කාලගුණය මැද කැලඹිලි – ඇල්ල – වැල්ලවාය පාර අවදානම් – දිස්ත්‍රික්ක 7කට අනතුරු ඇගවීම්

469

කරඳගොල්ලේ නායයෑමක්
ධීවර නාවික කටයුතු ප්‍රවේශමෙන්

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා තිබෙන වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන බ්‍රහස්පතින්දා (23දා) තෙක් පවතින බවත් අද (20දා) නිරිත දිග සහ වයඹ පළාත්වලට වර්ෂාපතනයේ වැඩිවීමක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී පවතින නිසා ධීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා ඉල්ලා සිටී.

කාලගුණය මැද කැලඹිලි - ඇල්ල - වැල්ලවාය පාර අවදානම් - දිස්ත්‍රික්ක 7කට අනතුරු ඇගවීම්

පැවැති වර්ෂාපතනය හේතුවෙන් ඇල්ල කරඳගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ පසුගිය 25 වන දින සිට නායයමින් තිබූ කඳු කොටස ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයට පෙරේදා (18දා) දින සිට වේගවත්ව පැමිණීම නිසා නිවාස කිහිපයකට හානි වී පවුල් 13ක පිරිස් අවතැන් වී ඇත. ගලා එන මඩ සහ පස් තට්ටු හේතුවෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතන සංවිධානයේ නිර්දේශ මත රාත්‍රි කාලයේ එම මාර්ගය වසා දමා ඊයේ (19දා) අලුයම 6.00ට විවෘත කිරීමට පියවර ගෙන තිබුණි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් බණ්ඩාර මහතා කීය. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද ඔහු කීය.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද ඔහු කීය.

පෙරේදා (18දා) පෙරවරු 8.30 සිට ඊයේ පෙරවරු 8.30 දක්වා කාලය තුළ පුත්තලමට මිලිමීටර් 212.5ත්, කැස්බෑවට මිලිමීටර් 204.5ක්, රත්මලානට මිලිමීටර් 144.1ක්, කොළඹ කුරුඳුවත්තට මිලිමීටර් 113ක් සහ අවිස්සාවේල්ලට මිලිමීටර් 107කට වැඩි වශයෙන් වර්ෂාපතනය වාර්තා වී ඇත.

දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාපතනය ලැබී තිබුණත් ආපදා තත්ත්වයක් වාර්තා වී නැතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ සිට අද (20දා) පෙරවරුව දක්වා බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා දෙවැනි මට්ටමේ (කහ) අනතුරු ඇඟවීම් මට්ටම ප්‍රකාශයට පත්කර තිබෙන බව ද ඒ මහතා කීය.

පවතින වර්ෂාපතන තත්ත්වයත් සමඟ මහඔය, අත්තනගලු ඔය, කැලණි, ගිං, නිල්වලා, කළු, බෙන්තර යන ගංගාවල ජල මට්ටම පිරී ඇති බවත් තවදුරටත් එම ගංගාවලට සහ මහඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාපතනයන් වාර්තා වුවහොත් ඒවා ආශ්‍රිත පහත් බිම් ජල ගැල්මට හුසවිය හැකි නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එස්.පී.සී. සුගීෂ්වර මහතා ඉල්ලා සිටී.

එමෙන්ම බස්නාහිර හා වයඹ පළාත්වලට මේ දිනවල පතිතවන අධික වර්ෂාවත් සමඟ මාර්ග ආශ්‍රිත ක්ෂණික ජලගැලීම් වාර්තා විය හැකි බවත් එවැනි ස්ථානවලින් වාහන ගමන් කිරීමේදී රියැදුරන් සැලකිලිමත්වන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

ඇල්ල කරඳගොල්ල මලිත්තගොල්ල නාය යෑම පරීක්‍ෂා කිරීම සඳහා ගොඩනැඟිලි පරීක්‍ෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආසිරි කරුණාරත්න, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහකාර අධ්‍යක්‍ෂ උදය කුමාර මහතා සහ බණ්ඩාරවෙල මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එක්ව නාය පරීක්‍ෂා කර ඉන්පසු රොන් මඩ පාරට ඒම වැලැක්වීමට තාවකාලික වැලි කොට්ට දැමීමට කටයුතු කළේය.

ඔවුන් පැවසුවේ මීට පෙර පැලුම් සිදුවූවාට වඩා පැලුම් වැඩි වී ඇති නාය සක්‍රිය වී ඇති බවත් දිය පාරවල් වැඩිවී කන්ද උඩ ඇති පස් පහළට ගලාඒම සිදුවිය හැකි බවත් එම නිසා පරීක්‍ෂණ කටයුතු ප්‍රමාද වන බවත්ය.

චමින්ද සිල්වා, සමරකෝන් බණ්ඩාර – බදුල්ල, බඩල්කුඹුර – රවිඳු ගුණතිලක, හපුතලේ – එස්. බුවනෙක, අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment