කාබනික පොහොර කතාවේ වැදගත් තැන්

1018

කාබනික ගොවිතැන, කාබනික පොහොර, කොම්පෝස්ට්, ජෛව පොහොර මේ දිනවල වැඩි වශයෙන් අසන්නට, දකින්නට ලැබෙන වැඩියෙන් කතාබහ වන මාතෘකාය. රජය විසින් ක‍්‍රියාවට නංවන ලද රසායනික පොහොර තහනම සමඟ කාබනික ගොවිතැන ඒ හා සබැඳි මාතෘකා කරලියට පැමිණ ඇත. කාබනික පොහොර යනු මොනවාද? රසායනික පොහොර යොදා කරනු ලබන වගාවන්ගෙන් ලබාගන්නා ඵලදායිතාවයම කාබනික පොහොර යොදා කරනු ලබන ගොවිතැනෙන් ලබා ගත හැකිද? කාබනික පොහොර ආනයන කළ යුතුද? මෙමගින් ලැබෙන අහිතකර ප‍්‍රතිඵල මොනවාද? ශ‍්‍රී ලංකාවේ කාබනික ගොවිතැනේ අනාගතය කෙබඳු වේද? රසායනික පොහොර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම අපට ඉවත් විය හැකිද? යනාදි කරුණු කාරණා ගණනාවක් මේ දිනවල පුළුල් සාකච්ඡුාවට භාජන වේ. මෙම ලිපිය මගින් ඉහත කරුණු පිළිබඳව සලකා බලනු ඇත.

කාබනික පොහොර භාවිතයේ වැදගත් කරුණු 

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ජෛව හායනයට ලක්වන විවිධ අමුද්‍රව්‍ය රාශියක් භාවිතයට ගනී. ක්ෂුද්‍ර ජීවීන්ගේ (විශේෂයෙන් බැක්ටීරියා සහ දිලීර) ක‍්‍රියාකාරිත්වය නිසා සිදු වන මෙම දිරා පත්වීමේ ක‍්‍රියාවලියට කිසිදු කෘතිම රසායනික ද්‍රව්‍යයක් අවශ්‍ය නොවේ. කාබනික පොහොර (කාබනික දියර පොහොර ඇතුළුව) නිෂ්පාදන සඳහා විවිධ ක‍්‍රම ඇති අතර ඒ එක් එක් ක‍්‍රමවලදී භාවිතයට ගන්නා අමුද්‍රව්‍ය ද වෙනස් වේ. කොම්පොස්ට් ඇතුළු කාබනික පොහොර නිෂ්පාදනයේදී ශාක කොටස්වලට අමතරව සත්ත්ව කොටස්, සත්ත්ව අපද්‍රව්‍ය, නාගරික කසළ වැනි විවිධ ප‍්‍රභවයන් රාශියක් ප‍්‍රයෝජනයට ගැනේ. මේ කුමන ප‍්‍රභවයක් යොදාගත්තද ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදනය විද්‍යානුකූලව සහ නිවැරදිව සිදු කරගත යුතුය. ගුණාත්මක බැවින් අඩු කාබනික පොහොර මඟින් ශාක සහ සතුන්ට මෙන්ම පරිසරයට ද සෘණාත්මක බලපෑම් ඇති කළ හැක. උදාහරණයක් ලෙස නාගරික කසළවල පරිසරයට අහිතකර බැරලෝහ, කාබනික දූෂක අන්තර්ගත විය හැකි බැවින් නාගරික කසළ මූලික කොට ගෙන නිසි ප‍්‍රමිතියකින් තොරව නිපද වූ කාබනික පොහොර භාවිතය නිසා මෙම බැර ලෝහ පසෙන් ශාකවලට ද ඉන්පසු සතුන්ටද ආහාර දාම හරහා ගමන් කරයි. එමනිසා නාගරික ඝන අපද්‍රව්‍ය (Municipal Solid Waste) කාබනික පොහොර සඳහා යොදා ගන්නේ නම් එම පොහොරවල ඵලදායිතාව සහ තිරසාර භාවිතය සඳහා එහි තත්ත්ව පරීක්ෂාවන් නිරන්තරයෙන්ම සිදු කළ යුතුය. බැර ලෝහ වලට අමතරව මෙම නාගරික කසළ වලින් නිෂ්පාදනය කරනු ලබන පොහොරවල අහිතකර බැක්ටීරියා සහ දිලීර, ව්‍යධිජනකයන්, විෂ සහිත රසායනික ද්‍රව්‍ය සහ වාෂ්පශීලී කාබනික සංයෝග ද යම් ප‍්‍රමාණයක් අන්තර්ගතව තිබිය හැක. මෙම ද්‍රව්‍ය බාහිර පරිසරයට මුදා හළ විට පෙනහලූ ආබාධ දිලීර ආසාදන සහ හඳුනානොගත් විවිධ රෝගාබාධ වලට මිනිසා ගොදුරුවීමේ හැකියාව ඇත.

එම නිසා කාබනික පොහොර නිෂ්පාදනයට භාවිත කරන අමුද්‍රව්‍යවල ස්වභාවය මෙන්ම එම පොහොර භාවිතා කරන්නේ කුමක් සඳහා ද යන්න මත මෙම කාබනික පොහොරවල ගුණාත්මක සහ ආරක්ෂාකාරී බව රඳා පවතී. එමෙන්ම විවිධ ප‍්‍රභවයන්ගෙන් මෙම පොහොර නිෂ්පාදනය වන නිසා කාබනික පොහොරවල අප නොදන්නා අපේ ශරීරයට අහිතකර සංඝටක රාශියක් අන්තර්ගත විය හැක.

කාබනික පොහොර ආනයනය

එමෙන්ම කාබනික පොහොර විදේශ රටවලින් මෙරටට ආනයනය කිරීමේද හිතකර නොවේ. ඉහත කී පරිදි මෙම කාබනික පොහොර ක්ෂුද්‍රජීවීන්, ශාක හා සත්ත්ව කොටස් මත පදනම් වූ බැවින් මෙම විදේශීය පොහොර සමඟ මෙරටට ඇතුළු වන අහිතකර ක්ෂුද්‍රජීවීන්, ව්‍යාධිජනකයින්, ආක‍්‍රමණශීලී ශාක බීජ, කුඩා පාංශු ජීවීන් සහ කුඩා සතුන් මඟින් මෙරට ආවේණික ජීවි විශේෂ වලට ද, ලංකාවේ ජෛව විවිධත්වයට ද සෘජුවම බලපෑම් ඇති කළ හැක.

ඉහත සඳහන් කළ හේතු නිසා මෙම ආනයනික කාබනික පොහොර ගුණාත්මකභාවය භාවිතයට පෙර හොඳින් අධ්‍යනය කළ යුතුය. මෙම මිනුම් දඩු අතර පොහොරවල අන්තර්ගත කාබනික කාබන් ප‍්‍රමාණය, කාබන්: නයිට‍්‍රජන් අනුපාතය, බැරලෝහ ප‍්‍රමාණය, සජීවී වල් පැළෑටි බීජ, තෙතමනය වර්ණය, ක්ෂුද්‍රජීවී ව්‍යධිජනකයින් හා ක්ෂුද්‍රජීවීන් ඝනත්වය කරුණු ගණනාවක් සලකා බැලිය යුතුය.

කෙසේ වෙතත් කාබනික පොහොර භාවිතයට නැඹුරු වීම ඉතා වැදගත් වේ. තිරසාර සංවර්ධනය හා පරිසරයට එමඟින් ඇති කරන හිතකර බලපෑම අතිමහත්ය. සිදුවිය යුත්තේ විද්‍යානුකුලව සහ නිවැරදිව පිළියෙල කරන ලද කාබනික පොහොර භාවිත කිරීම පමණි. එමගින් පසේ සාරවත් බව වැඩි කරන අතර පසේ රසායනික, භෞතික හා ජීව විද්‍යාත්මක ලක්ෂණ වැඩිදියුණු කරයි. කෘෂි කර්මාන්තයට හිතකර පාංශු ජීවීන් සහ ක්ෂුද්‍රජීවීන්ගේ ගහනයද මෙමඟින් වැඩිදියුණු කරගත හැක. කාබනික පොහොර පසෙහි කිසිදු කෘතිම සංයෝගයක් ඉතිරි නොකරයි. එම නිසා රසායනික පොහොර මෙන් නොව පසෙහි සමතුලිතතාවයට ඉන් බලපෑමක් ඇති නොකරයි. එම නිසා කොම්පෝස්ට් ඇතුළු කාබනික පොහොර භාවිතය වඩාත් ප‍්‍රචලිත කළ යුතුය. ඉන්දියාව, චීනය, උගන්ඩාව, මෙක්සිකෝව හා ජර්මනිය ඇතුළු රටවල් බොහොමයක් දැන් කාබනික ගොවිතැන් මහාපරිමාණයෙන් කරන රටවල් අතර ප‍්‍රමුඛස්ථානයට පැමිණ ඇත.

ජෛව පොහොර, ක්ෂුද්‍රජීවී ජෛව තාක්ෂණය සහ කාබනික ගොවිතැනේ නව ප‍්‍රවනතා

බැක්ටීරියා, දිලීර හා නීල හරිත ඇල්ගී වැනි ක්ෂුද්‍රජීවීන් බොහෝ දුරට කෘෂිකර්මාන්තයේදී ජෛව පොහොර ලෙස භාවිතා කරනු ලැබේ. මෙම ජීවීන් පසේ ක‍්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා ශාකය හා සම්බන්ධ පසට එකතු කරනු ලැබේ. මෙවැනි ක්ෂුද්‍රජීවීන් වඩාත් කාර්යක්ෂමව නයිට‍්‍රජන් තිර කිරීමෙන් (වායුගෝලයේ ඇති නයිට‍්‍රජන්, ශාක වලට ප‍්‍රයෝජනයට ගත හැකි නයිට‍්‍රජනීය සංයෝග බවට පත්කිරීම) පසෙහි පෝෂක පදාර්ථ වැඩිදියුණු කර ඒවා වක‍්‍රව ශාකවලට ලබා ගැනීමට උදව් කරනු ලබයි. ලෝකයේ බොහෝ දියුණු කෘෂිකර්මාන්තය ඉහළින් සිටින නවසීලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ජපානය, චීනය මෙන්ම යුරෝපීය රටවල් බොහොමයක් මෙවැනි කාර්යක්ෂම ක්ෂුද්‍රජීවී සාම්පල හඳුනාගෙන විශාල වශයෙන් රසායනාගාර තුළ සකස් කර ගොවීන්ට බෙදා හරිනු ලබයි.

බොහෝ කලක සිට ඇසටෝබැක්ටර් (Azotobacter)) සහ රයිසෝබියම් (Rhizobium)  නම් බැක්ටීරියා කාණ්ඩවලට අයත් බැක්ටීරියා ජෛව පොහොර ලෙස භාවිතා කරයි. රනිල කුලයේ ශාකවල මූල ගැටිති තුළ වෙසෙන මෙම බැක්ටීරියා වලට නයිට‍්‍රජන් තිර කිරීමේ හැකියාව සහ පොස්ෆේට් ද්‍රව්‍ය කිරීමේ හැකියාව (මෙම බැක්ටීරියා මඟින් පසෙහි අඩංගු සංකීර්ණ පොස්ෆේට් ශාක වලට උරා ගත හැකි සරල පොස්ෆේට් අණු බවට බිඳ හෙලයි) ඇත. මෙම (Azotobacter) බැක්ටීරියාවල වල් දර්ශකය (wild type)  ධාන්‍ය, පලතුරු, තන්තු බෝග වැනි බොහෝ ශාක වර්ග සඳහා ප‍්‍රයෝජනවත් වන බව හඳුනාගෙන ඇත. එමනිසා අණුක ජීවවිද්‍යා රසායනාගාර තුළදී මෙම (Azotobacter) බැක්ටීරියා ජෛව ඉංජිනේරු තාක්ෂණික ක‍්‍රමවේද මඟින් වඩාත් හොඳ පොස්පේට් ද්‍රව්‍යකරණය සහ වඩාත් කාර්යක්ෂමව වායුගෝලීය නයිට‍්‍රජන් තිර කිරීම වැනි ක‍්‍රියාවලින් සඳහා වැඩි දියුණු කර ඇත. බොහෝ රසායනිකව සංස්ලේෂණය කරන ලද නයිට‍්‍රජන් පොහොර තිබියද මෙවැනි (Azotobacter) බැක්ටීරියා මඟින් නිපදවූ ජෛව පොහොර ද වෙළෙඳ පොළෙහි දක්නට හැකිය. පරිසරවේදීන්ගෙන් පවා ඇගයීමට ලක්වූ කිසිදු පේ‍්‍රරකයක් අවශ්‍ය නොවන, ප‍්‍රතිජීවක ප‍්‍රතිරෝධක සලකුණු නොමැති, විදේශීය ජාන අන්තර්ගත නොවන ජෛව තාක්ෂණය මගින් වැඩිදියුණු (Azotobacter) බැක්ටීරියා වර්ග අද වන විට වනවිට නිපදවා ඇත. ක්ෂුද්‍රජීවීන් සහ සබැඳි නූතන ජෛව තාක්ෂණික යෙදවුම් මගින්ද කෘෂිකර්මාන්තයට වඩාත් ඵලදායි ලෙස ජෛව පොහොර නිෂ්පාදනයට අවස්ථාව ලැබී ඇත. නයිට‍්‍රජන් තිර කිරීමේ හැකියාවට අමතරව තවත් වැදගත් කාර්යභාරයක් (Azotobacter) බැක්ටීරියා ඉටුකරයි. ඔවුන්ගේ විවිධාකාර පරිවෘත්තීය ක‍්‍රියා මගින් විටමින් නිෂ්පාදනද, ශාක වර්ධක හෝමෝන වන ඉන්ඩෝල් ඇසිටික් අම්ලය සහ ගිබරලීන් (Indoleacetic Acid and Gibberellic Acid) නිපදවීමේ හැකියාවද, බීජ ප‍්‍රරෝහණය වැඩිදියුණු කිරීමේ හැකියාවද ඇත. දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය සමඟ ශාක වර්ධක බැක්ටීරියා එක්කිරීමෙන් පරිසර හිතකාමී කාබනික පොහොර බොහෝ රටවල භාවිත කර සාර්ථක ප‍්‍රතිඵල ලබාගෙන ඇත. Bacillus” Bradyrhizobium iy Paenibacillim” Pseudomonas” Rhizobium බැක්ටීරියා කාණ්ඩ වලට අදාළ බැක්ටීරියා විශේෂ ඇතුළු තවත් බැක්ටීරියා විශේෂ රාශියක් ශාක වර්ධක බැක්ටීරියා ලෙස සහ නයිට‍්‍රජන් තිර කිරීමේ හැකියාව ඇති බැක්ටීරියා ලෙස හඳුනාගෙන ඇත. පස සහ ශාක ආශිතව පවතින දිලීර විශේෂ ගණනාවක් (මයිකොරයිසල් දිලීර) මෙන්ම Alternaria” Aspergillus” Fusarium”, සහ  Trichoderma  දිලීර විශේෂයන් ඇතුළු තවත් දිලීර විශේෂ රාශියක් ශාක වර්ධනය උත්තේජනය කරන දිලීර ලෙස හඳුනාගෙන ඇත. මේවා ක්ෂුද්‍රජීවී ජෛව තාක්ෂණය මගින් වැඩිදියුණු කිරීමෙන් සාර්ථකව කාබනික ගොවිතැන සඳහා යොදාගෙන ඇත. එමෙන්ම ඉහත සඳහන් කළ දිලීර සහ බැක්ටීරියා භාවිතයෙන් ශාක වල ක්ෂුද්‍රජීවී ව්‍යධිජනකයින් නිසා ඇතිවන් රෝග පාලනය කිරීම සඳහා මෙන්ම පළිබෝධක් නිසා ඇතිවන හානිය අවම කර ගැනීමට නිපදවන ලද වාණිජ නිෂ්පාදන (ජෛව පළිබෝධනාශක) අද වෙළඳපොළේ දක්නට ඇත. මේවා රසායනික පළිබෝධනාශක සඳහා කදිම, පරිසර හිතකාමී ආදේශක ලෙස ප‍්‍රචලිතය.

ආචාර්ය කසුන් එම්. තාඹුගල
ප‍්‍රවේණි සහ අණුක ජීව විද්‍යා ඒකකය
ව්‍යවහාරික විද්‍යා පීඨය
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ආචාර්ය අනුපමා දරණාගම
ශාක හා අණුක ජීව විද්‍යා අධ්‍යාපනය අංශය, විද්‍යාපීඨය, කැලණිය විශ්වවිද්‍යාලය

 

advertistmentadvertistment
advertistmentadvertistment