කාටූන් කියැවීම – මාරයාගේ ‘වීසා’ එක සාක්කුවට දාගෙන පෑන අතට ගත් කෂෝගි

388

ජමාල් කෂෝගි (Jamal Khashoggi) 1958 ඔක්තෝබර් 13 වන දින සෞදි අරාබියේ මදීනා හිදී උපත ලැබීය. කෂෝගිගේ පියා වුයේ අහමඞ් කෂෝගිය. මව ඊසාෆ් ඩෆ්ටර් නම් වූවාය. කෂෝගි සෞදි අරාබියේදී සිය මූලික ද්විතීය අධ්‍යාපනය ලබා 1982 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා ප‍්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් බී. බී. ඒ උපාධිය ලබා ගත්තේය.

ජමාල් කෂෝගි 1983 සිට 1984 දක්වා තිහාමා පොත් සාප්පුවල ප‍්‍රාදේශීය කළමණනාකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. පසුව ඔහු සෞදි ගැසට් පත‍්‍රයේ වාර්තාකරුවෙකු ලෙසද 1985 සිට 1987 දක්වා ඕකාස් හි සහකාර කළමනාකරු ලෙසද කටයුතු කළ අතර 1987 සිට 1990 දක්වා සේවයේ නිරත වූයේ Asharg – Al- Asat, Al Majalla Al Muslimoon යන අරාබි පුවත්පත්වල වාර්තාකරුවෙකු වශයෙනි. ඇෆ්ගනිස්ථානයේ සෝවියට් ආක‍්‍රමණ අතරතුර ඔහු සෞදි අරාබියානු බුද්ධි ඒජන්සියේද සේවය කළේය. 1991 දී ඔහු Al- Madina පුවත්පතේ වැඩබලන ප‍්‍රධාන සංස්කාරක වශයෙන් 1999 වසර දක්වා සේවයේ නිරත විය. මේ කාලය තුළ ඔහු ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, කුවේට්, සුඩානය සහ මැදපෙරදිග රටවල විදෙස් වාර්තාකරු ලෙසද සේවය කර ඇත. පසුව ඔහු Arab News පුවත්පතේ 1999 සිට 2003 දක්වා නියෝජ්‍ය ප‍්‍රධාන කර්තෘවරයා වශයෙන් සේවයේ නියුක්ත විය.

කාටූන් කියැවීම - මාරයාගේ 'වීසා' එක  සාක්කුවට දාගෙන  පෑන අතට ගත්  කෂෝගි
1 . කෂෝගිව කෑලිවලට කැපුවත්
 ඝාතනය වසන් කිරීමට නොහැක.

කෂෝගි කටාර් රාජ්‍යයට එරෙහිව සෞදි අරාබි නායකත්වයේ සම්බාධක, සෞදි ලෙබනන් ආරවුල, සෞදි අරාබිය – කැනඩාව සමඟ රාජ්‍යතාන්ත‍්‍රික ආරවුල, විරුද්ධ මත හා මාධ්‍ය මත රාජ්‍ය මර්දනය, කාන්තාවන්ට රිය පැදවීමට ඉඩ දීම වැනි ඔටුන්න හිමි කුමරුගේ සමහර ප‍්‍රතිසංස්කරණවලට සහාය දැක්වීය. නමුත් 2015 දී බලවත්ම අරාබි කාන්තාවන් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත් වූ ‘ලූජේන් අල් හත්ලූල්’ සෞදි අරාබිය අත්අඩංගුවට ගැනීම කෂෝගි හෙළා දුටුවේය. වරක් B.B.C.‍ වෙත අදහස් දක්වමින් කෂෝගි පලස්තීන භූමිය තුළ වාඩිලාගෙන, ඊශ‍්‍රායලය ජනාවාස ගොඩනැඟිලි සෑදීම විවේචනය කළේය. අල් ජසීරා රූපවාහිනියේ දේශසීමා රහිත වැඩ සටහනකට සහභාගී වෙමින් කෂෝගි, සෞදි අරාබිය ඉරානයට මුහුණ දීමට වහාබ් ඉස්ලාමීය පුනර්ජීවන රාජ්‍යයක් ලෙස සිය නිවැරදි ආගමික අනන්‍යතාවය නැවත පිළිගත යුතු අතර, මුස්ලිම් වැනි දේශපාලන ඉස්ලාමය තුළ මුල් බැසගත් සංවිධාන සමඟ සන්ධාන ගොඩන`ගා ගත යුතු බව පෙන්වා දුන්නේය. සෞදි අරාබියට සහ මුස්ලිම් සහෝදරත්වයට මිත‍්‍රවිය නොහැකි නම් එය ලොකු වරදක් වනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. කෂෝගි යේමනයට එරෙහි සෞදි යුද්ධය විවේචනය කරමින් ලිපි ලිවීය. කෂෝගි 2018 අගෝස්තු මාසයේදී ඔටුන්න හිමි කුමරු මොහොමඞ් බින් සලමාන් විවේචනය කරමින් ද ලිපි ලිවීය. ඔහු ඊජිප්තුවේ ‘‘අබ්දෙල් ෆට්ටේ එල් සිසි’’ ගේ රජය විවේචනය කළේය.

1980 ගණන්වල සහ 1990 ගණන්වලදී කෂෝගි, ඇෆ්ගනිස්ථානයේදී ඔසාමාබින් ලාඩන් සමඟ සබඳතා පැවැත්වීය. මෙකල බින්ලාඩන් සෝවියට් දේශයට එරෙහිව ‘ජිහාඞ් සටනේ’ නායකත්වය දරමින් සිටියේය. ‘අල් අරාබියා පුවත්පත’ වාර්තා කළේ කෂෝගි වරක් බින් ලාඩන් හිංසනයෙන් ඉවත් වන ලෙසට ඒත්තු ගැන්වීමට උත්සාහගත් බවයි. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු ඔහු බින්ලාඩන්ගෙන් ඉවත් විය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විස්තර කළේ ඇමෙරිකානු සීල් භට කණ්ඩායම ඔසාමා බින්ලාඩන් ඝාතනය කිරීමෙන් පසුව 2011 දී කෂෝගි ඔහුගේ පැරණි හඳුනන මිතුරාට කුමක් වීද යන්න ගැන සොයමින් වැළපුන බවය. කෂෝගි ඔහුගේ ට්විටර් පණිවුඩයේ මෙසේ ලිවීය. ‘ටික වේලාවකට පෙර මම අහසින් බිමට වැටුණා. අබු අබ්දුල්ලා මම හදවතින්ම දුක්වෙනවා. (අබු අබ්දුල්ලා යනු බින් ලාඩන්ගේ අන්වර්ථ නාම යයි) ඔබ වෛරයට හා ආශාවට යටත්වීමට පෙර ඇෆ්ගනිස්තානයේ ඒ ලස්සන දවස්වල ඔබ ලස්සනට හා නිර්භීතව සිටියා.’

කාටූන් කියැවීම - මාරයාගේ 'වීසා' එක  සාක්කුවට දාගෙන  පෑන අතට ගත්  කෂෝගි
3 . කතාව අවසන් නැත

කෂෝගි 2003 දී සෞදි අරාබියේ අල් වතාන් හී ප‍්‍රධාන කර්තෘවරයා විය. මාස දෙකකට අඩු කාලයකදී සෞදි අරාබි ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් 2003 මැයි මාසයේදී ඔහුව සේවයෙන් පහ කරන ලද්දේ, වහාබ් වාදයේ වැදගත් චරිතයක් ලෙස සැලකෙන ඉස්ලාමීය විශාරදයෙකු වන ඉබ්නු ටයිමියියා (1263-1328) විවේචනය කිරීමට තීරු ලිපි රචකයෙකුට ඉඩදුන් බැවිනි. මෙම සිදුවීම ලිබරල් ප‍්‍රගතිශීලීයෙකු ලෙස බටහිර රටවල කෂෝගිගේ කීර්තියට හේතු විය. සේවයෙන් පහකිරීමෙන් පසු කෂෝගි ස්වෙච්ඡාවෙන් පිටුවහල් වී ලන්ඩනයට ගියේය. එහිදී ඔහු තුර්කියේ අල් ෆයිසාල් කුමරුගේ උපදේශකයෙකු විය. පසුව ඔහු අල් ෆයිසාල්ගේ මාධ්‍ය සහායකයෙකු වශයෙන් සේවය කළ අතර පසුව එක්සත් ජනපදයේ සෞදි අරාබියේ තානාපති බවටද පත්විය. 2007 අපේ‍්‍රල් මාසයේදී කෂෝගි දෙවන වරටත් ‘අල් වතාන්’ හි ප‍්‍රධාන කර්තෘවරයා ලෙස වැඩ කිරීමට පටන් ගත්තේය. 2010 මැයි 17 දින ඔහු ඉල්ලා අස්වූ බවට නිවේදනය කළත්, රාජධානියේ කටුක ඉස්ලාමීය රීති විවේචනය කරන ලිපි කෙරෙහි නිල අප‍්‍රසාදය හේතුවෙන් ඔහුව බලෙන් පහකළ බවට විශ්වාස කෙරේ.

2015 දී කෂෝගි බහරේනය පදනම් කරගත් අල් අරාබ් නම් චන්ද්‍රිකා ප‍්‍රවෘත්ති නාලිකාව ආරම්භ කළේය. සෞදි අරාබියෙන් පිටත ස්වාධීන ප‍්‍රවෘත්ති නාලිකාවලට තම දේශසීමා තුළ ක‍්‍රියාත්මක වීමට ඉඩ නොදේ. කෙසේ වෙතත් බහරේනය විසින් එය වසා දැමීමට පෙර එය පැය 11 කටත් අඩු කාලයක් විකාශනය කර තිබුණි. ඔහු සෞදි අරාබියේ M.B.C., B.B.C. සහ අල් ජසීරා සහ ඩුබායි ටී වී යන ජාත්‍යන්තර නාලිකාවල දේශපාලන විචාරකයෙකු විය. කෂෝගි 2017 ජුනි මස ඇමෙරිකාවේ පදිංචියට ගියේය. එහිදී වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ලිපි ලිව්වේය.

කෂෝගිගේ ට්විටර් අනුගාමිකයන් මිලියන දෙකකට ආසන්න විය. ඔහු අරාබි ලෝකයේ වඩාත්ම දේශපාලන දැනුම ඇත්තා විය. කෂෝගි බි‍්‍රතාන්‍ය, ඇමෙරිකානු රූපවාහිනී ජාලාවල නිතිපතා අමුත්තෙක් විය. 2018 දී ඔහු ‘අරාබි ලෝකය සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ නමින් නව දේශපාලන පක්‍ෂයක්ද ආරම්භ කළේය.

අරාබි ලෝකයට වඩාත්ම අවශ්‍ය වන්නේ නිදහස් ප‍්‍රකාශන යනුවෙන් ලිපි ලියූ ඔහු අරාබි වසන්තයේදී අරාබි ලෝකයේ මාධ්‍ය නිදහස පිළිබඳ බලාපොරොත්තු විස්තර කළේය. ජාතික රජයන්ගෙන් ස්වාධීනව අරාබි ලෝකයෙන් නිදහස් මාධ්‍යයක් බිහි වී දියුණු වනු ඇතැයි ඔහුගේ බලාපොරොත්තුව වූ අතර අරාබි ලෝකයේ සාමාන්‍ය ජනතාවට තම සමාජයට මුහුණ දෙන ව්‍යුහාත්මක ගැටලූ විසඳීමට හැකිවේ යැයි ඔහු එමගින් ප‍්‍රකාශ කර සිටියේය.

ඝාතනය

කාටූන් කියැවීම - මාරයාගේ 'වීසා' එක  සාක්කුවට දාගෙන  පෑන අතට ගත්  කෂෝගි
ජමාල් කෂෝගි

ජමාල් කෂෝගි 2018 ඔක්තෝබර් 2 වන දින තුර්කියේ ඉස්තාම්බුල් හි පිහිටි සෞදි අරාබියේ කොන්සල් කාර්යාලයට ගියේ ඔහුගේ නව විවාහයට සම්බන්ධ ලියකියවිලි වගයක් ලබාගැනීම සඳහාය. කාර්යාලයට ඇතුළු වූවත් ඔහු ඉන් පිටවගිය බවට C.C. TV කැමරාවල සටහන්ව තිබුණේ නැත. කොන්සල් කාර්යාලය තුළදී ඔහුව ඝාතනය කර ඇති බවට ප‍්‍රවෘත්ති වාර්තා පළවූ අතර ඔහු අතුරුදන් වූ පුද්ගලයකු බව ප‍්‍රකාශයට පත්විය. ඔහුගේ ඝාතනය පිළිබඳව විවිධ පුවත් ලෝකය පුරාම විසිර ගියේය. සෞදි අරාබි සහ තුර්කි නිලධාරීන් කොන්සල් කාර්යාලය ඔක්තෝබර් 15 වැනිදා පරීක්‍ෂා කළ අතර තුර්කි නිලධාරීන් විසින් සොයාගත්තේ කෂෝගි ඝාතනය කර ඇති බවය. රසායනික පරීක්‍ෂණ කළ නිලධාරීන් සාක්‍ෂි යටපත් කළ බවටද සාක්ෂි සොයා ගත්තේය. කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍ය වූ විසිදෙනෙකුට 2019 මාර්තු මාසයේදී ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කළේය. පරීක්‍ෂණවලින් පසුව 2019 ජුනි 19 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් කෂෝගිගේ මරණය සැලසුම් සහගතව නීති විරෝධී ලෙස මරා දමන ලද මරණයක් බවත් දඬුවම් කිරීම සඳහා සෞදි අරාබි රාජ්‍යය වගකිවයුතු බවට පිටු 101 කින් යුත් වාර්තාවක් නිකුත් කළේය. මෙය ප‍්‍රංශ මානව හිමිකම් විශේෂඥයකු හා එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු වන ඇග්නස් කැලමාර්ඞ් විසින් සකස් කර නිකුත් කළේය.

2019 ජුනි 20 වන දින C. N. N. රූපවාහිනී සේවයේ ක‍්‍රිස්ටිනා අමාන්පුර් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී සෞදි අරාබියේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ඇඩෙල් අල් ජුබීර් කියා සිටියේ ජමාල් කෂෝගි ඝාතනය ඉතා බිහිසුණු ක‍්‍රියාවක් බවට පිළිගත් නමුත් එක්සත් ජාතීන්ගේ 101 නිගමනය සමග තමා එකඟ නොවන බවය. එහි පිටු වාර්තා දෝෂ සහිත බවද ඔහු දන්වා සිටියේය.

සෞදි අරාබිය කිහිප වතාවක්ම තම කතාව වෙනස් කළේය. මුලදී මරණය ප‍්‍රතික්ෂේප කළ අතර කෂෝගි කොන්සල් කාර්යාලයෙන් පණපිටින් ඉවතට ගිය බව කියා සිටියේය. පසුව පැවසූවේ ගුටිබැට හුවාමරුවකදී කොන්සල් කාර්යාලය තුළදී කෂෝගි ගේ ගෙල සිරකර මරා දමා ඇති බවය. ඒ සඳහා යවන ලද පහළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ඇතුළු සෞදි ජාතිකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 2019 දෙසැම්බර් 23 දා සෞදි අරාබි අධිකරණය නිලධාරීන් පස් දෙනෙකුට මරණ දඬුවම නියම කළ අතර තවත් තිදෙනෙකුට වසර 24 ක සිර දඬුවම් නියම කළේය. 2020 මැයි 22 දින කෂෝගිගේ දරුවන් විසින් නිලධාරීන් පස් දෙනාට සමාව දුන් අතර එයින් අදහස් කරන්නේ ඔවුන්ට මරණ දඬුවම වෙනුවට නිදහස් කිරීම කර ඇති බවය. 2020 සැප්තැම්බර් 7 දින මෙම ඝාතනයට සම්බන්ධ අට දෙනෙකුට සිර දඬුවම් නියම කෙරිණි. එය වසර 7 සිට 20 දක්වා පරාසයක පැවතුනි.

කෂෝගිගේ මරණයෙන් පසු සෞදි අරාබියේ සලමාන් රජු විසින් සෞදි අරාබියේ බුද්ධි අංශ නියෝජ්‍ය සභාපති අහමඞ් අසිරි සහ රාජකීය අධිකරණ උපදේශක අල් – කහ්තානි යන දෙදෙනාම තනතුරුවලින් ඉවත් කළේය. ඝාතනය සිදු කිරීම සඳහා බුද්ධි අංශ කි‍්‍රයාකරුවෙකු වූ මහර් මුත්‍රෙබ් අධිකරණ වෛද්‍ය විශේෂඥ අල් – ටුබායිගි, සෞදි රාජකීය ආරක්‍ෂක සාමාජික ෆහාද් අල් – බලාවි සහ තවත් 15 දෙනෙක් සහභාගී වූ බවට වාර්තා විය.

තුර්කියේ ඉස්තාම්බුල්හි නඩු පැවරීමේදී අධි චෝදනා පදනම් වූයේ, සැකකරුවන්ගේ ජංගම දුරකථන වාර්තා, ඔවුන් තුර්කියට ඇතුළු වීම හා පිටවීම ගැන වාර්තා, කොන්සල් කාර්යාලයේ ඔවුන් සිටීම, සාක්කි කරුවන්ගේ ප‍්‍රකාශ සහ කෂෝගිගේ දුරකථනය ලැප්ටොප් සහ අයිපෑඞ් විශ්ලේෂණය කිරීම යන කරුණු මතය.

ඉස්තාන්බුල් ප‍්‍රධාන නීතිඥවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කෂෝගි කොන්සල් කාර්යාලයට ඇතුළු වු විගස බෙල්ල මිරිකා මරා දැමූ බවත් ඔහුගේ සිරුර කැබලිකොට බැහැර කළ බවත්ය. තුර්කි බලධාරීන් පැවසූවේ ඔහුගේ සිරුරේ කොටස් ඇසිඞ්වල දමා දියකර ඇති බවය. හඬ පටයක සඳහන් වූ ඔහුගේ අවසන් වදන් වාර්තා වුයේ ‘‘මට හුස්ම ගැනීමට නොහැකියි’’ යනුවෙනි. කෂෝගිගේ ඝාතනය පිළිබඳව තුර්කි උසාවියද 2020 ජුලි 3 දින නඩු විභාගයක් ආරම්භ කළ අතර එහිදී සෞදි ජාතිකයන් 20 දෙනෙකුට චෝදනා එල්ල විය.

කෂෝගි ඉස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලයෙන් අතුරුදන්වී මාසයකට පසුව ලන්ඩනයේ ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය ලන්ඩන් සෞදි අරාබි තානාපති කාර්යාලය ඉදිරිපිට වීදිය ‘කෂෝගි වීදිය’ ලෙස නම් කර තානාපති කාර්යාලය ඉදිරිපිට නාම පුවරුවක් සවි කළේය.

වොෂින්ටන් ඞී. සී. හි සෞදි තානාපති කාර්යාලය පිහිටි ෆෝගී බොටම් වීදිය ‘ජමාල් කෂෝගි මාවත’ ලෙස නම් කිරීමට පෙත්සමක් අත්සන් කළේය. 2018 දෙසැම්බරයේදී ටයිම් සඟරාව වසරේ පුද්ගලයා ලෙස ජමාල් කෂෝගිව නම් කළේය.

ගවේෂණාත්මක පුවත්පත් කලාව සඳහා ඇමෙරිකන් ඩොලර් 5000 බැගින් වූ ත්‍යාග පහක් පිරිනැමෙන ‘ධර්මිෂ්ඨ මාධ්‍යවේදීන්’සඳහා වූ ත්‍යාගය ජමාල් කෂෝගි නමින් පිහිටු වන ලදී. කෂෝගිගේ මරණයේ දෙවන සංවත්සරය නිමිත්තෙන් 2020 ඔක්තෝබර් 2 වන දින Kingdom of silence නම් වාර්තා චිත‍්‍රපටය එක්සත් රාජධානියේදී තිරගත කරන ලදී.

2020 දී, කෂෝගිගේ ඝාතනය සහ සෞදි ඔටුන්න හිමිකුමරු මොහොමඞ් බින් සලමාන් විසින් ඉටු කරන ලද කාර්ය භාරය පිළිබඳ වාර්තාමය චිත‍්‍රපටය වන The Dissident නිපදවන ලද්දේ ඔස්කාර් සම්මාන ලාභී චිත‍්‍රපට අධ්‍යක්‍ෂක සහ නිෂ්පාදක බ‍්‍රයන් ෆොගල් විසිනි.

ජමාල් කෂෝගි විවාහ වී අවම වශයෙන් තුන්වතාවක් දික්කසාද වූ බවට වාර්තා වූවත් මෙම විවාහයන් කොහේද කුමන කාලයේද පිළිබඳව ඇත්තේ පරස් පර විරෝධී තොරතුරුය. ඔහුගේ පළමු බිරිඳ රාවියා අල් ටුනිසි සමඟ ඔවුනට දරුවන් සිව් දෙනෙකි. පුතුන් වනුයේ සලා සහ අබ්දුල්ලා දියණියන් නෝහා සහ රසාන්ය. කෂෝගි පසුව ආචාර්ය ආලා නසීෆ් සමඟ විවාහ වී සිටියේය. 2018 දී කෂෝගි හනාන් ආතර් නම් ඊජිප්තු කාන්තාවක් සමගද විවාහ විය. ඒ රහසිගත උත්සවයකදීය. විවාහ බලපත‍්‍රයක් ලබාගෙන ද නැත. මිය යන විට කෂෝගි ඉස්තාන්බුල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්‍ෂකාවක් වූ 36 හැවිරිදි ‘හැටිස් සෙංගිස්’ සමඟ විවාහ වීමට සැලසුම් කර තිබුණි. සෞදි ජාතිකයෙකු වන කෂෝගි 2018 ඔක්තෝබර් 2 දා තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගියේ සෙංගිස් සමග විවාහ වීමට අවසර දෙන ලිපිලේඛන ලබා ගැනීමටය. එහිදී ඔහුට ලැබුණේ මරණයයි.

  1. ඉරාන ජාතික කාටුන් ශිල්පී වහීඞ් ජෆාරි (Vahid Jafari) ගේ මේ කාටුනය මගින් පෙන්වාදී ඇත්තේ ජමාල් කෂෝගි ගේ ඝාතනයයි. ඝාතකයින් කෂෝගිව මරා දමා කෑලිවලට කපා දැමූ බවට වාර්තා වීම කාටුන් ශිල්පියා තම කාටුනයෙන් පෙන්වා දෙයි. කුස්සියේ එළවළු මාළු මස් ආදිය කපන ලෑල්ලක උඩු අතට තබා ඇත්තේ කෂෝගිය. අරක්කැමියා තියුණු පිහියක් ගෙන කෂෝගිව තීරු තීරු වලට කපයි. ඒ කපන සෑම කෑල්ලක්ම පුවත්පත් වාර්තා පිටුවක් බවට පත් වී ඇත. කෂෝගි තවමත් ජීවත් වෙමින් සිට එම පුවත්පත් පිටු සුළඟේ පාවී යෑමට ජීවිත හුස්ම කටින් පිඹිමින් සිටින ආකාරය පෙන්වා දී ඇත. මෙම කාටුන් ශිල්පියා පෙන්වා දෙන්නේ කෂෝගිගේ ඇෙ`ග් කපන ලද සෑම කෑල්ලක්ම පුවත්පත් වාර්තා බවට පත් වී ලොව පුරා ඝාතන පුවතක් හෙළි කරමින් විසිර ගිය බවයි.
  2. මොරොක්කෝවේ කාටුන් ශිල්පී නාජි බෙනාජි (Naji Benaji) විසින් නිර්මාණ කරන ලද කාටුනයේ දැක්වෙන්නේ යම්කිසි ස්ථානයක (මෙය කතාව අනුව තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලය විය හැකිය) පිහිටි දොරක් ඇරගෙන ඇතුළට එන ජමාල් කෂෝගිව පෙන්වා දී ඇත. විවර වූ දොර මත ගිජු ළිහිණියන් තිදෙනෙක් බලාසිටී. දොර දිගට උඩ සිට පහළට ලේ පැල්ලම් කිහිපයක් ගලාගොස් ඇත. කාටුන් ශිල්පීන් විසින් බොහෝ විට මරණය හෝ මරණයකින් පසු සිද්ධීන් සංකේතවත් කරන්නේ ගිජු ළිහිණියන් මතිනි. ඒ ගිජු ළිහිණියන් මියගිය සත්ත්වයින්ගේ මස් කෑමට ප‍්‍රියමනාපයන් දක්වන බැවිනි. මේ ගිජු ළිහිණියන් කෂෝගි පැමිණෙන විට ඉතා සෙවිල්ලෙන් බලා සිටී. ඒ බැල්ම එතරම් සුවදායක නැත. මේ කාටුනයෙන් පෙන්වා දී ඇත්තේ කෂෝගි මරණය කරා ගමන් ගන්නා බව නොවේද?
  3. ටොම් ටෝල්ස් (Tom Toles) ගේ කාටුනයේ හිස් කොලයක් මත අකුරු ලිවීමට සූදානම් කර ජමාල් කෂෝගිගේ නම යොදා ඇති පෑනක් පෙන්වාදී ඇත. කාටුනයේ දකුණු පස පහතින් එය වඩා විශාල දෙයක කොටසකි. (IT is A Part Of something Much Larger) යනුවෙන් ලියා ඇත. මෙයින් කෂෝගි ඝාතනය එක් විශාල කරුණක කොටසක් බව කියයි. කාටුනයේ මෙම කතාව අවසන් නැත. (This story is Not Finished) යනුවෙන්ද සඳහන් කර ඇත. කාටුනයේ ඇති හිස් කඩදාසියේ ලිවීමට බොහෝ දේ ඇත. එහෙත් එය ලිවීමට කෂෝගි නැත. ඒ අතර මේ කතාවද තවම අවසන් නැත. එය විශාල කරුණක කොටසකි. මෙහි අවසානයක් දැකීමටද හැකි නොවනු ඇත. ඒ කාටුන් ශිල්පියාගේ අදහසයි.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment