කාන්තා විමුක්තිය උදා වූ බිනර පොහොය

293

අතීතයේ සිට ඉන්දියාවේ කාන්තාවන්ට හිමි වූයේ ඉතා පහත් තැනකි. බ‍්‍රාහ්මන සමාජය තුළ පවුලකට ගැහැනු දරුවෙකු ඉපදීම සාපයක් කොට සැලකුවේය. එම දරුවාට ශිල්ප ශාස්ත‍්‍ර අධ්‍යාපනයක් ලබා නොදීමට වග බලා ගත්තේය. යම් කාන්තාවක් විවාහ නොවී ගෙදරම විසුයේ නම් එම පවුලට එය නින්දාවක් විය. තමාගේ ස්වාමියා මිය ගියහොත් ඇයට සිදු වූයේ ඇයගේ පුතණුවන් යටතේ ජීවත් වීමටය. පුතණුවෙකු නැතිනම් තම පියාගේ යටතට පත් වීමට සිදු විය. තම පියා මිය ගියහොත් ඔහුගේ අවසන් කටයුතු කිරීමට දියණියට අයිතියක්ද තිබුණේ නැත. මේ ආදී වශයෙන් බලන විට ගැහැනිය යනු ඉන්දියා සමාජයේ කිසිම වැදගත්කමක් නොමැති අගයක් නොවන දාසියකට හා සමාන තත්ත්වයක් හිමි ජීවිතයක් විය.

මෙම තත්ත්වය පුපුරා ගොස් කාන්තාව සමාජයේ වැදගත්කමක් ඇති ශ්‍රේෂ්ඨ උත්තමාවක් ලෙස සැලකීම ආරම්භ වූයේ බුදුපියාණන් ලොව පහල වීමත් සමගය. දවසක් බුදු පියාණන් හමුවට පැමිණෙන කොසොල් මහ රජතුමා බුදුපියාණන්ට රහසෙන් පවසන්නේ තමාගේ මල්ලිකා දේවිය දියණියක් වැදූ බවයි. එසේ පවසා ශෝකී සුවයෙන් බුදුන්වහන්සේ දෙස බලා සිටින කොසොල් රජතුමාට බුදුපියාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

”මහරජ බොහෝ ස්ත‍්‍රීන් ශ්‍රේෂ්ඨය, ඔවුන් හොඳට පෝෂණය කළ යුතුය. එසේ හැදෙන වැඩෙන ස්ත‍්‍රිය යම් මතු දිනයක පුතෙකු උපද්දවයිද ඔහු ඉතා දක්ෂයෙක් වේ. එසේ උපදින දරුවා යම් රටක රජ වේ” යැයි කොසොල් රජුට දෙසූ ධර්මය කෝසල සංයුක්තයේ මනාකොට දැක්වේ.

බුදුරජාණන් වහන්සේ මුළු දඹදිවේම කාන්තා විමුක්ති දායකයාණෝ විය. එදා දඹදිවට අයත් වූ අතීත ගන්ධාර දේශය අද හැඳින්වෙන්නේ ඇෆ්ගනිස්තානය ලෙසයි. අදද එම දේශයේ කාන්තාවන්ට ඇති ඉරණම අතීත දඹදිව ජන සමාජය තුළ තිබුණු තත්ත්වයටම සමාන බව පෙනී යයි. කාන්තා විමුක්තිය උදා කළ බිනර පුන් පොහෝ දිනය අනුස්මරණය කරන මෙම සමයේ එම ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් අතුරෙන් බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඉඩ නොදීමට වර්තමාන තලෙයිබාන් පාලකයෝ තීරණය කර ඇත. එමෙන්ම රැුකී රක්ෂා කිරීමට අවසර නොලැබෙන අතර, තනියම නිවසෙන් පිට වීමට නොහැකි වන ලෙසද තහනම් නීති පනවා ඇත.

බුර්කාව නොපැලඳ සිටිනවා නම් වෙඩි කෑමට සිදු වන බවට අවධාරණය කර ඇත. මේ ආදී දහසක් වද බන්ධනයට ලක්ව තිබෙන්නේ ආගමික අන්තවාදයේ විකෘති වූ පාලක පිරිසක් බිහි වීම නිසාය.

