කාබනික උන්මාදය සහ පාදෙණිය නොදත් වෘත්තීය ආචාර ධර්ම

318

කේ.කේ.අයි.යූ. අරුණ කුමාර,
බෝග විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය,
රුහුණු විශ්වවිද්‍යාලය


වෘත්තීය ගරුත්වය රැකීම යනුවෙන් අදහස් කරනුයේ හුදෙක් තම වෘත්තියේ ආචාර ධර්මවලට ගරු කිරීම සහ ඒවාට අනුගතව කටයුතු කිරීමම නොවේ. යමෙකුගේ වෘත්තීය ගරුත්වය රැකෙන්නේ තම වෘත්තියට මෙන්ම අනෙකාගේ වෘත්තියට ද ගරු කිරීමෙන් පමණි. වෘත්තීය ආචාර ධර්ම අවැසි වනුයේ ඒ සඳහාය. තම වෘත්තීයට සැබෑ ලෙසම ගරු කරන කිසිවෙකුත් අනෙකාගේ වෘත්තීයට ගැරහීම් නොකරන්නේත්, අගෞරව නොකරන්නේත් ඒ නිසාය. රටක මෙන්ම සමාජයේ යහපැවැත්මට මෙම එකිනෙකාට ගරු කිරීම සහ සහජීවනය අත්‍යවශ්‍ය අංගයන් ය. යමෙකු එසේ නොකරන්නේද එමගින් අභියෝගයට ලක්වන්නේ ගැරහුමට ලක්වන්නාගේ හැදියාව නොව එම ගරහන්නාගේ සදාචාරයමය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් මෑතක දී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක් හරහා කෘෂිකර්ම වෘත්තිකයන්ගේ දැනුම සහ ක‍්‍රියාපිළිවෙත අභියෝගයට ලක් කළේය. මෙම සදාචාර විරෝධී, වෘත්තීය ගරුත්වයට පටහැනි ක‍්‍රියාව හරහා වෛද්‍ය පාදෙණිය, කෘෂිකර්මය සම්බන්ධයෙන් ඔහුගේ නොදැනුවත්භාවය ප‍්‍රකට කරන අතරම තම වටිනා වෛද්‍ය වෘත්තියේ ගරුත්වය ද හෑල්ලූවට ලක් කළ බව පැහැදිලිය.

ලංකාවේ කෘෂිකාර්මික ගමන් මගෙහි තීරණාත්මක පරිච්ෙඡ්දයක් පසු කරමින් සිටින අවධියක් ලෙස මෙම වකවානුව හඳුනාගත හැකිය. මන්ද මෑතක දී අනුමත කළ කැබිනට් පත‍්‍රිකාවක් මගින් කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොර කෘෂිකර්මයක් රට තුළ ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත. මෙම කැබිනට් පත‍්‍රිකාවත් සමඟම එයට පක්ෂපාතී අදහස් දැක්වීම මෙන්ම එවැනි ප‍්‍රවේශයක ප‍්‍රායෝගික බව ප‍්‍රශ්න කරන බොහෝ පාර්ශවයන් කරලියට පැමිණෙමින් ඇත. කැබිනට පත‍්‍රිකාවේ සඳහන්වන යෝජනා සම්බන්ධයෙන් වඩාත් පක්ෂපාතී අදහස් දක්වන්නන් අතුරෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට හිමිවන්නේ සුවිශේෂී තැනකි. එසේ වුවද මෙහිලා ඔහුගේ භාවිතය තුළින් නිරාවරණය වෙමින් පවතින්නේ ඔහුගේ නොදැනුවත් බව සහ කුහක මානසිකත්වය යන්න බවද සඳහන් නොකරම බැරිය. පාදෙණිය මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරී මහත්ම මහත්මීන්ගේ කාබනික වගාව පිළිබඳ දැනුම ප‍්‍රශ්න කර තිබුණේ මාධ්‍ය ඉදිරියේ අපූරු විස්තරයක් ද ඉදිරිපත් කරමිනි. එතුමා මාධ්‍ය ඉදිරියේ දී අග‍්‍රගන්‍ය රංගධරයෙකු බවට අටුවා ටීකා අවශ්‍ය නොවේ. කැමරාවක් දුටුවිට තමා කවුරුන් ද හෝ තම වෘත්තීය කවරේද යන්න එතුමාට අමතක වන සෙයක් මනාව පැහැදිලි වූයේ වරක් දෙවරක් නොවේ. එතුමා කෘෂි නිලධාරීන්ගේ දැනුම ප‍්‍රශ්න කර සිටියේ ද ඒ නිසාම විය හැකි වුව ද එම කි‍්‍රයාව පහසුවෙන් අමතක කර දැමිය යුතු නොවන්නේ මේ රටේ කෘෂිකර්මයේ දිශානතිය තීරණය වෙමින් පවතින අවධියක්වන බැවිනි. එවැනි තීරණාත්මක මොහොතක එහි ගාමක බලවේග බවට පත්විය යුතු වන්නේ හුදු මාධ්‍ය සංදර්ශනකාරයන්ම නොවන බැවිනි. එවැන්නක් සඳහා සහභාගී කරවා ගත යුත්තේ ඒ සඳහා ප‍්‍රමාණික දැනුමක් ඇති වෘත්තීය නිපුනතාවයෙන් හෙබි පිරිසකි. අනෙකෙකු විවේචනය කළ පමණින් කිසිවෙකුට කිසියම් ජාතික වැදගත්කමක් ඇති ගාමක බලවේගයක සාමාජිකයෙකු විය නොහැකිය. පාදෙණිය මහතාගේ විවේචනයේ සහාසික බව ඉස්මතු වන්නේ ඒ ආකාරයටය. කෘෂිකර්ම නිලධාරීන්ගේ දැනුම අභියෝගයට ලක්කර ඔවුන් කොන්කර තබා මේ රටේ කෘෂිකර්මයේ දිශානතිය වෙනස් කළ හැකි යැයි කවරකු හෝ සිතන්නේ නම් එය හුදු මුලාවක් පමණි.

රජරට වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුව අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය යැයි සමාජගත කිරීමට පාදෙණිය මහතා දිවා ? නොබලා කටයුතු කරමින් සිටියි. එහි දී ඔහුගේ අව්‍යාජත්වය සහ අවංකභාවය දැඩිලෙස අභියෝගයට ලක්වන්නේ ඔහු පවසන්නේ යථාර්ථය නොවන බැවිනි. ඔහු සමාජගත කිරීමට යත්න දරන්නේ සත්‍යය නොවන බැවිනි. මන්ද ඔහු පවසන දෙය සනාථ කිරීමට කිසිදු පර්යේෂණ සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු අසමත් බැවිනි. එසේ හෙයින් එය සැබවින්ම හිතළුවක් පමණි. මීට වසර හත අටකට කලින් නම් කෘෂි රසායන භාවිතය සහ රජරට ප‍්‍රදේශයේ වකුගඩු රෝගය අතර යම් සබඳතාවයක් ඇතැයි අනුමාන කළ බව සැබෑය. හඳුනා නොගත් වකුගඩු රෝගය ලෙස එය නම් කළේ ද ඒ නිසාය. රසායනික පොහොරවල අඩංඟු ඇතැම් බැර ලෝහ මෙයට හේතුකාරක වනු ඇතැයි විශ්වාස කළ බව සැබවි. එසේ වුවද එම සැකය මේ වන විට සම්පූර්ණයෙන්ම පහවී ඇත්තේ කෘෂි රසායන ද්‍රව්‍ය සහ වකුගඩු රෝගය අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව විද්‍යාත්මකව තහවුරු කර ඇති බැවිනි. ඇතැම් විට පාදෙණිය මහතා ඒ බවක් නොදැන සිටිනවා විය හැකිය. නොදැන සිටීම නිදහසට කරුණක් නොවනවා සේම නොදැනුවත්භාවය ප‍්‍රදර්ශනය කිරීම මගින් තම වෘත්තීය ගරුත්වයට සිදුවිය හැකි හානිය නොසලකා හැරීමම ඔහුට තරම් නොවේ. ඔහු පවසන පරිදි ලොව අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන රටවල් අතර ලංකාව සිටින්නේ ද? නැත. කිසිසේත්ම නැත. පහතින් දැක්වෙන්නේ රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ලෝක බැංකු දත්ත උපයෝගී කරගනිමින් සකස් කළ වගුවකි


එයට අනුව ලංකාවේ රසායනික පොහොර භාවිතය සංසන්දනාත්මකව කිසිදු ඉහළ අගයක් නොපෙන්වයි. ඇත්තවශයෙන්ම එය සාපේක්ෂව පහළ අගයකි. අප රටට ආහාර ආනයනය කරන බොහෝ රටවලට වඩා ඉතා අඩු අගයකි. අප රටට කිරිපිටි වැනි ඉතා සංවේදී ආහාර ආනයනය කරන නවසීලන්තයේ රසායනික පොහොර භාවිතය අප රටට වඩා පහළොස් ගුණයක් වැනිය. ආහාර පිසීම සහ සැකසීම සඳහා අවශ්‍ය වන පොල්තෙල් (හෝ ෆාර්ම් ඔයිල්) ආනයනය කරන්නේ මැලේසියාව වැනි අධික ලෙස පොහොර භාවිතා කරන රටවලිනි. මැලේසියාවේ එම අගය අපේ රටේ භාවිතය මෙන් විසි ගුණයකට ආසන්නය. පළිබෝධනාශක භාවිතයේ දත්තයන් ද එසේමය (වගුව 2). එසේ තිබිය දී අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන රටවලින් ආහාර ආනයනය කිරීම සම්බන්ධයෙන් උක්ත පාර්ශවයන් මුනිවත රකින්නේ එම ආනයනකරුවන්ගෙන් ලැබෙන වරප‍්‍රසාද නිසාවෙන් දැයි අපි නොදනිමු. දේශීය නිෂ්පාදනවලට සහ නිෂ්පාදකයන්ට අවලාද නැගීමෙන් සැබවින්ම සිදුවන්නේ ආනයනය කළ යුතු ප‍්‍රමාණයන් ඉහළ යෑම බව ඕනෑම අයෙකුට පහසුවෙන් වටහා ගත හැකිය. එවන් තත්ත්වයක් යටතේ යමෙක් ආනයනයට දිරි දෙන්නේ ද එතුළ කිසියම් සැඟවුණු ප‍්‍රතිලාභ නොවේ යැයි කාටනම් කිව හැකිද?

අනුරාධපුරය, පොළොන්නරුව වැනි ප‍්‍රදේශවලින් බහුලව වාර්තාවන වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුව කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය නොවන බව ජාතික විද්‍යා සභාවේ අධ්‍යක්ෂක මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා තම පර්යේෂණ ප‍්‍රතිඵල මත පැහැදිලිව ප‍්‍රකාශ කර ඇත. ගොවි ජනතාව මහන්සිවී වැඩ කරන අතරතුර ප‍්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීමත්, පානීය ජලයේ අඩංගු වන ෆ්ලෝරයිඩ ප‍්‍රමාණයත් වකුගඩු රෝගයට ප‍්‍රධානම හේතුව බව ඒ මහතා ප‍්‍රකාශ කර ඇත. එසේ හෙයින් ඉතා පහත් අරමුණු පෙරටුකොටගෙන වකුගඩු රෝගයට ප‍්‍රධාන හේතුව අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය යැයි සමාජගත කිරීමට කටයුතු කරන ආකාරය මෙහි දී පැහැදිලිව හඳුනාගත හැකිය.

දේශීය කෘෂි නිෂ්පාදන වස විෂ සහිත යැයි සමාජගත කරවන පිරිස් පිටරටින් ආනයනය කරන ආහාර ද්‍රව්‍ය ප‍්‍රතික්ෂේප කර තිබේද? එසේ ප‍්‍රතික්ෂේප කිරීමට ජනතාව පොළඹවා තිබේද? අපගේ අවශ්‍යතාවයෙන් අපිට නිපදවිය හැක්කේ සීනිවලින් 10% ක් පමණි. පොල් තෙල් අවශ්‍යතාවයෙන් දේශීයව නිපදවා ගත හැක්කේ 17% ක් වැනි ඉතා අඩු ප‍්‍රමාණයක් පමණි. ඉතිරි 83% ම ආනයනය කරයි. ඔවුන් දේශීය කිරි පිටිම මිල දී ගන්නේ ද? මිදි, ඇපල් ඔවුන් මිල දී නොගන්නේ ද? ඔවුන් කිසිදා තිරිඟු පිටි යෙදූ ආහාර නොගන්නේ ද? මේ සියල්ල එන්නේ පිට රටෙනි. ඔවුන් ඒ සඳහා කාබනික සහතික පිරික්සුවේ ද? පිට රැටියන් අපිට වස කවන්නන් ලෙස හංවඩු ගැසුවේද? එසේ නොකර අපේම ගොවියා එසේ කරන්නේ යැයි හංවඩු ගසන පිරිස් සැබෑ ශ‍්‍රී ලාංකිකයෝද?

අප අද පවතින කෘෂිකර්මයට නැඹුරු වූයේ අහම්බෙන් නොවේ. එසේ නැඹුරුවීමට අපට බල කළ නිසාය. එසේ බල කළේ අන් කිසිවකින් නොව කුසගින්න නම් සාධකය මගිනි. නිදහස ලබනවිට අපේ රටේ ජනගහනය මිලියන හයක් තරම් අඩු අගයක පැවතිනි. එසේ වුවද ඒ අඩු ජනගහනයට ද අවශ්‍ය ආහාර නිපදවා ගැනීමට අප අපොහොසත් විය. එදා අපට නිපදවිය හැකි වූයේ දේශීය සහල් අවශ්‍යතාවයෙන් 36% ක් පමණි. ඉතිරි 64% සඳහා පිටරටට අතපෑමට අපට සිදුවිය. 1970 දී බලයට පත්වූ රජයේ අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය සඳෙන් හෝ සහල් ගෙනත් දෙමියි පැවසූයේ ඒ නිසාය. 1977 දී බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ධාන්‍ය රාත්තල් අටක් නොමිලයේ දෙනවා යැයි පැවසූයේ ඒ නිසාය. මෙරට සිටි විශිෂ්ට කෘෂි විද්‍යාඥයන්ගේ අසීමිත කැපකිරීම් සහ දහඩිය මහන්සිය නිසා වර්ෂ 2010 පමණ වනවිට රට සහලෙන් ස්වයංපෝෂිත කිරීමට අපට හැකිවිය. ඔවුහු පිටරටින් ගෙන්වන ලද ප‍්‍රභේද ඒ සඳහා භාවිතා නොකළහ. විවිධ තත්ත්ව වලට ගැලපෙන අපේම ප‍්‍රභේද දියුණු කළහ. එසේ වුවද ඔවුනට ඒ සඳහා නිසි ඇගයීමක් ලැබුණේ දැයි ප‍්‍රශ්න කළ යුතුව ඇත. අස්වැන්න වැඩිකර ගැනීමේ දැවැන්ත මෙහෙයුමේ දී වගාකරන ඉඩම් ප‍්‍රමාණය වැඩි කර ගැනීමට අවකාශයක් නොවින. එනම් සීමිත භූමි ප‍්‍රමාණයකින් වැඩිවන ජනගහනයට අවශ්‍ය වන ආහාර නිපදවීමේ අභියෝගයට මුහුණ දීමට මෙරට කෘෂි විද්‍යාඥයන්ට සිදුවිය. එවන් විටක පොහොර භාවිතය වැඩිවීම නොවැළැක්විය හැකි සාධකයකි. එසේ හෙයින් අපගේ ගොවීන් ද කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයට ක‍්‍රමයෙන් හුරු විය. රසායනික පොහොර භාවිතයට ගොවීන් වඩාත් හුරුකරනු ලැබුවේ පොහොර සහනාධාරයක් ක‍්‍රියාත්මක කිරීමත් සමඟය. එය ගොවි ජනතාවගේ ඡන්ද ලබාගැනීමේ ව්‍යාපාරයක් ලෙස භාවිතා කළ අවස්ථා ද නොවුනා නොවේ. එසේ හෙයින් පාදෙණියගේ ඇඟිල්ල සැබෑ ලෙසටම එසවිය යුත්තේ දේශපාලඥයන් දෙසට වුවද ඔහු අද සිටගෙන සිටින්නේ ඔවුන් සමඟය.

කාබනික වගාව කියන තරම් හෝ සිතන තරම් ප‍්‍රායෝගික නොමැතිවා සේම රසායනික පොහොර යොදන වගාව කියන තරම් හෝ සිතන තරම් නරක ද නොවේ. මේ දෙකම සම්බන්ධයෙන් විවේචන එල්ල කරන බොහොමයක් දෙනා මේ දෙකෙන් එකකවත් නියැලී නොමැති බවට ද සැකයක් නැත. එසේ හෙයින් පොහොර තහනමට පක්ෂපාතීව අදහස් දක්වන්නන් කාබනික වගාව මගින් රටටම අවශ්‍ය ආහාර නිපදවිය හැකි ය යන විශ්වාසය සහ අපේ පාරම්පරික වගා ක‍්‍රම සහ දැනුම සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් ඇත්තෝ විය හැකිය. අපේ පාරම්පරික දැනුම සහ බෝග සම්පත් අතිශයෙන් අගය කරමින් මා පුවත්පත්වලට ලියූ ලිපි බොහෝ ඇත. එසේ හෙයින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විග‍්‍රහයක යෙදීමට අපේක්ෂා නොකරමි. එසේ වුවද එම එකදු ලිපියක හෝ අප පාරම්පරික දැනුම සහ බෝග සම්පත් මතම යැපිය යුතු යැයි මම කිසිවිට පවසා නැත. අපි අපේම පාරම්පරික දැනුම සම්බන්ධයෙන් අභිමානයෙන් කථා කිරීමේ කිසිදු වරදක් නැත. එහෙත් අප ඇත්ත වශයෙන්ම කරන්නේ ඒ සම්බන්ධයෙන් අතිශෝක්තියෙන් කථා කිරීම හෝ ඇගයීම නොවේ ද?

අපේ ගොවීන් නිපදවන ආහාර වස විසෙන් තොර යැයි මම කිසිවිටක නොකියමි. ඔවුන් වැඩි වැඩියෙන් රසායන ද්‍රව්‍ය යොදන්නේ නම් එය ද අනුමත නොකරමි. එසේ වුවද මා එය දකින්නේ අතිශයින්ම පිරිහුනු සමාජ ක‍්‍රමයේ තවත් එක් පැතිකඩක් ලෙස පමණි. ඔවුන් සීමාව ඉක්මවා රසායන ද්‍රව්‍ය භාවිතා කළේ නම් ඒ ප‍්‍රාඩෝ හෝ වොල්වෝ මිලදී ගැනීමට නොවේ. අස්වැන්න මදක් වැඩිකරගෙන පාසල් යන තම දරුවාගේ අඩුපාඩු සපුරා ලීමට විය හැකියි. අපේ ගොවියා ඒ තත්ත්වයට පත් කළේ මේ සමාජ ක‍්‍රමයම නොවේද? ගොවීන් සූරාකන පාලකයන්ම නොවේද? වගා කරන බීජ, පොහොර, යන්ත‍්‍ර සූත‍්‍ර, මේ ආදී සියල්ල සඳහා පිටරට මත යැපීමට ප‍්‍රතිපත්ති සකස් කළේ ගොවියා ද? ඡන්ද බලාගෙන පොහොර සහනාධාරයක් ලෙස ලබා දෙමින් ගොවීන් එයට ඇබ්බැහි කළෝ කවරහුද? ගුණාත්මයෙන් ඉහළ පොහොර වර්ග බොහොමයක් තිබිය දී අඩුම ගුණාත්මයෙන් යුත් එනම් වඩාත්ම අහිතකර පොහොර මෙරටට ගෙන්වන්නේ ගොවීන් ද? මේ සියල්ල සලකා බලන විට රටටම වස කවන්නේ, රට කරවන්නන් මිස අසරණ ගොවීන් නොවේ. ගොවියා එදත් ගොවියාය. අදත් ගොවියාය. එහෙත් රට කරවන ඇත්තෝ අද කෝටිපතියෝය. හෙට ප‍්‍රකෝටිපතියෝය.

මෙවන් අවස්ථාවක වගකිවයුතු රජයක් පළමුව කළ යුත්තේ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සහ අධර්්‍යමත් කිරීමට අවැසි ක‍්‍රියාමාර්ග ක‍්‍රමිකව ක‍්‍රියාවට නැංවීමය. එසේ නොමැතිව පාදෙණිය වැන්නවුන්ගෙන් උපදෙස් ගෙන රටටම සාගතයකට මග පෑදීම නොවේ. රටම කාබනික කිරීමට ප‍්‍රථම, පවතින කෘෂිකර්මය ස්ථාවර කළ යුතුය. එනම් එය තිරසාර කෘෂිකර්මයක් බවට පත් කළ යුතුය. එවැනි විටෙක බීජ සඳහා හෝ පොහොර සඳහා හෝ වෙන යමක් සඳහා පිටරට මත යැපීමට සිදු නොවේ. තිරසාර තත්ත්ව යටතේ දී පරිසරයට හානි ඇත්තේම නැත හෝ අවමය. එවැනි විටක වසවිසෙන් තොර කෘෂිකර්මයක් ගැන කථා කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. එසේ ස්ථාවර සහ මනා සැළසුම් සහගත මගක් ඔස්සේ ඉදිරියට යනවා වෙනුවට රටම කොම්පෝස්ට්වලින් පිරිවීමට තීරණය කිරීම තකතීරු තීරණයක් මිස අන් කවරක් හෝ නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment