කාම්බෝජය ජන සංහාරයක මතක ආවර්ජනය

816

පොල්පොට් කරන්න ගිය වැඩේ හරි. ඒත් එයාට වැරදුනේ වියට්නාම් අයව මරන්න ගත්තාම” කාම්බෝජයේ නොම්පෙන් අගනුවර ආසන්නයේ වූ පොල්පොට් පාලන සමයේ වධකාගාරයක් වූ S2 වෙත රැගෙන ගිය කුලී රථයේ රියැදුරා පැවසුවේ අප සමග කතා බහකට මුල පුරමින්ය. “එහෙම වෙන්නේ කොහොමද…. ලක්ෂ ගාණක මිනිස්සු මරලා.” මගේ ගමන් සගයා පෙරළා ප්‍රශ්න කෙරිණි. “මේ සියලු විනාශයන්ට පොල්පොට් විතරක් වගකිව යුතු නැහැ. ඔහුට උදව් කරපු අයත් ඒවාට හවුල්” පොල්පොට්ගේ හදිසි මරණය නිසා ඒ කිසිවක් හෙළිදරව් නොවුණු බවයි කුලී රථ රියැදුරුගේ විශ්වාසය. ඒ ප්‍රකාශය ඔස්සේ කරුණු සොයා බැලීමේදී පෙනී යන්නේ කොමිනියුනිස්ට්වාදියකු වූ පොල්පොට් ගේ අභ්‍යන්තරයේ ජාතිකවාදියෙකු සිටී බවකි. වියට්නාමයට එරෙහිව ඔහුව යොදා ගන්නට අධිරාජ්‍යවාදීන්ට හැකිවුයේ ඒ ජාතිකවාදියා යි.

ජනසංහාරක කෞතුකාගාරය

කාම්බෝජය ජන සංහාරයක මතක ආවර්ජනය

දහසක් කාම්බෝජ සිසුන් අකුරු කළ Tuol Svay Prey High School උසස් පාසල 1975 අගෝස්තුවේදී සිරකඳවුරක් ලෙසත් ඉන් පසුව වධකාගාරයක් ලෙසත් පරිවර්තනය කෙරුණේ පොල්පොට් පාලනය විසිනි. ගොඩනැඟිලි පහකින් වූ පාසලේ සියලුම පංති කාමර සිරකුටි වූ අතර ජනෙල් හා කවුළු සියල්ල යකඩ පොලු හරස් කොට කටුකම්බිවලින් අවහිර කර තිබුණේ කිසිවෙකුටවත් ඉන් පළා යා නොහැකි ලෙසය. බිම් මහල් පංති කාමර තුළ ඉතා සීමිත ඉඩකඩකින් යුත් කුඩා සිරකුටි කිහිපයක් සකස් කොට තිබුණි. මෙහි සිරබත් කෑ අයගෙන් දිවි ගලවාගත් වූවන්ගෙන් දැනට ජීවත් වන බවට තොරතුරු ඇත්තේ 10 දෙනකුගේ පමණි. බොහෝ සිරකරුවන්ගේ විස්තර නොමැති සේයාරූ පමණක් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. මරා දැමූවන්ගේ හිස් කබල්, ඔවුන් පරිහරණය කළ දෑ මෙන්ම, වධ බන්ධනයන්ට උපයෝගී කරගත් සියල්ලම ද සංරක්ෂණය කර ඇත්තේ ලේ වැකි අතීතයක අත්හල නොහැකි මතක ස්මරණය වෙනුවෙනි.

අද එය Tuol Svay Prey ජනසංහාරක කෞතුකාගාරය ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ, පර්යේෂකයන්ගේ නිතර ඇස ගැසෙන තැනකි. මේ වධකාගාරයේ අනේක වධ වේදනාවන්ට ලක්ව, එහෙත් දිවි ගලවා ගැනීමේ වාසනාව හිමිවූවන් කිහිපදෙනෙක් කෞතුකාගාරය පරිශ්‍රය තුළ නිතරම ගැවසෙන්නේ ඔවුන්ගේ අත්දැකීම් එහි පැමිණෙන නරඹන්නන් අතර හුවමාරු කරගැනීම වෙනුවෙනි. ජීවිතේ සැන්දෑ සමය ගෙවන මේ වින්දිතයන් තමන් මුහුණ දුන් කුරිරු අත්දැකීම් බෙදා ගනිමින් සිත් සතන් සැහැල්ලු කර ගනිති.

පොල්පොට් පාලන සමයේදී මෙම කඳවුරේ සේවකයකු ලෙස කටයුතු කළ කොම්රේඩ් ඩුච් ඊට පෙර ගුරු වෘත්තියේ නියැලුණු අයෙකි. “මෙහි එක එක රාජකාරිවල හිටිය මුළු ස්ටාෆ් එක 1720 ක්. සිරකූඩු මුරට, සිරකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නට, ඔෆිස් වැඩට, සාමන්‍ය වැඩට වගේ කට්ටිය හිටියා. තෝරා ගන්නේ විශේෂ ටේ්‍රනින් එකකින් පස්සේ. ගොඩක් දෙනා වයස අවුරුදු 15 හේ විතර ළමයි. ගොඩක් අය එයාලගේ ඉගෙනීම් සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. වැඩිහිටි සිරකරුවන්ට කිසිදු ගෞරවයක් දැක්වූයේ නැහැ. එයාල ඉතාමත් කුරිරු, බිහිසුණු අය බවට පත්වෙමින් හිටියේ. “තමන් අතින් සිදුවූ වැරදිවලට සමාව ගනිමින් කොම්රේඩ් ඩුච් නොම්පේන් අධිකරණයක දී මේ කඳවුර ගැන හෙළිදරව් කර තිබේ.

කවුද මේ පොල්පොට්

කාම්බෝජය ජන සංහාරයක මතක ආවර්ජනය

සලොත් සාර් නොහොත් පොල්පොට් උපන්නේ කාම්බෝජයේ “කම්පොන් තොම්” පළාතේ 1925 දී. ආසියාතික බෞද්ධ රටක් වුණු කාම්බෝජය ඒ වන විට ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයකි. රාජාණ්ඩු පාලනයක් තිබුණු එරට රජ පවුලට ඥාතීත්වයක් පොල්පොට් ගේ මාපියන්ට ද තිබිණි. 1948 දී පොල්පොට් ප්‍රංශයේ, පැරිසිය බලා යන්නේ රේඩියෝ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හැදෑරීමේ අරමුණින් යුතුව. එහිදී හමුවෙන කාම්බෝජ මිතුරන් කිහිප දෙනෙක් සමග එක්ව “orginal Khemaer”, “free Khemaer”, Khemaer worker” වැනි නම් කිහිපයකින්ම හැඳින්වූ කණ්ඩායමක් ගොඩනඟා ගනිමින්, ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය සමග ද සමීපව කටයුතු කළේය. පොල්පොට් ගේ පෙම්වතිය ඔහුට මුණ ගැසෙන්නේ ප්‍රංශයේදී. විශ්වවිද්‍යාල උපාධිධාරිණියක් වුණු කියුහු පොන්නාරි සමග අට වසරක ප්‍රේමයකින් පසු 1956 දී ඔවුන් දෙදෙනා යුග දිවියට පිවිසෙන්නේ ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වූ කාම්බෝජයකදීය.

කාම්බෝජ හා වියට්නාම් ජනයාගේ පොදු සතුරා වූ ප්‍රංශ යටත්විජිත පාලකයන්ට එරෙහිව 50 දශකය මුලදී ඇරඹි විමුක්ති සටනට, යළි සිය රට පැමිණි පොල්පොට් ඇතුළු ඔහුගේ සගයන් එක්වන්නේ වියට්නාම්වරුන්ගේ මඟ පෙන්වීම ඔස්සේය.

ගැමි ගරිල්ලා සටන් කලාව ගැන පොල්පොට් වියට්නාම්වරුන්ගෙන් ඉගෙන ගත්තද, සටන් සඳහා ගැමියන් සංවිධානය කිරීමේදී ඔහු අසමත් විය. කෙසේ වෙතත් 1953 දී ප්‍රංශ අධිරාජ්‍යවාදීන් විසින් කාම්බෝජය අත්හැරීමත් සමගින්, පොල්පොට් ඇතුළු සෙසු විමුක්තිකාමීන් යටපත් කරමින් එහි බලයට කැඳවන්නේ නොරදම් සිහනුක් රජුය.

රාජාණ්ඩුවට එරෙහිව කොමියුනිස්ට් ක්‍රමයක සිහින දුටු පොල්පොට් නොම්පෙන් අගනුවරට පැමිණෙන්නේ ඒ අරමුණු සාක්ෂාත් කරගැනීමේ අරමුණු ඇතිව. ඔහු සාමාජිකත්වය දැරූ කම්පුචියානු කම්කරු පක්ෂයේ ඉහළ වගකීම් දරන්නකු ලෙසින් 1963 දී ප්‍රධාන ලේකම් ධුරයට පත්විණි. කම්පුචියාවේ කොමියුනිස්ට් පක්ෂය ලෙස පොල්පොට්ගේ නායකත්වය යටතේ යළි නාමකරණය වූ පක්ෂය ඊසාන දිග කඳුකරය මුර කඳවුරක් බවට පත් කරන්නට විය.

කාම්බෝජයේ අපේක්ෂාව

සිහනුක් රජුගේ රාජ්‍යයේ පැවති වංචා දූෂණවල වර්ධනය හේතුවෙන් ජනතාව දිනෙන් දින දුගී බවේ ගිලෙන්නට වූහ. ජනතා කැමැත්ත රජුගෙන් දුරස් වෙමින් තිබුණු 1967 වසර වන විට රජයට එරෙහිව තම ගරිල්ලා ප්‍රහාර දියත් කරන්නට පොල්පොට් තීරණය කළේය.

ඊට ප්‍රතිචාරයක් ලෙස “කෙම්ර්රුජ්“ඤරතු කෙමර්වරු % ලෙස නම් කළ පොල්පොට්ගේ ගරිල්ලා ව්‍යාපාරයට එරෙහිව සිහනුක් රජු ද සිය රාජ්‍ය මර්දනය තීව්‍ර කරන්නට විණි. කොමියුනිස්ට් පාලනයක් කෙරෙහි බියවූ රජු, පොල්පොට් ට පමණක් නොව සෙසු කොමියුනිස්ට්වාදීන්ට ද මේ මර්දනයේ හස්තය දිගු කළේය. සිහනුක් රජුගේ මේ ක්‍රියාපිළිවෙත නිසා බහුතර ගැමියන්ගේ සහාය කෙම්රුජ් ගරිල්ලන් වෙත ලැබුණි. කොමියුනිස්ට්වාදය පිළිබඳව තිබූ අචල විශ්වාසයත්, ඒ වෙනුවෙන් වූ ප්‍රයෝගික ක්‍රියාකාරීත්වයට අමතරව පොල්පොට් තුළ පැවති පෞද්ගලික ගුණාංග ද කෙමර්රුජ් සංවිධානයේ වර්ධනයට දායක විය. මෘදු ඇවතුම් පැවතුම් ඇති ආචාරශීලී අයකු වූ ඔහු හොඳ ඇහුන්කන් දෙන්නෙකි. මේ නිසාම ජනයාගේ ආකර්ෂණයට ලක් වූ පොල්පොට් කාම්බෝජයේ අනාගත අපේක්ෂාව බවට පත්විය.

එහෙත්, සිහනුක් රජු චීනයේ සංචාරයක නිරතව සිටින අතරවාරයේ ඔහුගේ අග්‍රාමාත්‍ය ජෙනරාල් “ලොන් නොල්’, ‘සිසෝවත් සිරික් මතක්’ නම් රජ කුමරු හා එක්ව බලය ලබා ගත්තේ රජු සිහසුනෙන් නෙරපමින්ය. 1970 දී සිදුවූ මේ කුමන්ත්‍රණයට පූර්ණ සහාය අසල්වැසි වියට්නාමය ආක්‍රමණය කරමින් සිටි ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබුණි.

වසර කිහිපයක් ඇවෑමෙන් 1975 අප්‍රේල් 17 වැනිදා, ඇමෙරිකානු රූකඩයක් වූ ජෙනරාල් ලොන් නොල් ගේ පාලනය බිඳ දමා කෙමර්රුජ් ගරිල්ලන් විසින් කාම්බෝජයේ පාලන බලය අත්පත් කර ගැනිණි. කාම්බෝජය එතැන් පටන් ප්‍රජාතන්ත්‍රවාදී කම්පුචියාව ලෙස නම් කෙරුණු අතර ශූනත්වයේ වසර පොල්පොට් විසින් ප්‍රකාශයට පත් කෙරුණේ මුල සිටම රට ගොඩනැඟීමේ අරමුණු ඇතිවය. නව කම්පුචියාවක් නිර්මාණය කිරීමට නම් පැරණි මතකයන් විනාශ කළ යුතු බවට පොල්පොට් ගේ මතය විය.

අන්කොර් සිහිනය

කාම්බෝජය ජන සංහාරයක මතක ආවර්ජනය

එහෙත් කොමියුනිස්ට්වාදියකු වූ පොල්පොට් චීන විප්ලවයට ආකර්ෂණය වෙමින් කෙමෙන් කෙමෙන් මාඕවාදී මතයන් අතර දෝලනය වන්නට විය. ස්ටලින්වාදය ද යම් තරමකට පොල්පොට් ට බලපෑ අතර කෙමර් බහුතර ජාතිකවාදී අදහස් මතු වීම පෙන්නුම් කරන්නේ මධ්‍යතන යුගයේ පැවති කෘෂිකර්මාන්තය මූලික කරගත් අන්කෝර් රාජ්‍ය යළිත් කාම්බෝජය හෙවත් කම්පුචියාවේ බිහි කිරීමේ සැලසුම හරහාය. නාගරීකරණය හා මුදල් සංසරණය මෙන්ම ධනේශ්වර ආයතනගත අධ්‍යාපනය ඊට බාධාවන් ලෙස කෙමර්රූජ් පාලනයට පෙනේනට විය. කම්කරු පංතියට වඩා ගොවියන් කෙරෙහි විශ්වාසයක් තැබූ ඔවුහු මිලියන ගණන් නාගරිකයන් ගම්බද ප්‍රදේශ කරා රැගෙන ගියහ. එසේ රැගෙන ගියවුන් වහල් කඳවුරු වැනි සාමුහික ගොවිපළ වැඩ සඳහා යොමු කෙරුණේ රාජ්‍ය නියෝගයක් පරිද්දෙනි. එකී ජනයාගේ කැමැත්ත හෝ අකමැත්ත මෙහිදී අදාළ නොවිණි. කිසිවෙක් කෙමර්රුජ් පාලනයට හෝ නියෝගයන්ට එරෙහි වන්නේ නම් ඇයට හෝ ඔහුට අයත් වන්නේ සිය ජීවිතයෙන් වන්දි ගෙවීමටය. චීන සංස්කෘතික විප්ලවයෙන් ආශ්වාදයට පත්ව සිටි පොල්පොට් රට ගොඩනැඟිය හැක්කේ ගොවි ජනයාට පමණක් යැයි මතයක් ගොඩනඟමින් රටේ සෑම පුරවැසියකුම ගොවියකු විය යුතු බවට බලකෙරිණි. රට කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත වූ පසු තාක්ෂණය කරා යා හැකිය. ඊට අමතරව කිසිදු විදේශ බසක් භාවිතය, ආහාර ගබඩා කර තබා ගැනීම, මියගිය ඥාතීන් අනුස්මරණය ද සපුරා තහනම් කෙරිණි.

උගතුන්, බුද්ධිමතුන්, තරුණ තරුණියන්, විදේශිකයන්, විශේෂයෙන් වියට්නාම්, ව්‍යාපාරිකයන් පමණක් නොව ආගමික නායකයන්, සුළුතර ප්‍රජාවන්ට ද පොල්පොට්ගේ පාලනය හමුවේ මරණයෙන් ගැලවීමට නොහැකි විය. කෙමර්රූජ් පාලනයේ අණට නොනැමුණු හා නියෝග ක්‍රියාත්මක කිරීමට සමත් නොවුණු ලක්ෂ ගණන් ජනයා වධකාගාරවල අනේක වධ වේදනා විඳ දිවියෙන් සමුගත්හ. බෞද්ධ භික්ෂූන්ද නිෂ්පාදන ක්‍රියාවලියට එක්විය යුතු බවට පොල්පොට් ගේ මතය විය.

මහජන චීනය කෙමර්රුජ් පාලනයේ සමීප සගයෙක් විය. කාම්බෝජයේ සිටි දුර්ලභ ගණයේ වන සතුන් මෙන්ම, සහල් අපනයනයේ යෙදුණු කෙම්ර්රුජ් බලධාරීහු ඒ වෙනුවට චීනයෙන් ලබා ගත්තේ නවීන පන්නයේ අවි ආයුධය. වියට්නාමය කෙරෙහි ඔහු දැක්වූ විරෝධය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානියේ සහාය ද නිබඳව පොල්පොට් ට ලැබුණි. යුද පුහුණුවට අමතරව අවශ්‍ය අවි සැපයීමද සිදු කෙරුණේ ඉතා රහසිගතවය. කෙම්ර්රුජ් පාලනය විසින් කෙතරම් මිනිස් ඝාතනයන් කළ ද කිසිදු රටක් සම්බාධක පැනවීමක් නොකළේ බලවත් පාර්ශ්වයන්ගේ මේ සහයෝගය හේතුවෙනි.

වියට්නාම් හමුදා කඩා වැදීම හා කෙමර්රුජ් පාලනය බිඳ වැටීම

එහෙත් වියට්නාම්වරුන්ට එරෙහිව දිගින් දිගටම එල්ල කෙරුණු ප්‍රහාර හමුවේ කිපුණු සමාජවාදී වියට්නාමයේ හමුදා කාම්බෝජයට කඩා වැදුණි. 1979 ජනවාරි 7 වැනිදා එල්ල වූ වියට්නාම් හමුදා හමුවේ පොල්පොට් ඇතුළු කෙම්ර්රුජ් සංවිධානයට සිදුවූයේ කාම්බෝජයේ තායි දේශසීමාවන් වෙත පසු බසින්නටය. ප්‍රංශ අධිරාජ්‍යවාදීන් සමග මෙන්ම ඇමෙරිකානු එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන් සමගද සටන් වැද සුවිසල් ජයග්‍රහණ ලැබ සිටි ප්‍රබල වියට්කොන් ගරිල්ලන් හමුවේ සටන් කරන්නට පොල්පොට් සැරසුනේ තායි දේශසීමාවේ කඳවුරු බඳිමින් ය. එහෙත් වියට්නාමය පරදා යළි බලය අත්පත් කර ගැනීම ඔවුන්ට සිහිනයක්ම විය.

බලයෙන් පහකොට සිටි නරදොම් සිහනුක් රජු 1993 දී යළි කිරුළු පැළඳීය. පොල්පොට්ගේ ඥාති සොහොයුරු, කෙම්ර්රුජ් ආණ්ඩුවේ අගමැති ලෙන්ග් සාරි විසින් කාම්බෝජ ආණ්ඩුව හමුවේ පරාජය භාර ගන්නවා හැරෙන්නට සටන් කිරීමට අවශ්‍ය ශක්තියක් ඔවුන්ට නොතිබුණි. මුලදී ඔවුන්ට සහාය ලබා දුන් සියලු රටවල් කෙමර්රුජ් සංවිධානය අත්හැර දමා ගොස්ය. කෙමෙන් කෙමෙන් බිඳ වැටෙමින් හා අභ්‍යන්තර මතභේද හට ගනිමින් තිබුණු කෙමර්රූජ් ගරිල්ලන් විසින්ම සිය නායකයා වූ පොල්පොට් ව නිවාස අඩස්සියට පත් කෙරිණි. යුද අපරාධ සම්බන්ධ නඩු විභාගයකට කෙමර්රුජ් ගරිල්ලන් විසින්ම තමන්ව අධිකරණයට භාර දීමට නියමිතව ඇති බවට කළ නිවේදනයක් නිවාස අඩස්සියේ සිට ඇමෙරිකානු ගුවන් විදුලි සේවාවකට සවන් දුන් පොල්පොට් ට අසන්නට ලැබී ඇත. එහිදී නොසන්සුන් වූ ඔහු සිය දිවි නසා ගත් බවට සැක කෙරේ. ඒ මීට වසර 27 කට පෙර 1998 අප්‍රේල් 15 වැනිදාය.

“අපිත් වැරදි කළා”

1997 ඔක්තෝබර් මාසයේ දිනෙක ‘Far Eastern Economic Review’ සඟරාවේ නටේ තායර් මාධ්‍යවේදියා හමුවේ කතා බහ කළ පොල්පොට් කිසිදිනෙක නොසිතන්නට ඇති එය මාධ්‍යට ලබා දෙන අවසන් සම්මුඛ සාකච්ඡාව බවට.

“මුලින්ම මට ඔබට කියන්න ඕනේ මම ආවේ විප්ලවයට සම්බන්ධ වෙන්න. කාම්බෝජයේ මිනිස්සු මරන්න නොවේ. මා දිහා බලන්න.. ඔබ හිතනවද.. මම ප්‍රචණ්ඩකාරී කෙනෙක් කියලා… නැහැ. මගේ හෘද සාක්ෂිය හා මෙහෙවර බැලුවොත් ගැටලුවක් නැහැ. මේ දේ පැහැදිලි කරන්න ඕනෑ. මගේ අත්දැකීමත් ව්‍යාපාරයේ අත්දැකීමට සමානයි. අපි අලුත් වගේම අත්දැකීම් අඩු අය, ඒ නිසා ඒ ඒ වෙලාවේදී සිදුවන දේ ට ඊට අදාළ වෙන විදිහට කටයුතු කරන්න වුණා. මම ඔබට කිව් පරිදි මේවා කරන කොට අපිත් වැරදි කළා. දැන් මම ඒවා පිලිගන්නවා. මම ඒ ගැන සටහන් කරලත් තියෙනවා. මට දොස් පැවරීමට හෝ පහර දීමට කැමති ඕනෑම කෙනකුට එසේ කිරීමට අයිතියක් තියෙනවා. ඒත් මට කියන්න තියෙන්නේ ව්‍යාපාරය පාලනය කරන්න තරම් ප්‍රමාණවත් අත්දැකීම් මට නොතිබීම ගැන කනගාටුයි. අනෙක් අතට, කාම්බෝජය වියට්නාමයට යටත් නොවන නිරන්තර අරගලය ගෙනියන්න තිබුණේ කොමියුනිස්ට් ලෝකයේ අනෙකුත් අයත් එකතුව. ජාතියට හා ජනතාවට කරන ආදරය වෙනුවෙන් හොඳම දේ තමයි කරන්න බැලුවේ. නමුත් අපේ වැඩවලදී අපි අතින් වැරදි වුණා.”

පොල්පොට් මෙසේ තම අරගලයේදී වැරදි අඩුපාඩු සිදුවූ බව පිළිගන්නා විට මිලියනයකට වැඩි පිරිසක් ඝාතනය වී හමාරය.

සටහන සහ සේයාරූ;
ඉෂංඛා සිංහආරච්චි
[email protected]


advertistmentadvertistment