අන්තිම දවස් තුනේ වතුර බිව්වේ නෑ
ගමන පටන්ගත්තා විතරයි
කාන්තාවක් කිව්වහම ටිකක් ලාලිත්‍යයට බරයිනේ. හැබැයි අද අපේ කථා නායිකාව එක්ක කතා කරන්න යන්නේ කාන්තාවන්ගේ ලාලිත්‍යය ගැන නම් නෙමෙයි. මෙයා යකඩ එක්ක තමයි හැප්පෙන්නේ. එහෙම කිව්වහම ඔයාලා බලනවා ඇති මේ මොනවද කියන්නේ කියලා. පසුගියදා සිංගප්පූරුවේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේදී ලෝකඩ පදක්කම් තුනක් දිනාගන්න ඇයට හැකියාව ලැබෙනවා. මේ ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට ලංකාවෙන් සහභාගි වුණේ ඇය විතරයි. ඇය නමින් ජයරුක්‍ෂි සමන්කුල. ජයරුක්‍ෂි ලොවක් දිනපු හැටි ඔයාලට කියන්නයි හදන්නේ.
● කොහොමද ඉතිං?
වරදක් නැහැ. හොඳින් ඉන්නවා.
● ලබපු ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ?
සතුටුයි ගොඩක්. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතුවෙත් නැහැ මට මේ වගේ හොඳ පිළිගැනීමක් ලැබේවි කියලා.
● කායවර්ධන ක්‍රීඩාවට යොමුවුණේ කොහොමද?
මගේ පුහුණුකරු හරහා තමයි මම මේ ක්‍රීඩාවට යොමුවුණේ. මුලදී නම් හිතුවේ නැහැ මේ ක්‍රීඩාවට යොමුවෙන්න පුළුවන් වෙයි කියලා. අන්තිමේ මම ඒ අභියෝගය ජය ගත්තා.
● ඇත්තටම මෙහි ආරම්භය ගැන කතා කළොත්?
හැම ගැහැනු ළමයෙක්ම ආසයිනේ ලස්සනට ඇඳලා කරලා ඉන්න වගේම සිරුර ලස්සනට තියාගන්න. ෆොටෝ එකක් ගත්තත් බඩ ඇතුළට කරලා වහගෙන නේ ගන්නේ. මටත් ඒ වගේ ලයිෆ් එකක් තිබ්බා. ඒ කාලේ මම මහතයි. මම හිතුවා ජිම් එකකට යන්න ඕනෑ වගේම බර අඩුකර ගන්නත් ඕනෑ කියලා.
● බර කීයක් තිබුණාද?
මම මුලින්ම හිටියේ කිලෝග්‍රෑම් 69 බර පන්තියේ.
● ඊට පස්සෙද ජිම් ගියේ?
ඔව්. පුහුණුකරුව ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සම්බන්ධ කරගෙන ජිම් එකකට ගියා.
● ජිම් එකට ගියාට පස්සේ?
පුහුණුකරු මගේ හැකියාවන් අඳුරගෙන තරගාවලියකට ඉදිරිපත් වෙමු කියලා කිව්වා. අන්තිමේ මමත් කැමති වෙලා පුහුණුවෙන්න පටන් ගත්තා.
● මේ කිරුළ ගන්න කොච්චර කාලයක් පුහුණු වුණාද?
මම කලින් බොඩි බිල්ඩින් කරලත් නැහැ වගේම ඒ ගැන අදහසක් තිබිලත් නැහැ. මාස පහක කාලයක් ඇතුළත පුහුණුවෙලා තමයි තරගාවලියට ඉදිරිපත් වුණේ.
● මොනවගේ කැපකිරීම් ද සිදුකළේ?
ප්‍රධානම දේ කට පාලනය කර ගන්න ඕනෑ. ප්‍රධානම දේ තමයි කෑම. අන්තිම සතිය වෙනකොට සීනි ලුණු එහෙමත් ආහාරයට ගන්න හොඳ නැහැ. අන්තිම දවස් තුනේ වතුර බිව්වෙත් නැහැ. වතුරත් නැතිව ඉඳලා ඒ කට්ට කන්න ඕනෑ. එහෙම නොකළා නම් මේ කිරුළ ගන්න හම්බ වෙන්නේ නෑ.
● එතකොට කෑම පාලනයකුත් වෙනවාද?
ඔව් චිකන්, බ්‍රොකල් වගේ දේවල් විතරයි කන්නේ. දවසකට චිකන් ග්‍රෑම් 400 ක් විතරයි කන්නේ. වතුර නැති හින්ද අපේ සිරුර හැම තිස්සේම මස්පිඬු පෙරළීමට ලක්වෙලා වේදනාවටත් ලක් වෙනවා. එහෙට හැරෙන්නත් බැහැ මෙහෙට හැරෙන්නත් බැහැ.
● දිගටම මේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නද හදන්නේ?
එහෙම අදහසක් තිබෙනවා. මගේ හීනයක් තිබෙනවා ඔලිම්පික් යන්න. කවදා හරි උත්සහයක් ගන්නවා.
● තරගාවලියේදී මුහුණ දුන් අත්දැකීම්.
ලංකාව නියෝජනය කරලා පදක්කම් තුනක් ලබා ගැනීම පිළිබඳව මට ලොකු ආඩම්බරයක් තියෙනවා. ඇත්තටම එහිදී මටම කියලා වෙනම පිරිසක් හිටියේ නැහැ. මට කියන්න සතුටුයි සිංගප්පූරුවේදී එක දෙයක් සිද්ධ වුණා.
● ඒ මොකක්ද?
තරගාලියට යන්න කලින් සිංගප්පූරුවේ තිබෙන චමිලා කියන ඇන්ටි කෙනකුගේ සැලුන් එකකට ගියා. එතැන ඉඳන් යන්න කැබ් එකක් තිබුණේ නැහැ. කලින් බුක් නොකළොත් කැබ් එකක් එන්නේ නැහැ.
● අන්තිමේ මොකද වුණේ?
සැලොන් එකේ ඉඳලා තරගාවලිය තියෙන තැනට විනාඩි හතරළියක දුර තිබෙනවා. කැබ් එකක් දාන්නත් වෙලාව මදි. අන්තිමේ ලංකාවේ දෙන්නෙක් ඒ සැලෝන් එකේ ඉඳලා මාව තරගාවලියට එක්ක ගෙන ගියා. තව පොඩ්ඩෙන් මට කිරුළ ගන්න බැරි වෙනවා. අන්තිමේ මගේ හීනය සැබෑ වෙන්න ඒ දෙන්නත් උදව් කළා.
● ගෙදරින් ලැබෙන සහයෝගය?
ගෙදරින් කියලා නැහැ මේ දේවල් කරන්න එපා කියලා. මම මේක අතහරින්න හැදුවත් ගෙදරින් තමයි කියන්නේ එහෙම කරන්න එපා කියලා. මම ජීවත් වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. නිවාඩුවට ලංකාවට ආවහම තාත්තා තමයි සියලු දේවල් සිදුකළේ.
● සැමියාගෙන් ලැබෙන සහයෝගය
සැමියා ජිම් එකට නම් යන්න එන්නේ නැහැ. ඒ වුණාට එයාගෙන් තමයි සියලුම මූල්‍ය පහසුකම් ලැබුණේ. මොකද මම රස්සාවක් කරන්නේ නැහැනේ. මගේ සියලු වියදම් දැරුවේ එයා. තවම මගේ ගමන පටන් ගත්තා විතරයි.
● දිනේෂ් විතාන
ඡායාරූප – බුද්ධික රණසිංහ