දඹදිව ආක‍්‍රමණය කළ අතීත මුසල්මානුවෝ දඹදිව බොහෝ ප‍්‍රදේශ යටත් කරගෙන එම රාජ්‍ය වල සිටි සියලූම දෙනා මුස්ලිම් ජාතිකයන් කර ඉස්ලාම් භක්තිකයන් බවට පත් කළේ දරුණුතම ප‍්‍රහාර හා භීෂණයන් වපුරවමිනි. අද තලෙයිබාන් වරුන් වශයෙන් පෙනී සිටින මුසල්මානුවන්ගේ අතීත පරම්පරා පිළිබඳව සොයාගෙන ගියහොත් ඒ සියලූ දෙනාම ආදි කාලයේ ගන්ධාරයේ සිටි බෞද්ධයන්ගෙන් පැවත එන්නන් මිස වෙනත් ජාතික පිරිසක් නොවන බව වටහා ගත හැක.

මෙවන් සමාජ තත්ත්වයක් තිබූ අතීත ඉන්දියාවේ පහළ වූ බුදුපියාණන් වහන්සේ පුරුෂ පක්ෂයට තිබූ හිතුවක්කාර ඒකාධිපති බලතල වලින් භාරතීය වනිතා පරපුර බේරාගැනීම සිදු කළ මෙහෙය අති උදාරය. බුද්ධත්වයට පත් වූ සිදුහත් කුමරාගේ මව වූ මහා මායා දේවිය සිදුහත් කුමරු උපත ලබා සත් දිනකින් පරලෝ සැපත් වූ හෙයින් මෙම දරුවාගේ දෙවන මව වූයේ මහා මායා දේවියගේ සොහොයුරිය වූ ප‍්‍රජාපතී දේවියයි. තම පුත්රුවණ ලෙස සිදුහත් කුමරු බලා ගනිමින්

රැුකවරණය දුන්නේ ප‍්‍රජාපති දේවියයි. ප‍්‍රජාපතී දේවිය සිදුහත් කුමරු ගිහිගෙය අතහැර දමා වනගත වී පැවිදි වූ පසු යශෝධරා දේවියත් කුඩා පුත් රුවන වූ රාහුල කුමරුද ආරක්ෂා කර කරගත්තේ මානව දයාවෙන් පිරි මාතාවක් ලෙසය.

සිදුහත් කුමරු බුදු බව ලබා වසරකට පසුව කිඹුල්වත් නුවරට වැඩම කර සිදු කළ ඥාති සංග‍්‍රහය ඉතාමත් ආදර්ශවත් එකකි. මෙසේ කිඹුල්වත් නුවර ශාක්‍යයන් විසින් තනවා පූජා කළ නීග්‍රෝධාරාමයේ බුදු පියාණන් වැඩ වෙසෙන විට බුදු පියාණන් අසලට පැමිණි ප‍්‍රජාපති දේවිය බුදුහිමියන්ගේ දෙපා වැඳ එකත් පස් වී සිටිමින් කාන්තාවන් වෙනුවෙන්ද බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටියහ.

ප‍්‍රජාපතී දේවියගේ මෙම ඉල්ලීම බුදු පියාණන් එක් වෙනුවද, දෙවනුවද, තෙවනුවද ප‍්‍රතික්ෂේප කළහ. ප‍්‍රජාපති දේවියගේ ඉල්ලීම ඉවත දමමින් බුදු පියාණන් ඇයට දේශනා කර සිටියේ සම්බුදු ශාසනයේ කාන්තාවන් පැවිදි කර ගැනීමට මා රුචිකත්වයක් නොදක්වන බවත් එසේ පැවිදි වීම ශාසන වර්ධනයේ පෝෂණය වී සරුවට පවතින හැල් නම් වී වර්ගයෙන් යුත් කුඹුරක බොල් වී හට ගෙන පැතිරී යාමක් ලෙසය. මේ පිළිබඳ චුල්ලවග්ග පාලියේ භික්ඛුනික්කන්නයෙහි සඳහන්ව ඇත.

මෙම සිදුවීමෙන් වසරක් ගිය තැන බුදු පියාණන් වස් විසුවේ විශාලා මහ නුවර පිහිටි මහා වනයේ කූටාගාර ශාලාවේදීය. මෙම ස්ථානයේ බුදු පියාණෝ වස් වෙසෙන බව දැනගත් මහා ප‍්‍රජාපතී ගෝතමිය යළිත් පැවිදි උපසම්පදාව ලබා ගැනීම සඳහා බුදු හිමියන් හමුවීමට තීරණය කළේ උත්සාහයත්, වීර්යයත්, අධිෂ්ඨානයත් පෙරදැරි කරගෙනය.

බුදු පියාණන් ගිහිකළ කුමරුවකු ලෙස සිටියදී ඔහු නාවා කවා පොවා සතපවා සියලූ උපස්ථාන සිදු කළ මා යළි පැවිදි උපසම්පදාව ලැබීමට බුදු හිමියන්ට ඇවිටිලි කිරීම පාපයක් නොවන බවත්, බුදු හිමියන්ගේ සිත් රිදීමක් නොවන බවත්, බුදු හිමියන්ට කරදරයක් නොවන බවත් සිතා ගත්හ. මේ අනුව එතුමිය මීට පෙර රෝහිණී නදී තීරයේ විසූ ශාක්‍ය හා කෝලීය වංශයන්යහී සිටි පැවිදි දිවියට පත් වූ කුමාරවරුන් 500 දෙනකුගේ කුමාරිකා බිරියන් 500 දෙනා හමු වී තම ස්වාමිපුරුෂයන් මෙන් තමන් වහන්සේලාත් සසුන් ගත වීම සඳහා පැවිදි කරන ලෙස බුදු හිමියන් වෙතින් ඉල්ලා සිටිමු යැයි යන අදහස ඔවුන් තුළද කුළු ගන්වා කැමති කරවා ගත්තේ සූර වීර කාන්තාවක් ලෙසිනි.

මෙම සියලූ කුමාරිකාවන් 500 දෙනා එක තැනකට කැඳවා කෙස් වැටි කපා හිස මුඩු කොට කහපාට ඇති වස්ත‍්‍ර පොරවා, මැටි පාත‍්‍රය බැගින් ගෙන, දෙපයට පාවහන්ද නොමැතිව බොහෝ දුෂ්කර ජීවිතයකට වැටී යොදුන් ගණන් දුර ගෙවා විශාලා මහනුවර කූටාගාර ශාලාව දක්වා මෙම පිරිස පැමිණියේ කාන්තාවකට යා නොහැකි දුෂ්කර ගමනක යෙදෙමිනි.

කූටාගාර ශාලාවට පැමිණි මෙම පිරිස ප‍්‍රථමයෙන් හමු වූයේ ආනන්ද මා හිමියන්ය. තමන් වහන්සේලා ගත් ක‍්‍රියා මාර්යන්ද ඒ අනුව සියලූ දෙනාගෙම කැමැත්ත හා ඉල්ලීම මෙම සියලූ දෙනාටත් අනාගතයේ පැවිදි වීමට අදහස් කරන සියලූ වනිතාවන් හටත් පැවිදි උපසම්පදාව ලබා ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව හිමි කර ගැනීමේ අටියෙන් බුදු පියාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණි බව ආනන්ද හිමියන් වෙත සැල කර සිටියේය.

ප‍්‍රජාපතී දේවියගේ විලාශය දුටු ආනන්ද මා හිමියන්ට ඇති වූයේ සංවේගයකි. ප‍්‍රජාපතී දේවිය ඥාතී භාවයෙන් ආනන්ද හිමියන්ට වනුයේ පුංචි අම්මා කෙනෙකි. මෙම පිරිස කෙරෙහි ඇති කරගත් අනුකම්පාවෙන් ආනන්ද මා හිමියෝ බුදු පියාණන් වෙතැ ගොස් පවසා සිටියේ ප‍්‍රජාපතී දේවිය ඇතුළු කුමරියන් 500 දෙනා වෙත පැවිදි උපසම්පදාව ලබා දී භික්ෂුණී ශාසනයක්ද පිහිටුවන ලෙසයි. එය පළමුවෙන්ද, දෙවනුවද, තෙවනුවද ප‍්‍රතික්ෂේප කළ බුදු පියාණෝ ඔවුන්ට එම පුවත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියහ.

නමුත් ආනන්ද මා හිමියන් බුදු පියාණන්ගෙන් නැවත නැවත ඉල්ලා සිටියේ මෙම පිරිසට පැවිදි උප සම්පදාව ලබාදීම සුදුසු බවයි. ආනන්ද මා හිමියන්ගේ මෙම ඉල්ලීම ඉවත දැමීමට නොහැකි වූ බුදු පියාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. ”ආනන්ද, මහා ප‍්‍රජාපතී ගෝතමිය අෂ්ඨ ගරු ධර්ම පිළි ගනී නම් එයම ඔවුන්ට පැවිදි උපසම්පදාව වන බවයි. ”මෙම අෂ්ඨ ගරු ධර්ම පිළිබඳ විනය පිඨකයේ චුල්ල වග්ග පාලියේ සඳහන් වනුයේ මේ අයුරිනි.

  1. උපසම්පදාව ලබා වසර සියයක් ගත වුවද මෙහෙණියක එදිනම උපසම්පදා වූ භික්ෂුවක් දැක වැඳුම් කළ යුතුය. හුනස්නෙන් නැගී සිටීම කළ යුතුය.
  2. භික්ෂුණිය හැමවිටම තමාට අවවාද ලබා ගැනීම සඳහා සුදුසු භික්ෂුවක් නොමැති ප‍්‍රදේශයක වස් නොවිසිය යුතුය.
  3. සති දෙකකට වරක් මෙහෙණිය විසින් භික්ෂු සංඝයන්ගෙන් පොහොය දැන අවවාද ලබා ගත යුතුය.
  4. වස් විසූ භික්ෂූණින් වස් අවසානයේ භික්ෂු භික්ෂුනී යන උභතෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය.
  5. ඇවැතකට පත් භික්ෂුණිය දෙසතියකට නොඅඩු කාලයක් ඇතුළත උභය සංඝයා ඉදිරියේ වත්මානන් පිරිය යුතුය.
  6. උපසම්පදාව ලබනු කැමති මෙහෙණින් වහන්සේ අවුරුදු දෙකක් උපසම්පදා මෙහෙණියක් ළඟ ශිෂ්‍යාමානවකව විසිය යුතුය.
  7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණිය භික්ෂුන් වහන්සේලාට ආක්‍රෝශ පරිභව නොකළ යුතුය.
  8. භික්ෂුණිය විසින් භික්ෂුන් වහන්සේලාට අවවාද නොකළ යුතු අතර, භික්ෂුන් දෙන අවවාද පිළිගත යුතුය.

මෙම අෂ්ඨ ධර්මයන් දැනගත් ආනන්ද මා හිමි ප‍්‍රජාපතී ගෝතමිය හමු වී පවසනුයේ මෙම අෂ්ඨ ධර්ම පිළිගැනීමට එකඟ වේද ඒ සැණින් පැවිදි උපසම්පදාව ලැබෙන වගයි. එය මහා ඉහළින් පිළිගත් මෙතුමිය මෙම ධර්මයන් ජීවිතාන්තය දක්වා කඩ නොකර පනටත් වඩා සුරකිමින් ආරක්ෂා කරන බවට පොරෙන්දු විය.

ඒ පුවත යළි බුදු පියාණන්ට පැවසූ ආනන්ද මා හිමියෝ එය පිළිගත් නිසා මහා ගෝතමියට පැවිදි උපසම්පදාව පිහිටුවූ බව පැවසූහ. එයින් පසු අනෙක් කුමාරිකාවන් 500 ද එම ධර්මය පිළිගෙන පැවිදි උපසම්පදාව ලබා බුදු පියාණන්ගේ නියමයෙන් අද වැනි උතුම් බිනර පොහෝ දිනක භික්ෂුනී ශාසනය පිහිටුවා වදාළේ කාන්තා පරපුරට විමුක්තිය උදා කරමිනි.

මෙයින් පසු සියලූ පිරිස බුදු පියාණන් හමුවට පැමිණ දෙපා වැඳ ගෞරව හරසර පුද දී එකත් පස සිටින විට බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළහ. ධර්මය ඇසූ මහා ප‍්‍රජාපතී ගෝතමිය විදර්ශනා වඩා රහත් භාවයට පත් වූවාය. පසු කලෙක බුදු පියාණන් වහන්සේ මහා ප‍්‍රජාපති ගෝතමි මහ රහත් තෙරණියට පැවිදි වී බොහෝ කලක් ගෙවූ භික්ෂුණින් අතරින් අග‍්‍රස්ථානයට පත් කරමින් චිරරාත‍්‍රඤයන් අතර අග‍්‍ර පදවිය පිරි නැමූහ.

අහුන්ගල්ලේ දේ.සු.ද සොයිසා

advertistmentadvertistment