කාබනික පොහොර පිටරටින් ගේන්න ඕන නෑ වගා බිමේදීම හදාගන්න පුළුවන්…

460

* ගමේ ගොවියව රසායනික පොහොර, කෘමි නාශක භාවිතයට හුරු කළේ දුම්කොළ වගාවයි…
* පාරිසරික ගොවිතැනේ පර්යේෂණ කණ්ඩායම් සමාජික  විමල් කුමාරතුංග කියයි

* අපේ පැරැන්නො බත් කෑවේ  එක වේලයි…
* මුහුදු වතුරෙන් ඕනෑම වගාවකට දියර පොහොර…
* ලබන කන්නෙ වගාව  ගැන නෙමෙයි මේ කන්නෙ අස්වැන්න ආරක්‍ෂා කරගන්න ක‍්‍රමවේදයන් ගැන  කතා කරන්න…

මියැදෙමින් තිබෙන පොළොවට ජීවය ලබාදීමට ගත් උත්සාහය අප අගය කළ යුතුය. රසායනික පොහොර, පළිබෝධ නාශක භාවිතය තහනම් කරමින් ජාතියක් මරණයෙන් මුදාගැනීමට තීන්දු, තීරණ ගැනීමට සම්මාදම් වූ සියලූදෙනාට මෙරට පුරවැසියන් ලෙස ස්තුති කළ යුතුය. දශක පහකට වැඩි කාලයක සිට වස, විස එකතු කරමින් මේ සාර භූමියට කළ විනාශය නතර කිරීමට බලධාරීන්ගේ දෑස් විවරවීම ම ජාතියේ වාසනාවකි. එහෙත් එම තීන්දු තීරණ ගැනීමේදී මෙරට ගොවීන්ට යම් අසාධාරණයක් සිදු වී ඇති බවට සමාජය තුළ විවිධ මත ඉදිරිපත් වෙමින් තිබේ.

එවැනි පසුබිමක රසායනික පොහොර තහනම ගැන අදහස් ප‍්‍රකාශ කරමින් ගොවි ගම්මානවල ගොවීන් අපට කීවේ ‘වැඩෙ හොඳයි… මාස කිහිපයකට පෙර දැනුවත් කර රසායනික පොහොර භාවිතය නතර කළා නම් තවත් හොඳයි. හිටි හැටියේ ගත්ත මේ තීරණයෙන් අපි විතරක් නෙමෙයි මුළු රටේම ජනතාව අසරණ වෙනවා…’ ඕනෑම දෙයක් සාර්ථක කරගැනීමට යම් කැප කිරීමක් කළ යුතු බව සැබෑය. වස විෂ සහිත ආහාර පරිභෝජනය කර රෝගීන් වීමට අකමැති සහ කුහකයන් නොවන මෙරට බහුතරය මේ රසායනික පොහොර තහනමට එක සිතින් කැමතිය. එවැනි සුබවාදී පසුබිමක පිටරට හුරුවට පැවති කාබනික ගොවිතැන මෙරට ආරේට ‘පාරිසරික ගොවිතැනක්’ ලෙස හඳුන්වාදීමට කටයුතු කළ ‘ගලහ ගැමි සේවා සෙවණ’ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙක් වන නිමල් කුමාරතුංග මහතා අපි හමුවීමු.

කාබනික පොහොර පිටරටින් ගේන්න ඕන නෑ වගා බිමේදීම හදාගන්න පුළුවන්...

පාරිසරික ගොවිතැන සම්බන්ධයෙන් වසර තිහකට වැඩි දැනුම් සම්භාරයක් සහිත ශ‍්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ ආහාර ස්වෛරීභාවය පිළිබඳ වැඩසටහන් කළමනාකරුවකු ලෙස කටයුතු කරන නිමල් කුමාරතුංග වගා බිමේදී, ගෙවත්තේදී මෙන්ම ව්‍යාපාරයක් ලෙස කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරගන්නා ආකාරය මෙන්ම යම් වගාවක් කෘමි සතුන්ගෙන් ආරක්‍ෂා කරගැනීමට රසායනික පළිබෝධ නාශක අවශ්‍ය නොවන බව උදාහරණ සහිතව අපට පැහැදිළි කළේය. මේ පෙළගැසෙන්නේ ඒ කතාව සහ රසායනික පොහොර භාවිතයත් සමඟ මෙරට සාම්ප‍්‍රදායික ගොවිතැන විනාශ වූ ආකාරය ගැන කුමාරතුංග කියන කතාවය.

‘‘අපේ රටේ සාම්ප‍්‍රදායික ගොවිතැන විනාශ කළේ සුද්දො. උන්ට ඕන වුණේ ආහාර රටාව වෙනස් කර අපේ මිනිසුන්ගේ ජවසම්පන්න බව හීන කරන්න. කෝපි, තේ ආර්ථික වගාව මෙරට තුළ ව්‍යාප්ත කරන්න. ඉවක් බවක් නැතිව කඳුකරය සුද්ද කර ප‍්‍රථමයෙන් කෝපි ඇට දැම්මා. කෝපි වගාවෙන් බලාපොරොත්තු අස්වැන්න නොලැබෙනකොට තේ ඇට දැම්මා. කැලෑ සුද්ධ කිරීමත් සමඟ පාංශු ඛාදනය සිද්ධ වුණා. සුද්දා පොළොවත් විනාශ කර අපේ රටේ තිබුණු සම්පත් සූරාගෙන පිටරට පැටෙව්වා. ඒත් අදටත් අපේ සමහර අය කියනවා ‘සුද්දා ආවේ නැති නම් අපිට යන්න පාරක්වත් නෑ’ කියලා. සුද්දා පාරවල් හැදුවේ රටට ආදරයට නෙමෙයි. උඩරට සිට පහතරටට පහසුවෙන් බඩු භාණ්ඩ ප‍්‍රවාහන කරගන්න. රජරට හරහා කැපුණු පාරවල් බොහෝමයක් ගිහින් තියෙන්නෙ වැව් දෙපළු කරගෙන. වැව විනාශ වුණාට පස්සෙ ගොවිතැන ඉවරයි. මෙරට මහා වාරි තාක්‍ෂණයත් සමඟ ගොඩනැඟී තිබුණු ගොවිතැන සුද්දට හිසරදයක් වුණා…’’

‘‘එකල අපේ පැරැන්නො බත් කෑවේ එක වේලයි. ඉතිරි වේල් දෙක අල, බතල, කුරක්කන්, මෙනේරි, තනහාල්, ඉරිගු වගේ ආහාරවලින් සප්පායම් වුණා. හේනක බෝග වර්ග හතළිහක් විතර වගා කෙරුණා. හැම පවුලකටම වගේ කිරි හරක් පට්ටියක් හිටියා. උන්ගේ ගොම ටික හේනෙ වගාවට පොහොර වුණා. කන්නයක් කාලා ඉවර කරන්න බැරි තරමට හේනෙන් මහා විශාල අස්වැන්නක් ලැබුණා. කුඹුරෙන් වී ටික ලැබුණා. එදා අපේ රට ආහාරවලින් ස්වයංපෝෂිතව තිබුණා. සුද්දන්ගේ තේ, කෝපිවතුවල වැඩට සිංහල මිනිස්සු ගියේ නෑ. අන්තිමේ සුද්දො වතුවල වැඩට ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙනාවා. ඒ මිනිස්සුන්ගේ කෑමට තිරිඟු පිටි, පරිප්පු, සීනි ගෙනාවා. වැඩිවන ජනගහණයට ආහාර අවස්ථා ඉටු කිරීමට කියලා ‘හරිත විප්ලව’ හඳුන්වා දුන්නා. වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ප‍්‍රථමයෙන් අභිජනනය කළේ ඉරිඟු ඇටයක්. ඕනෑම බෝගයක් වැඩි අස්වැන්නක් ලබාදෙනකොට රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව අඩු වෙනවා. ඒ වගේම කෙටි කාලයකින් වැඩි අස්වැන්නක් ලබාගන්න නම් වැඩි පෝෂණයක් ලබාදෙන්න ඕනෑ. බෝගවලට වැඩි පෝෂණය ලබාදෙන්න තමයි රසායනික පොහොර හඳුන්වා දුන්නෙ. ඒත් මෙරට බහුතරය රසායනික පොහොර භාවිතයට නැඹුරු වුණේ නෑ. සාම්ප‍්‍රදායික ක‍්‍රමයට වගා කටයුතු කරගෙන ගියා. සුද්දො තේ වතුවලට මහා පරිමාණයෙන්ම රසායනික පොහොර භාවිතා කළා…’’

‘‘සුද්දගෙන් නිදහස ලැබිලා එක්දහස් නවසියපනස් ගණන්වල අග මිණිපේ ව්‍යාපාරය ක‍්‍රියාත්මක වුණා. එම ව්‍යාපාරය ක‍්‍රියාත්මක ප‍්‍රදේශවල හිටපු ජනගහණයට තව හතර, පස් ගුණයකින් ජනගහණය වැඩි වුණා. ගොඩ, මඩ ගොවිබිම් සීමා වුණා. ඒ සමඟම එක්දහස්නවසිය හැට ගණන්වල අග සහ හැත්තෑ ගණන්වල මුල දුම්කොළ වගාව ප‍්‍රචලිත වෙන්න පටන් ගත්තා. දුම්කොළ ශාකයේ පත‍්‍ර විශාල නිසා වැඩි පෝෂණ ප‍්‍රමාණයක් අවශ්‍යයි. ඒ නිසා දුම්කොළ වගාවට බහුල වශයෙන් රසායනික පොහොර භාවිතා කරන්න වුණා. දුම්කොළ පත‍්‍ර කෘමි උවදුරින් ආරක්‍ෂා කරගන්න රසායනික බෙහෙත් භාවිතා කරන්න වුණා. දුම්කොළ ආක‍්‍රමණයත් සමඟ තමයි අපේ ගම්වල මිනිසුන්ට රසායනික පොහොර, කෘමි නාශක අතපත ගාන්න ලැබුණේ. මහා කැලෑව විනාශ වුණේ හේන් ගොවිතැන නිසා නෙමෙයි, දුම්කොළ ආක‍්‍රමණය නිසයි. දුම්කොළ වගාවත් අපේ පොළවට මහා විනාශයක් කළා…’’

‘‘වී ගොවිතැනට රසායනික පොහොර හඳුන්වා දුන්නෙ හැටේ දශකයේදී. ඒ මෙරට හාතියාර් වී ප‍්‍රභේදය අභිජනනය කර එච්4 වී ප‍්‍රභේදය හඳුන්වාදීමත් සමඟ. ඒත් රසායනික පොහොර භාවිතය රට පුරා මහා පරිමාණයෙන් ව්‍යාප්ත වුණේ වගා සංග‍්‍රාමය යටතේ හැත්තෑව දශකයේදී. 1977 විවෘත ආර්ථිකයත් සමඟ රසායනික පොහොර සහ කෘමිනාශක හඳුන්වා දුන්නෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. එදා ඉඳලා ගොවීන්ව රසායනික පොහොර කෘමිනාශක භාවිතයට හුරු කරන්න, වී අභිජනනය කරන්න, වෙනත් බෝග ප‍්‍රවර්ධනය කරන්න, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අති විශාල මුදල් සම්භාරයක් වියදම් කළා. ඒ වගේම මහවැලි ව්‍යාපාරය යටතේ දෙමුහුන් බෝග ප‍්‍රභේද විශාල සංඛ්‍යාවක් සහ ඒවාට අනුගත වෙච්ච රසායනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරට  ගොවීන්ට හඳුන්වා දුන්නා. ඒ සමඟ මෙරට දේශගුණයට, පසට හුරුවෙලා තිබුණු පරම්පරාවෙන් උරුම වෙච්ච කෘෂි ජාන වගා බිම්වලින් වඳ වෙලා ගියා. 1980 දශකයේ මුල් භාගයේ මෙරට හේන් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණා. ඒ සමඟ හේන තුළ සංරක්‍ෂණය වෙච්ච අපේ ජාන සම්පත නැත්තටම නැති වුණා. 1980 අගභාගය වෙනකොට හේන් ගොවිතැන් කරන ගොවීන්ව අත්අඩංගුවට අරගෙන හිරේ දාන තරමට නීතිය දැඩි වුණා…’’

‘‘කෘෂිකර්මය විෂය යටතේ මෙරට පාසල්වල රසායනික ගොවිතැන උගන්වනවා. මේ වෙනකොට සියලූ කෘෂි විද්‍යාඥයො හදලා තියෙන්නෙ රසායනික ගොවිතැනට අවශ්‍ය විදිහට. එතැන ඉඳලා පහළට සියලූ කෘෂි නිලධාරීන්ගේ ඔලූ ගෙඩිවල තියෙන්නෙ රසායනික ගොවිතැන ගැන. දශක හතරක, පහක ඉගැන්වීමක් මුල් බැසගත් රසායනික ගොවිතැනක් හිටි හැටියේ කාබනික ගොවිතැනට හැරවීම උඩුගං බලා පීනනවා වගේ වැඩක්. කාබනික ගොවිතැනෙදී ලැබෙන වාසි ගැන ගොවීන්ට විශ්වාසනීය ආකාරයට සන්නිවේදනය කරමින් කෙටි කාලීන, මධ්‍ය කාලීන, සහ දිගු කාලීන වැඩපිළිවෙළක් යටතේ මේ පරිවර්තය සිද්ධ වුණා නම් රටට යහපත් ප‍්‍රතිඵල ලබාගන්න පුළුවන්කම තිබුණා. මේ රජය බලයට පත්වෙලා කන්න තුනක් පහු කරගෙන ඇවිත් හිටි හැටියේ කහ තහනම් කළා වගේ සිද්ධ කරපු මේ වැඬේ අනුමත කරන්න බෑ. කහ කියන්නෙ එක කුළුබඩු බෝගයක් විතරයි. රසායනික පොහොර තහනම කියන්නෙ මෙරට සමස්ත ගොවිතැනටම බලපාන සාධකයක්. රසායනික පොහොරවලට හුරුවෙලා තිබුණු ගොවිතැන එක පාරටම කාබනික පොහොරවලට හුරු කරන්න අසීරුයි. ඒ නිසා යල් කන්නයේ අස්වැන්න මහා පරිමාණයෙන් අඩුවන බව නියතයි. ඒ වගේම ඉදිරි මාසවල මෙරට බොහෝ ප‍්‍රදේශවල කොස්, දෙල් ඇතුළු පාරිසරික ආහාර ඵලදාව අවමයි. පෙබරවාරි මුල සිට ජූලි අග වෙනකොට කොස්, දෙල් ඵලදාව ලැබිලා අවසානයි. ඒ නිසා ඉදිරි කාලයේදී රට තුළ විශාල ආහාර හිඟයකට මුහුණ දෙන්න වෙනවා…’’

‘‘ඒත් මේ පරිවර්තනය අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. දැන් මට වයස අවුරුදු හැටයි. දශක තුනක වැනි කාලයක ඉඳලා අපි පෙනී හිටියෙත් පාරිසරික ගොවිතැන මේ රට තුළ ප‍්‍රචලිත කිරීමටයි. කෘෂිකර්ම පර්යේෂකයෙක් හැටියට මම කළ පර්යේෂණවලට ජනාධිපති සම්මාන ඇතුළුව සම්මාන විස්සක් විතර ලැබිලා තියෙනවා. 1989 වර්ෂයේදී ගලහ ගැමි සේවා පියස තුළින් කෝටු රාමු ක‍්‍රමයට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන ක‍්‍රමය හඳුන්වා දුන්නෙ මමයි. අදටත් මගෙ කිසිදු වගාවකට රසායනික පොහොර, කෘමිනාශක යොදන්නෙ නෑ. වගාවට අවශ්‍ය පොහොර මම ගෙදර හදාගන්නවා. රසායනික පොහොර තහනමත් සමඟ අසරණ වෙලා ඉන්න ගොවීන්ට දෙන්න තියෙන සරලම උපදෙස නම් වගා බිමෙන් හතරෙන් එකක ඔබගේ ගෙදර පරිභෝජනයට අවශ්‍ය එළවළු, කුළුබඩු ටික වගා කරගන්න. ඉතිරි භූමියෙත් එකම බෝග වගාවකට කොටු නොවී උද්භීත කුල (බෝග කාණ්ඩ) පහකට අදාළව බෝග වර්ග විස්සක්වත් වගා කළ යුතුමයි. එදා හේන් වගාවේදී එක කන්නයක බෝග හතළිහයක් විතර වගා කෙරුවා. සූදුරු, මාදුරු, කොත්තමල්ලි ටිකත් හදා ගත්තා. එහෙම කළාම අස්වැන්න අඩු වුණා කියලා අලාභ වෙන්නෙ නෑ. තමන්ගේ දරු පවුලට ප‍්‍රමාණවත් ආහාර ටික හරි තියෙනවා…’’

‘‘අපේ රටේ ගොවි පවුල් ලක්‍ෂ තිහකට වැඩියි. බහුතරය අර්ධ කාලීන ගොවියො. අක්කරයකට, දෙකකට සීමා වෙච්ච ගොවියො. බොහෝ දෙනෙක් තේ, රබර්, කුරුඳු වගා කරන්නෙත් අමතර ආදායමක් ලබාගැනීමේ අරමුණින්. වී ගොවියො කුඹුරු වැපුරුවට පස්සෙ වෙනත් කර්මාන්තයක හෝ කුලී වැඩට යොමු වෙනවා. ඒ වගේම මෙරට ගොවි පවුල්වලින් අති බහුතරය සමෘද්ධිලාභීන්. තම පවුලට අවශ්‍ය ආහාර ටික වගා කරගත්තා නම් රජයට අත පාන්නෙ නැතිව රජෙක් වගෙ ජීවත් වෙන්න තිබුණා. වී ගොවිතැන කරන ගොවීන්ට කුඹුරේ නියර පළල් කරලා ‘නියර වගාව’ පටන් ගන්න පුළුවන්. එළවළු වර්ග කිහිපයක් ඒ නියරේ හදාගන්න පුළුවන්. කුරක්කන්, තණහාල්, මෙනේරි, ඉරිගු බෝග වගා කරගන්න පුළුවන්. ආර්ථික බෝග වගා බිම්වලත් ගෙදරට අවශ්‍ය ආහාර ටික හදාගන්න පුළුවන්. බෝග වගාවට කාබනික පොහොර වෙළෙඳපොළෙන් ගන්න අවශ්‍ය නෑ. පාරිසරික ගොවිතැනට අවශ්‍ය පොහොර ටික ගෙවත්තෙ, වගා බිමේ දීම හදාගන්න පුළුවන්. දැන් බොහෝ දෙනෙක් ළඟ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් යූටියුබ් එකට ගිහින් බලනකොට කොම්පෝස්ට් පොහොර හදාගන්න ඕනෑතරම් ක‍්‍රමවේදයන් තියෙනවා…’’

‘‘මට තියෙන්නෙත් අක්කර දෙකක වගා බිමක්. අපේ පවුලේ ආහාරවලට අවශ්‍ය එළවළු, පලා, කුළු බඩු බෝග ඇතුළුව තේ වගාවත් මම කරගෙන යනවා. කිසිම දවසක මම රසායනික පොහොර, කෘමිනාශක භාවිතා කරලා නෑ. අපේ කුස්සියෙන් ඉවතලන දිරන, නොදිරන දේවල් තෝරා බේරාගෙන වෙන වෙනම ගොඩ ගහනවා. වත්තෙ තියෙන කොල රොඩුත් එක තැනකට එකතු කරලා මාසයක් විතර වහලා තියෙනකොට ශුද්ධ ජීව ක‍්‍රියාකාරිත්වයත් එක්ක කොම්පෝස්ට් හැදෙනවා. මුළුතැන්ගෙයි හාල් සෝදා ඉවතලන වතුර, මාළු සෝදන වතුර, ඉවතලන පලතුරුවල ශුද්ධ ජීවී ක‍්‍රියාකාරිත්වය ඉතාම ඉහළයි. කුණු රොඩු ගොඩකට ඒ වතුර ටිකක් ඉහලා වහලා තියලා දෙවරක් විතර පෙරළුවම ඉක්මනට පොහොර බවට පත් කරගන්න පුළුවන්. කොම්පෝස්ට් පොහොර හදන ක‍්‍රම රාශියක් තියෙනවා. දැන් මම කිව්වේ ඉතාම පහසුවෙන් අක්කරයක, දෙකක වගා බිමකට පොහොර හදාගන්න ක‍්‍රමයක්. ඒ  වගේම මිශ‍්‍ර වගාව තුළ කෘමි හානිය ස්භාවිකවම පාලනය වෙනවා. අපේ පැරැන්නො ඒ ගැන දැනුවත්ව තමයි මිශ‍්‍ර බෝග වගාව කළේ. ඊට අමතරව කෘමි උවදුරු පාලනයට විකල්ප පළිබෝධ පාලන උපාය උපක‍්‍රම තියෙනවා. කොහොඹ ගස සුපිරි කීට නාශකයක්. කොහොඹ ඇට වගා බිමට ඖෂධයක්. අක්කරයකට මී ගස් හතරක් තිබුණොත් ඒ වගා බිමට වෙන පොහොර, කෘමි පාලනයක් අවශ්‍ය නෑ. තිත්ත, කහට රස සහිත පත‍්‍ර ඇති ඕනෑම ශාකයක් හොඳ කෘමි නාශක. කෘමි පාලනයට දාස්පෙතියා සුපිරි ශාකයක්. කොත්තමල්ලි, අසමෝදගම්, තක්කාලි, මදුරුතලා කුලයට අයත් බැසිල්, සේර සගන්දකාරක කෘමි සත්ව පාලනයට සුපිරි ශාක. ඒ වගේම ඒකාබද්ධ පළිබෝධ පාලනය ගැනත් ගොවීන්ව දැනුවත් කළ යුතුයි. මාළු සෝදන වතුරවලින් හදාගන්න ‘මාළු තෛලෝදය’ ඉවතලන පලතුරු එකතු කර සදාගන්න ‘පලතුරු දියර’ වී වගාවට හොඳ පළිබෝධ නාශකයන්. මුහුදු වතුර ඕනෑම වගාවකට සුපිරි දියර පොහොරක්. සියලූම ඛනිජ ද්‍රව්‍ය මුහුදු වතුරේ තියෙනවා…’’

ඒ වගේම කාබනික පොහොර පිටරටින් ගේන්න අවශ්‍ය නෑ. ගොවි ගම්මානවල ග‍්‍රාමසේවා වසම් දෙකකට එක  බැගින්වත් කොළ රොඩු කුඩු කිරීමට අවශ්‍ය මල්ටි චොපර් යන්ත‍්‍ර ලබාදෙන්න. පිදුරු, ගිනිසීරියා, මාන, ගිනිගාස්, අලි මාර කොළ වියළුණු ගොම සමඟ කළවම් කර මල්ටි චොපර් යන්ත‍්‍රයකට දාලා කුඩු කරලා ගත්තම හොඳ කාබනික පොහොර. සමහර පළාත්වල ගව ගාල් තියෙනවා. ගොම ටික විතරක් නෙමෙයි හරක් ලගින තැනත් කොම්පෝස්ට් ගොඩක්. ඒ වගේම රජය විසින් ගොවි ගම්මාන තුළ ප‍්‍රාථමික නිෂ්පාදන ඒකක ඇති කළ යුතුයි. කෘෂි විද්‍යාව සහ කාබනික ගොවිතැන පිළිබඳ පුළුල් දැනුමක් නිලධාරීන්ට ලබාදෙන්න ඕනෑ. අදාළ කෘෂි නිලධාරීන් විසින් කාබනික ගොවිතැන ගැන වගේම මිශ‍්‍ර බෝග වගාවේ සහ ඒක බෝග වගාවේ වාසි අවාසි ගොවීන්ට අවබෝධ කරදිය යුතුයි. ඒ වගේම වන සත්ව ආක‍්‍රමණය පාලනය කිරීමට රජය විසින් කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි. රිලවා, වඳුරා, දඬු ලේනා, මොණරා, වල් ඌරා, ඉත්තෑවා, මුවා සහ අලියා මේ සතුන් විශාල වශයෙන් වගාබිම්වලට හානි කරනවා. යම් පරිසර පද්ධතියකට දරාගන්න බැරි තරමට යම් සත්ව ග‍්‍රහණයක් වැඩි වෙලා තියෙනවා අනිවාර්යෙන්ම පාලනය කළ යුතුයි…’’

රටේ ගොවීන්ව කබානික ගොවිතැනට හුරු කරනවා වගේම ආහාර තාක්‍ෂණ දැනුම ලබාදීමටත් අදාළ ආයතන කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම ලබන කන්නෙ වගාව  ගැන නෙමෙයි මේ කන්නෙ අස්වැන්න ආරක්‍ෂා කරගන්න වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ආහාර අපතේ යෑම අවම කිරීමට ගොවි ගම්මාන තුළ ආහාර නිෂ්පාදන ආයතන ආරම්භ කළ යුතුයි. යම් බෝගයක අතිරික්ත අස්වැන්නක් ලැබුණු විට රජය විසින් ඒ අස්වැන්න මිලට ගෙන වෙනත් නිෂ්පාදන බිහි කරන්න කටයුතු කළ යුතුයි. උදාහරණ විදිහට තක්කාලිවලින් සෝස්. පලතුරුවලින් ජෑම්, ජූස්, චට්නි වර්ග නිෂ්පාදනය කරන්න පුළුවන්. අපතේ යන සෑම එළවළුවක්, පළතුරක්, කුළුබඩු ඕනෑම දෙයක් කල්තබා  ගැනීමට පුළුවන්. අපිට අවශ්‍ය හැම කෑම බීමක්ම අපේ ගෙදර හදාගන්නවා. සෝස්, පලතුරු බීම, චට්නි වර්ග, සියඹලා පිටි, දිවුල පිටි අපි හදා ගන්නවා. මාස දහයක් කොස්ඇට කල් තබාගැනීමේ ක‍්‍රමවේදයක් මම හොයාගෙන අදාළ ආයතනත් දැනුවත් කරලා තියෙනවා. කොස්ඇට පිටි එකක් මම නිෂ්පාදනය කරලා තියෙනවා. අවුරුද්දක් කල්තබා ගන්න පුළුවන්. කැපවීම සහ සිතීමේ ශක්තිය තියෙනවා නම් ගොවිබිමක අපිට කළ නොහැකි දෙයක් නෑ…’’ රටක් වටින ගොවි මහත්මයකුගේ බරසාර කතාවට තවත් වචන එකතු කිරීමට මගේ සිත අකමැතිය. වස විස නැති ආහාර රටාවකට හුරුවීමේ සිහිනයෙන් මෙතැකින් අපි නතර වීමු.

*  තරංග රත්නවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment