කාටූන් කියැවීම… අපාචේවරුන්ගේ කතාව

181

අතීතයේදී ඇමෙරිකා මහාද්වීපයට විවිධ රටවලින් විවිධ ජාතීන් ගොඩ බැස එහි ස්වදේශීය ජනයා සතු නිජබිම් අල්ලාගෙන ඇමෙරිකාව තුළ තම තමන්ගේ ජනපද පිහිටුවා ගත්තේය. අද අපාචේ (Apache) ලෙස හඳුන්වන මිනිසුන්ව මුලින්ම හමුවී ඇත්තේ ස්පාඤ්ඤ ජාතිකයන්ටය. එම නිසා ‘අපාචේ’ යන වචනය ස්පාඤ්ඤ භාෂාවේ වචනයක් හා සමානය. සැන් ජුවාන් ගඟට නැගෙනහිරින් පිහිටි චාමා ප‍්‍රදේශයේ මිනිසුන් ගැන සඳහන් කරමින් ස්පාඤ්ඤ ජාතිකයන් මුලින්ම කි‍්‍ර.ව. 1620 ගණන්වලදී භාවිතා කළේ ‘අපචුද නබජෝ ‘Apachu de Nabajo’ යන යෙදුමයි. ‘නවාජෝ Navajo’ යන යෙදුම 1640 ගණන් වනවිට ඔවුන් සිටි නැගෙනහිර පළාතේ චාමා සිට බටහිරින් සැන්ජුවාන් දක්වාද, දකුණේ අතබාස්කන් වැසියන්ටද මේ පදය යෙදුවෝය.

ඓතිහාසිකව ‘අපාචේ’ නිජබිම් සමන්විත වූයේ උස්කඳු, නිම්න, කාන්තාර, නවාතැන් බිම් සහ ජලය සහිත නිම්න, ගැඹුර වියළි නිම්න මහා තැනිතලාවලින් වන අතර දැන් ඇරිසෝනා, උතුරු මෙක්සිකෝව, නිව් මෙක්සිකෝව, බටහිර ටෙක්සාස් සහ දකුණු කොලරාඩෝ ප‍්‍රදේශවලය. මෙම ප‍්‍රදේශ සාමූහිකව හඳුන්වනු ලබන්නේ ‘අපාචෙරියා’ යන නමිනි. අපාචේ ගෝති‍්‍රකයෝ සියවස් ගණනාවක් පුරා ආක‍්‍රමණික ස්පාඤ්ඤ ජාතිකයන් හා මෙක්සිකෝ ජනයා සමග සටන් කළහ. සමකාලීන ගෝත‍්‍ර වූයේ බටහිර අපාචේ. නවාජෝ, චිරිකාහුවා, මෙස්තලෙරෝ, ජිකරිල්ලා, ලීගන් සහ තැනිතලා අපාචේ යන ගෝත‍්‍රයි. සත්‍ය නවකතාවලින් තහවුරු වූ මේ ගෝත‍්‍රවල නොපසුබට උත්සාහයන් සහ සටන් කුසලතාවන්ගේ කීර්තිය යුරෝපීයයන් අතර ප‍්‍රසිද්ධ විය. බොහෝ යුරෝපීයන් ගෝති‍්‍රකයන් හඳුනා ගැනීමට ඉගෙන ගත්තේ ඔවුන්ගේ නම් වෙනස් කිරීමෙනි. යුරෝපීයන්ට ඇමරිකාවේදී මුලින්ම හමුවූ තවත් එක් කණ්ඩායමක් හැඳින්වූයේ ‘අප්පේ’ යන නමින්ය.

කාටූන් කියැවීම...  අපාචේවරුන්ගේ කතාව
අපාචේවරයාගේ පරීක්‍ෂාව

1930 ගණන්වලදී මානව විද්‍යාඥ ගී‍්‍රන්විල් ගුඞ්වින් බටහිර අපාචේ කණ්ඩායම කණ්ඩායම් පහකට වර්ග කළේය. ඒ වයිට් මවුන්ටන්, සිබකියු, සැන්කාලෝස්, උතුරු ටොන්ටෝ සහ දකුණු ටොන්ටෝ වශයෙනි. සමහර විද්වතුන් දැන් මෙක්සිකෝවේ වෙසෙන කණ්ඩායම් අපාචේ ලෙස නොසලකති. එහෙත් අපාචේ පුද්ගලයෙකුට කණ්ඩායමක් හෝ විශාල ගෝත‍්‍රයක් හෝ භාෂා කණ්ඩායම් හඳුනා ගැනීමේ විවිධ ක‍්‍රම තිබේ. ජෝන් අප්ටත් වෙරළේ බටහිර හා නැගෙනහිර කණ්ඩායම් වශයෙන් අපාචේ

වර්ගීකරණය කරයි. බටහිර කණ්ඩායම් ටොබෝසෝ, චොලොමේ, ජෝකොච්, සීබෝලේ හෝ සීබෝලෝ, පෙලෝන්, මන්සෝ සහ කියවා හෝ කෝෆා යනුවෙන් හඳුන්වයි. නිව් මෙක්සිකෝ කතෝලික පල්ලියේ වාර්තා පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයේදී ඬේවිඞ් එම්. බෘග් විසින් ස්පාඤ්ඤ ජාතිකයන් විසින් අපාචේ යනුවෙන් හැඳින්වීමට භාවිතා කළ ගෝති‍්‍රක නම් 15 ක් හඳුනාගෙන ඇත. 1704 සිට 1862 දක්වා බව්තීස්ම වූ 1000 කගේ පමණ වාර්තාවලින් මේවා උපුටා ගන්නා ලදී.

ගිලා යන්නෙන් අදහස් කරන්නේ ගිලා ගඟ හා ගිලා කඳු ආශී‍්‍රතව ජීවත්වූ අපාචේවරුන්ය. උප කණ්ඩායම් ටොගොල්ලොන් අපාචේ ලෙස හැඳින්වූ අතර රියෝ ග‍්‍රෑන්ඞ් නගරයට බටහිරින් එනම්,

කාටූන් කියැවීම...  අපාචේවරුන්ගේ කතාව
ඇමෙරිකානු ක‍්‍රමයට හැඩගැසෙන  අපාචේ ගෝති‍්‍රකයා

ගිනිකොණ දිග ඇරිසෝනා හා බටහිර නිව් මෙක්සිකෝවේ සියලූම අපාචියන් කණ්ඩායම් මෙම නාමපදය අවිචාරවත් ලෙස භාවිතා කළ හෙයින් ඓතිහාසික ලේඛනවල සඳහන් වීම් අපහැදිලිය. මොගොල්ලන්, කර්ලානා, ලිපාන්, පෙලෝන්ස්, මෙක්කැලෙරෝස්, සියෙරා බ්ලැන්කා මෙස්කැලෙරෝස්, ග්වාඩලූප් මෙස්කැලෙරෝස්, ලිම්පියා මෙස්කැලෙරෝස්, නැටගීස් යන නම්වලින් යුත් අපාචේ ජන කොට්ඨාසද විය.

‘ලැනෙරෝ’ යන ස්පාඤ්ඤ භාෂාවෙන් ණයට ගන්නා ලද වචනයේ තේරුම තැනිතලා යන්නයි. මහා තැනිතලාවේ මීහරක් දඩයම් කළ විවිධ කණ්ඩායම් මේ නමින් හැඳින්වේ. ලිපියන්ස් යනු තැනිතලාවේ සටන් කළ 18 වන සියවසේදී නදහාන්සි, ගුල්කාහන්දේ සහ ලිපාස්ගේ යන කණ්ඩායම්වල එකතුවකි. උතුරු ඇමරකාවේ නිරිතදිග පිහිටි අපාචේ සහ නවාජෝ ගෝති‍්‍රක කණ්ඩායම් අතාබාස්කන් භාෂා පවුලට අයත් භාෂා කතා කරයි. උතුරු ඇමෙරිකාවේ අතාබස්කන් භාෂාව කතා කරන අනෙක් ජනයා ඇලෙස්කාවේ බටහිර කැනඩාවේ සහ වයඹ දිග පැසිෆික් වෙරළ තීරයේ වාසය කරති. කි‍්‍ර.ව. 1200 සහ 1500 අතර නිරිතදිග දක්වා සංක‍්‍රමණය වීමට පෙර අපාචේ, නවාජෝ ජනයා මෙම එකම උතුරු ස්ථානයේ ජීවත් වූ බවට මානව විiාඥයන් අනුමාන කරති. 16 වන සියවසේ මැද භාගයේදී මෙම කණ්ඩායම් ජංගම කණ්ඩායම් ලෙස කූඩාරම්වල ජීවත් වූ අතර බයිසන් ගවයන් දඩයම් කිරීම සහ වෙනත් කී‍්‍රඩාවන්ද කළ අතර තම දේපළ සුනඛයින් යොදාගෙන ට‍්‍රැවෝයිස් (Travois) මෆින් පටවාගෙන තැනින් තැන ගියේය. ට‍්‍රැවෝයිස් යනු සුනඛයෙකුගේ ගෙල වටා හම්පටියක් යොදා එයට සවි කරන ලද දිගු රිටි දෙකක හරහට ලී යොදා සාදාගත් රෝද නොමැති කරත්තයකි. (චිත‍්‍ර සටහන බලන්න) මෑතදී කරනලද අත්හදා බැලීම්වලින් පෙනී යන්නේ මෙම සුනඛයින් දිගු ගමනකදී පැයට සැතපුම් දෙකක් හෝ තුනක් දක්වා වේගයෙන් රාත්තල් 50 ක් (කි.ග‍්‍රෑ. 20) දක්වා බර ඇදගෙන ගොස් ඇති බවයි. ස්පාඤ්ඤ ජාතිකයන් මෙම ප‍්‍රදේශවලට පැමිණි විට බඩඉරිඟු සහ වියළන ලද බයිසන් ගව මස්වලට, කපු පිළි සහ වෙනත් භාණ්ඩ ලබාදී අපාචේවරුන් සමග ගනුදෙනු කර ඇත.

කාටූන් කියැවීම...  අපාචේවරුන්ගේ කතාව
මීහරක් දඩයම

සියලූම අපාචේ ජනයා ජීවත් වූයේ පවුල් ඒකක වලය. ඔවුන් සාමාන්‍යයෙන් එකට ජීවත්වූ අතර සෑම පවුලක්ම වෙන වෙනම වාසස්ථානවල ජීවත් විය. පවුලක සාමාන්‍යයෙන් ස්වාමිපුරුෂයා, භාර්යාව ඔවුන්ගේ අවිවාහක දරුවන් විවාහක දියණිය, එම දියණියගේ ස්වාමිපුරුෂයා ඇතුළත් විය. පිරිමි දරුවන්ට විවාහවූ විට වෙනම ජීවත් විය යුතු හෝ ඔහුගේ බිරිඳගේ නිවසේ ජීවත් විය හැකිය. දියණිය විවාහවූ විට කැමැතිනම් ඇගේ සැමියා සමග නව වාසස්ථානයක් තම මව්පියන්ගේ නිවස අසලින් ඉදිකරගත හැකිය. මෙවැනි පවුල් කිහිපයක් එකතුවී ප‍්‍රාදේශීය කණ්ඩායම් ලෙස වැඩ කළ අතර සමහර උත්සව හා ආර්ථික මෙන්ම හමුදා කටයුතුද සාමූහිකව සිදුකරන ලදී. දේශපාලනය වැඩිපුරම තිබුණේ ප‍්‍රාදේශීය කණ්ඩායම් මට්ටමෙනි. ප‍්‍රාදේශීය කණ්ඩායම් මෙහෙයවනු ලැබුවේ, ඔහුගේ සඵපලතාවය සහ කීර්තිනාමය හේතුවෙන් අනෙක් අයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි ප‍්‍රධානියෙකු විසිනි. අපාචේ ගෝති‍්‍රකයන්ට එකිනෙකට වෙනස් ඥාති පද්ධති දෙකක් ඇත. ‘චිරිකාහුවා වර්ගය සහ ජිකරිල්ලා වර්ගය’ චිරිකාහුවා වර්ගයේ ක‍්‍රමය චිරිකාහුවා මෙස්කාලෙරෝ සහ බටහිර අපාචේ විසින් භාවිතා කරයි. බටහිර අපාචේ ක‍්‍රමය අනෙක් පද්ධති දෙකට වඩා තරමක් වෙනස් වන අතර එය නවාජෝ ක‍්‍රමයට යම් සමානකම් ඇත. ඩැකෝටා-ඉරෙකොයිස් ඥාති ක‍්‍රමයට සමාන ජකරිල්ලා වර්ගය භාවිතා කරන්නේ ජකරිල්ලා, නවාජෝ, ලිපාන් සහ තැනිතලා අපාචේ විසිනි. දෙමාපියන් සඳහා ‘මා’ මව, ‘ටා’ පියා, ‘යචී’, ‘දුව’, ‘ගී’ පුතා යනුවෙන් හඳුන්වයි. ආච්චී සීයා සඳහා වචන හතරක් ඇත.

චේ-මවගේ ආච්චි, ට්සුයාඊ-මවගේ සීයා, චයිනා-පියාගේ ආච්චි, නාලි පියාගේ සීයා, දීදා- (පියාගේ සහෝදරිය හෝ සහෝදරයා), ඝායා (මවගේ සහෝදරිය හෝ සහෝදරයා
අපාචේ ගෝත‍්‍රයේ සියලූම මිනිසුන් ජීවත් වූයේ නිවාස වර්ග තුනකය. තැනිතලාවේ නිවස ‘ටීපී’ය. උස් බිම්වල ජීවත් වූ අය ‘වික්වියප්’ නම් අඩි 8 ක් උස දැව රාමුවක් ඇති නිවසක් භාවිතා කළේය. කාන්තාර ප‍්‍රදේශවල මැටියෙන් කළ ‘හෝගන්’ නම් නිවාස භාවිතා කළේය. අපාචේ ජනයා ප‍්‍රධාන ආහාර වර්ග හතරකින් ආහාර ලබා ගත්හ. එනම්, වනසතුන් දඩයම් කිරීම, වල් පැලෑටි එකතු කර, ගෘහාශී‍්‍රත පැලෑටි වැවීම මගින් සහ පශු සම්පත් (ගව/බැටළු/අශ්ව) කෘෂිකාර්මික නිෂ්පාදන අසල්වැසි ගෝත‍්‍ර සමග හුවමාරු කර ගැනීමද කරන ලදී.

දඩයම් කිරීම මූලික වශයෙන් පිරිමින් විසින් කරනලද අතර කාන්තාවන් සහ ළමුන් හාවන් දඩයම් කිරීම කරන ලදී. පොදු දඩයම් ආයුධය වූයේ දුන්න සහ ඊතලයයි. යුරෝපීය තුවක්කුව හඳුනා ගැනීමෙන් පසු ඔවුන් ඒවාටද පුරුදු විය. දඩයම් කිරීමේ විවිධ උපක‍්‍රමද භාවිතා කරන ලදී. සතුන් රවටා ඔවුන් වෙත සමීප වීම සඳහා සත්ව හිස් ආවරණයක් වෙස් මුහුණක් සේ පළඳින ලදී. සමහර අවස්ථාවලදී සතුන් ළංකර ගැනීම සඳහා ඔවුනට ආවේණික විසිල් ක‍්‍රමද භාවිතා කරන ලදී. තවත් ක‍්‍රමයක් නම් විවිධ ස්ථානවල ස්ථානගත වන දඩයම්කරුවන් විසින් සත්වයා වෙහෙසට පත් කිරීම සඳහා සත්වයාව මාරුවෙන් මාරුවට පන්නා දමනු ලැබීමයි. වෙහෙසට පත්වන සත්වයා ඉන්පසු දඩයම් කරනු ලැබේ. ඒ හා සමාන ක‍්‍රමයක් නම් ගොදුර බෑවුමකට පන්නා දැමීමයි. සමහර සතුන් ආහාරයට ගැනීම තහනම් විය. ඒ අය නම්, වලසා, මී මැස්සන්, කුකුළන්, සර්පයින්, කෘමීන්, බකමූණන් ආදියයි. හෝපි සහ සුනි වැනි සමහර අපාචේ සංස්කෘතීන් තුළ මාළු ආහාරයට ගැනීම කෙරුවේ නැත. ඔවුන් මාළුවන්ව දුටුවේ ‘සර්පයින්’ ලෙසය. විශාල මීයන්, බීවර්, මින්ක්ස්, කස්තුරි මුවන් සහ වෘකයන්ව දඩයම් කරන ලද්දේ උන්ගේ සම්ගෙන ඇඳුම් හිස් වැසුම් හා පසුබිම් සෑදීමටයි. මුවන්, වල් ගවයන්, බැටළුවන්, මී හරකුන්, වල් හාවුන් ආදීන් ආහාර සඳහා දඩයම් කරන ලදී.

බටහිර අපාචේ ජාතිකයන් වර්ණවත් ඇට වර්ග පබළුවලින් සරසා තිබූ වර්ණවත් සත්ව හිස් වැසුම්ද පැළඳ සිටි අතර ඔවුන්ගේ ඇඳුම්වලද වර්ණවත් පබළු අල්ලා තිබුණි. ඒවා බක්ස්කින් ෂර්ට්, පොන්චෝසායවල් යන නම්වලින් හැඳින් විය. වර්ෂා නැටුම්, බෝග සහ අස්වනු නර්තනයන්, ආත්ම නැටුම් ඇතුළු ආගමික නර්තනයන් රැසක් අපාචේ ජනයාට ඇත. සූර්යා සහ ගින්දර ඔවුන්ගේ වීරයන් දෙදෙනෙකි. අතබැස්කන් දෙවිවරු විශ්වය පුරා තිබෙන පෞරුෂ සහායක බලවේගයක් බවට ඔවුන් විශ්වාස කරති. බොහෝ අපාචේ උත්සවවලදී ආගමික ආත්මයන්ගේ වෙස් මුහුණු නිරූපණයන් භාවිතා කරයි.

කාටූන් කියැවීම...  අපාචේවරුන්ගේ කතාව
ට‍්‍රැවෝයිස්

එක්සත් ජනපද හමුදාවන් සහ විවිධ අපාචේ ජාතිකයන් අතර එදිරිවාදිකම් සහ යුද්ධ මාලාවක්ද පැවැතිනි. 1849 හා 1886 අතර මෙක්සිකානු ඇමරිකානු යුද්ධයෙන් පසු භූමි පවරා ගැනීම් සිදුවිය. නව එක්සත් ජනපද පුරවැසියන් පශු සම්පත් භෝග වගාව හා ඛනිජ කැණීම් සඳහා සම්ප‍්‍රදායික අපාචේ ඉඩම්වලට පැමිණීමත් සමග මෙම ගැටුම් දිගටම පැවතිණි. මේ අතර එක්සත් ජනපද හමුදාව අපාචේ කණ්ඩායම් පාලනය කිරීම සඳහා බලකොටු පිහිටුවිය. ඓතිහාසික වශයෙන් අපාචේ සතුරු ගෝත‍්‍ර සමහරවිට එකිනෙකා, පශු සම්පත්, ආහාර හෝ වහලූන් ලබා ගැනීම සඳහා වැටලීම් කර ඇත. ඔවුන් දුර්වල කුඩා කණ්ඩායම්වලට වැටලීම් කළේ නිශ්චිත අරමුණක් සඳහාය. රණකාමීව සිටි සියලූම ගෝත‍්‍රවල පිරිමි සාමාජිකයන් භාවිතා කරමින් මිනිසුන් සිය දහස් ගණනකින් යුත් හමුදාවක් එක්රැස් කර ගැනීමට අපාචේ ජනයා කලාතුරකින් පමණක් එක්සත්වූ අතර 1880 ගණන් වන විට ඔවුන් එක්සත් ජනපද හමුදාවන් සමග සටන් කිරීමට එකතු විය. එක්සත් ජනපදය බොහෝ අවස්ථාවලදී ආර්ථික වාසි ලබා ගැනීම සඳහා අපාචේවරුන් පදිංචිවී සිටි ජන භූමි අත්පත් කර ගැනීමට පටන් ගැනීම මේ යුද පසුබිමට හේතු කාරණාවක් විය. 1880 වේ සිට මේ යුද්ධ මාලාවක් ඇතිවිය. අයන් ෂර්ට් (Iron Shirt), බ්ලැක් නයිෆ් (Black Knife), චට්ටො (Chatto), ලිට්ල් වුල්ෆ් (Little Wolf), රෙඞ් ඩෝග් (Red Dog), ටේහීනන් (Tehenan), ජෙරෝනිමෝ (Geronimo) සහ තවත් රණශූර නායකයෝ අපාචේවරුන්ට නායකත්වය දෙමින් එක්සත් ජනපද සුදු හමුදාව සමග සටන් කළේ තම ජනතාව සහ නිජබිම ආරක්‍ෂා කර
ගැනීමටය.
1933 දී අපාචේ ඇමරිකා යුද්ධය අවසන් විය. මේ අතර බොහෝ අපාචේ ජාතිකයන් තම සම්ප‍්‍රදායික දුණු ඊතල හෙල්ලය අතහැර තුවක්කු පාවිච්චි කිරීමටද හුරුවිය. ඔවුන්ගේ ඇඳුම් පවා වෙනස් විය. අපාචේ ජාතිකයන්ගෙන් සමහරු වෙනත් ජාතීන් සමග ආවාහ විවාහ කරගත් බැවින් ඔවුන්ගේ සම්ප‍්‍රදායන්ද වෙනස් විය. එහෙත් තවමත් ජීවත්වන අපාචේ පරම්පරාවේ අය ඔවුන්ගේ ජාතිය ගැන අභිමානයෙන් කතා කරයි. නවීන පන්නයට හැඩ ගැසුනත් ඔවුන් ඔවුන්ගේ ජාතික උත්සව අවස්ථාවලදී සාම්ප‍්‍රදායික ඇඳුමින් සැරසී ඒවාට සහභාගී වේ.

1 මයික් ලූකොවිච් (Mike Luckovich) ගේ කාටුනයේ පෙන්වාදී ඇත්තේ ඇරිසෝනා Arizona ප‍්‍රදේශයයි. කාටූනයේ සම්ප‍්‍රදායානුකූල ඇඳුමින් සැරසී සිටින අපාචේ ගෝති‍්‍රකයෙක් පෙන්වාදී ඇත. ඇරිසෝනා ප‍්‍රදේශයට සන්ධ්‍යාවේදී ඇවිදීමට තම සුනඛයාද සමග පැමිණි වියපත් යුවළක් ඔහුට හමුවෙයි. මේ ප‍්‍රදේශය අපාචේ ගෝති‍්‍රකයන්ට අයත් ප‍්‍රදේශයකි. මේ ඇමරිකානු ජාතික ‘යුවළට අපාචේ තැනැත්තා කියනවා… ‘මට ඔබේ ලේඛන පෙන්වන්න’ කියා.(Show me your Papers) ඇරිසෝනා ප‍්‍රදේශය අතීතයේ සිටම අපාචේවරුන්ට අයත් නිජබිම්ය. එම ප‍්‍රදේශයට ඇතුළු වීමට බලපත‍්‍රයක් ලබා ගත්තද කියා තමයි මේ අපාචේ ගෝති‍්‍රකයා අසන්නේ. තමන්ට අයත් ප‍්‍රදේශවලට ඇමෙරිකානු සුදු මිනිසුන් පැමිණ එම ප‍්‍රදේශ අත්පත් කරගත් නිසා මේ පැමිණ සිටින දෙදෙනා ගැනද අපාචේ වරයා සැකපහළ කරයි. ඔවුන් සංචාරයකට පැමිණියාද නැත්නම් වෙනත් දෙයකට පැමිණියාදැයි මේ අපාචේවරයාට දැන ගැනීමටද අවශ්‍යවී ඇත. ඔහු මෙම ප‍්‍රදේශ ආරක්‍ෂා කරන්නෙකි. මේ ප‍්‍රදේශයට පැමිණෙන අය ගැන ඔහු සෙවිල්ලෙන් පසුවන්නේ ඒ නිසාය.

2- කාටුනයේ පෙන්වාදී ඇත්තේ ඇමරිකානු සුදු මිනිසෙකු පසුපස පන්නා යන අසෙකු පිට නැඟි අපාචේ ජාතිකයෙකි. ඔහු අතේ හෙල්ලක්ද ඇත. දඩයමේ යන්නෙකු සේ පෙනේ. අපාචේ ජාතිකයා හඬ නඟා අනිත් අයට කියනවා ‘මීහරක් දඩයම’ (Buffalo Hunt) කියා. මේ අපාචේ දඩයම්කරුට ඇමරිකානුවා පේන්නේ ඔවුන් දඩයම් කරන මීහරෙකකු වගේය. ඒ දඩයමත් මේ දඩයමත් එකක් බව කාටුන් ශිල්පියා පෙන්වා දෙයි.

  1. සුනඛයකු විසින් ඇදගෙන යන අපාචේවරුන්ගේ ට‍්‍රැවෝයිස් (Travois) නම් උපකරණය. මේ මත තබන අපාචේවරුන්ගේ බඩු මේ සුනඛයා විසින් මෙම උපකරණය මාර්ගයෙන් නියමිත ස්ථානයට ඇදගෙන යයි.

4- 1870 පෙබරවාරි 12 වැනි දින ‘හාපර්ස්ගේ වීක්ලි Harper’s Weekly පුවත්පතට තෝමස් නැස්ට් Thomas Nast විසින් නිර්මාණය කරන ලද කාටූනයෙන් ඇමෙරිකානු ජනාධිපති යූ. එස්. ග‍්‍රාන්ට්ගේ ෆෙඩරල් ඉන්දියානු ප‍්‍රතිපත්තියේ අරමුණ පෙන්වාදී ඇත. සමූල ඝාතනය හෝ යුද්ධය වෙනුවට පුරවැසිභාවයේ අයිතිවාසිකම් හරහා ස්වදේශීය ඇමරිකානුවන් (අපාචේවරුන්) නාගරික ඇමෙරිකානු ජීවිතයට, සංස්කෘතියට හා දේශපාලන කර්තව්‍යයන්ට හැඩ ගැස්සවීම හා ඔවුන්ගේ සිත් දිනා ගැනීමට කටයුතු කිරීම පෙන්නුම් කරයි. ඒ අනුව කාටූනයේ දැක්වෙන්නේ අපාචේවරයකුගේ සාම්ප‍්‍රදායික ගෝති‍්‍රක ඇඳුම් වෙනුවට ඔහුට කමීස, කලිසම්, කෝට්, සපත්තු පළඳවා ඇමෙරිකානු සමාජයේ නවීනත්වයට හැඩගස්සවන ඇමෙරිකානුවෙක් සහ එසේ හැඩ ගැසෙන අපාචේවරයෙකි.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment