කාලය, අවකාශය රුසියාව සහ යුකේ‍්‍රනය

1670

සාපේක්ෂතාවාදය ලොවට හඳුන්වා දෙමින් කාලය සහ අවකාශය පිළිබඳ Theory රැසක් ප‍්‍රකාශයට පත්කළ සුප‍්‍රකට විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් නිතරම කී දෙයක් මෙසේය. ”තුන්වන ලෝක යුද්ධය නිශ්චිත වශයෙන්ම න්‍යෂ්ටික යුද්ධයකි. එහෙත් හතරවෙනි ලෝක යුද්ධයේදී මිනිසුන් සටන් කරනු ඇත්තේ පොලූ මුගුරු වලිනි” ඇල්බට් අයින්ස්ටයින් විසින් මෙසේ අර්ථකථනය කරදෙනු ලබන්නේ කුමක්ද? න්‍යෂ්ටික අවි වලින් සටන් කරන තුන්වන ලෝක යුද්ධයෙන් පසු ලෝකය සම්පූර්ණයෙන්ම බංකොලොත් වන බවය. අප අවට තිබෙන සියලූම දේ එම යුද්ධය නිසා විනාශයට පත්වේ. අඩු ගානේ මේ යුද්ධයෙන් පසු මන්න කබලක්වත් ඉතුරු වන්නේ නැත. ඒ නිසා ඊළඟ යුද්ධයක් එනවිට මිනිසුන් ගහ මරාගන්නේ යකඩින් තැනූ අවි වලින් නොව ගස් වලින් කඩාගත් ලී වලිනි. මෙය බංකොලොත් ගෝත‍්‍රික යුද්ධයක් වනු ඇත.

රුසියාව විසින් යාබද යුකේ‍්‍රනය ආක‍්‍රමණය කිරීමත් සමගම තුන්වන ලෝක යුද්ධයක් හටගනු ඇතැයි මතයක් ප‍්‍රචලිත වෙමින් පවතී. තුන්වන ලෝක යුද්ධයක් හටගන්නවා නම් ඒ ඇමරිකාව ඇතුළු නේටෝ රටවල් සහ රුසියාව අතරය. නේටෝ රටවල් සියල්ලම එකතුවී රුසියාවට බෝම්බ දැමුවොත් ඒ රට සමතලා වන නමුදු එය එකවරම සිදුවන්නේ නැත. ඊට පෙර රුසියන් ජනාධිපති ව්ලදිමීර් පුතින් තමන් සතුව තිබෙන න්‍යෂ්ටික මිසයිල සියල්ලම නේටෝ රටවල් දෙසට සහ විශේෂයෙන්ම ඇමරිකාවට යැවීමට ඉඩ තිබේ. ඒ අනුව රුසියාව මැරෙන්නේ තනිවම නොව තම සතුරන් සියලූ දෙනාත් මරාගෙනය. එවිට ලංකාව වැනි රටවල් මිය යන්නේ නිකම්මය.

ලංකාව යනු ඇඹුල් කෙසෙල් සහ ගස්ලබු වලින් පමණක් ස්වයං පෝෂණය වූ රටකි. අදවන විට ගස්ලබු ද හිඟ වෙමින් පවත්නා අතර ඇඹුල් කෙසෙල් පමණක් කිලෝව රුපියල් 50 ට විකිණෙමින් පවතී. ලංකාව යම් තරමකට හෝ තමන්ට අවශ්‍ය දේවල් නිපදවා ගත්තේ එය ගැමි රාජ්‍යයක් ලෙස පවතින තාක් කල් පමණි. එකී ගැමි රාජ්‍ය සංකල්පය 1975 පමණ වනවිට ක‍්‍රමයෙන් දුර්වල වීමට පටන්ගත් අතර 1977 දී යූ. එන්. පී. ය මැතිවරණය ජයග‍්‍රණය කිරීමත් සමගම හැඳි ගෑවිලාම ගියේය. 1978 වන විට හැන්දේ පොල් කට්ට අතුරුදන් විය. 1979 වනවිට හැන්දේ මිටද ඉවර විය. ඉන්පසු මේ රටේ මිනිසුන් හොදි හැඳි ගෑවේ හොදි හට්ටිය තුළට අත දමාගෙනය. අපේ කතාව අන් අතක යන බව පෙනේ. මේ පුවත්පතේ පළවන කතු වැකි බොහොමයක් කවර මාතෘකාවක් සාකච්ඡා කළද මැක්කාගේ රචනාව මෙන් ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති බස් හෝල්ට් එකෙන්, විවෘත ආර්ථික බස් එකකට නැග හෝල්ට් දෙකක් පමණ ගොස් ආපසු බිමට බසී. එබැවින් නැවතත් යුකේ‍්‍රන් අර්බුදය තුන්වන ලෝක යුද්ධය බවට පත් නොවීම ගැන සලකා බලමු.

භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ දේශනා කළ පරිදි යාබද රාජ්‍ය දෙකක් අතර සාමය පැවතීමට නම් ඒ රාජ්‍ය දෙකම එක්කෝ සමසේ සන්නද්ධ විය යුතුයත නැත්නම් සමසේ නිරායුධ විය යුතුය. කිම් ජොං ඉල්ගේ උතුරු කොරියාවට පහරදීමට න්‍යෂ්ටික අවි තිබෙන බටහිර රටවලට බොහෝ කලක සිට අවශ්‍යව තිබේ. එහෙත් කිම් ජොං ඉල් සතුවද න්‍යෂ්ටික අවි තිබේ. ඒවායේ පරාසය බටහිර ලෝකය නොදනී. ඒ අතර හැම මාසයකටම දෙපාරක් පමණ කිම් ජොං ඉල් මිසයිල කිහිපයක් අත්හදා බලයි. ඔහු එය කරන්නේ බටහිර ලෝකයට පෙනෙන්නටය. මේ නිසා අවසාන විග‍්‍රහයේදී උතුරු කොරියාවට පහරදීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත. ඒ නිසා දැනට ලෝක සාමය පවතින්නේ භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ ඉදිරිපත් කළ යුද න්‍යායට අනුවය.

මෙයට දශක කිහිපයකට පෙර ඉතා උජාරු සහ බලසම්පන්න රාජධානියක්ව පැවති එක්සත් සෝවියට් සමූහාණ්ඩුව බේබදු පාලකයන් සහ කූට නිලධාරීන් නිසා පරිහානියට පත්වී 1991දී කැබලිවලට බෙදී වෙන්විය. පසුගිය ශතවර්ෂය මුලදී එනම් 1922දී වී. අයි. ලෙනින් විසින් රුසියාවේ සාර් රජු පලවා හැර සෝවියට් සංගමය පිහිටුවීමේදී එම සංගමයට එකතුකර ගන්නා ලද සියලූ රටවල් සෝවියට් සංගමය බිඳ වැටීමේදී නැවත වරක් ස්වාධීන රාජ්‍ය බවට පත්විය. මෙය සිදුවන්නේ සෝවියට් සංගමයේ අවසන් ජනාධිපති මිහයිල් ගොර්බෂෝව් ගේ කාලයේදීය. කඩාවැටුණු සෝවියට් සංගමය වෙනුවට රුසියන් ෆෙඩරේෂණය නමැති අලූත් දේශපාලන සංගමයක් බිහිවූ අතර එහි නායකයා වූයේ පැය 24 ම වොඞ්කා ගසා අඩ සිහියෙන් සිටි බොරිස් යෙල්ට්සින් නමැති ජනාධිපති කෙනෙකි. යෙල්ට්සින් එම ෆෙඩරේෂණය නාමිකව පාලනය කරන අතර කැමති කැමති රටවල් එම ෆෙඩරේෂණයෙන්ද ගැලවී තවදුරටත් ස්වාධීන රාජ්‍ය බවට පත්වූහ. යුකේ‍්‍රනයද මෙසේ ස්වාධීන වූ රටකි. හිටපු කේ. ජී. බී. ප‍්‍රධානියකු වූ ව්ලදිමීර් පුතින් රුසියාවේ ජනාධිපති වූ පසු ඇමරිකානු ආර්ථික සහ යුද ඒකාධිකාරයට මුහුණුදීමට කල්පනා කළේය. ඒ අනුව රුසියන් ෆෙඩරේෂණය නැවත වරක් පණ ගැන්විය යුතු බව පුතින් තීරණය කළේය. එහිදී ඔහු මුලින්ම කළේ යුකේ‍්‍රනයේ කොටසක්ව තිබෙන්නා වූද, පැරණි ඔප්පු තිරප්පු වලින් රුසියාවටද අයිතිවාසිකම් තිබෙන්නා වූද ක‍්‍රිමියාව ආක‍්‍රමණය කර යටත් කර ගැනීමය. යුක්රේනයට මෙය විශාල වාතයක් විය. ඊළඟ පියවර වශයෙන් යුකේ‍්‍රනය තීරණය කළේ යුරෝපා රටක් බවට පත්වී නේටෝ සංවිධානයට බැඳීමටය. යුකේ‍්‍රනය නේටෝ සාමාජිකත්වය ලැබීම රුසියාවේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට බලගතු තර්ජනයක් බව සඳහන් කළ පුතින් එයට විරුද්ධ විය. එහෙත් යුකේ‍්‍රනය පුතින්ට කුද ගසා ගන්නැයි කියා නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමේ ගමන ඉක්මන් කරන්නට විය.

එහෙත් නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට ගන්නා උත්සාහය සාධාරණ හේතුවක් ලෙස දක්වා යුකේ‍්‍රනය ආක‍්‍රමණය කිරීමට පුතින්ට නොහැක. ඒ නිසා ඔහු කළේ ඒ වනවිටත් යුකේ‍්‍රනයෙන් වෙන්වීමට සටන් කරමින් සිටි කුඩා බෙදුම්වාදී ප‍්‍රදේශ දෙකක් ස්වාධීන රාජ්‍ය හැටියට පිළිගැනීමය. මෙයින් එක රාජ්‍යයක නම Donetsk ය. එහි ප‍්‍රමාණය වර්ග සැතපුම් 138 කි. මෙය කොළඹ දිස්ත‍්‍රික්කයට වඩා විශාල නොවේ. ඊළඟ බෙදුම්වාදී ප‍්‍රදේශය වන්නේ Luhansk ය. මෙහි ප‍්‍රමාණය වර්ග සැතපුම් 99 කි. වර්ග සැතපුම් 99 ක් යනු අක්කර 66000 ක පමණ ප‍්‍රමාණයකි. එනම් ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ තේ වතු කිහිපයක් එකතු කළවිට හටගන්නා වර්ග ඵලයට සමාන භූමියකි. මේවා ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමත් සමගම යුකේ‍්‍රන ආණ්ඩුවේ හමුදා සහ එම බෙදුම්වාදී රාජ්‍යවල ත‍්‍රස්තවාදීන් අතර ගැටුම් ඇතිවිය. ව්ලදිමීර් පුතින් ඉකුත් සති අන්තයේදී යුකේ‍්‍රනය ආක‍්‍රමණය කරන්නේ එරට දැනට හටගෙන තිබෙන සිවිල් යුද තත්ත්වය සමනය කිරීමේ සාම හමුදා මෙහෙයුමක ස්වරූපයෙනි. මේ වන විට යුකේ‍්‍රනයේ සෑම වැසියකු අතම තුවක්කුවක් ඇත. එකී සන්නද්ධ වැසියන් නිරායුධ කිරීමට යුකේ‍්‍රනයට ගිය එක්ලක්ෂ පනස්දහසක පමණ රුසියන් හමුදාව ඉදිරියේදී නිවාඩුවට ගමේ ගියොත් ඇර කිසි කලෙකත් යුකේ‍්‍රනය අතහරින්නේ නැත. මේ ආක‍්‍රමණයට පළිගැනීම සඳහා රුසියාවට විරුද්ධව මූල්‍ය සම්බාධක පැනවීමට ඇමරිකාව තීරණය කොට තිබේ. එහෙත් මොස්කව් නගරය හැර රුසියාවේ අන් හැම පළාතක්ම ස්වයං පෝෂිතය. මේ නිසා නිකරුනේ බලා සිටීමට වැඩි යමක් ඇමරිකාවට ඉතුරු වන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment