කාන්තාරය මෙල්ල කළ මිනිසා

15

මේ 1980 කාලයේ බටහිර අප්‍රිකාවේ සහෙල් කලාපයේ සහරා කාන්තාර මායිම. රට බුර්කිනා ෆාසෝ (Burkina Faso). කලාපයට බලපෑ දැඩි නියඟය කෘෂි අස්වැන්න විනාශ කර දැම්මා. සාගතයෙන් මිනිසුන් මිය යමින් තිබුණා. බොහෝ දෙනෙක් ගම්බද ප්‍රදේශ හැර ගොස් නගරවල ආදායම් මාර්ග සොයා ගියා. නමුත් නගරයේ අධ්‍යාපනය ලැබූ එක් මිනිසෙක් තෝරාගත්තේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවයි. ඔහු නගරයෙන් ආපසු ඔහුගේ ගමට ගොස්, අර්බුදයට විසඳුමක් සෙවීමට අධිෂ්ඨාන කර ගත්තා. ඔහු තමයි අපේ අද කතානායක යකූබා සවඩෝගෝ (Yacouba Sawadogo).

ඔහු ගොවියන් නිසරුයි කියා අතහැර දැමූ මුඩු බිමක හෙක්ටයාර් 40 කට ආසන්න වනාන්තරයක් සාර්ථකව නිර්මාණය කළා. කොහොමද එහෙම කළේ? යකූබාගේ විශිෂ්ට සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ දේශීය භාෂාවෙන් “Zaï” ලෙස හඳුන්වන පස, ජලය සහ ජෛව ස්කන්ධ රඳවා තබා ගැනීම සඳහා සාම්ප්‍රදායික රෝපණ වළවල් අත්හදා බැලීමේ ක්‍රමවේදය මත යි. ඔහු වසර ගණනාවක් පුරා තාක්ෂණික නවෝත්පාදනය, බෝග අස්වැන්න වැඩි කිරීම සහ සාර්ථකව ගස් සිටුවීම දිගටම කරගෙන ගියේ ප්‍රදේශවාසීන් ඔහු පිස්සෙක් ලෙස සලකමින් සිටියදී. එපමණක් නොවෙයි තවත් අය ඔහු අසීරුවෙන් රෝපණය කරන ලද වනාන්තරය ගිනි තබන්නට තරම් මුග්ධ වුණා. නමුත් ඔහු ඒ සියල්ල දරාගනිමින් නොනවත්වාම තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කළා. ඔහුගේ අරමුණ වුණේ, මේ ක්‍රමවේදය හරහා පස නැවත සශ්‍රීකත්වයට පත්කරමින් ගොවියන්ට වගා කරන්නත්, සතා සීපාවන්ට නැවත ජීවත් වීම සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීමයි. ඔහු තමන්ගේ අරමුණ අත්හැරීමට සිතුවේ නැහැ. කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් ඔහුගේ වැඩ අගය කිරීමට පටන් ගත්තා.

අද වන විට එහි ගස් හා පඳුරු විශේෂ 60 කට වඩා තිබෙනවා. අතිශය ශුෂ්ක සහෙල් හි ගොවියකු විසින් වගා කරන ලද සහ කළමනාකරණය කරන ලද වඩාත් විවිධත්වයෙන් යුතු වනාන්තරයක් ලෙස එය ලෝකයම පිළිගන්නවා. එනිසයි ඔහු “කාන්තාරය නැවැත්වූ මිනිසා” ලෙස හැඳින්වෙන්නේ.

යකූබා මෙම ආශ්චර්යය කිරීම සදහා පිළිවෙත් මාලාවක් සංවර්ධනය කළා. ඒවා ප්‍රධාන යෙදීම් තුනක් ලෙස හඳුනාගන්න පුළුවන්. පළමු යෙදීම, සිටුවීම: නියමිත කාල පරාසයන් තුළ Zaï වළවල් හාරා, බීජ සහ පැළ සිටුවීමට පෙර කාබනික පොහොර හෝ කොම්පෝස්ට් සමග සිදුරු පිරවීම කරා. ඊට පස්සේ බයෝබැබ් වගේ කාෂ්ටීය ශාක සමග මෙනේරි සහ බඩ ඉරිඟු වගා කළා. දෙවැනි යෙදීම පාංශු හා ජල සංරක්ෂණය: වර්ෂාවේදී ගලා යන ජලය මන්දගාමී කිරීම සඳහා ගල් බැමි ඉදිකළා. මෙනිසා පසට වැඩි ජලය අවශෝෂණය කර ගැනීමට සහ පෝෂ්‍ය පදාර්ථ රඳවා ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම ජලය ගබඩා කිරීම සඳහා ඔහුගේ වනාන්තරයේ කුඩා වේලි ඉදිකිරීමක් ඔහු කළා. ඒ වගේම සතුන් සම්බන්ධයෙන් ද ඔහු තම අවධානය යොමු කළා. මොකද ඔහු කළෙත් සොබාදහම අනුගමනය කිරීමයි. ඔහු සතුන්ට සෙවණ සැදුවා, කුරුල්ලන් සඳහා ගස්වල වතුර භාජන තැබුවා, සතුන් සඳහා බිම ජල භාජන තැබුවා. කුරුල්ලන් සහ සතුන් වෙනත් ස්ථානවලින් බීජ ගෙනෙන බව ඔහු දැන සිටියා. මී පැණි නිෂ්පාදනය සඳහා මී මැස්සන් තබා ගැනීම කෘෂිකර්මය සඳහා පරාගණයේ අරමුණ ඉටුකරා. මුඩු ඉඩම් වනාන්තරයක් කිරීම සහ දේශීය දැනුම නව්‍ය ලෙස භාවිත කරමින් ගොවීන්ට තම පස පුනරුත්ථාපනය කළ හැකි ආකාරය නිරූපණය කිරීම සිදු වුණේ ඒ ආකාරයෙන්.

පසුව යකූබා ඔහුගේ දැනුම සහ අත්දැකීම් බෙදාගැනීම සඳහා ඔහුගේ ඉඩමෙහි ”Zaï markets” සංවිධානය කිරීමට පටන් ගත්තා. මේවා කුඩා සිදුවීම් ලෙස ආරම්භ වූ නමුත් ක්‍රමානුකූලව වර්ධනය වූ නිසා සෑම වෙළඳපළ දිනකම ගම්මාන 100 කට වඩා වැඩි නියෝජිත පිරිසක් මේවාට සහභාගි වුණා. මෙම උත්සව වසරකට දෙවතාවක් සංවිධානය කරන්න වුණේ එන්න එන්නම ඒ වෙත මිනිස්සු ආකර්ෂණය වීම නිසයි. බීජවල වැදගත්කම අවබෝධ කරගත් ඔහු ප්‍රාදේශීය ගොවීන්ගේ බීජ එකතුකර ගනිමින් බීජ බැංකුවක් නිර්මාණය කළා.

මේ ඉගැනුම් සැසිවලින් පසුව ඔහුගේ ක්‍රමවේදයන්ගේ සාර්ථකත්වය බුර්කිනා ෆාසෝ සහ විදේශයන්හි පවා පැතිර ගියා. බොහෝ දෙනෙක් ඔහු සොයාගෙන ආවා. ඒ අමුත්තන් අතර ගොවීන්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ මාධ්‍යවේදීන් ද සිටියා.

“මෙම ව්‍යාපෘතිය අනාගත පරපුර සඳහා ය. මට අද කන්න ඕන නෑ අනාගත පරම්පරාවට කන්න දෙයක් නැතුව. මම කරන්නේ ධනය සඳහා බීජ නිර්මාණය කිරීමයි. ඒක මගේ රට වන බුර්කිනා ෆාසෝ (Burkina Faso) සඳහා පමණක් නොවෙයි. ඒක තවත් බොහෝ රටවලට අවශ්‍යයි.” යකූබා කිව්වා.

යකූබා හඳුන්වාදුන් ක්‍රමවේදය අද වනවිට කාන්තාරීකරණයට එරෙහිව පමණක් නොව දිළිඳුකම, සාගින්න, දේශගුණ විපර්යාසවලට එරෙහිව ද නැගී සිටිනවා.

2010 දී, යකූබාගේ ජයග්‍රහණ සහ ඔහුගේ අසාමාන්‍ය ජීවිත කතාව ‘The Man Who Stopped the Desert’ නම් වාර්තා චිත්‍රපටයක මාතෘකාව බවට පත් වුණා, එය ඔබට අන්තර්ජාලයෙන් නැරඹිය හැකියි. 2013 දී, කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCCD) ඔහුට ගෞරව කළා. ඔහුගේ කෘති පිළිබඳ ලිපි The Scientific American (USA), The Nation (USA), Die Zeit (Germany) මෙන්ම National Geographic හි ද පළ කර තිබෙනවා. දකුණු කොරියාවේ (2011) සහ නැමීබියාවේ (2013) කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සමුළුවට ඔහුට ද ආරාධනා ලැබුණා. එමෙන්ම 2018 වසරේ දී Right Livelihood Award සම්මානයත් 2020 වසරේ දී , Champions of the Earth සම්මානයත් ඔහුට පිරිනැමුණා.

මිහිකත සුවපත් කළ මේ විශිෂ්ට මිනිසා 2023 වසරේ දී මියයනවා. නමුත් සහරා කාන්තාර මායිමට මුහුණලා ඔහුගේ වනාන්තරය කාන්තාරීකරණයට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටින්නේ ඔහු පුහුණු කළ සොල්දාදුවන් දහස් ගණනක් ද සමගයි.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රුහුණ විශ්වවිද්‍යාලය


advertistmentadvertistment