කාබනික ගොවිතැන සරුවෙන්න – කොම්පෝස්ට් නිපදවීම දැනගන්න

640

* වැරදි ක‍්‍රම හරහා නැති ලෙඩ එන්න පුළුවන්

* මිශ‍්‍රණයේ නයිට‍්‍රජන් වැඩිකරන්න උත්සාහ ගත යුතුයි

* නිතර මිශ‍්‍රණය පෙරළීමෙන් හා තෙත්ව  තැබීමෙන් ප‍්‍රතිඵලය ඉක්මන්

* දැඩි හිරුරැස් හෝ වැස්ස වැටුනත් ගුණ හානිවෙනවා

කාබනික ගොවිතැන සරුවෙන්න - කොම්පෝස්ට් නිපදවීම දැනගන්න



කාබනික ගොවිතැන් ප‍්‍රවේශයක් වෙතට ශ‍්‍රී ලංකාව ගමන් කිරීමත් සමගම කොම්පෝස්ට් යන වචනය සුලභව සමාජ ආශ‍්‍රයට පැමිණ තිබෙන්නේ එය කාබනික ගොවිතැන් මූලධර්මයන්හි අත්‍යවශ්‍ය සංරචකයක් සේ ජනතාවට හැඟීයන පරිද්දෙනි. පුරාතන රෝම හා ග‍්‍රීක වැසියන් පවා ප‍්‍රංශ වචනයකින් බිඳී ඇවිත් භාවිතයට එකතු වූ මෙම වචනය පිළිබඳව දැනසිටි බව පැරණි වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත් කාබනික වගාවේ පියා ලෙස සැලකෙන ශ‍්‍රීමත් ඇල්බර්ට් හොවාඞ් විසින් විසිවෙනි ශතවර්ෂයේ මුල් භාගයේදී අමුද්‍රව්‍ය තට්ටු වශයෙන් අසුරමින් හා ඒවා දිරාපත් කිරීමට බිම් පණුවන්ගේ සහායද ලබාගනිමින් ගෙවත්තේ ප‍්‍රයෝජනය උදෙසා කොම්පෝස්ට් නිපදවීමේ ක‍්‍රමවේදය මුල් වතාවට නිර්මාණය කළ බවට ඉතිහාසය සාක්ෂි දරන්නේය. වචනය පහසුවෙන් පරිහරණය වූවාට, දිරාපත්වෙන ඕනෑම කසළ ගොඩක් එවන් පහසුවකින් කොම්පෝස්ට් බවට පත්කළ හැකි යැයි සිතිය යුතු නැත. ශාකයේ පෝෂණ අවශ්‍යතාවන් නොසලකා හරිමින් සහ පසේ සෞඛ්‍යයත් යහපැවැත්මත් පරදුවට තබමින් කාබනික පොහොර සෑදුවහොත් නම් ගහකොළ සතා සිව්පාවාට පමණක් නොව සමස්ත පරිසරයටම සිදුවන්නේ අගතියකි.

භෞමික ශාකයක වර්ධන උපස්තරය වන පස, භෞතික, රසායනික හා ජෛව යන ව්‍යුහයන් ත‍්‍රිත්වයෙන්ම සමන්විත වූ ස්ථානයක් වේ. කෘෂිකර්මයේ විද්‍යාත්මක ඉගැන්වීම්වලට අනුව යම්කිසි උපස්තරක් මත නිරන්තරයෙන් බෝග වවමින් අස්වැන්න උත්පාදනයක් සිදුකරන්නේ නම්, උපස්තරයෙන් නොකඩවා ඉවත්වෙන පාංශු පෝෂ්‍ය පදාර්ථයන් කඩිනමින් ආපසු පසට සැපයීමට වගාකරුවා පියවර ගත යුතුය. ඒවා ස්වභාවිකව ආපසු ලැබෙන තෙක් කල්මැරීම සුදුසු නැත. ප‍්‍රමාද වැඩිය. ආපසු ලබාදීම අතපසු කරන්නේ නම් අස්වැන්න ලැබීමද තිරසාර නොවන්නේය. පිටතින් ද්‍රව්‍ය දැමීමේදී එකතුකරනු ලබන සංඝටකයක් වන කොම්පෝස්ට් මගින් විශේෂයෙන් වැඩිදියුණු කරන්නේ ඉහත දැක්වූ පාංශු ව්‍යුහයන් අතරින් ජෛව ව්‍යුහය නමැති සංඝටකයයි. කොම්පෝස්ට් වලට ජාත්‍යන්තරයේ පවා දී ඇති අර්ථ දැක්වීමට අනුව මේ බව වඩාත් පැහැදිලි වේ. ඉන් කියවෙන්නේ කොම්පෝස්ට් යනු පසෙහි තත්ත්වය දියුණුකිරීම හා පෝෂක පදාර්ථ එකතු කිරීමට යොදාගන්න සංඝටක මිශ‍්‍රණයක් බවත්, එය නිපදවාගන්නේ දිරාපත්වෙන ශාක හා සත්ත්ව අපද්‍රව්‍ය, ආහාර අවශේෂයන් සහ ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි ස්වභාවික කාබනික ද්‍රව්‍යයන්ගෙන් බවත්ය. ප‍්‍රතිඵලය ලෙස ලැබෙන දෑ ශාක පෝෂක වලින් හා හිතකර ක්ෂුද්‍රජීවීන් වන බැක්ටීරියා, කුඩා පණුවන් වර්ග සහ දිලීර වැනි කොටස්වලින් පොහොසත් බවද වැඩිදුරටත් සඳහන් කෙරේ. අනෙකුත් කාබනික පොහොර වලට වඩා කොම්පෝස්ට් භාවිතය යෝග්‍ය වන්නේ නිවැරදි ක‍්‍රමවේදයට එය නිපදවීම හරහා අවශ්‍ය පෝෂණීය ගුණාත්මය වැඩි දියුණු කරගත හැකි අතරම, වල්පැළෑටි වල බීජ හා රෝපණ කොටස්, රෝගකාරක පලිබෝධකයින්ගේ ජීවන චක‍්‍ර අවධි යනාදියත් විනාශකිරීම ඒ තුළින්ම සිදුවී ගොස් බෝග කළමනාකරණය වඩාත් පහසුවීම නිසාය.

කාබනික ගොවිතැන සරුවෙන්න - කොම්පෝස්ට් නිපදවීම දැනගන්න

සරලම මට්ටමෙන් කියනවානම් කොම්පෝස්ට් නිෂ්පාදනය හා සම්බන්ධව ‘‘කොළ” හා ‘‘දුඹුරු” පැහැ ද්‍රව්‍ය මිශ‍්‍රණයක් තිබෙන බව සඳහන් කළ යුතුය. කොළ පැහැ ද්‍රව්‍ය වන්නේ නයිට‍්‍රජන් පදාර්ථයෙන් පොහොසත් ශාකපත‍්‍ර, තණකොළ හා ආහාර කසළ යනාදියයි. දුඹුරු කොටසට අයත් වන්නේ කාබන් වලින් සරුවී ඇති දැව කොටස්, වියළි පත‍්‍ර, දහයියා වැනි ද්‍රව්‍යයන්ය. නිවැරදි කාබන් නයිට‍්‍රජන් අනුපාතය, ප‍්‍රශස්ථ තෙතමනය පවත්වාගැනීම මෙන්ම මෙම මිශ‍්‍රණය නිසි පරිදි වාතනය කෙරෙන්නේ නම් කාලයාගේ ඇවෑමෙන් පුංචි පැළයකට වුවත් පහසුවෙන් අවශෝෂණය කරගත හැකි පෝෂක අන්තර්ගත කොම්පෝස්ට් බවට මෙහි පරිවර්තනය අපහසු නොවේ. අමුද්‍රව්‍ය දිරාපත් කරවීම ඉක්මන් කරවීම සඳහාද විවිධ උපක‍්‍රමද භාවිතා කළ හැකිය. ඒ අතර අමුද්‍රව්‍ය කැබලි කර භාවිත කිරීම, මුහුම් යෙදීම මෙන්ම කෙටි කාලාන්තර තුළ නිතර පෙරළීම සිදුකිරීම යනාදිය තිබේ.

කාබනික ගොවිතැන සරුවෙන්න - කොම්පෝස්ට් නිපදවීම දැනගන්න

‘‘කාබනික ගොවිතැනට යොමුවීමේදී ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ කොම්පෝස්ට් භාවිත කිරීම ඉතාමත් අවශ්‍යයි. ඇතැමුන් විසින් කුමන හෝ ද්‍රව්‍ය මිශ‍්‍රණයක් දිරායෑමට සලස්වා කොම්පෝස්ට් බෙදාහරින අවස්ථා අපි දැක තිබෙනවා. නිසි ප‍්‍රමිතියක් නැති මේවායින් අපේක්ෂිත ප‍්‍රතිඵලයක් ගන්න බෑ. ඇතැම්විට පසට හා පරිසරයට හානිකර සංඝටක පවා මේ හරහා පසට එකතුවෙන්න පුළුවන්. අප විසින් ගණනය කර තිබෙනවා ගුණාත්මයෙන් ඉහළ කොම්පෝස්ට් මෙටි‍්‍රක් ටොන් එකක් සෑදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ප‍්‍රමාණයන්. අමුද්‍රව්‍යවල මුළු බර ටොන් එක හමාරක් පමණ වෙනවා. යොදන අමුද්‍රව්‍ය වර්ගය, ඒවාහි අන්තර්ගත තෙතමනය, ගුණාත්මය වැනි කරුණු මත සෑදෙන කොම්පෝස්ට්වල ප‍්‍රමාණය හා පෝෂණ තත්ත්වය වුවත් එහා මෙහා වන්නට පුළුවන්. කෙසේ වුවත් අමුද්‍රව්‍ය අනුපාතය නිශ්චිත විය යුතුයි. තම ප‍්‍රදේශයේ සුලභ අමුද්‍රව්‍ය භාවිතයට හුරුවීම හොඳ ක‍්‍රමයක්. ඒ වගේම ඒවාහි පෝෂණ අගය ගැනද සැලකිලිමත් වෙන්න ඕනෑ.”

