදිංචි වෙලා තමයි වෙනිවැල්කොළ පරපුර හැදිලා තියෙන්නේ. අපි කරන්නේ ගෞරවනීය රස්සාවක්. මඟුලට, අවමඟුලට, බණට, පිරිතට, කඨිනයට, පෙරහැරට සෑම උත්සවයකම අපි ඉන්නවා. මේ වසංගතයත් එක්ක තමයි අපිට රස්සාව නැති වුණේ. නැති නම් හොඳට වැඩ තිබුණා. සමහර සතිවල වැඩ හතර, පහ තිබුණා. එක වැඩකින් එක්කෙනකුට රුපියල් 2500 ක්, රැ.3000 ක් ලැබෙනවා. වැඩ භාරගන්න කෙනාට තව පොඩි ගානක් තියෙනවා.

ආරාධනාව අනුව අපේ කණ්ඩායම වෙනස් වෙනවා.

ප‍්‍රධාන වශයෙන් හතරදෙනෙක් කණ්ඩායමට ඇතුළත් වෙනවා. නැටුම් ශිල්පීන් එක්ක නම් අපේ කණ්ඩායම හත්දෙනෙක් වෙනවා. දවුල, යක් බෙරය, තම්මැට්ටම, නලාව, හක් ගෙඩිය වාදනය කරලා උත්සවයට, පිංකමට අපෙන් විය යුතු චාරිත‍්‍ර ඉෂ්ට කරනවා. අතතේ, විතතේ, විතතාතේ, ගානේ, සුසරේ භාණ්ඩ පහම තැනට ඔබින විදිහට පද, සුරල් වාදනය කරලා ලොකු, කුඩා සියලූදෙනා සතුටු කරලා තමයි අපි ඔය පුංචි මුදල ගන්නේ. ඒ නිසා බෙර ගහලා උපයන මුදල අපිට යා දෙනවා. අපේ රස්සාව නැති කළේ කොවිඞ්…’’

‘‘කොරෝනා පැතිරුණු මුල් රැුල්ලේදී නම් වැඩ නැති වුණාට බෙර හදන වැඩ ටිකක් ආවා.

පනාගොඩ හමුදා කඳවුරේ, පන්සල්වල, ඉස්කෝලවල කැඩුණු, බිඳුණු බෙර තොගයක්ම අලූත්වැඩියා කරන්න ගේනවා. දෙවැනි, තෙවැනි කොරෝනා රැුලිවලදී නම් එහෙම වැඩක්වත් ආවේ නෑ. ඒ වගේම බෙර හදන වැඬේ හැම බෙර වාදන ශිල්පියකුටම කරන්නත් බෑ. ඒක වෙනම කර්මාන්තයක්…’’ හදපු බෙරයක් රැුගෙන ඒමට සරත් අසුණින් නැඟිට නිවස තුළට ගියේය.

උඩරට, පහත රට, සබරගමුව පළාතෙන්, පළාතට බෙර වර්ග වෙනස් වේ. ඒ, ඒ බෙර නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන ලී වර්ග ද වෙනස් වේ. කොස්, කොහොඹ, ගම්සූරිය, ඇහැළ, වා ලී ඇතුළු පොල්, කිතුල් ලී බෙර නිෂ්පාදනයට යොදා ගැනේ. එමෙන්ම ඒ, ඒ ලී කොටවලින් නිෂ්පාදනය කෙරෙන බෙරවල හඬත් වෙනස් වේ. ගැට බෙරයක් ඇහැළ ලීයෙන් නිෂ්පාදනය වූ විට හඬ වැඩිය. බෙරවලට හොඳම වාය ලී ය. එම දැව වර්ගය දුර්ලභය. බෙර නිෂ්පාදනය සඳහා යොදාගැනෙන ලීවල වර්ගය මත මිලත් උස්, මිටි වන බව සැබෑය. කිතුල් ලීයෙන් නිෂ්පාදනය කරන පහතරට යක් බෙරයක් සරත් අලෙවි කරන උපරිම මිල රුපියල් හත්දාහස් පන්සීයකි. එහෙත් උපරිම මිලට බෙරයක් අලෙවි වන්නේ කලාතුරකින් බව ද සරත් අපට කීවේය.

‘‘බෙර හදන එක, බෙර ගහන තරම් සුන්දර නෑ. බෙරයක් හදන්න ගොඩක් මහන්සි වෙන්න ඕනෑ. බර අහින්න, කැටයම් කරන්න ලී කොට උස්සන එකම සුළු පුටු නෑ. මම කියනවට මේ කොටයක් උස්සලා බලන්න…’’ බෙරයක් සැදීමට කපාපු කිතුල් කොටයක් සරත් අපට පෙන්නුවේය. ඔහුගේ ඉල්ලීමට මම කොටය එසැවීමට උත්සාහ කළෙමි. එහෙත් අසීරු විය. අපට එසැවීමට නොහැකි ලී කොටය සරත් ඉතා පහසුවෙන් එහාට, මෙහාට කර නියන්වලින් සිදුරු කරමින්, බෙර කුහරය හදන ආකාරය අපට පෙන්නුවේය.

‘‘ලොකු බෙරයක සම්පූර්ණ වැඩ නිම කරන්න දවස් හයක් විතර යනවා. මුලින්ම ලී කොට ගෙනත් බෙරවල ප‍්‍රමාණයට කුට්ටි කරගන්න ඕනෑ. ඊට පස්සෙ බෙරයේ හැඩයට වෑයෙන් ඇහැගන්න ඕනෑ. ඇහැගත්ත ලී කොට ලියවන පට්ටලයකට දාලා කැටයම් ලියවගන්න ඕනෑ. මැෂින් එකෙන් කටු කැරකුනාට, බෙර කොට කැටයම් කරගන්න එක තනිකරම කරන්නේ අතින්. විදුලි වේගයෙන් කරකැවෙන කටුවලට ලී කොටයක් අල්ලගෙන කැටයම් කරන එකත් ලේසී නෑ. චුට්ට මිස් වුණොත් අතත් කැපිලා වැටෙනවා. මේ වැඬේට හොඳ හුරුවක් තියෙන්නෙ ඕනෑ. ඒ වගේම මේ කඳන් ලියවන වැඬේ හැමෝටම කරන්නත් බෑ. අපි හදන බෙර ලියවගන්නේ යටදොළ කටුගහහේනේ පට්ටලයකට දාලා. ඒ වගේම බෙරවල කුහර හදන එක පට්ටල්වලට දාලා කරලා වැඩක් නෑ. ඒක නියන්වලින්ම පතුරු ගහලා කරන්න ඕනෑ. නියන්වලින් හෑරුවම බෙරය හොඳට හඬ දෙනවා. ඒ වගේම මස් මඩුවලට ගිහින් හොඳ හම් තෝරගෙන ඇවිත් අව්වේ වේළගෙන පදම් කරගන්න ඕනෑ. හම පදම් වෙන තරමට බෙරය හඬ දෙනවා. ඒත් දැන් නම් ගහන පදත් අමතක වෙලා තියෙන්නෙ…’’ වසර දෙකකට වැඩි කාලයක් කාමරයක ඇඳක් මත පිළිවෙළට තැන්පත් කර තිබෙන වාද්‍ය භාණ්ඩ කිහිපයක්ම සරත් අපට පෙන්නුවේය. ඒ අසළම සිමෙන්ති පොළොව මත අලූතින් හදාගෙන එන යක් බෙර දෙකක් ද තිබිණි. සරත්ලා ජීවත්වන පුංචි නිවස දකින ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ කර්මාන්තයෙන් ලැබෙන ආදායම ගැන තක්සේරුවකට පැමිණිය හැකිය.

‘‘මේ කොරෝනා වසංගතය ආපු දවසෙ ඉඳලා හැමදාම උදේට වාද්‍ය භාණ්ඩවලට දුම් අල්ලලා පිහිදලා තියනවා. ආසාවට බෙර පදයක් ගැහුවේ ගමේ පිරිතට විතරයි. ඒක ගැහුවෙත් මුදලට නෙමෙයි, ගමේකමට. පළමු කොරෝනා රැුල්ලෙ ඉඳලා අපි ජීවත් වුණේ කුලී වැඩ කරලා. දැන් කුලී ගෙවන්නත් මිනිස්සු ළඟ සල්ලි නෑ. ඒ මදිවට දොට්ට බහින්න බැරි තරමට වැස්ස. සොබාදහමේ වියරුවත් විපත්තියක් වෙලා තියෙන්නේ දුප්පත් අපි වගේ මිනිස්සුන්ට විතරයි. තියෙන අය හොඳට කාලා, ඇඳලා සැපට ජීවත් වෙනවා. ඒක ඉතිං ලබා උපන් හැටි. ඒ ගැන දුක් වෙලා ඵලක් නෑ. අපිට වැඩ හොඳට තියෙනකොට රත්තරං බඩු ටිකක් හදාගෙන තිබුණා. දැන් ඒ බඩු සේරම බැංකුවලට උකස් කරලා, අන්තිමේ නෝනගේ කරාඹු ජෝඩුවත් උකස් කරලා හාල් තුනපහ ගේනවා…’’ සරත් එසේ කියමින් නිවසට ඇතුළුවන උලූවස්ස මත හිඳගෙන සිටි බිරිඳ දෙස බැලූවේය. ඉමිටේෂන් කරාඹු ජෝඩුවකින්වත් ඒ හීන් කම්පෙති දිස්න නොදීම ඇයගේ මුව ම`ඩලේ කලඑළියට ද ලොකු අඩුවක් බව අපට පෙනිණි.

‘‘පහුගිය කාලේ මමයි, නෝනයි කැලෑවට ගිහින් බට කපාගෙන ඇවිත් මල් වට්ටි, කිරිගොටු, වී මනින කුරිණි, හැදුවා. රට ඇරලා තිබුණු කාලේ කන්දේ විහාරයේ මල් කඩවලට, මතුගම නගරයේ බුලත්විට කඩවලට ඒ බඩු දුන්නා. හොඳ ලාභයක් ලැබුණා. රට වහලා වෙළෙඳසැල් වැහුවට පස්සෙ ඒ බිස්නස් එකත් නැති වෙලා ගියා. කුලී වැඩත් නෑ. උකස් කරන්න රත්තරං බඩුත් නෑ. වැඩ තියෙන කාලේ කතා කරලා පොලියට සල්ලි දුන්නු මිනිස්සු දැන් අපිව දකිනකොට ආහක බලා ගන්නවා. වතු පිටි, වාහන තියෙන මිනිස්සුන්ටත් දීලා තියෙන සමෘද්ධි දීමනාව හේවිසි ගහන අපිට නෑ. අපිට රජයෙන් තඹ දොයිතුවක සහනයක් දීලා නෑ. රජයේ නිලධාරීන් අපි ගැන හොයා බලන්නෙත් නෑ. අපි ජීවත් වෙන හැටි දන්්නෙ උඩ ඉන්න දෙයියො තමයි…’’

‘‘ඔය එන මනුස්සයා කසාදයක් කරගෙනත් නෑ. තනිකඩයා. අපිත් එක්ක පිංකමකට ගිහින් බෙරයක් ගහලා කීයක් හරි හොයාගෙන තමයි ජීවත් වුණේ. දැන් ඒකත් නෑ. කුලියක් කරන්න තරම් සවි ශක්තියකුත් නෑ. මේ වගේ මිනිස්සුන්ටවත් රජයෙන් කියලා කිසිම සහනයක් නෑ…’’ ඇවිදීමට අපහසුවෙන් කඳුගැටය නැඟගෙන අප දෙසට පැමිණෙන වියපත් මිනිසා පෙන්වා සරත් එසේ කීවේය. හේ විමලසේනය. වයස අවුරුදු හැටදෙකකි. වයසට වඩා ගතින් ඔහු දුර්වල බව පෙනේ. එහෙත් ජීවත්වීම උදෙසා ඉඳ හිට කුලී වැඩක් කර ගන්නා බව හේ අපට කීවේය.

විමලසේනගේ අබලන් ශරීර කූඩුවෙන් ඈත් වූ මගේ දෑස්, සරත් අසළම හිඳගෙන සිටි හීන්දෑරි තරුණයා අසළ නතර විය. දිගට වැවුණු, පාට කරපු කොණ්ඩය පිටුපසට කොට බැඳගෙන ඔහු ද දිගු කතාවකට ලක ලෑස්ති වෙන අයුරු මට පෙනිණි.

‘‘ගෙවල් පොටි කරන එක හරිම අමාරු ජොබ් එකක්. කාලයක් එක දිගට කරනකොට පපුව මහන්සිය, විවිධ ලෙඩ රෝග එනවා. ලෙඩ දුක් හදාගෙන මහන්සි වුණා කියලා මහ ලොකු ආදායමක් ලැබෙන්නෙත් නෑ. ඒ වගේ නෙමෙයි පිංකමකට, උත්සවයකට ගිහින් බෙර ගැහුවම ඇඟට අමාරුවක් නැතිව හිත පිරෙන ගතමනාවක් හොයාගන්න පුළුවන්…’’ ඒ හෂාන් මධුසංකගේ හඬය. ඔහුට වයස අවුරුදු තිස්දෙකකි. හෂාන් ද එක්දරු පියෙකි. බිරිඳ රට රැුකියාවකට ගොස් සිටින්නේ ඔවුන්ටම කියා ගේ කෑල්ලක් හදාගැනීමට බව ද හෂාන් අපට කීවේය. ඔහු අසළම සිටි පුංචි කොලූපැටියා අසළ මගේ දෑස් නතර වී තිබෙන යුරු දැක සරත්ගේ මුහුණට සිනාව පහළ විය.

‘‘මෙයා මෙහෙම හිටියට හොඳ නැට්ටුවා. ඕනෑම බෙරයක් අතට හුරුයි. වැඩවලටත් අපි එක්කරගෙන ගියා. ඒ වගේම අපේ දරුවන්ට බෙර ගහන්න පුරුදු කරන්න දෙයක් නෑ. උපතින්ම අරගෙන එනවා…’’ සීයා එසේ කියන විට පුංචි කවිඳු ලැජ්ජාවට ඇඹරිණි. තවමත් දසවැනි වියේ පසු වන ඔහුගේ දක්‍ෂතා හෂාන් ජංගම දුරකථනයේ වීඩියෝ පටයකින් අපට පෙනුවේය.

‘‘මේ කොරෝනා වසංගතය දුරුවෙලා රටට යහපත් කලදසාවක් උදා වුණාහම මේ හැදෙන කොල්ලන්ටත් හොඳ කාලයක් උදා වෙයි. මොනයම් හෝ දක්‍ෂතාවයන් තියෙන කිසිම කෙනෙකුට වරදින්නෙ නෑ. හරි මග ගියොත් යහපත් සමාජයකදී හොඳ වටිනාකමක් ලැබෙනවා…’’ සරත් කියන කතාව සැබෑය. එහෙත් ගැටලූවකට ඇත්තේ මේ රට තුළ දක්‍ෂතාවයට තැනක් නොලැබීම ගැනය.

එමෙන්ම බෙර වාදන ශිල්පීන්ගේ මෙන්ම රටේ සියලූම ජනතාවගේම ප‍්‍රශ්නවලට විසඳුම් ඇත්තේ ඔවුන් තුළමය. කොවිඞ් මෙල්ල කිරීමේ වගකීම ඇත්තේ රටේ ජනතාවගේ පරිස්සම තුළය. සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කරමින් ජීවත්වීම තුළ රටේ පාසල් විවෘත කිරීම, නිදහසේ ගමන් බිමන් යෑම, උත්සව පැවැත්වීමේ අයිතිය කෙටි කාලයකින් උදා කරගත හැකි බව අපගේ විශ්වාසයයි…

තරංග රත්නවීර
අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment