කාබනික ගොවිතැනට  ජාතික සැලැස්මක් අවශ්‍යයි

232

කාබනික ගොවිතැන ශ්‍රී ලංකාව තුළ  සමාජගත කිරීමට හා ගොවීන් ඒ සඳහා පොළඹවා ගැනීමට සුදුසුම සැලැස්ම වන්නේ එදා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව භාවිතා කළ ක්‍රමවේදය හෝ එම යාන්ත්‍රණයයි. මන්දයත් ඔවුනට මේ සම්බන්ධව දශක ගණනාවක ප්‍රශස්ථ දැනුමක් හා ප්‍රායෝගික අත්දැකීම් තිබීමය. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කෘෂි ව්‍යාප්ති අංශය, පළාත් සභා සහ මහවැලි ලෙස කැඩී වෙන්වී ඇතත් ඒවා ඒකාබද්ධ කර ගැනීම හදිසි අවශ්‍යතාවක් වේ.

නිෂ්පාදන වියදම අධික වීමත්, අතර මැදි සූරා කෑම නිසා ගොවියාට හිමිවිය යුතු වෙළෙඳපොළ ලාභය අවම වීමත්,  පාරිභෝගිකයාටද වාසි සහගත නොවීමත්, වර්තමාන ගොවිතැනේ ලක්ෂණ ලෙස දකින්නට ඇත. මින් ඔබ්බට ස්වාභාවික සම්පත (පස, පසේ තෙතමනය, බෝග විවිධත්වය හා ස්වාභාවික වනාන්තරය) හායනය වීමද, ජලය දූෂණය වීමද, (රොන් මඩ, කෘෂි රසායන) තවත් ප්‍රතිඵලයන්ය. මේ නිසා නිල් දරු හෝ මල දරු උපත් සුපෝෂණ සංසිද්ධීන් සහ එහි විෂ සහිත ව්‍යුත්පන්න ජලයට නිදහස් වීම, වියළි කලාපයේ ගැමි ජනතාව අතර පැතිරෙන මාරාන්තික වකුගඩු රෝගයද, මෙම ගොවිතැන සැකකරුවකු බවට පත් කර තිබේ. 2015 මැතිවරණ සමය වනවිට කෘෂිකර්මය අර්බුදයක් බවට පත් කිරීමට ඉහත කී සාධක එකතුවම සමාජගතවී තිබුණි. රට පුරාම විශාල ආන්දෝලනයක් ඇති කිරීමට මෙයින් පරිසරය සකස් විය.

2015 වර්ෂයේ ජනාධිපති මැතිවරණයේදී ඉදිරිපත් කරන ලද ‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, ශාකසාර පදනම් කරගත් පළිබෝධ නාශක නිෂ්පාදනය සඳහා රාජ්‍ය අනුග්‍රහය දක්වන අතර රසායන පොහොර භාවිතය ක්‍රමානුකූලව අඩුකිරීමට කාල රාමුවක් සකස් කරන බව සඳහන් විය. මේ අනුව කාබනික ශ්‍රී ලංකාවෙන් සඳහා මංපෙත් විවර කළේ මෙම අර්බුදයට ආමන්ත්‍රණය කරන අරමුණෙනි. මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා SEMA (සෙමා) ආයතනය ස්ථාපිත කළත්, පසු කලෙක එම ප්‍රයන්තය අත්හැර දමන ලදී. 2019 මැතිවරණ සමයේ රසායන පොහොර නොමිලයේ ලබා දෙන බවට සිදු කළ ජනප්‍රිය දේශපාලන පොරොන්දුව නිසා කාබනික ගොවිතැන සඳහා උනන්දු වූ ගොවීහු ද ඔවුන්ගේ ආයාසය අත්හැර දැමූහ.

වකුගඩු රෝගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පත් කළ කමිටුව 2016 අප්‍රේල් 27-29 සිය නිර්දේශ ප්‍රකාශයට පත්කළ අතර Reducing Exposure to Agr-chemicals වගන්ති යටතේ වකුගඩු රෝගයට හේතුකාරක වන මාත්‍රා සහිත රසායන ආනයනය තහනම් කළ යුතු බවත්, දෙවනුව මධ්‍යම රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය තිරසර ගොවිතැන (Sustainable agriculture) විය යුතු බවත් නිර්දේශ කර තිබුණි. කෙසේ වෙතෙත් මෙම නිර්දේශ ලබා දෙන්නටත් කලින් පවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී තිබුණි. 2014 වර්ෂය වනවිට භාවිතයේ තිබූ පළිබෝධ නාශක 15 කට අධික සංඛ්‍යාවක් නීතියෙන්ම තහනම් කෙරුණි. මේවා අතර ඇලක්ලෝර්  (Alachlor)  හා ග්ලයිපොසේට් (Glyphosate) වල්නාශක වේ.

තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති අංශය, කන්නයක් තුළ සිදු කරන බිම් සැකසුම් තුනේදී වල් පැළ ගහනය අඩු කිරීමට පාවිච්චි කළ යුතු නගුලද, වතුර බැඳ තැබීමද, වැනි ක්‍රමත් හඳුන්වාදී තිබුණි. මේ අවස්ථා තුනේදී පසේ සාරවත්භාවය වැඩි කරගැනීමටත්, ක්ෂුද්‍රජීවීන් හා මහා ජීවීන් සක්‍රීය කර ගැනීමටත්, යෙදිය යුතු ආදේශන :
(Substitutes) මොනවාද යන්න හා ඒවායේ ප්‍රමාණයන් ගැනද ගොවීන් දැනුවත් කර තිබුණි. කලින් කන්නයේ පිදුරු කුඹුරේ අතුරා දිරාපත් වීමට හැරීම, ගුණාත්මක කොම්පෝස්ට් සාදා ගන්නා ආකාරයද ගොවීන් දැන සිටියහ. භාගිකව (Partially burnt) පුළුස්සාගත් දහයියා සකස් කරගන්නා ආකාරය, ගොම, කුකුල් පොහොර යෙදීම හැරුණු විට නයිට්‍රජන් බහුලව අඩංගුවන ගිනිසීරියා (Gliricidia) වැනි රනිල ශාකවල පත්‍ර හා ලපටි දඬු කුඹුරට යෙදීමද, වල් සූරියකාන්ත හෙවත් නත්තසූරිය ශාකවල පොටෑසියම් බහුල බවද, ගොවියාට ගෙනගිය පණිවිඩ වේ. 2019 වර්ෂය වන විට එතෙක් තෙත් වියළි හා අතරමැදි කලාපවලට සීමා කර තිබූ පොහොර නිර්දේශ, පස් පරීක්ෂාවලින් පසුව ශ්‍රී ලංකාවේ ග්‍රාමසේවා කොට්ඨාස සියල්ලටම වෙන් වෙන්ව ලබා දුනි. බොහෝ ග්‍රාමසේවා කොට්ඨාසවල පසේ පොටෑසියම් හා පොස්ෆේට් අධික බවත් එනිසා එම පොහොර යෙදීම තවදුරටත් අවශ්‍ය නොවන බවත් පෙන්වා දුනි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙම වැඩපිළිවෙළට ගොවියා අනුගත වූවානම් රසායන පොහොර යෙදීම විශාල ලෙස අඩු කරගත හැකිව තිබුණු අතර පසේ සජීවී බවද ඉහළ දමා ගත හැකිව තිබුණි. වල් පැළෑටි ගහනය අඩුකර ගැනීමට පැරෂුට් ක්‍රමයත්, ගොයම් පැළ පේළි අනුව සිටුවා දෙවරක් වීඩර කර ඉවත් කර ගැනීමටත්, උපදෙස් ද ලබාදුනි. මේ වූ කලී බිම් සකස් කරන අවස්ථාවේදී සිදු කරගනු ලබන වල් පැළ වඳ කරගැනීමට අමතරව දෙන ලද නිර්දේශ විය.

1990 ගණන්වල ගොයමේ පළිබෝධ හානි අඩු කර ගැනීම සඳහාද, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ත අංශය ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණ ක්‍රමවේද හඳුන්වා දුන්නේය. මෙය සිදු කළේ ගොවි ක්ෂේත්‍ර පාසල් (Farmer field schools) හරහාය. එසේ ගොවීන් ව්‍යාප්ත නිලධාරී සමග සහභාගිත්වයෙන් ගොයමේ පළිබෝධීන් හා විලෝපිකයන් හඳුනාගැනීම,

විලෝපිකයන් ගහනය ගුණනය කරගත හැකි ක්‍රමෝපායන් හඳුනා ගැනීමද, වැනි ක්‍රියාකාරකම් සිදු කර එමගින් පළිබෝධීන් විනාශ කිරීම මෙහි අරමුණ විය. මෙමගින් පළිබෝධ හානි 80% කින් අඩු කරගත හැකි නිසා තවදුරටත් කෘමිනාශක යෙදීමක් අවශ්‍ය නොවන බව තහවුරු විය.

හන්තානේ මූලික අධ්‍යයන ආයතනයද කාබනික ගොවිතැන පිළිබඳ ප්‍රයෝජනවත් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කරමින් සිටී. මුං, කව්පි, උඳු, සෝයා, රටකජු සඳහා වැඩිදියුණු කර ඇති රයිසෝබියම් ආමුකුලන (Inoculum) යෙදීමෙන් ඒවාට අවශ්‍ය යූරියා පොහොර සම්පූර්ණයෙන්ම නතර කිරීමට සමත් වී ඇත. දෙවැන්න වී වගාවට යොදන ජෛව පටල ජෛව පොහොර (Bio-film, Bio- fertilizer) වේ. මෙහි ප්‍රභවය ක්ෂුද්‍ර ජීවීන් වේ. වී ගසේ මූලපද්ධතිය වාසස්ථාන කරගන්නා මොවුන් ඝනාවාසී ලෙස ජීවත් වේ. මෙහි අන්තර් ක්‍රියා නිසා සක්‍රීය වන මූල පද්ධතිය කාර්යක්ෂමව ශාක පෝෂක වී පැළයට ලබා දෙයි. එමගින් 70% අස්වැන්නක් රසායනික පොහොරවලට සාපේක්ෂව ලබා ගත හැක. එම විද්‍යාඥයන්ට අනුව නයිට්‍රජන් පොහොර සුළු ප්‍රමාණයක් යෙදිය හැකිනම් කාර්යක්ෂමතාව උපරිම කරගත හැක. හන්තාන පර්යේෂණ ගැන කිවයුතු වැදගත්ම කරුණ නම් මෙම විද්‍යාඥයන් යොදා ගන්නේ මෙරට ක්ෂුද්‍ර ජීවීන් පමණක් වීමයි.

ගිනිසීරියා ප්‍රමුඛ ශාකපත්‍ර නිස්සාරක, මාළු අපද්‍රව්‍ය නිස්සාරක, පළතුරු නිස්සාරක, ද්‍රව පොහොර ලෙස නිපදවා බෝගයට ලබා දී ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ගොවියෝ සමත්ව සිටිති. මෙම නිෂ්පාදන ගොවීන් විසින්ම හඳුනාගෙන තම ගොවි බිමේම සකස්කර ගනී. මෙලෙසම ශාක පත්‍ර නිස්සාරක, පළිබෝධ නාශක හෝ විකර්ෂක නිපදවා භාවිතා කර ගොවියා තම බෝග ආරක්ෂා කර ගනිති.

ඉන්දියානු ගොවීන් අනුගමනය කරන වියදම් නැති ස්වාභාවික ගොවිතැන් ක්‍රමය (Zero budget Natural farming )  මෙරට ගොවීහු සුළු කොටසක් භාවිත කරමින් සිටිති. මෙහි වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ජීවාමෘත ක්ෂුද්‍රජීවී ද්‍රාවණයයි. මෙය සකස් කර ගැනීමට ගතවන්නේ දින 03 ක් තරම් කෙටි කාලයකි. වැදගත්ම කරුණ වන්නේ මෙය තම ඉඩමේම පසෙහි ඇති ක්ෂුද්‍රජීවීන් යොදා සිදුකරන්නක් වීමය. අක්කරයකට ප්‍රමාණවත් වන පරිදි මෙම ද්‍රාවණය සාදා ගැනීමට අවශ්‍ය වන්නේ අමු ගොම කිලෝ 10 ක් සහ ගව මුත්‍රා ලීටර් 5 කි. ඕනෑම කෘෂි බෝගයකට, වැවිලි බෝගයකට මෙය යෙදීමෙන් ඉහළ අස්වැන්නක් පළමු කන්නයේ සිටම ලබාගත හැකිය. ඉන්දියාවේ කර්ණාටක, ආන්ද්‍රා ප්‍රදේශ්, හිමාචල් ප්‍රදේශ්, කේරළ ප්‍රාන්තවලින් ආරම්භ වී මිලියන ගණනක් ගොවීන්ගේ ජීවනෝපාය සකසන සංස්කෘතියක් වී තිබේ. දැන් දැන් ඉන්දීය මධ්‍යම රජයේද අවධානය යොමුවී තිබෙන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දේශපාලන නායකත්වය ලබා දෙමින් සිටී.

මෙම අපූර්වත්වයේ නිර්මාතෘ පද්ම ශ්‍රී සුභාෂ් පලේකාර්ය. ඔහු මහා රාෂ්ට්‍රයේ අම්රවතී ගම්මානයේ වෙසෙන ප්‍රබුද්ධ ගොවියෙකි. එරට කෘෂි විද්‍යාඥයන්ට, මහාචාර්යවරුන්ට සහ බහුජාතික සමාගම්වලට ඔහු හිසරදයකි.

කාබනික ගොවිතැන ශ්‍රී ලංකාව තුළ සමාජගත කිරීමට හා ගොවීන් ඒ සඳහා පොළඹවා ගැනීමට සුදුසුම සැලැස්ම වන්නේ එදා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව භාවිතා කළ ක්‍රමවේදය හෝ එම යාන්ත්‍රණයයි. මන්දයත් ඔවුනට මේ සම්බන්ධව දශක ගණනාවක ප්‍රශස්ථ දැනුමක් හා ප්‍රායෝගික අත්දැකීම් තිබීමය. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ කෘෂි ව්‍යාප්ති අංශය, පළාත් සභා සහ මහවැලි ලෙස කැඩී වෙන්වී ඇතත් ඒවා ඒකාබද්ධ කර ගැනීම හදිසි අවශ්‍යතාවක් වේ. පර්යේෂණ කටයුතු සඳහා මාකඳුර තිරසර ගොවිතැන් පර්යේෂණ හා සංවර්ධන ආයතනය මෙන්ම කාබනික පොහොර අංශයක්ද ඇත. මීට අමතරව කෘෂි පුහුණු මධ්‍යස්ථාන, මාධ්‍ය ඒකකයක් ද තිබේ. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ ව්‍යාප්ත අංශය 2021 වර්ෂයේ කාබනික ගොවිතැන අත්පොතද බෙදා හැර තිබේ. මේ හැරුනු විට වී ඇතුළු විවිධ බෝග වගා සඳහා, අධ්‍යාපනික පත්‍රිකා සහ පොත් පත් මුද්‍රණය කර ඇත. ඩිප්ලෝමා පුහුණුව ලබාගත් කෘෂි උපදේශකවරුන් දිවයින පුරාම සේවයේ යෙදී සිටිති. ඔවුන් ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම තාක්ෂණික නිලධාරීන්ය. කාබනික ගොවිතැන යථාර්ථයක් වීමට නම් ඔවුන්ගේ සහය අනිවාර්යයෙන්ම ලබා ගත යුතුය. ගොවියා වෙතටම තාක්ෂණය ගෙනයා හැක්කේ එවිටය. නැතිනම් පසුගිය අවස්ථාවල මෙන් චීනය වැනි රටවලින් කාබනික පොහොර ආනයනය කිරීමට සමාගම් සූදානම් වනු ඇත.

තවත් ප්‍රයෝජනවත් යොජනාවක් විය හැක්කේ සියලුම කෘෂිකර්ම විද්‍යාලවල ඩිප්ලෝමා පාඨමාලාවට කාබනික ගොවිතැන ඇතුළත් කිරීමයි. මේ සඳහා කඩිනමින් විෂයමාලා සකස් විය යුතුවේ. න්‍යායාත්මක හා ප්‍රායෝගික

දැනුම ඇති විශේෂඥ මණ්ඩලයකගේ සහය ලබා ගැනීම පිළිබඳව සලකා බැලිය යුතුය. ගම් මට්ටමින් මෙම නිෂ්පාදන සකසා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමට ගොවීන්ට හැකියාවක් නොමැති අවස්ථාවලදී රජය ඒ සඳහා මැදිහත්විය යුතුය. උදා: අමු ගොම, ගව මුත්‍රා, විවිධ හරිත පත්‍ර. ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි සිදුවන්නේ මෙයයි. ගම් මට්ටමේ සිටින කුඩා ව්‍යවසායකයන්ට සහ සමූපකාරයට මෙම කාබනික නිෂ්පාදන සාදා ගොවීන්ට ලබා දීමට අවස්ථාව ලබා දිය යුතුය.

ආචාර්ය ලයනල් වීරකෝන් මහතා තිරසර ගොවිතැන හා ගොවි පරිසර විද්‍යාව පිළිබඳ විද්වතෙකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයකුව සිටියදී ඔහු විසින් සිදුකරන ලද සංරක්ෂණ ගොවිතැන, ගොවි වන වගාව, නයිට්‍රජන් තිරකරන ශාක පිළිබඳව සිදුකළ පර්යේෂණවල තොරතුරු ජාතික හා ජාත්‍යන්තර ප්‍රකාශනවල පළවී තිබේ.

පසුකාලීනව ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ ගොවි වන වගාව පිළිබඳ විශේෂඥයකු ලෙසද, වන ජීවී භාරයේ ප්‍රථම විධායක අධ්‍යක්ෂවරයා ලෙසද, සමෘද්ධි අමාත්‍යාංශයේ කෘෂිකර්ම අධ්‍යක්ෂවරයකු ලෙසද සේවය කරනු ලැබීය.


ආචාර්ය ලයනල් වීරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment