අයිසිස් කෝරසාන් කල්ලිය පිහිටුවාගනු ලැබුවේ 2015 දීය. මෙම කල්ලිය අබුබකර් අල්බැග්ඩෑඩි නමින් ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමේ මූලික අරමුණින් අටවාගත් සංවිධානයක් විය. සිරියාවේ හා ඉරාකයේ අයිසිස් සංවිධානය බලවත්ව සිටි සමයේ ඇෆ්ගනිස්ථානයේ ප්‍රහාර එල්ල කරනු ලැබුවේ මොවුන් විසිනි. නමුත් මොවුන්ගේ ව්‍යාප්තිය ගැන තලේබාන්වරු සතුටු නැත. හිටපු තලේබාන් නායකයකු වූ හෆීස් සයිඞ් කාන් මේ කල්ලියට නායකත්වය දුන්නද ඔහු 2016 දී ඝාතනය විය. හදිසියේම මෙම කෝරසාන් කල්ලිය ලොව සලිතකර ඇත්තේ කවර හේතුව නිසාද? තලේබාන්වරු බලයට පැමිණ දින 11 ක් ගතවෙද්දී හමිඞ් කාර්සයි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ එක් ගේට්ටුවක් අසලට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය නිසාය. මෙහිදී පිපිරීම් දෙකක් සිදුව ඇති අතර එම නිසා සියයකට අධික පිරිසක් මරණයට පත්වී තිබේ. විශේෂය වන්නේ ඇමරිකානු මැරින් සෙබළුන් 13 දෙනකු මේ ප්‍රහාරයට බිළිවීමය. ජනපති ජෝ බයිඩන් සලිත කිරීමට අබ්දුල් රෙහෙමාන් අල් ලෝදිගේ මරාගෙන මැරෙන ප්‍රහාරයට හැකි විය. මෙම අයිසිස් මරාගෙන මැරෙන බෝම්බකරු එම ප්‍රහාරය එල්ල කිරීම සිදු කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් මාධ්‍යයට නිකුත් කරමින් මෙම කෝරසාන් කල්ලිය මහත් උද්දාමයෙන් මෙන් වගකීම භාරගෙන ඇත.
කාබුල් නුවර ගුවන්තොටුපලට ප්‍රහාරයක් එල්ල වන බව ඇමරිකානු ඔත්තු සේවා ප්‍රකාශ කර සිටියේ දින කිහිපයක සිටය. තලේබාන් සංවිධානය රුසියානු මාධ්‍යවලට පවසා තිබුණේ ප්‍රහාරයක් එල්ල වීමේ අනතුර ගැන තමන් දිගින් දිගටම අදාළ අංශවලට දැනුම් දුන් බවය. නමුත් ඇමරිකානු මැරීන් භටයන් අසලට පැමිණ අයිසිස් අබ්දුල් බෝම්බය පුපුරණ තෙක් මේ අනතුර ගැන කිසිවකු ගණන් ගත්තේ නැද්ද? නැත්තේ ඇෆ්ගන් වැසියන් සිය ගණනක් කාබුල් ගුවන්තොටුපලේ ගේට්ටුව අසල පොරකමින් සිටි නිසා මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවීම වැළැක්විය නොහැකිවීද? අගෝස්තු 31 ට පසු කාබුල් නුවර ගුවන්තොටුපලේ සියලූ මෙහෙයුම් නතර කළ යුතු බවට තලේබාන් සංවිධානය ඇමරිකානුවන්ට නිල වශයෙන් දැනුම් දී තිබුණු අතර එනිසාම ඉතා ඉක්මනින් දැවැන්ත ප්රහාරයක අනතුර මෝරමින් තිබිණි. අසරණ කුඩා දරුවන් කාන්තාවන් මහල්ලන් ඇතුළු බොහෝ පිරිසක් ස්ලාමික රාජ්‍යයේ බෝම්බය හමුවේ කෑලි කෑලිවලට කැඞී ගොස් ඇත. කෝරසාන් කල්ලිය තම රාජ්‍යය පිහිටුවන්නේ ඇෆ්ගන් වැසියන්ගේ ලේ මතින්ද? තලේබාන්වරුන්ටත් වඩා දරුණු මේ කණ්ඩායම කිසිලෙසකින්වත් විශ්වාස කළ නොහැක. තම අරමුණ වෙනුවෙන් සිය දහස් ගණනක් ඝාතනය කිරීමට මොවුහු කිසි ලෙසකින් පසුබට නොවෙති.
කාබුල් ප්‍රහාරයෙන් පසු මාධ්‍ය ඇමතූ ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටියේ මේ පිටුපස සිටින සියල්ලන්ටම එරෙහිව දැඩිව පියවර ගන්නා බවයි. දැන් ඇමරිකාවට තලේබාන් තර්ජනයට වඩා කෝරසාන් තර්ජනය ගැන වැඩියෙන් අවධානය යොමු කරන්නට සිදුවේ. ඉදිරි දින කිහිපයේදී නැවත ප්‍රහාරයක් සිදුවිය හැකි නිසා බි්රතාන්ය හමුදා මුදාගැනීමේ මෙහෙයුම් ඊයේම නතර කරනු ලැබීය. එහෙත් ඇමරිකාවට මේ කොටි වලිගය අතහැරීම ලෙහෙසි නැත.
පසුගිය මැයි මාසයේදී කාන්තා පාසලකට පහරදී දැරියන් විශාල පිරිසක් ඝාතනය කරනු ලැබුවේ ද මේ කල්ලියම විසිනි. ඔවුන් ඇෆ්ගන් හා පාකිස්තාන හමුදාවන්ට එරෙහිව එල්ල කර ඇති ප්‍රහාර සිය ගණනකි. දැන් වෙනදාටත් වඩා කාබුල් අනාරක්ෂිත වීම නිසා කෝරසාන් කල්ලිය මුළු ලෝකයටම තර්ජනයකි. මොවුන් විනාශ කිරීමට සියලූ දෙනා එක්වීම වැදගත්ය.
මේ අයිසිස් ප්‍රහාරයත් සමග ලොවපුරා නිහඬව සිටිය ජිහාද් සංවිධාන මෙන්ම සෙසු අයිසිස් සාමාජිකයන් ද ප්රබෝධයට පත්ව යළි සකී‍්‍රය වීමට උත්සාහ ගැනීම බරපතළ අර්බුදයකි. එය ඇමරිකාවට බටහිර ලෝකයට නොව ලංකාවට පවා තර්ජනයකි. අබුබකර් අනුව යමින් සහරාන් හෂීම් කළ විනාශය අමතක කළ හැකිද?
චතුර පමුණුව