එසේ අදහස් දක්වන්නේ මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ) ප‍්‍රියංගා දිසානායක මහත්මියයි. ඇය පෙන්වාදෙන ආකාරයට අමුද්‍රව්‍ය ටොන් එකහමාර (කිලෝග‍්‍රෑම් 1500) සමන්විත විය යුත්තේ පහත දැක්වෙන ද්‍රව්‍ය වලින්ය. (ඒකක සඳහන් කර ඇත්තේ කිලෝග‍්‍රෑම් වලිනි)

සත්ත්ව පොහොර (එක වර්ගයකින් හෝ මිශ‍්‍රව) 600, ග්ලිරිසීඩියා කොළ හා ළපටි දඬු 200, වල්සූරියකාන්ත කොළ හා දඬු 200, ගිණිතණකොළ ඇතුළු කොළ වර්ග 100, කෙසෙල් කඳන්/බෝග අවශේෂ/ඉවතලන එළවළු පලතුරු අපද්‍රව්‍ය 100, ලී කුඩු/දහයියා/වියළි කොලරොඩු 100, එප්පාවල රොක් පොස්ෆෙට් 75, කොම්පෝස්ට් මුහුම් 75, ගුණාත්මය වැඩි දියුණුකළ ජීව අඟුරු 75. මෙහිදී ග්ලිරිසීඩියා වෙනුවට සන්හෙම්, මුකුණ, එරබදු, වඳුරු මෑ, පියුරේරියා වැනි නයිට‍්‍රජන් බහුල ශාක වර්ග වුවත් භාවිත කළ හැකිය.

පාංශු සත්කාරකයක් වශයෙන් කොම්පෝස්ට්වල මූලික ගුණාත්මය පවත්වා ගැනීම සඳහා ඉහත සඳහන් ද්‍රව්‍යයන් අදාළ අනුපාතයෙන් භාවිත කරනවාට අමතරව, පෝෂක මට්ටමෙහි ප‍්‍රමිතිය පවත්වා ගැනීමට තවත් යුතුකම් කීපයක්ද නිෂ්පාදකයා විසින් ද්‍රව්‍ය මිශ‍්‍රණය වෙනුවෙන් ඉටුකළ යුතු බව ඇය සඳහන් කරයි.

කොම්පෝස්ට් තේ, ගවමුත‍්‍ර, වෙනත් පෝෂක දියර වැනි දෙයක් මිශ‍්‍රකරමින් ගුණාත්මකව සාරවත්බව වැඩි දියුණු කරන ලද ජීවඅඟුරු, බර අනුව 5% ක් එකතුකිරීම

කොම්පෝස්ට් නිෂ්පාදන ක‍්‍රියාවලිය ආරම්භයේදී හා අතරතුරදී ජලය යොදමින් සිදුකරන තෙතමන යාමනය වෙනුවෙන් කොම්පෝස්ට් තේ, මාළු නිස්සාරකය ග්ලිරිසීඩියා හෝ වල්සූරියකාන්ත නිස්සාරකය, ගවමුත‍්‍ර වැනි දෙයක් ජලය වෙනුවට භාවිතා කිරීම. මේ හරහා කොම්පෝස්ට්වල නයිට‍්‍රජන් අන්තර්ගතය ඉහළ නැංවිය හැකිවේ.

නිපදවන ලද කොම්පෝස්ට් තද හිරුඑළියට හෝ වැස්සට නිරාවරණය නොවන සේ ගබඩා කිරීම.

හැකි සෑම විටකදීම පෝෂණීය අගයෙන් වැඩි අමුද්‍රව්‍ය භාවිත කිරීම.

කාබනිකව හෝ අකාබනිකව යන කුමන මූලධර්මයක් යටතේ ගොවිතැන් කළත්, වැඩිවන ජනගහනයකට සීමිත භූමි ප‍්‍රමාණයකින් බඩකට පිරවිය යුතු අභියෝගයකට ලෝකය මුහුණදී ඇති නිසා, විද්‍යාත්මකව තීරණය කෙරෙන පරිසර හිතකාමී මූලධර්මයන් පාදකව ගොවිතැනේ ක‍්‍රියාපිළිවෙත් සැකසිය යුතු බව සමාජයට අවබෝධවීම කාලයට ගැළපෙන තත්ත්වයක් වේ.

සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment