කාටූන් කියැවීම…. ප්ලාසා ද මයෝ හි මව්වරු

75

ආර්ජන්ටිනාවේ ධෛර්ය සම්පන්න කාන්තාවන් 14 දෙනෙක් බිය සහ ඔවුන්ගේ පවුල්වලින් කරන ලද අනතුරු ඇඟවීම් පසෙකලා 1977 අපේ‍්‍රල් මස 30 වැනිදා බුවනෝස්අයර්ස් අග නගරයේ කැසාරොසාඩා ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටි පොදු චතුරස‍්‍රය වන ‘‘ප්ලාසා ද මයෝ’’ හිදී (Plaza De Mayo) රැස් වූයේ තම දරුවන් සොරාගත් ඒකාධිපතිවාදයට මුහුණදීම සඳහාය. දහස් ගණන් මිනිසුන් ක‍්‍රමානුකූලව ඝාතනය කිරීම් සැලසුම් කළ හමුදාපතිවරුන්ට එරෙහිව ඔවුන් මෙසේ පෙළගැසී සිටි අතර ඔවුන්ගේ විරෝධතාවයේ සාමකාමී පළමුවන පාගමන එදිනට යෙදී තිබිණි. මොවුන් ‘‘ප්ලාසා ද මයෝ හි මව්වරු’’ (Mother of The Plaza De mayo) යනුවෙන් ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් වී ඇත.

මේ වනවිට මෙම මව්වරුන් ලොව පුරා මානව හිමිකම් ශුරියන් ලෙස ද පිළිගෙන ඇති අතර ප‍්‍රැන්සිස් පාප්වහන්සේ සහ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන්කී මූන් වැනි අය විසින් ඔවුන්ගේ කි‍්‍රයාවන් අගය කර ඇත. එම මව්වරුන් පවසන්නේ ‘‘ශෝකයෙන් බෙලහීනතාවයෙන් අපට පිස්සු වැටි ඇත. අපගේ වටිනාම වස්තුව වන දරුවන්ව ඔවුන් සොරා ගත්තා’’ යනුවෙනි. තුන් හතර දෙනකුට වඩා එකට සිටියොත් අත්අඩංගුවට ගැනීමට හැකි වූ නිසා ඔවුන් සුළු පිරිස් වශයෙන් බෙදී කඩින්කඩ මේ උද්ඝෝෂණ පාගමනේ යෙදී ඇත. එදා සිට අද දක්වාම මේ මෑණිවරුන් සෑම බ‍්‍රහස්පතින්දා දවසකම සවස 3.30 ට ජනපති මන්දිරය ඉදිරිපිට ඇති ප්ලාසා ද මයෝ සිට නගරයේ දෙපැත්තකට බෙදී තම ශෝකය පළකරමින් තම දරුවන්ට සාධාරණයක් ළඟා කර දෙන ලෙස ආයාචනය කරමින් සාමකාමී උද්ඝෝෂණ පාගමනේ යෙදී සිටී.

කාටූන් කියැවීම.... ප්ලාසා ද මයෝ හි මව්වරු
ප්ලාසා ද මයෝ හි මවුවරුන්ගේ සංවිධානයේ නිර්මාතෘවරියන් වන එස්තර් බැලස්ටි‍්‍රනෝ (වමේ) මරියා ෆොන්සි ඞී. බියන්කෝ (මැද)අසුසිනා විලෆ්ලෝර් (දකුණේ) මේ මව්වරුන් තිදෙනාම කුරිරු ලෙස ඝාතනය කර ඇත.

වාමාංශික ගරිල්ලන් විසින් ජෙනරාල්වරයකු ඝාතනය කිරීම නිසා පලිගැනීම සඳහා හමුදාව විසින් පළමුවෙන්ම ඝාතනය කරන ලද තරුණයන් 30 දෙනාගෙන් එක් අයෙකු වන, 1976 අගෝස්තු මාසයේදී ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් අල්ලාගෙන අතුරුදන් කරන ලද දේශපාලනයට කිසිම සම්බන්ධයක් නොමැති ශිෂ්‍යයෙකු වූ ‘‘හොරසියෝ’’ ගැන අධිකරණ වෛද්‍ය මානව විද්‍යාඥයින් විසින් DNA පරීක්ෂණයක් මගින් එම ශිෂ්‍යයා ‘‘ගැස්ටීල’’ නම් මවගේ පුත‍්‍රයාම බවට තහවුරු කරන විට වසර 24 ක්ම එම මව තම පුත‍්‍රයා සොයමින් ඇවිද්දේය.

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරයකුව සිටි ‘‘ජුවාන් පෙරොන්’’ මියගිය පසු ඔහුගේ බිරිඳ මෙන්ම උප ජනාධිපති ධුරය හෙබවූ ‘‘ඉසබෙල් පෙරොන්’’ ජනපති වූ පසු 1976 දී මිලිටරි කුමන්ත‍්‍රණයක් මගින් රටේ බලය අල්ලාගෙන හමුදා ප‍්‍රධානියා වූ ‘‘ජෝෂප් රෆායෙල් විදෙලා’’ ජනපති බවට පත් විය. බලයට පත්වූ හමුදා රජය ඕනෑම විරෝධතාවක් මැඬ පැවැත්වීම සඳහා කි‍්‍රයා කළ අතර අවසානයේදී මිනිසුන් 30,000 ක් පමණ ඝාතනය කර ඇත. එහෙත් ඒ සියලූ දෙනාම නිරායුධ අයයි. ඔවුන් කිසිම දිනකදී සටන්කරුවන් නොවීය. 1976-1983 අතර කාලයේදී ආර්ජන්ටිනාවේ ඒකාධිපති පාලනය තුළ මේවා සිදුවූ අතර 1983 වර්ෂයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත පැමිණීමෙන් පසුව විශේෂ කොමිසමක් විසින් සකස් කරන ලද වාර්තාවක් මගින් වින්දිතයන් සංඛ්‍යාව 9000 ක් පමන විය හැකි බවට රජය යෝජනා කළේය. 1978 දී චිලී බුද්ධි අංශය වෙත කළ සන්නිවේදනයේදී මිනිසුන් 22,000 ක් මියගිය බව හමුදාව විසින්ම වාර්තා කරන ලදී.

රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත වූ විට, 1976 දී කුමන්ත‍්‍රණයකින් ඉසබෙල් පෙරොන් බලයෙන් පහ කළ හමුදා නිලධාරීන්ට දඬුවම් ඉල්ලා මවුවරුන්ගේ ව්‍යාපාරය දිගටම පෙළපාලි ගියේය.

ආර්ජන්ටිනාවේ මේ ‘‘ප්ලාසා ද මයෝහි මවුවරුන්ගේ සංවිධානයේ’’ මුල්ම නිර්මාතෘවරුන් වනුයේ අසුසිනා විලාෆ්ලෝර්, එස්තර් බැලස්ටි‍්‍රනෝ, මාරියා පොන්සි ඞී. බියන්කෝ, ජොසෆිනා ගාර්ෂියා ද නොයා, හෙබේ ද බොනාෆිනි සහ තවත් කීපදෙනෙකි. නායකත්වය හෙබවූයේ හෙබේ ද බොනාෆිනි ය. පසුව හෙබේ ද බොනාෆිනිගේ නායකත්වය යටතේ කණ්ඩායම දෙකට බෙදුනි. ඇයගේ කණ්ඩායම අදටත් සකී‍්‍රයව සිටියද හිටපු ජනපති කි‍්‍රස්ටිනා ෆර්ඞ්නැන්ඩස් ද කර්ච්නර්ගේ රජය සමයේ දූෂණ වංචාවකට පැටලී සිටිය අතර එමගින් බොනාෆිනි බොහෝ දෙනා ඉදිරියේදී අපකීර්තියට ද පත් විය. මෙසේ බෙදීම් තිබුණත් ප්ලාසා ද මයෝහි මව්වරුන් අදටත් දෙපාර්ශ්වයක් වුව ද ඔවුන් තම දරුවන්ෙ වනුවෙන් වේදනාවෙන් පෙළපාලි යති. වසර 44 ක් තිස්සේ තම පුතුන් – දූවරුන්, ලේලිවරුන් – බෑනාවරුන් සොයමින් තවමත් ඔවුන් සුදු හිස්වැසුම් පැළඳ උද්ඝෝෂණයේ යෙදෙයි.

කාටූන් කියැවීම.... ප්ලාසා ද මයෝ හි මව්වරු
බුවර්නෝස්අයර්ස් නගරයේ පිහිටා ඇති ‘‘ප්ලාසා ද මයෝ චතුරස‍්‍රය’’

මුලදී ඔවුන් හිස් ආවරණ පැළඳ සිටියේ නැත. නමුත් ඔවුන් මෙම සාමකාමී උද්ඝෝෂණ ආරම්භ කළ වසරේ අවසාන භාගයේදී මෙම මව්වරුන් සම්ප‍්‍රදායානුකූල ආගමික පෙරහැරකට සහභාගි වීමට තීරණය කළ විට ඔවුන් තම දරුවන්ගේ නැපි සහ ඩයපර් (Nappies – Diapers) සංකේතවත් කරමින් තම හිස මත සුදු පැහැති හිස් ආවරණයක් පැළඳීමට පටන් ගත්තේය. ඔවුන්ගේ එම හිස් ආවරණය ඔවුන්ගේ සංවිධානයේ ලාංඡුනය බවට පත්වූ අතර ඔවුන් ගමන් ගන්නා මාර්ගයන්හි පදික වේදිකාවේ මේ සංකේතය සුදු පාටින් පින්තාරු කර ද ඇත. චතුරස‍්‍රයේ පළමු හමුවීමට මාස 8 කට පසු 1977 දෙසැම්බර් 8 වැනිදා නාවික හමුදා නිලධාරීන් විසින් මාරියා පොන්ස් ඞී. බියන්කො සහ එස්තර් බැලස්ටි‍්‍රනෝ ශුද්ධ වූ කුරුස දේවස්ථානයේ සිටියදී පැහැරගෙන ගියහ.

1976-1983 අතර කාලය තුළ වද හිංසාවලට පත්කර මරා දමා තිබූ තරුණ සිරුරු ග‍්‍රාමීය ප‍්‍රදේශවල සලකුණු නොකළ සොහොන්වල වළ දමා ඇති බවට ද වාර්තා වුණි. මේවා සොයා ගැනීමට මව්වරුන්ගේ පෙළපාලියට සහාය දැක්වීමට ජනතාව ස්ව කැමැත්තෙන්ම සිය දහස් ගණනක් එකතු වූහ. මේ නිසා ලෝක අවධානය නිතැතින්ම මෙයට යොමු විය. පෙළපාලි යෑමෙන් ඔවුන් එකිනෙකාට ශක්තිමත් වූ අතර සමහර පුවත්පත් පවා ආකර්ෂණය කර ගැනීමට මව්වරුන් සමත් විය. මව්වරුන් තම දරුවන්ගේ ඡායාරූප සමග අත්සන් යොදා ඒවා ප‍්‍රසිද්ධියට පත් කළේය. ඔවුන් හිස පැළඳ සිටි සුදු සළුවේ තම දරුවන්ගේ නම් සහ උපන් දිනයන් ඇම්බ්‍රොයිඩර් කර ගත්තේය. ඒ සමගම ඔවුන් එම සළුවල ස්පාඤ්ඤ භාෂාවෙන් “Aparicion Convida”, ‘‘නැවත පණගැන්වීම’’ (Alive Reappearance) යන වචන පේළිය ද එයට සම්බන්ධ කර ගත්තේය. රජය විසින් ‘‘ලාස් ලෝකාස්’’ (Las Locas – ස්පාඤ්ඤ භාෂාවෙනි) ‘‘උන්මත්තක කාන්තාවන්’’ ලෙස ඔවුන්ව හඳුන්වා ඔවුන්ගේ කි‍්‍රයාවන් අවතක්සේරුවට ගෙන සුළු කිරීමට උත්සාහ ගත්තේය. 1977 දෙසැම්බර් 10 වැනිදා මව්වරුන් තම අතුරුදන් වූ දරුවන්ගේ නම් ඇතුළත් පුවත්පත් දැන්වීමක් ප‍්‍රකාශයට පත් කළේය. එදින රාතී‍්‍රයේදී අසුසිනා විලාෆ්ලෝර් හමුදා කණ්ඩායමක් විසින් ඇවැල්ලනැඬේ පිහිටි ඇගේ නිවසින් පැහැරගෙන කුප‍්‍රකට ‘‘එස්මා’’ (Esma) හි පිහිටි වදකාගාරයට ගෙනගොස් ඇති අතර එතැන් සිට සාගරයට ඉහළින් පියෑඹු මරණයේ ගුවන් යානයෙන් රැගෙන ගොස් ගුවන් යානයේදී මත්ද්‍රව්‍ය දී මරා දමා ඉහළ සිට මුහුදට දමා ඇති බවට වාර්තා වේ.

එසේම අතුරුදන් වූ බවට සඳහන් වූ 500 කට වැඩි ගැබිනි කාන්තාවන් කඳවුරුවල සිරගතකොට සිට දරුවන් ලැබූ පසු එම දරුවන් හමුදා පවුල්වලට නීත්‍යානුකූල නොවන විදියට හදා ගැනීමට ලබාදී ඇති අතර එම මව්වරුන් මරා දමා ඇති බවට ද වාර්තා වේ. පැහැරගැනීම් වටා ඇති රහස්‍යභාවය හේතුවෙන් සංඛ්‍යාව හරියටම කීමට අසීරු වී ඇත. 1978 මුල් භාගයේ සිට පාලන කාලයේ වසර ගණනාවක් රියෝ ද ලා ප්ලාටා හි ජීවත් වූ පදිංචිකරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කර මුහුදට දමා තිබූ අතර එම මිනිස් සිරුරු හමුවී ඇත. ප‍්‍රංශ ජාතික ලියෝනි ඩ‍්‍රකට් වැනි ව්‍යාපාරයේ ප‍්‍රමුඛ පෙළේ ආධාරකරුවන්ගේ සිරුරු කිසි දිනක හමුවී නැත. ඩ‍්‍රකට් සහ ඇගේ සහෝදරිය වූ ඇලිස් ඩොමොන් සහ ප‍්‍රංශ කන්‍යා සොහොයුරියන් දෙදෙනාම මෙම ‘‘අපිරිසිදු යුද්ධයේදී’’ (Dirty War) රැගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ආර්ජන්ටිනාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීය. ප‍්‍රංශය කන්‍යා සොහොයුරියන් පිළිබඳව තොරතුරු ඉල්ලා සිටි නමුත් එවකට සිටි ආර්ජන්ටිනා රජය ඒ පිළිබඳ සියලූ වගකීම් ප‍්‍රතික්ෂේප කළේය. 2005 වර්ෂයේදී අධිකරණ මානව විද්‍යාඥයින් විසින් බුවනෝස්අයර්ස් නගරයට දකුණින් පිහිටි සැන්ටා තෙරේසිටා වෙරළ තීරය අසල සලකුණු නොකළ සොහොනක තැන්පත් කර තිබූ සිරුරුවල කොටස් සොයා ගත්තේය. ඒවා අසුසිනා, එස්තර්, බියන්කො යන මව්වරුන්ගේ බවට තහවුරු විය. අසුසිනා විලාෆ්ලෝර් ගේ අළු පසුව ‘‘ප්ලාසා ද මයෝ හි’’ තැන්පත් කරන ලදී.

කාටූන් කියැවීම.... ප්ලාසා ද මයෝ හි මව්වරු
උද්ඝෝෂණයේ යෙදෙන මව්වරු

1984 සිට ඇමරිකානු ජාන විද්‍යාඥ මේරි ක්ලෙයාර් කිංගේ සහාය ඇතිව කණ්ඩායමක් අතුරුදන් වූවන්ගේ මළ සිරුරු හමුවූ විට දේහයන් හඳුනා ගැනීමට D.N.A පරීක්ෂණ භාවිතා කිරීමට පටන් ගත්හ. සාක්ෂිකරුවන් සිය ගණනකගේ සාක්ෂි විමසීමත් සමග අතුරුදන්වූවන් පිළිබඳ සාක්ෂි එකතු කිරීම සඳහා රජය පසුව ජාතික කොමිසමක් පැවැත්වීය. 1985 දී උසස් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුම වරදකරුවන් කර ජුන්ටාවන්ගේ නඩු විභාගයෙන් පටන් ගෙන අපරාධ සඳහා වරදකරුවන් වූ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ආරම්භ විය. 2006 දී මුල්ම ප‍්‍රධාන චරිතයක් වූ ‘‘මිගෙල් එවෙකොලාට්ස්’’ වරදකරු කර දඬුවම් නියම කර ඇත. හමුදා ජුන්ටාවේ බොහෝ සාමාජිකයන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් සිරගත කරන ලදී. එම ඒකාධිපතියන්ගේ වදකයන් 1000 කට වැඩි සංඛ්‍යාවක් නඩු විභාගයන්ට ඉදිරිපත් කර ඉන් 700 කට දඬුවම් ලබාදී ඇත.

අතුරුදන් වූ ගැබිනි මව්වරුන්ගෙන් උපන් දරුවන් හමුදා සාමාජිකයන් විසින් හදාගත් අතර එම අතුරුදන් වූ මව්වරුන්ගේ දරුවන් 256 දෙනෙක් හඳුනාගෙන ඇත. ඉන් දරුවන් 7 ක් මියගොස් ඇත. දැන් වැඩුණු වැඩිහිටියන් බවට පත්වී ඇති එම දරුවන්ගෙන් 137 දෙනෙකු සොයාගෙන ඇති අතර ඔවුන් ජීව විද්‍යාත්මක පරීක්ෂණයන්ට ඉදිරිපත් වී ඇත. දැන් වැඩිහිටියන් වන මුනුබුරු මිනිපිරියන් ඇති සමහරු යටගිය ඉතිහාසය ගැන දැනගැනීමට අකැමැති වූ අතර පරීක්ෂා කිරීම ප‍්‍රතික්ෂේප කළ විට සමහර මව්වරු සහ ආච්චිලා සීයලා අසහනයට පත් විය. අතුරුදන් වූ මව්වරුන්ගේ දරුවන්ගේ මූලාරම්භය පිළිබඳ සත්‍ය දැනසිටියදීම දරුකමට හදාගැනීම නැතහොත් දරුවන් පවරා ගැනීම යන චෝදනා යටතේ වරදකරුවන් බවට උසාවිය විසින් විනිශ්චය කරන ලද දෙමාපියන් එම වරදවලට සිරගත කරන ලදී.

කාටූන් කියැවීම.... ප්ලාසා ද මයෝ හි මව්වරු
මව්වරුන්ගේ ලාංඡනය පදික වේදිකාවක සටහන් කර ඇත

මෙම ප්ලාසා ද මයෝ හි මේ මව්වරුන්ගේ සංවිධානය ‘‘චින්තනයේ නිදහස වෙනුවෙන් පිරිනමනු ලබන සකාරොව් සම්මානය’’ ලැබූ මුල්ම සංවිධානයයි. ඒ 1992 දීය. මේ නිසා බොහෝ ජාත්‍යන්තර සංවිධාන ඔවුනට පුළුල් සහයෝගයක් හා පිළිගැනීමක් ලබාදී ඇති අතර ඉතිහාසය පුරාම නොයෙක් මානව හිමිකම් සංවිධාන කිහිපයකටම මේ මව්වරුන්ගේ සංවිධානය උපදෙස් ලබාදීමට – උදව් කිරීමට ද ඉදිරිපත් වී ඇත. 1997 දී ග්ලයිට්ස්මන් පදනම මගින් ග්ලයිට්ස්මන් ජාත්‍යන්තර කි‍්‍රයාකාරි සම්මානය ද, 1999 දී එක්සත් ජාතීන්ගේ සාම අධ්‍යාපනය සඳහා වූ ත්‍යාගය ද, 2003 දෙසැම්බර් 10 වන දින මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ එක්සත් ජාතීන්ගේ ත්‍යාගයත්, තවත් බොහෝ සම්මානත් මෙම මව්වරුන්ගේ සංවිධානයට හිමි වී ඇත.

“The Official Story” යනු සොරකම් කරන ලද දරුවන් පිළිබඳව ද සිද්්ධීන් සම්බන්ධ කරගෙන නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපටයකි. තවත් එවැනිම සිනමා පටයක් වන්නේ “Cautiva” ය. “The Mothers of Plaza de Mayo” ‘‘ නමින් ස්පාඤ්ඤ භාෂාවෙන් 1985 දී තැනූ ආර්ජන්ටිනා වාර්තා චිත‍්‍රපටය ඇකඩමි සම්මාන උළෙලකදී හොඳම වාර්තා චිත‍්‍රපට ත්‍යාගයන් සඳහා නිර්දේශ විය. මේ අතරම බොහෝ කලා නිර්මාණයන්, පොත්, ගීත ආදිය ද මෙම මව්වරුන්ගේ සංවිධානයට උපහාර පිණිස නිකුත් වී ඇත.

මෙම ව්‍යාපාර ආරම්භ කළ බොහෝ මව්වරු අද ජීවතුන් අතර නැත. තවත් අය වයස නිසා නිරන්තරයෙන් සෞඛ්‍ය ගැටලූවලට මුහුණ දෙයි. සමහර මව්වරු අද දින මේ පාගමනට එක්වෙන්නේ රෝද පුටුවලිනි. නමුත් වසර 44 ක් පුරාවටම මේ මව්වරුන්, අතුරුදන් වූ තම පුතුන්, දූවරුන්, ලේලිවරුන්, බෑනාවරුන් සොයමින් සුදු හිස්වැසුම් පැළඳගෙන සෑම බ‍්‍රහස්පතින්දා දිනකම සවස 3.30 ට පසු ප්ලාසා ද මයෝ චතුරස‍්‍රයේ සිට විහිදී ඇති වීදි දිගේ තම දුක් ගී ගයමින් ඇවිද යන්නෝය. එහෙත් ඔවුනට ඔවුන්ගේ දරුවන් කිසි දිනක හමු නොවනු ඇත. එම සත්‍යය ගැන සිතීමටවත් මේ මව්වරුන් කැමැති නැත. තවත් වසර ගණනාවක් යනතුරුම ඔවුන් නැති වූ තම දරුවන් සොයා යනු ඇත.

  1. කාටූන් ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද කාටූනයේ දැක්වෙන්නේ ප්ලාසා ද මයෝ හී උද්ඝෝෂණයේ යෙදෙන මව්වරුන් හිස පැළඳ සිටින සුදු හිස් ආවරණය ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනස් වී සුදු පරෙවියෙකු බවට පත් වී නිදහසේ ඉගිල යන ආකාරයයි. කාටූන් ශිල්පියා මේ කාටූනයෙන් මව්වරුන්ගේ සාමකාමී පාගමන නිරූපණය කරයි.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment