කාන්තාවන් දහසක් සෝවාන් ඵලයට පත්කළ නන්දන උයනේ මිහිඳු දේශනාව

239

රැළපනාවේ ධම්මජෝති නාහිමි
අනුරාධපුර ලංකාරාමාධිකාරි,
උතුරුමධ්‍යම දිසාවේ
ප‍්‍රධාන අධිකරණ සංඝනායක,
  

පොසොන් පොහෝ දිනක මිහිඳු මාහිමි දේශනා කළ බාල පණ්ඩිත සුත‍්‍රය

තීණි මානි භික්ඛවේ බාලස්ස බාල්ලක්ඛණාහි
බාල නිමිත්තානි බලාපදානානි කතමානි තීණි
ඉධ ශික්ඛවේ බාලෝ දුච්චින්තිකචින්තියෝති
දුබ්බාසිතහාසි අක්කත කම්මකාරි


මේ බාලපණ්ඩිත සුත‍්‍රයේ සඳහන් පාඨයකි. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ‍්‍රී ලංකද්වීපයට වැඩමකරවනු ලබන්නේ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වශයෙනි. උන්වහන්සේ මෙරටට රැගෙනඑනු ලබන්නේ ත‍්‍රිපිටකයයි. ත‍්‍රිපිටකයෙහි අන්තර්ගත තථාගත ධර්මයයි. එනම් දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී, දස උපපරමත්ථ පාරමී ආදී වූ සමතිස් පෙරුම්පුරා අනන්ත කැපවීම් කර තථාගතයන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයයි.

කාලාන්තරයක් මුළුල්ලේ පැළපැදියන් වී තිබුණු මේ ක‍්‍රමවේදයන්ගෙන් රටවැසියා අත්මුදා යහපතට එක්වර නැඹුරු කරගැනීම අපහසු කාර්යයකි. මේ සඳහා පිළිගත හැකි බුද්ධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය ය. මේ නිසා මිහිඳු මිහියෝ ගත-සිත-නිවන ත‍්‍රිවර්ග සම්පත් ලබාදීමට ශක්තියක් ඇති තුනුරුවන් පිළිබඳ වැටහීමක් ලබාදීම සඳහා මුලින්ම කටයුතු කළ හ. දෙවනපෑතිස් රජතුමා ඇතුළු පිරිසට පළමුව දහම් දෙසන්නට චුල්ල හත්ථීපදෝපම සූත‍්‍රය තෝරාගන්නේ එම අදහසිනි.

මින්පසු සමචිත්තපරියාය සුත‍්‍රය, පේතවත්ථු, විමානවත්ථු, සච්ච සංයුක්තය, දේවදූත සූත‍්‍රය, බාල පණ්ඩිත සූත‍්‍රය, අග්ගික්ඛන්දෝපම සූත‍්‍රය, ආවිසෝපම සුත‍්‍රය, අනවතග්ගික සංයුක්තය, ඛජ්ජනිය සූත‍්‍රය, ගොමයපිණ්ඩික සූත‍්‍රය, ධම්ම චක්කප්පවත්තන සුත‍්‍රය ආදී සූත‍්‍ර ගණනාවක්ම දේශනා කෙරුණේ අද වැනි පුර පසළොස්වක පොහෝ දාක ය. මේ අතරින් බාලපණ්ඩිත සුත‍්‍රයේ තොරතුරු රැසක් පුද්ගලයාගේ සමාජයීය ජීවිතය සඳහා වැදගත්වේ.

මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුගේ ආරාධනයෙන් මිහින්තලේ සිට අනුරාධපුරයට වැඩම කළහ. රජතුමා උන්වහන්සේට තාවකාලිකව වැඩසිටීමට මැටි ගා කුටියක් කරදුන් බව වංශකථා සඳහන් කරයි. එහි වැඩසිටීම අවිවේකී බැවින් ජනශුණ්‍ය වු නන්දන උයන ටික දිනකට තෝරාගෙන ඇත. නන්දන උයන පිහිටියේ නුවරට දකුණු දෙසිනි. උන්වහන්සේ බාලපණ්ඩිත සුත‍්‍රය දේශනා කළේ එහි දී ය. එම ධර්මශ‍්‍රවණය සඳහා පැමිණි බොහෝ පිරිස අතුරින් කාන්තාවන් දහසක් මෙම සූත‍්‍ර දේශනාව ශ‍්‍රවණයකොට සෝවාන් ඵලයට පත්වූ බව සඳහන්වේ.

ඉහත සඳහන් පාඨය සඳහන්වන්නේ බාලපණ්ඩිත සූත‍්‍රයෙහි ය. එයින් බාලයා නොහොත් අනුවණ පුද්ගලයා ගැන කරුණු දක්වයි. බාලයාගෙන් සමාජයට අනර්ථයක් මිස යහපතක් සිදු නොවේ. එහෙයින් මෙම සුත‍්‍රය ඇසුරින් මෝඩ පුද්ගලයන් හඳුනාගැනීම වැදගත්වේ.

බාලයා තුළ ඇති ප‍්‍රධාන ලක්ෂණ තුනක් මෙම සූත‍්‍රයේ දැක්වේ. පළමුවැන්න නම් අභිධ්‍යාවෙන්, ව්‍යාපාදයෙන්, මිථ්‍යා දර්ශනයෙන්, වැරදි පිළිගැනීමෙන්, වැරදි විශ්වාසයන්ගෙන් බාලයාගේ සිත දූෂිත ය. එය ඔහුව හඳුනාගැනීමේ මූලික ලක්ෂණයයි.

දෙවැන්න, බාලයාගේ කතා ද දූෂිත ය. බොරු කීම ,කේළාම් කීම, පරුෂ වචන කතාකිරීම, දෙලොවටම නැති හිස් වචන කතාකිරීම ඔහු තුළ පවතී.

බාලයා ප‍්‍රාණඝාතය සිදු කරයි. සොරකම් කරයි. කාමමිථ්‍යාචාරයේ යෙදෙයි. කයින් කෙරෙන මේ වැරදි ඔහු තුළ විද්‍යමානවීම තෙවැනි ලක්ෂණයයි.

මේ ක‍්‍රියාකාරකම් ඇති පුද්ගලයා ත‍්‍රිවිධාකාර දුකට ද මෙලොවදී ම පත්වේ. බාලයා සභාවක, වීදියක, හන්දියක, සිටින විට එතැන සිටින වෙනත් අය කායික, වාචසික, මානසික දුෂ්චරිත ගැන කතා කරති. වෛර කිරීමේ ආදීනව ගැනත් කතාකරති. මෙලොව පරලොව ආදීනව ගැනත් කතාකරති. ඒ ඒ ස්ථානවල එබඳු අය කරන මේ කතාබහ අසා සිටින මේ බාලයාට විශාල දුකක් දැනෙන්නට පටන්ගනී. ඒ අනුව ඔහු තව තවත් සිතන්නේ මේ කතාකරන පාපක‍්‍රියා එකක් දෙකක් හෝ පහම මා විසින් කර තිබේ යනුවෙන් ය. ඒ අනුව ඔහු මෙලොවදීම තවත් දුකට පත්වේ. එය ඔහු දුක්වන පළමු අවස්ථාව ය.

දෙවන අවස්ථාව නම් සොරකම් කර රජුට හසුවූ තවත් බාලයකු මේ බාලයාට දක්නට ලැබිම ය. රාජ නීතිය යටතේ ඇති කසයෙන් තැළීම, වේවැල්වලින් තැළීම, දඬු පතුරකින් තැළීම, අත් පා කැපීම, කන් නාස් කැපීම, රත්කළ ගලක් හෝ යකඩ ගුලියක් දමා මොළය පිළිස්සීම වැනි දෙතිස් වදයෙන් ඔහුට දඬුවම් කරන විට තමාට ද, රජුට අසූවු විට එම වද විඳින්නට වන බව අවබෝධ වීමෙන් ඔහු තැවෙයි.

බාලයා ඇඳක, පුටුවක හෝ බිම වාඩිවී සිටි විට පෙර කළ පාපකර්ම සිහිවීමෙන් ඔහුට දැනෙන්නේ තම හිසට උඩින් ඇති වැටෙන්නට ආසන්න පර්වතයක් එල්ලා තිබෙන්නාක් මෙනි. මේලොව දී ඔහු තැවෙන තුන්වන අවස්ථාව එයයි.

බාලයා මරණින් මතු සැප නැති නපුරු උපතක් ඇති නිරයෙහි උපදී. එහි හොඳක් ඇත්තේ ම නැත.

බාලයා මෙලෙස හඳුනාගෙන කටයුතු කළ යුතුවා සේම පණ්ඩිතයා හඳුනාගැනීමේ ආකාරය ද දෙසුමට ඇතුළත් ය. ඒ සඳහා ද ලක්ෂණ තුනකි. නෛෂ්ක‍්‍රම්‍ය, අව්‍යාපාද, අවිහංසා යන සහපත් සිතිවිලි අනුව පණ්ඩිතයා කටයුතු කරයි. මුසාවාද, පිසුනාවාච, පරුෂාවාච, සම්පප‍්‍රලාප වලින් තොරව ඔහු වචන කියන්නෙකි. ප‍්‍රාණඝාත, අදත්තාදාන, කාම මිථ්‍යාචාර යන කරුණුවලින් තොරව කය සංවර කරගත්තෙක් වෙයි. සරලව කියතොත් කය, සිත, වචනය හසුරුවා ගනිමින් ක‍්‍රියාකරන්නා පණ්ඩිතයා හෙවත් සත්පුරුෂයා වෙයි. පණ්ඩිතයා මෙලොව සතුටට පත්වන අවස්ථා තුනකි. බෙහෙවින් ජනයා රැස්වන සභාවක්, වීදියක් වැනි තැනක සිටින ජනයා කුශල කර්ම ගැනත් එනිසා ලැබෙන විපාක ගැනත් සතුටු සිතින් කතාකරන විට ඒ අසා සිටින පණ්ඩිතයා මේ කියන ගුණාංග මා සතුව අතැයි සිතා වන සතුටුවීම පළමුවැන්නයි.

දෙවැන්න, රජු සොරකු අල්ලා ඉහත ආකාරයෙන් දෙතිස් වද දෙනවිට දකින පණ්ඩිතයා මා පාපකර්ම කර නොමැති බැවින් මා එම පාප කර්මයෙන් මිදුණේයි සිතා සතුටු වෙයි. පණ්ඩිත පුද්ගලයා, ඇඳක, පුටුවක හෝ බිම වාඩිවී සිටි විට ඔහු තිදොර හික්මවා කරනු ලැබූවා වූ කුශල කර්මයන් සිහිවී සතුටට පත්වෙයි. එය කෙසේ ද කිවහොත් පර්වතයක සෙවනැලි සවස් කාලයේ මහ පොළොවේ පැතිර තිබෙන්නා වැනි ය. ඒ තෙවැනි සතුට ය. නුවණැත්තා මෙසේ කුසල්කොට දෙලොවම ඉපිද ඉන් චුතව මිනිස් බවක් ලැබුවහොත් ක්ෂත‍්‍රීය මහාසාර කුලයක හෝ බ‍්‍රාහ්මණ කුලයක ගෘහපති හෝ මහාසාර කුලයක උපදියි. රන් රිදී මුතු මැණික් වස්තූන් ලබයි. දැකුම්කලූ රූප සොබාවෙන් යුක්ත වෙයි. යාන-වාහන, ආහාර-පාන වස්ත‍්‍ර, සුවඳවිලවුන්, ආවාස ආදිය ලබයි.

තිදොරින් සුචරිතයෙහි හැසිරී දාන ශීලාදී පුණ්‍යකර්ම කරයි. මරණින්මතු රූපාදී පංචකාම සම්පත්තියෙන් අග‍්‍ර ස්වර්ගය නම් වූ දිව්‍යලෝකයේ උපදින්නේ ය.

මෙම සූත‍්‍රයට අනුව බාලයා හා පණ්ඩිතයා අවබෝධ කරගෙන බාලයන් හා එක්නොවී පණ්ඩිතයන් හා එක්වන ලෙසත් පණ්ඩිත ඇසුර සැපතක් බවත් දක්වා තිබේ.

සමාජය දුසිරිතෙන් ගැලි ඇති යුගයක කල්‍යාණ මිත‍්‍රයන් හඳුනාගෙන ජීවිතය ගොඩන`ගාගැනීමට මිහිඳු මාහිමියන් දෙසූ මේ තථාගත දහම අවබෝධ කරගැනීමට මේ උතුම් පොහොය ඔබ සැමට නිමිත්තක් වේවා!

advertistmentadvertistment
advertistmentadvertistment