කාබන් පියසටහන් අවම කිරීමට කොත්මලේ සහ කාගිල්ස් එක්වෙයි

191

“කාගිල්ස්” ආයතනයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ විශාලතම කිරි හා කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදන සමාගම වන “කොත්මලේ” සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම කාබන් විමෝචනය අවම කිරීමට ක්‍රියාමාර්ග සම්පූර්ණ කරන ලද කර්මාන්ත ශාලාව ලෙස සම්මානයට පාත්‍රවී ඇත.

මේ අනුව සමාගම 2023 වසරේ පැවති ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී රිදී සම්මානය හිමිකරගෙන ඇත.

“කොත්මලේ” සමාගම ගෝලීය උණුසුම අඩුකිරීමට අදාළව කාබන් විමෝචනය අවම කිරීම සඳහා පියවර ගනිමින් සිටින අතර, විශේෂයෙන්ම බලශක්ති කාර්යක්ෂම පරිහරණය හා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තම නිෂ්පාදන කාර්ය සඳහා යොදාගැනීම, ප්‍රතිචක්‍රීයකරණය, වන වගාව වැනි ක්ෂේත්‍ර ඔස්සේ මෙසේ කාබන් පිය සටහන (Carbon Foot print) අවම කරගැනීම සඳහා පියවර රාශියක් අනුගමනය කරමින් සිටින බව “කාගිල්ස්” හා “කොත්මලේ” සමාගම්හි කළමනාකාරිත්වය ඉකුත්දා ප්‍රකාශ කරන ලද්දේ මීරිගම-බාඳුරාගොඩ පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම කිරි හා කිරි ආශ්‍රිත ආහාර කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පැවති ක්ෂේත්‍ර මාධ්‍ය සංචාරයකට එක්වෙමිනි.

මේ අනුව, මාසිකව මිලියන 22 ක් ඉක්මවන සමස්ත විදුලි බිල සමනයකට ලක්කිරීම සඳහා සහ හරිත විදුලි ප්‍රභව භාවිතය සඳහා දක්වන නැඹුරුවක් ලෙස කර්මාන්ත ශාලාවේ වහල මත සවිකරන ලද සූර්ය පැනල විදුලි උත්පාදනය මගින් සමස්ත විදුලි බිලෙන් පහෙන් පංගුවක් ආවරණය කරගන්නා බව ඔවුහු පවසති. ඒ අනුව මෙගාවොට් 1.3 ක සූර්ය බල උත්පාදනයක් මගින් කාබන් විමෝචනය අවම කිරීම සඳහා පියවර ගෙන ඇත.

එසේම, කර්මාන්ත ශාලාවේ දහන අවශ්‍යතා සඳහා වර්තමානයේ සම්පූර්ණයෙන්ම පාහේ භාවිතයට ගනු ලබන්නේ දර භාවිත උඳුන්ය. මේ සඳහා දර වශයෙන් වගා කරනු ලබන දැව භාවිතයට ගනු ලබන බවත්, ඒ සඳහා කතරගම ප්‍රදේශයේ ගොවීන් 1500 ක් යොදා ගනිමින් වගා කටයුතු සිදුකරන බවද, 2026 දෙසැම්බර් වන විට මේ මගින් මාසිකව මෙටි්‍රක් ටොන් 1500 බැගින් අස්වැන්නක් අපේක්ෂිත බවද පවසන “කොත්මලේ‘ පාලනාධිකාරිය පවසන්නේ මේ වන විට ගිනිසීරියා ඇතුළු වගාකරනු ලබන දැව වර්ග මගින් දැව බොයිලේරුව ක්‍රියාත්මක කරවන බවයි.

එසේම, වහල මතට වැටෙන වැසි දිය එකතු කර ශීතකරණ පද්ධතිය ඇතුළු ජල අවශ්‍යතා කළමනාකරණය කරන බවත්, කර්මාන්තශාලා පරිශ්‍රයේ භූමියේ එකතුවන වැසි ජලය පොකුණු ලෙස එකතු කර, එම පොකුණු තුළ මත්ස්‍යයින් ඇති කරන අතර තුරම එම ජලය හා කියුබික් මීටර් 600 ක ධාරිතාවක් ඇති අප ජලය පිරිසිදු කරන පද්ධතියෙන් දිනකට පිට කරන කියුබික් මීටර් 230 ක් වන පිරිසිදු කරන ලද ජලය භාවිත කරමින් පොකුණු හා වගාබිම්වලට ජලය පොම්ප කරන බවයි. මේ සඳහා කර්මාන්ත ශාලා භූමියේම අක්කර 25 කට වැඩි පොල් සහ කෙසෙල්, අනෝදා, අඹ වැනි පලතුරු උද්‍යානයක්ද පවත්වාගෙන යනු ලබයි.

අනෙක් කරුණ වන්නේ කර්මාන්ත ශාලා පරිශ්‍රයෙන් එකතු කෙරෙන පොලිතීන්, ප්ලාස්ටික් හා කාගිල්ස් සුපිරි වෙළෙඳ සල් ජාලය මගින් එකතු කරනු ලබන ඉවතලන දවටන හා පොලිතීන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරන වැඩසටහනයි. එම අපද්‍රව්‍ය තෝරා වෙනත් හවුල්කාර සමාගම් සමග ප්‍රතිචක්‍රීයකරණයට කටයුතු කෙරෙන අතර, ඇතැම් ප්ලාස්ටික් මගින් තාර වැනි ආස්තරණ සාදා කාගිල්ස් ආයතනයේ කර්මාන්තශාලා, වාහන නැවතුම් අංගන කාපට් කිරීම සඳහා ඒවා යොදාගනු ලබන බවද මෙහිදී අනාවරණය කෙරිණි. මේ මගින් කාබන් පියසටහන අඩු කෙරෙන අතර තවත් ක්‍රියාමාර්ග මගින් ඉදිරියටත් හා තවදුරටත් කාබන් අවම නිෂ්පාදනයකට තමන් එකතුවන බව කොත්මලේ සහ කාගිල්ස් ආයතන පවසයි.

● ජගත්


advertistmentadvertistment