කාටවත් නෑසෙන නයාරු පාලමෙන් එහා මිනිසුන්ගේ ජීවන අඳෝනාව

201

විජේකුමාර් සහ පුෂ්පරාසා අපිට හුමුවෙන්නෙ මුලතිව් නයාරු කළපුවේදී. අලූතින් ඉදිව ඇති නයාරු පාලමේ කොනක මාළු දැලක් තියාගෙන කාපට් පාරේ ඇණතියාන වාඩි වෙලා හිටියේ කොයි මොහොතක හෝ කලපු දිය පෑදෙයි කියන බලාපොරොත්තුවෙන්. අපිට පුෂ්පරාසලා එක්ක කතා කරන්න ඕන වුණේ වව්නියාවෙන් එහා ජීවත්වෙන මිනිසුන්ගෙ ජීවිත ගැන යම් වැටහීමක් අරගන්න.

ඒත් පුෂ්පරාසට සිංහල බෑ. අපිට දෙමළ කතා කරන්න තේරුමක් නෑ. අපිට දැන හඳුනගන්න ලොකුම බාධාව වුණේ භාෂාව. ඒත් අපි අතර තිබුණු මේ සන්නිවේදන දුරස්ථභාවය නැති කළේ එතන හිටිය විජේකුමාර්. 1989 වසරෙදි උතුරේ යුද උණුසුම වැඩිවෙද්දි එල්.ටී.ටී.ඊ ය සංවිධානයට තරුණයින් බඳවගත්ත නිසා එයින් මිදී විජේකුමාර් තමිල්නාඩුවේ සෙල්ලම් නමක්කල් වලට පලා යන්නෙ අලූත බැඳපු මනමාලි එක්ක. ඒ වෙනකොට ඔහුට වයස 28යි. එයින් වසර 14 පස්සෙ 2003 වසරේ ඇතිවුණ සාම කාලයත් එක්ක විජේකුමාර් නැවත ලංකාවට එන්නෙ යුදබිය නැති රටක දරු තිදෙනාත් එක්ක හොඳ ජීවිතයක් ගතකිරීමේ බලාපොරොත්තුවෙන්. ඒත් 2004 සුනාමියෙන් මුළු සේසතම නැතිවීමත් යුද්ධයේ බිහිසුණුම කාලයට මැදිවීමත් විජේකුමාර්ගෙ ජීවිතයේ අඳුරුතම මතකයක්. යුද්ධය කියන්නෙ කාටත් සාපයක්. යුද්ධයෙන් දිනූ දෙයක් නෑ. එහෙමයි අපි හිතන්නෙ. එත් නයාරු කලපුවේ ධීවර රස්සාව කරන විජේකුමාර් සහ පුෂ්පරාසලාගේ කතාවෙන් කියැවෙන්නේ ඊට එහා ගිය දෙයක්. වව්නියාවෙන් එහා අපේම රටේ මිනිසුන් පිරිසකගෙ ජීවිතයෙ පැතිකඩක් එළිකරන ඒ කතාව අපි නයාරු පාලම උඩ ඉඳගෙන අහන් හිටියා.

කාටවත් නෑසෙන නයාරු පාලමෙන් එහා මිනිසුන්ගේ ජීවන අඳෝනාව

මුලතිව් අහසේ පුෂ්පරාසලගේ ඔලූගෙඩි වලට උඩින් කොයි තරම් අර්ටි වෙඩි පියැඹුවත් ඒ කාලේ ධීවර රස්සාවෙන් තුන්වේලටම බඩ කට පිරෙන්න කාල ඉන්න තරම් ආදායමක් ලබාගත්ත අතීතයක් ඔවුන්ට තිබුණා. යුද්ධය ඉවරවෙලා මාර්ගවල කාපට් එලලා මග දෙපස එළි වෙද්දි පුෂ්පරාසල වගේ හැමෝම හිතුවේ තමන් ගෙවන ජිවිතවලටත් ඒ වගේම එළියක් වැටෙයි කියල.

ඒත් දැන්…, නයාරු කලපුව අවට මාළු අස්වැන්න නැති වෙලා දවසේ ආදායමවත් හොයාගන්න බැරි තරමට ඔවුන්ගෙ ජීවිතය වැටිලා. ජීවත්වීම ගැන කොයිතරම් අවදානමක් තිබුණත් යුද්ධය කාලේ මීට වඩා හොඳයි කියන තැනට දැන් ආයෙත් පුෂ්පරාසලාගේ උදයකුමාර්ලගේ සිතිවිලි හැඩගැහෙමින් යනවා. උතුරේ දේශපාලකයෝ පුෂ්පරාසලගේ ප‍්‍රශ්නය එහෙන්ම තිියෙන්න ඇරල කල් මරනවා. එහෙම නැත්නම් ඒක දේශපාලනික කාරණාවකට පෙරළ ගන්න බලා ඉන්නවා.

මාළු අහුවෙන්නෙ නැති එක කොහොමද දේශපාලනික කාරණාවක් වෙන්නෙ.

නයාරු කලපුවට මාළු එන්නෙ නැති එක ගැන කිව්ව ගමන් අපටත් ආවේ ඔය ප‍්‍රශ්නයමයි. අපි ඒ ගැන දන්න තේරෙණ භාෂාවෙන් පුෂ්පරාසලා එක්ක කතා කළා.

‘‘යුද්දෙ තියෙන කාලේ නයාරු කලපුවට ඕන තරම් මාළු එනවා. උදේට ඇවිත් දැලක් විසි කරල දෙතුන් දාහක් හොයාගන්න එක අමාරුවක් නෑ.’’

එහෙම ගෙවපු ජීවිත දැන් බොහොම වෙනස් වෙලා. නයාරු පාලම උඩ ඉඳගෙන උදේ ඉඳන් වෙහෙසව බාගන්න මාළු දෙතුන් දෙනාත් මන්දපෝෂණය හැඳුනු එවුන් වගේ කේඩෑරි වෙලා. වෙලා තියෙන දේ පේනවනෙ කියන එක ඉඟියෙන් කියමින් ඔවුන් ලොකු කතාවකට මුලපිරුවා.

‘‘ හලාවත පැත්තෙ ඉඳන් පුල්මුඬේ ත‍්‍රිකුණාමලය වගේ වෙනත් පළාත්වල ඉඳන් එන ධීවරයින් මේ මුහුදෙ තියන මාළු ඔක්කොම අල්ලනවා. තුන්වෙනි මාසෙදි විතර මුහුදට එන එයාලා දහවෙනි මාසේ විතර වෙනකන් තහනම් රස්සාව කරල මාළු ටික අල්ලනවා. ඉතින් කලපුවට එන්න මාළු ඉතිරිවෙන්නෙ නෑ.’’

කාටවත් නෑසෙන නයාරු පාලමෙන් එහා මිනිසුන්ගේ ජීවන අඳෝනාව

විජේකුමාර් තහනම් රස්සාව කියල කියන්නෙ අධික විදුලිසැර දියඹට ගහල ඩයිනමයිට් ගහල මාළු අල්ලන එකට. ඩයිනමයිට් සහ ලයිට් කෝස් දකුණෙත් තහනම්. නයාරු කලපුවට ආසන්න දියඹෙ හිටපු මාළු ?න් බඹ දෙක තුනක් ඈත දියඹට යන්න හේතුව මේ තහනම් ධීවර ක‍්‍රමත් හේතුවක් කියලයි ඔවුන් කියන්නෙ.

නයාරු කලපුව එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තයන්ගෙ රාජධානියක්. මුහුදු කොටි නායක සුසෙයි මුලතිව් මුහුදට පිවසුණේ පුෂ්පරාසලා විජේකුමාර්ලා ධීවර රස්සාවේ නිරත නයාරු කලපුවෙන්. කලපුව අතරින් දිවෙන මහා මාර්ගය නිසා එක් පැත්තකින් මුහුදත් තවත් පැත්තකින් කරදිය පිරුණු කලපුවත් රමණීය පරිසයක සිතුවම් මවනවා. නයාරු කලපුවේ ඇති තරමට වැඩුණු කඩොලාන පරිසරය එදා සුසෙයිගේ ත‍්‍රස්ත බෝට්ටු බලගණය සඟවා තබාගන්නත් එම බෝට්ටු වලට ඉක්මනින්ම මුලතිව් මුහුදු තීරයට පිවිසෙන්නත් පැවති හැකියාව නිසා මේ පරිසරය යුධෝපායික අතින් වැදගත් ස්ථානයක්. පුෂ්පරාසලාට නයාරු කලපුවේ මත්ස්‍ය අස්වැන්න ඇති තරමට තිබෙන්න හේතුවුණේ මේ මුහුදු පරිසරය එවැනි ත‍්‍රස්ත කි‍්‍රයාකරකම් වලින් බහුලව වීම නිසා.

‘‘ඉස්සර මේ මුහුදට වෙනත් පළාත්වල ධීවරයින් එන්නෙ නෑ. රස්සාව තහනම් නම් ඒක තහනම්ම තමා. එල්. ටී. ටී. ඊ එක නිසා පිටපළාත් වලින් ඇවිත් මාළු අල්ලන්නෙ නෑ. ඉතින් කලපුවේ මාළු හිඟ නෑ.’’

අපි ඉන්නෙ එකම රටක වුණත් උතුරේ රමනාදන්ලගේ ජීවත් වෙන විදිය බොහොම වෙනස්. කුස ගින්න කාටත් පොදු දෙයක් වුණත් මේ කාලේ ඔවුන්ගෙ ආහාර වේලක් සැකසෙන්නෙ යන්තම් පණ රැකගෙන ජීවත් වෙන්න පුළුවන් තරමට.

දකුණේ ජීවන වියදම ගැන කතා කරද්දි මේ කාලේ ලීස් කැරට් ටිකක් ගෙදරට ගෙනියනවා කියන්නෙ හරියට කැරට් විසිදෙකෙ රත්තරං ගෙනියනවා වගේ කියල සමහරු කියනවා. ඔය කතාව කියල මම රාමනාදන්ලගෙන් ඇහුවෙ ගෙදර කන බොන හැටි කොහොමද කියල..

‘‘බත් වේලකට එළවළු ජාති පාවිච්චි කරන්නෙ සතියකට දෙතුන් වතාවක් වගේ. මෙහේ එළවළු මිල හොඳටම වැඩියි. බත් එක්ක වැඩිපුරම කන්නෙ මාළු, කලපු කකුළුවෝ නැත්තම් ඉස්සො හොද්දක්. යුද්ධයක් තිබිලත් ඒ කාලේ අපි හාල් කිලෝවක් ගත්තෙ රුපියල් පහළොවට. දැන් එකසිය පනහයි.

කාටවත් නෑසෙන නයාරු පාලමෙන් එහා මිනිසුන්ගේ ජීවන අඳෝනාව

පුෂ්පරාසලාගේ ජීවන රටාව මේ රටේ ආනයන අපනයනය හා බැඳි මහා ආර්ථිකයට බද්ධ එකක් නෙවෙයි. ඒත් කොළඹ කේන්ද්‍රීයව ගන්න ආර්ථික ප‍්‍රතිපත්ති මේ වගේ අල්පේච්ච අව්‍යාජ ජීවන රටාවක් ගෙවන මේ රටේ උතුර, දකුණ, බටහිර, වයඹ බේදයක් නැතිව කොහේ හෝ ඉන්න මිනිසුන්ගෙ ජීවිත වලට ලොකු බලපෑමක් කරනවා. බදු ආදායම මදිකමට ආණ්ඩුව සල්ලි අච්චු ගහන වේගයට වැඩි වන උද්ධමනය ඔවුන් කරා එන්නෙ තුන පහේ ඉඳන් පරිප්පු ඇටය දක්වා දින දින වැඩි වන බඩු මිලෙන්. රටක සංවර්ධිත දර්ශක මනින ඒකපුද්ගල ආදායම, උද්ධමනය වගේ බරසාර ආර්ථික වචන පුෂ්පරාසලගේ ශබ්ද කෝෂයෙ ඇත්තෙත් නෑ. ඒවා ඔවුන්ට වැඩකුත් නෑ. විසි කරන දැලට හරියට මාළු ටිකක් අහුවෙනවනම් ඒ මාළු අස්වැන්න පාඩු නැති මිලකට විකුණගන්න පුළුවන්නම් ඒකයි ඔවුන් අපේක්ෂා කරන ජීවිතය.

‘‘යුද්දෙ කාලේ මාළු කිලෝ එක රුපියල් 40. ඒත් අපි ඒ කාලේ දවසට තුන් හාරදාහක් හොයාගන්නවා. දැන් මාළු කිලෝ එකක් රුපියල් පන්සීයක් විතර වෙනවා. ඒත් දවසට රුපියල් දාහක් හොයාගන්න බෑ.’’

නයාරු පාලමෙන් එහා අලම්පිල්, කුම්මලාමනේ, සෙම්මලේ ගම්මානවල ජීවත්වන මිනිස්සුන්ගෙ ජීවිත පණ ගැටගැහෙන්නෙ එහෙම. ඩිංගි බෝට්ටුවක නැගිල වෙරළෙ ඉඳන් පෙනෙන මානයේ දියඹේ දැලක් එළලා මාළු අස්වැන්න නෙලාගන්න ධීවරයන්ගෙනුයි නයාරු කලපුවේ වීසි දැල් ගහන ධීවරයන්ගෙනුයි මේ ගම්වල ආර්ථිකය හැදිල තියෙන්නෙ.

ගම්වල ජීවත් වන 1200 පමණ වන පවුල් වල මහ මිනිස්සුන්ගෙන් සියයට අනූනවයක් කරන්නෙ ධීවර රස්සාව. ඒ අතරින් අක්කර දෙක තුනක කුඹුරු කරන අයත් මේ පවුල් වලට අයත්.

‘‘අක්කර දෙකක් තුනක කුඹුරක් මේ ඉන්න හැමෝටම වගේ තියෙනවා. හැබැයි මේ පාර කුඹුරට තාම පොහොර ලැබුණේ නෑ. දැන් දවස් පනස් දෙකක් වෙනවා. තාම ගොයම් පැළේ හරියට උඩට ඇවිත් නෑ. ඉතින් වැඩක් නැති නිසා ඒ පැත්තෙවත් තාම ගියේ නෑ.’‘

කොරෝනා වසංගතය රටේ තදාසන්න පළාත් වලට බලපෑම් කරද්දි ඒ බලපෑමට අඩුවෙන්ම ගොදුරු වුණ ප‍්‍රදේශයක තමයි විජේකුමාර්ලා ජීවත්වෙන්නෙ. කොරෝනා ආවට පස්සෙ නගරයට යන එක ඔවුන් විසින්ම ස්වයංවාරණයකට යොමු වුණා.

‘‘අවශ්‍ය දේ ගන්න මම හරි නෝනා හරි මාසෙකට එක වතාවක් මුලතිව් ටවුමට යනවා. ගමේ අනිත් අයත් ඇවිදින එක සීමා කරා’’ කියල විජේකුමාර් කියනවා.

කාටවත් නෑසෙන නයාරු පාලමෙන් එහා මිනිසුන්ගේ ජීවන අඳෝනාව

රටේ අනෙකුත් පැතිවල මිනිස්සුන්ට වඩා තමන්ගෙ ගමේ උදවිය ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නෙ බොහාම අඩුවෙන් කියලයි ඔහු කියන්නෙ. ඒකට හේතුවෙන්න ඇත්තෙ ඔවුන් පුරුදුවෙලා තියන කෑම රටාව කියලයි ඔහුගෙ විශ්වාසය. කුකුල් මස් සොසේජස් වගේ කෑම ජාති කියන්නෙ ඔවුන්ගෙ ආහාර වේල් වලින් ඈත් වුණ කෑම වර්ග. ‘‘ ඕන්නම් ගමේම පවුල් විස්සක් විතර කුකුල් මස් කනවා ඇති.’’ ඔහු කිව්වෙ එහෙම.

විජේකුමාර්ලාට සතුටුවිය හැකි ලොකුම දේ යුද්ධය ඉවර වුණාට පස්සෙ ළමයින්ගෙ අධ්‍යාපනය දියුණු වුණ එක. දැන් ගමේ ළමයි දහයක් පහළොවක් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබනවා. ඔන්ලයින් අධ්‍යාපනයත් එක්ක ජංගම දුරකථන වලට ළමයි ඇබ්බැහි වීම පළාත් සීමා සංස්කෘතික පුරුදු නොතකා නයාරු වලටත් එකසේ බලපෑම් කරලා. ඒත් ස්මාර්ට් ජංගම දුරකතන හැසිර වීම ගැන උදයකුමාර්ලගෙ වයසේ පරපුරට තියෙන්නෙ අඩු දැනීමක්. දරුවො ඕක අරන් මොනව කරනවද කියන එක ලොකු වැටහීමක් නෑ කියල ඔහු කියනවා.

මේ සෑම ප‍්‍රශ්නයක් අස්සෙම ඔවුන්ට තියෙන්නෙ නිදහසේ හොඳ ජීවිතයක් ඕන කියන එක.

‘‘යුද්ධය කාලේ නම් මෙහෙම නෑ’’ ඔවුන් නිතර කිව්වේ එහෙම.

යුද්ධය කාලේ මෙහෙම නෑ කියන ඔවුන්ගෙ කතාවේ තේරුම යළිත් සන්නද්ධ අරගලයක් හෝ වෙන් වෙන්ව ජීවත් වීම කියල කව්රුහරි තේරුම් ගත්තොත් ඒක තමයි ලොකුම වැරදීම. උදයකුමාර්ලා අපිට තේරෙණ විදියෙන් කිව්ව එකම දේ… ‘‘දැනට ආණ්ඩුව හොඳට හිටියොත් ඇති. අවුරුදු තිස්පහක්ම යුද්ධයකට මාට්ටුවෙලා ආයේ යුද්ධයක් ඕන නෑ කියන එක. ඔවුන්ගෙ හිතේ තියෙන්නෙ මැරෙනකන් ටිකක් හොඳට ඉන්න තිබ්බොත් ඒ ඇති කියන අවම බලාපොරොත්තුව.

උදයකුමාර්ලගෙ හිත ගැන කියවන්න පුළුවන් හොඳම ප‍්‍රකාශය අපිට ලැබුණෙ ඔහුගෙන් සමුගෙන යන්න මොහොතකට කලින්. ඒ ඔහු කැඩිච්ච සිංහල හරි කතා කරන්න ඉගෙන ගත්තෙ කොහොමද කියල අහපු ප‍්‍රශ්නයත් එක්ක.

‘‘ඉස්සර 82 වගේ කාලේ අපි සිංහල ඔක්කොම යාළුවෝ වගේ තමා හිටියෙ. මේ නේවි කෑම්ප් එක තියන හරියෙ ඒ කාලේ සිංහල පවුල් එකසිය පනහක් විතර හිටියා. අපි ඔක්කොම යාළුවෝ තමා. මම සිංහල කතා කරන්නෙ අවුරුදු තිහකට හතළිකහට කලින් යාළුවො එක්ක කතා කරපු පුරුද්දට.’’

මුලතිව් සංචාරය සදහා අනුග‍්‍රහය දැක්වු බෞද්ධාලෝක පදනමට තුති.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment